(රොමේෂ් මධුෂංඛ)
ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවේ කවුරුන් සැමරුවද සිය ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට නිදහස් දිනය සැමරීමට නොහැකි බව පවසමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීහු අද (03) කිලිනොච්චියේ විරෝධාතවක නිරත වූහ.
කිලිනොච්චිය කන්දසාමී කොවිල් ඉදිරිපිටදී පැවත්වුණු මෙම විරෝධතාවය වෙනුවෙන් වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් හා යාපනයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු රැසක් සහභාගී වී සිටියහ.
එහිදී විරෝධතාවයේ නිරත වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටියේ, යුද්ධය අවසන් වී වසර 11 කට අධික කාලයක් ගත වී ඇති අවස්ථාවේදී තමන්ට එතෙක් කාලයක් අතුරුදහන් වූ සිය දරු මුණුබුරන් පිළිබඳව කිසිදු තොරතුරක් හෝ විසඳුමක් ලබා දීමට පැවති රජයන් හා වත්මන් රජයට නොහැකි වූ බැවින්, රජය ජාතික නිදහස් දිනය සැමරුවද තමන්ට නිදහසක් නොමැති බවටය.
එමෙන්ම ජාතික නිදහස් දිනය ප්‍රතික්ෂේප කරමින්, නැගෙනහිරින් ආරම්භ වී උතුරට පැමිණෙන රථ පෙළපාළිය වෙනුවෙන්ද තමන්ගේ උපරිම සහය ලබා දෙන බවටද විරෝධතාවයේ නිරත වූවෝ වැඩි දුරටත් පැවසූහ.