
මේ වන විට අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය විසින් “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා” යනුවෙන් ඉලෙක්ට්‍රොනික ලේඛනයක් රටට ඉදිරිපත් කොට ඇත. එය සකස් කර ඇත්තේ යම් වැඩමුළුවක දී කරුණු පැහැදිලි කිරීම සඳහා යොදාගන්නා “පවර් පොයින්ට්” ඉදිරිපත් කිරීමක් ලෙසය. පිටු 32කින් සමන්විත එම යෝජනාවලියේ තේමාව ලෙස සඳහන් වන්නේ “අධ්‍යාපන පරිවර්තන තුළින් ශ්‍රී ලංකාවේ පරිවර්තනය” යන ඉතා බරපතළ අවසන් අරමුණක් ය. එවැනි බරපතළ අරමුණකට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විශේෂයෙන්ම විෂය මාලා සහ පාසල් අභ්‍යන්තර ඇගයීම් ක්‍රම වෙනස් කිරීම සඳහා ඇය විසින් ඉදිරිපත් කරන්නේ යෝජනාවකි.
ඒ අනුව එය අවසන් ලියවිල්ලක් නොවිය යුතු අතර යෝජනාවේ අඩංගු කරුණු පිළිබඳව අධ්‍යපන විශේෂඥයන්ගේ, ගුරුවරුන්ගේ සහ දෙමව්පියන් වන පොදු මහජනතාවගේ අදහස් ලබාගත යුතු වේ. එනම්, ඒ සඳහා පාර්ශ්වවලින් අනුමැතියක් ලැබිය යුතුය. නමුත් ඇය සඳහන් කරන්නේ කුමන බාධක හෝ විරෝධතා එල්ල වුවත් තමාගේ යෝජනා ක්‍රියාත්මක කරන බවය. ඒ අනුව පෙනී යන්නේ ඇය තමා විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය තමා විසින්ම අනුමත කර කිසිවකුගේ අදහස් හෝ ප්‍රතියෝජනා පිළිබඳව තැකීමක් නොමැතිව, එනම් හිතුවක්කාර ලෙස ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවය. එපමණක් නොව අදාළ යෝජනාවලිය ඉතා කඩිනමින් එනම් 2026 ජනවාරි මාසයේ දී 6 වන ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට නියමිත ය.
නමුත් රටේ නීතියට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මූලික ප්‍රතිපත්තිමය පදනම එනම් ජාතික අරමුණක් ඉටුකර ගැනීම සඳහා යොදා ගන්නා උපාය මාර්ගික ප්‍රවේශය අනුව යෝජනා කරනු ලබන ප්‍රතිපත්තිමය වෙනස්කම් රටට ඉදිරිපත් කළ යුත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසිනි. ඊට අදාළ නීතිය සම්මත කරනු ලබන්නේ 1998 දී වන අතර එම පනතේ මෙසේ සඳහන් වේ. “ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ හැකි අතර එම ප්‍රතිපත්තිය අධ්‍යාපනයට අදාළ සියලුම අධිකාරීන් සහ ආයතන විසින් අනුමත කළ යුතු වේ”.
මීට පෙර ජනාධිපතිවරයාගේ එම බලතල අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මුල් වී විද්වත් මණ්ඩලයක් විසින් සකස් කළ “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිමය රාමුව 2023-2033” රටට ඉදිරිපත් කරනු ලැබීය. එම විස්තීරණ ප්‍රතිපත්තිමය රාමුව පනතේ ප්‍රතිපාදන අනුව සකස් වූ අතර ඊට අදාළව පාර්ලිමේන්තුව තුළ සහ විද්වතුන් අතර පමණක් නොව මහජනයා අතර ද සංවාදයට කට ඉඩ සැලසිණ. එම ප්‍රතිපත්තිය මගින් ඊට පෙර අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් ඉටු කර ගැනීමට උත්සාහ කළ යටි අරමුණු ඉටුකරගැනීම සඳහා උත්සාහ දරා තිබීම වෙනම කරුණකි. එසේම එම විද්වත් මණ්ඩලයට අධ්‍යාපන වෙළඳ පොළක් නිර්මාණය කිරීමට දායක වන ව්‍යාපාරිකයන් ඇතුළුවීම පිළිබඳව ද විවේචන එල්ල විය. නමුත් ඉන් පසුව එම ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන පද්ධතිය තුළ ව්‍යුහාත්මක හෝ විෂය මාලාවලට අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත්වීමක් සිදු නොවීය.
