අනවසරෙන් පස්කැපූ ටිපර් රථ රියැදුරන් 18 ක් අත්අඩංගුවට


 

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

නිකවැරටිය ප්‍රදේශයේ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් භූමියක අනවසරයෙන් පස් කැපීමේ ජාවාරමක් වටලා ටිපර් රථ රියදුරන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය අද(04) සමත්වූහ.

එහිදී අනවසරෙන් පස් ප්‍රවාහනයේ යෙදුණු ටිපර් රථ 18ක් සහ පස් කැපීමට යොදාගත් ස්කැවේටර් යන්ත්‍රයක් ද පොලිස් විශේෂ කාර්‍ය බලකාය සිය බාරයට ගත්තේය.

ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් එම ඉඩමේ ගොඩගසා තිබූ පස් කියුබ් දහසක් පමණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට ටෙන්ඩරයක් ලබාදී ඇති නමුත් එම ස්ථානයේ පස් කැපීමට අදාල පුද්ගලයින් සතුව කිසිම වලංගු බලපත්‍රයක් නොතිබූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ ප්‍රධාන වැටලීම් නිලධාරී බුද්ධික ශිල්පරත්න මහතා පැවසීය.

මේ වනවිට එම ස්ථානයේ තිබෙන වැවකින් පස් කියුබ් 3000කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර එම පස් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලට ප්‍රවාහනය කර තිබෙන්නේ කිසිදු බලපත්‍රයක් නොමැතිව බව එම කාර්‍යංශය කියයි. අදාල ඉඩමේ සිට මහා මාර්ගයට අවතීර්ණ වන ස්ථානයේම නිකවැරටිය පොලිසිය විසින් යොදවා ඇති මාර්ග බාධකයක්ද තිබියදී බලපත්‍ර නොමැතිව මෙසේ පස් ප්‍රවාහනය කිරීම ගැටලු සහගත තත්වයක් බවද වැටලීම් නිලධාරීහු කියති.

තවද මෙම ටිපර් රථ රියදුරන් තම රථවල මාර්ග සංවර්ධන අධිකාරියේ නාමපුවරු යොදාගෙන පස් ප්‍රවාහනය කරන ආකාරය ද දක්නට ලැබිණ.