රාජකාරියේදී දිවි අහිමි වන ලංවිම සේවකයන්ගේ දරුවන්ට සුදුසුකම් මත රැකියාවක්


 
(ඩයනා උදයංගනී)
          
රාජකාරියේ යෙදී සිටියදී ජීවිත අහිමි වන ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ගේ දරුවකුට සුදුසුකම් මත එහි රැකියාවක් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පැවසීය.

එමෙන්ම 10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීමේ ප‍්‍රතිශතය 12.5% දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළේය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන්, එහි වසර 30 කට අධික කාලයක සේවය කළ සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් පියපුතු පදනම මත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පිළියන්දල පුහුණු කිරීම් ආයතනයේදී අද (18) දින මෙම පත්වීම් ලිපි ලබාදීම සිදුකෙරුණු අතර මෙහිදී සේවක දරුදැරියන් 123ක් වෙනුවෙන් අමාත්‍යවරයා අතින්  පත්විම් ලිපි ප‍්‍රදානය කෙරිණි. 

ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිසක් කාර්යාල තුළ සේවය කළත්, තවත් පිරිසක් දැඩි වගකීමක් සහිත අවදානම් කාර්යයන්වල නිරතවෙන බව කී ඇමැතිවරයා එසේ අවදානම් රාජකාරිවල නිරතව සිටියදී සේවකයන් ජීවිතක්ෂයට පත්වූ අවස්ථා බොහෝමයක් තිබෙන බව ද සඳහන් කළේය. 

එසේ රාජකාරිය අතරතුර ජීවිත අහිමිවන සේවක පවුල්වල දරුවකුට සුදුසුකම් මත ලංවිම රැකියා අවස්ථාවක් ලබාදීම එම මොහොතේ සිට ක‍්‍රියාත්මක කරන බව ද ඇමති රවී කරුණානායක මහතා කීවේය.

පසුගිය 2015 වසරේ ජනවාරි මස සිට ලංවිම සේවයේ යෙදී සිටියදී අභාග්‍යසම්පන්න මරණ වලට ලක්වූ අය සිටීනම්, ඒ පිළිබදව සොයා බලා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙක් වෙනුවෙන් රැකියා අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා ලංවිම පාලනාධිකාරියෙන් ඉල්ලීමක් ද කළේය.