අපිට ආණ්ඩුවේ නිසි තැනක් තවම නෑ - හෙක්ටර් අප්පුහාමී


(හසිත රංග ගුණතිලක)

ආණ්ඩුව තුළ අපිට තවමත් නිසි තැනක් නොලැබී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා පැවැසීය.

අමාත්‍යාංශවල , රාජ්‍ය දෙපාර්තමේන්තුවල සහ රාජ්‍ය සංස්ථාවල යම් වගකීමක් ආණ්ඩු පාර්ශ්වයේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි අගමැතිවරයා ඇතුළු ඉහළ නායකයින්ට පැවැසුවද ඊට යහපත් ප්‍රතිචාරයක් මේවන තුරුත් ලැබී නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපගේ රාජකාරිය වී තිබෙන්නේ මඟුල් ගෙවල් වල යාම, මළ ගෙවල් වල යාම හා පන්සල් වලට යාම පමණක්ම බවද කීවේය.

මේ රටේ පරිහානියට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දේශපාලනඥයාට වඩා රාජ්‍ය නිලධාරීන් වැජබීමට යාම යැයිද ඔහු කීය.

බත්තරමුල්ල සුහුරුපායේ අද (25) පැවැති සම්මන්ත්‍රණයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙක්ටර් අප්පුහාමී මහතා මේ බව සඳහන් කළේය.