ඒ අනුව දැන් හරිනි අමරසූරියට ඉතා තර්කානුකූල සහ සාධාරණ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට සිදුවනු ඇත. පළමු වැන්න, ඇය විසින් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ යෝජනා පදනම් වන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය රාමුවට අනුව ද එසේ නැද්ද යන්නයි. ඇය ලබා දෙන පිළිතුර “ඊට අනුව යන්න” නම් ඇය ඉතා බරපතළ ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් කළ ජන වරමට නිග්‍රහ කරනු ලබන අතර එම ජනවරම පාවා දී හිතුවක්කාර ලෙස තීන්දු ගන්නා විධායකයේ සාමාජිකාවක් බවට පත්වේ. ඇය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිමය රාමුව පිළිගන්නේ නැතිනම් අතුරු ප්‍රශ්න හෙවත් ස්ථාවර දෙකක් පිළිගැනීමට සිදුවේ. පළමුවැන්න ඇය නීතිය උල්ලංඝනය කරමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිව විෂය මාලා සංවර්ධන යෝජනා ඉදිරිපත් කර ඊට අදාළව කිසිදු සංවාදයකට ඉඩ නොතබා ඒවා හිතුවක්කාර ලෙස ක්‍රියාත්මක කරන බව පිළිගැනීමය. එසේ නොමැති නම් තමා ජනාධිපතිවරයාගේ බලතල උදුරා ගනිමින් සහ අමාත්‍ය මණ්ඩලය පවා නොමඟ යවමින් විෂය මාලාව වෙනස් කිරීමේ යෝජනා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ලෙස හුවා දක්වා කූට ලෙස සහ හිතුවක්කාර ලෙස ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පිළිගැනීමට සිදුවේ.
කෙසේ වෙතත් මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ අමාත්‍යවරිය විසින් ආපදා තත්ත්වය තුළ ලැබුණු අවස්ථාව යොදා ගනිමින් ඉතා හදිසියෙන් ගුරුවරුන් සහ දරුවන් මත පටවනු ලබන කිසිදු සංවාදයකට ලක් නොවූ ඊනියා විෂය මාලා සංවර්ධන යෝජනාවල භයානකකම සහ යටි අරමුණු පෙන්වාදීම ය. නමුත් ඊට අමතරව ඒ සමඟ බැඳුණු සෙසු ක්‍රියාවලිය එළිදරව් කිරීම මගින් ක්‍රියාවලියේ වරද පෙන්වා දීමට සිදුවන්නේ මහජනයා විසින් සමස්ත මහා පින්තූරය තේරුම් ගැනීම අවශ්‍ය වන නිසාය. ඇය විසින් ඉදිරිපත් කරන “පවර් පොයින්ට්” වැඩසටහන තුළ දැක්වෙන මාර්ග සිතියම අනුව ගරු පුහුණුව සහ සෙසු සම්පත් යෙදවීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය කිසිදු ප්‍රතිපෝෂණයක් සලකා බැලීමකින් තොරව ඉදිරියට ගමන් කරනු ඇත. ලේඛනයේ දැක්වෙන ඉතා සුන්දර අරමුණු සියල්ල මහජනයා රවටන හුදු සංකල්ප පමණක් බව පැහැදිලි වන්නේ විෂය මාලා සංවර්ධන ක්‍රියාවලියේ සැබෑ ප්‍රතිඵලය කුමක් විය හැකිදැයි තක්සේරු කිරීමේදී ය.
