‘‘බුද්ධි අංශ වාර්තා දැකලා රනිල් බය වුණා‘‘


(තිලකරත්න දිසානායක)

සැබෑ දේශප්‍රේමියකු ලෙස දේශප්‍රේමී හැගීමෙන් යුතුව සියලු ජාතීන්ට ආදරය කරමින් යුද බිමෙහි කැප කළ පිරිසක් එම මානව හිතවාදී උතුම් ගුණාංගය යළි වැඩි දියුණු කරමින් අප රට නිදහස් නිවහල් යුක්තිගරුක රටක් බවට පත් කිරීම පිනිස අධිෂ්ඨානයෙන් යුතුව රට ගොඩනැගීමට එක්ව සිටින බව ජාතික ජනබලවේගය ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ගම්පහදී පැවසීය.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගම්පහ දිස්ත්‍රික් හමුව ගම්පහ , මිරිස්වත්ත උත්සව ශාලාවක පැවති අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ජනබලවේගයට සහාය පළ කිරීම පිනිස " අදිටන " යන්න තේමා කරගනිමින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සාමාජිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

මෙහිදී විජිත හේරත් මහතා තව දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

"විවිධ මත නිසා විවිධ දේශපාලන පක්ෂවලට බෙදී සිටි අපි එකට එක්ව රට ගොඩගෙන අනාගත දරු පරපුරට හොඳින් ජීවත්විය හැකි රටක් ගොඩ නැගීම පිනිස එක්ව සිටිනව. මේ වෙනුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ස්වාධීනව කටයුතු කිරීම පහසුයි. එම ස්වාධීනත්වය කිසිවකුටත් උදුරා ගැනීමට දිය නොහැකියි. දැනට ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සිට පහළ නිලය දක්වා වන අය කොහේ රාජකාරියෙහි නිරතව සිටියද හදවතින් මාලිමාවේ රට ගොඩ නගන ජාතික ජනබලවේගය සමග සිටිනවා. පවතින ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ගේ හිත්වල තිබෙනව.විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සියලු දිස්ත්‍රික්වල සාර්ථකව ක්‍රියාත්මක වෙනව.

අපිට අද මෙතනට එන්න ආසන්නතම සිද්ධිය ලෙස පත් වුණා , ඉදිරි පළාත් පාලන මැතිවරණය. ඔබ දන්නවා මේ මැතිවරණය පාලකයන් කැමැත්තෙන් තියන්න යන මැතිවරණයක් නොවෙයි. මැතිවරණ කොමිෂමෙන් දින නියම කළාට පස්සෙ කරන්න දෙයක් නැති කමට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච මැතිවරණයක් තමයි පාලකයන් අද මේ මුහුණ දීල තියෙන්නෙ. මේ මැතිවරණය ගමේ පුංචි මැතිවරණයක් නෙවෙයි. මේක තමයි රනිල් වික්‍රමසිංහට තව දුරටත් ඔය පුටුවෙ ඉන්න සිද්ධ වෙනවද නැද්ද කියන ඡන්දය. රාජපක්ෂලට ඔය පුටුවල තව දුරටත් රැදෙන්න හැකිද නැද්ද යන්න තීන්දු කරන ඡන්දෙ. ඒ නිසා ඒ අයට මාරාන්තික ඡන්දයක්. මාරාන්තික නිසාම ආරම්භයේ සිටම මේ ඡන්දය වළක්වන්න විවිධ බාල්දි පෙරලන්න ගත්ත. එකම බාල්දියක්වත් හරියට පෙරලගන්න බැරිවුණා. පෙරලපු හැම බාල්දියක්ම අනෙක් පැත්තට පෙරලුනා. 

