(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව කසල රඳවනයට ජනතාව සමඟ එක්වී විරෝධතාවයේ නිරත වූ සේරක්කුලිය ක්‍රිස්ටි පෙරේරා පියතුමන් වනාතවිල්ලුව පොලිසිය අද (13) අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියෝග කළේය.
පසුගිය 9 වැනි දින පියතුමන් හා ජනතාව එක්ව දැනට වනාතවිල්ලුව සේරක්කුලිය ගම්මානය ආසන්නයේ අරුවක්කාඩු ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සනීපාරක්ෂක කසල රඳවනයට විරෝධය දක්වා සේරක්කුලිය කළපු තීරයේ සිට අදාල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.
අදාල සිද්ධියේදී ජනතාව එක් රැස් කරමින් රජය සතු ව්‍යපෘතියකට කඩා වැදී දේපොළ වලට හානි කිරීමේ චෝදනාවට අදාලව පියතුමන්ව අද (13) අත්අඩංගුවට ගෙන තිබුණී.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව වනාතවිල්ලුව පොලිසිය පියතුමන්ව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
පියතුමන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී තවත් පියතුමන්ලා හය දෙනෙකු අධිකරණ ශාලාවේ සිටි ඇති අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ නද්වි නවාවි මහතා ඇතුළු නීතිඥයින් 10 කට ආසන්න පිරිසක් පියතුමන් වෙනුවෙන් පෙනි සිටියේය.
අරුවක්කාඩු විරෝධයට වනාතවිල්ලුව පොලිසිය ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයකු , ප්‍රදේශවාසියකු සහ සේරක්කුලිය මුස්ලිම් දේවස්ථානයේ භාරකරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන එක් අයෙකුට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පියතුමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම අප්‍රසිද්ධව සිදු කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව අරුවක්කාඩු කසල රඳවනයට විරෝධය දක්වන කණ්ඩායම පවසති.
කෙසේ නමුත් මේ වන විට කසල රඳවනයේ වැඩ කටයුතු සාමන්‍ය ආකාරයෙන් සිදුවේ.