මෙම විෂය මාලා ප්‍රතිසංස්කරණ ලේඛනයේ දැක්වෙන සුන්දර වචනවල සැඟවුණු ප්‍රධානතම අරමුණ පෙළපොත් සහ වාර විභාග ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ඒ වෙනුවට ඊනියා මොඩියුල ක්‍රමයක් හඳුන්වා දීමය. ඒ අනුව පෙළපොත් මගින් සිසුන් අතට පත්කෙරන සහ වසරක් පුරා ඔවුන් ඇසුරු කරන සංයුක්ත දැනුම වෙනුවට ඉතා සරල සහ පටු විෂය කරුණු හෙවත් “කෙටි සටහන්” ප්‍රමාණයක් මොඩියුල ලෙස වසර පුරා වරින් වර සිසුන් අතර ලැබෙනු ඇත. එසේම ඊට අමතරව එම ඊනියා මොඩියුලවල අඩංගු ක්‍රියාකාරකම් ප්‍රමාණයක් පන්ති කාමරයේ දී හඳුන්වා දී ඊට අනුව ගුරුවරයාගේ පුද්ගලික තක්සේරුව මගින් ලකුණු ලබා දෙනු ඇත. ඒ අනුව වසර අවසානයේ දී යම් විෂයකට අදාළව ළමයාගේ දැනුම මට්ටම සහ කුසලතාව මනිනු ලබන්නේ මොඩියුල සඳහා ලබාදෙන සියයට70 මුළු ලකුණු ප්‍රමාණයෙන් ළමයා ලබා ගන්නා ලකුණු සහ ඉතිරි සියයට30 න් ළමයා පිළිබඳ ගුරුවරයාගේ අධීක්ෂණය අනුව ලබා දෙන ලකුණු ප්‍රමාණයේ එකතුව මගිනි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ යම් විෂයකට අදාළව එක් වසරක් තුළ විෂය නිර්දේශයට අනුව ළමයා ලබාගත යුතු සංයුක්ති දැනුම වෙනුවට ඉතා සරල විෂය කරුණු ප්‍රමාණයක් සහ ඒ සමඟ බැඳුණු යම් ක්‍රියාකාරකම් මගින් යම් සරල කුසලතාවක් දරුවාට ලබාදීමය. උදාහරණයක් ලෙස 6 වැනි පන්තියේ විද්‍යා විෂය සඳහා එවැනි ප්‍රධාන ක්‍රියාකාරකමක් වන්නේ හිස් වතුර බෝතලයක් සහ බෝතල් මූඩි යොදා ගනිමින් සෙල්ලම් කාර් රථයක් හැදීමය.
ඊට අමතරව ඉහත සඳහන් කළ ගුරුවරයාගේ වුවමනාව, ආකල්ප සහ කුසලතාව මත පදනම් වන ඉහත සඳහන් මනෝ මූලික ඇගයීම් ක්‍රමය මගින් වාර විභාග සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙනු ඇත. පාසල් වාර විභාග ක්‍රමය අහෝසි කිරීම සාක්ෂි මත පදනම් නොවූ බරපතළ තීන්දුවකි. ඊට අදාළව කිසිදු නියමු ව්‍යාපෘතියක් මගින් දැනුමක් සහ අත්දැකීමක් ලබාගෙන නැත. මීට පෙර 1997-1998 කාලයේ දී සිදුකළ විෂය මාලා සහ විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී අදාළ ජාතික වැඩසටහන ආරම්භ කිරීමට පෙර නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් නියැදියක් මගින් සිදු කරනු ලැබීය. වාර විභාග මඟින් ශිෂ්‍යයාට වසර අවසානයේ තමාගේ දැනුම සහ කුසලතාවට අදාළව ළඟාවිය යුතු ස්ථානය පිළිබඳව ඉලක්කයක් ලැබෙන අතර ඊට අනුව තමාගේ හැකියාව මැන ගැනීමේ දර්ශකයක් ලැබේ. එය අංගසම්පූර්ණ ඇගයීම් ක්‍රමයක් නොවුව ද මූලධර්මිකව වැදගත් වන අවම අවශ්‍යතාවකි. ඒ මගින් දරුවන් අතර යම් තරගයක් ඇතිවීම දරුවාගේ උනන්දුව සහ අභිප්‍රේරණය වැඩීවීමට හේතු වේ.
වර්තමානයේ දී එම තරඟය නිෂේධනාත්මක වී ඇත්තේ අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා සීමාවීම නිසා සහ එහිම ප්‍රතිඵලයක් වන ඊනියා ජනප්‍රිය පාසල් සංකල්පය මගින් දිරිගන්වන “ශිෂ්‍යත්ව විභාග පිස්සුව” සහ උපකාරක පන්ති මගින් වාණිජ අරමුණු සඳහා නිර්මාණය කරන කෘත්‍රිම තරගය නිසා බව සමාජයට රහසක් නොවේ. එසේ නම් ඇමතිවරිය විසින් සිදු කරන්නේ මුහුණ සමග තරහ වීම නිසා නහය කපාදැමීම බව ගැමි වහර අනුව තේරුම් ගත හැක. ඇයට අනුව දක්ෂ දරුවන්ගේ පින්තූර පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම මගින් සෙසු දරුවන්ගේ සිත් රිදෙන බැවින් තරඟය නතර කළ යුතුය. ඒ අනුව අනාගතයේ දී ක්‍රීඩා තරග, කථික තරග, විවාද තරඟ ආදී සිසුන් අතර තරගය දිරිගන්වන සියලු ක්‍රියාකාරකම් පාසල් පද්ධතියෙන් ඉවත් කළ යුතුය.
ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට පෙළ පොත් සහ වාර විභාග අහෝසි කිරීම යනු මෙම ඊනියා හරිනි අමරසූරිය ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව ඉතා පැහැදිලිය. අවසානයේ දී පන්ති කාමරය තුළ සරල දැනුම් පරාසයක් සහ ක්‍රියාකාරකම් පරාසයක් තුළ අවසන් ඉලක්කයක් නොමැතිව කටයුතු කරන දරුවකු නිර්මාණය කිරීම සිදුවන බව ද ඉතා පැහැදිළිය.
එම ක්‍රියාවලිය තුළ දරුවාට වාර විභාග මගින් තමා පිළිබඳව නිසි ඇගයීමක් ලබා ගැනීමට ලැබෙන අවස්ථාව අහිමිවීම නිසා සංසන්දනාත්මකව ස්වයං අභිප්‍රේරණයක් ඇති කර ගැනීම සඳහා ප්‍රත්‍යාවලෝකනය කිරීම සඳහා ලැබෙන අවස්ථාව ද අහිමි වේ. ඊට අමතරව මෙම ක්‍රියාවලිය මගින් දරුවන්ට පන්ති කාමරය තුළ අන්තර්ජාලය හරහා ඊනියා අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීම නාමයෙන් සමාජ ජාලා අවභාවිත කිරීමට ද ඉඩ සැලසෙන බවට සැකයක් නැත. යෝජිත මොඩියුල මගින් සහ ක්‍රියාකාරකම් මගින් ලබාදෙන දැනුම සහ කුසලතා ඉතා සරල මට්ටමක පැවතීම නිසා ඒ මඟින් පවතින පෙළපොත සහ විභාග ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිඵලය ලබාගත නොහැකි බව මෙම ක්‍රියාවලියට අදාළව ගුරු පුහුණුව ලබන ගුරුවරු පවසති.
ගුරු පුහුණුවට සහභාගී වන අප දන්නා ගුරුවරුන් සඳහන් කරන්නේ මෙම ක්‍රියාවලිය පිළිබඳව පුහුණුකරුවන්ට නිසි අවබෝධයක් නොමැති බවය. ඔවුන් විසින් දැනට ඔවුන්ට ලබා දී ඇති ලේඛනවල සඳහන් කරුණු ගුරුවරයාට වාචිකව ප්‍රකාශ කළ කළ ද ඒවා අවසානාත්මක නොමැති බවද සඳහන් කරයි. සමස්ත මහා පින්තූරය සහ අවසානයේ දී අපේක්ෂිත අරමුණු පිළිබඳව පුහුණුකරුවන්ට නිසි පුහුණුවක් ලැබී නැති බව පුහුණුකරුවෝ පවසති. එම ක්‍රියාවලිය, එනම් පුහුණුකරුවන් පුහුණු කිරීමේ සිට ගුරු පුහුණුව දක්වා ක්‍රියාවලිය තුළ කිසිවක් ප්‍රශ්න නොකිරීමට ඉතා සියුම් ලෙස මානසික බාධක පැනවීමක් සිදුවන බව පුහුණුකරුවෝ මෙන්ම ගුරුවරු ද පවසති. කෙසේ වෙතත් එසේ නොවන බවට යම් පුහුණුකරුවන් සහ ගුරුවරුන් අදහස් දැක්විය හැක. එහිදී වැදගත් වන්නේ මෙම හදිසිය කුමක් නිසාද? යන්න තේරුම් ගැනීම ය.