රනිල් වික්‍රමසිංහ රටේම බුද්ධි අංශ වාර්තා කැඳෙව්ව. බුද්ධි අංශ වාර්තා පහක් කැදවා තිබුණ. ඒ සියල්ලෙම පැහැදිලිවම සදහන් කරල තිබුනෙ ලංකාවෙ හතර දිග් භාගයකම වාර්තාවලින් කියා තිබුණේ මෙදා සැරේ ජනතාව වැඩිපුරම එකතු වෙලා ඉන්නෙ මාලිමාව සමග බවයි. ඒ බුද්ධි අංශ වාර්තාව දැක්කම තමයි රනිල්ට හීන් දාඩිය දැම්මේ ,

වෙව්ලන්න පටන් ගත්තෙ. ඊට පස්සෙ තමයි රනිල් සල්ලි නොදී ඉන්න තීන්දුව ගත්තෙ. ලේකම්ට කිව්ව සල්ලි දෙන්න එපා , මුද්‍රණාලයාධිපති කැදවල කිව්ව සල්ලි දුන්නෙ නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න එපා කියල. අවසාන බාල්දියත් පෙරළලා , ඒකට උසාවි ගියා. ඊට උසාවිය පැහැදිලි තීන්දුවක් දුන්න. දැන් ඇත්තේ මැතිවරණ කොමිෂම මගින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ යුතුයි. ලබන සතියේ තීන්දුව ගන්නා බව කියා තිබෙනව. ජනතා පරමාධිපත්‍යයට අනුව මැතිවරණ කොමිෂම කටයුතු කළ යුතුයි. කොමිෂමේ වගකීම දැන් ඉටුකළ යුතුයි. අපි කියනව දැන් ඡන්දය පවත්වන්න.

මේ රට පත්ව ඇති තත්ත්වය වෙනස් කළ යුතුයි. රට ගොඩනැගීමට හොරකම , නාස්තිය හා දුෂණය නතර කළ යුතුයි. රටේ ඉහළම පුටුවෙ සිට පහළම කණිෂ්ඨ සේවකයා දක්වා, දේශපාලන අධිකාරීන්වල පවතින හොරකම දූෂණය නතර කළ යුතුයි. මෙය සිදු කරමින් අපි නිෂ්පාදන ආර්ථිකයට යායුතුයි.

අද වනවිට ඉදිකට්ට , අල්පෙනෙත්තේ සිට සෑම දෙයක්ම පාහේ ගේන්නේ චීනයෙන්. අපේ රටට වසරකට ඩොලර් මිලියන විසිදාහක භාණ්ඩ ආනයනය කරනව. මින් ඩොලර් මිලියන හාර දහස් හත්සීයක බඩු ගේන්නෙ චීනයෙන්. චීනා අපිට බෝනික්කා, ඉදිකට්ට ,අල්පෙනෙත්ත විකුණලා අපේ ඩොලර් ටික එහාට අරගෙන ගිනි පොලියට අපිට ණය දීල අපිට හදල දෙනව නෙළුම් කුළුණ. පුලුවන්නම් එල්ලිල මැරියන්. නැත්නම් තව්තිසා දිව්‍ය ලෝකෙ බලපන් කියල. අපි ගිහිල්ල තව්තිසා දිව්‍ය ලෝකෙ බලනව. ඒකට ටිකට් එක රුපියල් පන්සීයයි. කාගෙද වැරැද්ද ? චීනගෙද ? නැහැ. අපේ පාලකයින්ගෙ වැරැද්ද. අපේ නිෂ්පාදනය අපි වට්ටලා චීන දිහා කට ඇරන් බලන් ඉන්නව , රටක් විදියට රුපියලුත් නැහැ. ඩොලරැත් නැහැ. අනෙක් පැත්තට උයන්න ගන්න අල ගෙඩිය පවා පිට රටින් ගේනව. සීනි , පිටි ,හාල් ටිකත් රටින්.හෙට අනිද්දා බිත්තරෙත් ඉන්දියාවෙන්. බිත්තර ගෙඩියක්වත් මේ රටේ හදා ගන්න බැරි මේ පාලකයෝ අපෙන් අහනව රට හදන විදිය.

මෙහිදී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, විශ්‍රාමික රියර් අද්මිරාල් ෆෙඩ් සෙනෙවිරත්න, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත , විශ්‍රාමික කර්නල් සමීර ප්‍රියන්කර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට ජාතික ජනබල වේගය ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිතන් කමාන්ඩර් ප්‍රගීත් මධුරංග මහතා ඇතුලු විවිධ නිලයන් දැරූ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.