පාසල් ප්‍රවාහන සේවා නියාමනයට


(බිඟුන් මේනක ගමගේ සහ නිමල කොඩිතුවක්කු) 

පාසල් වෑන් රථ නියමනයට වැඩපිළිවෙළක් සකස් කරන්නේ යැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

පාසල් වෑන් රථ ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයට දැනට කිසිදු නියාමන බලයක් නොමැති බව ඇමැතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිසමක් බවට පරිවර්තනය කරන්නේ යැයි කී හෙතෙම ඊට අදාළ පනත් කෙටුම්පත සකස් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි ද කීවේය.  

දැනට පෞද්ගලික පාසල් වෑන් රථ හා බස් රථ 45 000 ක් පමණ ප්‍රවාහන කටයුතුවල නිරත වී සිටින්නේ යැයි අමාත්‍ය අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ප්‍රවාහන සේවා පසුගිය අප්‍රේල් 21 වැනිදායින් පසුව මුළුමනින් ක්‍රියාත්මක නොවුණ ද අප්‍රේල් හා මැයි යන මාස දෙකේම සම්පූර්ණ මාසික ගාස්තුව අයකිරීමට එම සේවා සංගම් තීරණය කර ඇතැයි ගුරු සංගම් හා මවුපියවරු පසුගියදා චෝදනා කළහ. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ  ප්‍රවාහන හා අධ්‍යාපන අමාත්‍යංශවල වගකීම් විරහිතභාවය නිසා පාසල් ප්‍රවාහන සේවය මාෆියාවක් බවට පත්ව ඇති බවය.