එම තේරුම්ගැනීමේ දී මෙම ක්‍රියාවලිය එක්තරා ආකාරයකට ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් බවට ද තර්ක කළ හැක. එනම් ආපදාවක් යොදා ගනිමින් විවිධ බාහිර පාර්ශ්ව විසින් ඔවුන්ගේ න්‍යාය පත්‍ර අප වැනි රටවල සමාජය සහ රාජ්‍යය මත පැටවීමය. එහිදී එම න්‍යාය පත්‍රය සකස් කිරීම ආපදාව මත පදනම් නොවන අතර සිදුවන්නේ ආපදාව යොදා ගනිමින් දැනටමත් සකස් කර ඇති න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප හෝ ප්‍රශ්න කළ නොහැකි ආකාරයට පැටවීමය. දැන් පවතින ආපදා තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අනාගතය එනම් රටේ සමස්ත අනාගත ස්වරූපයට බරපතළ බලපෑමක් ඇති කරන මෙවැනි බරපතළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අධ්‍යාපන පද්ධතිය මත, විශේෂයෙන්ම ගුරුවරුන් මත පැටවීමට හැකි වී ඇත. මෙම ක්‍රියාවලියෙහි පවතින හදිසිය මගින්ද යටි අරමුණක් තිබෙන බවට සැක පහළ කිරීම සාධාරණීකරණය වේ.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ සමස්ත යටි අරමුණු ඉතා බරපතළ බව ඊනියා විෂය මාලා සහ විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණය සමඟ බැඳුණු සෙසු ක්‍රියාවලිය මගින් තේරුම් ගත හැක. ඉතිහාසය විෂය අනිවාර්ය නොකිරීම සහ ඓතිහාසික බෞද්ධ සභ්‍යත්වය පිළිබඳ ආදරය සහ ගෞරවය වර්ධනය කිරීම වැළැක්වීම මුල්කරගෙන බෞද්ධ ආගම සංයුක්තව ඉගැන්වීම වැළැක්වීම සඳහා පොදුවේ ආගම නමින් “සුප්” එකක් දරුවන්ට පෙවීම එම ක්‍රියාවලියේ මූලික අංගයක් බවට චෝදනා කළ හැක. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් පෙළපොත් නැති සහ විභාග නැති, පාසල තුළ දරුවන් නිදැල්ලේ හැසිරීම දිරිමත් කිරීම සඳහා හෙවත් දරුවන් හික්මීම වැළැක්වීම සඳහා ගුරුවරුන්ට ඉතා ප්‍රබල මානසික බාධක පැනවීම ද සමස්ත ක්‍රියාවලියේ කොටසක් බව ඉතා පැහැදිලිය. එසේම ජාත්‍යන්තර උපදේශන ආයතනවල අරමුදල් මගින් සිදු කෙරෙන ඉදිරිගැන්වීම් අනුව ලිංගික අධ්‍යාපනය නාමයෙන් දරුවන් විවිධ ලිංගික අස්වාභාවික චර්යා අත්හදා බැලීම සඳහා පොලඹවන එනම් ජීව විද්‍යාත්මක දැනුම සහ හැඟීම් පාලනයට අදාළ ශික්ෂණය ඉක්මවා යන ඊනියා කුණුහරුප පාඩම් දරුවන්ට ඉගැන්වීමේ ව්‍යාපෘතිය ද සමස්තයේ කොටසක් බවට විවාදයක් නැත.
එම සමස්ත ක්‍රියාවලියේ අවසන් නිෂ්පාදනය වන්නේ දැනුම සහ කුසලතා වර්ධනයට පෙලඹවීමක් නොමැති සහ හික්මීමක් නොමැති නිදැල්ලේ හැසිරෙන දරු පරපුරක් බිහිකිරීම බව මෙම ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීමට ඉඩ දී බලා සිටිය හොත් සමාජය විසින් ඉතා කෙටි කලක දී තේරුම් ගනු ඇත. එම තත්ත්වය ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ හෙළිදරව් වූ ලියැකිවිලිවල සඳහන් සමාජයක් බිඳ වැට්ටවීම මගින් රාජ්‍යයක් බිඳ වැට්ටවීම සඳහා යොදා ගන්නා චතුර්විධ උපාය මාර්ගයට අදාළ පූර්ව කොන්දේසියක් බවට ද අනාගතයේදී න්‍යායාත්මකව ඔප්පු වනු ඇත. ඒවා සමාජයක් දෘෂ්ටිමය වශයෙන් බිඳ වැට්ටුවීම, සංස්කෘතික වශයෙන් බිඳ වැට්ටවීම සමාජ සංස්ථා බිඳවැටීම සහ සමාජය ප්‍රචණ්ඩකරණය කිරීම ලෙස හඳුනාගෙන ඇත. මෙම ආකාර සියල්ල දැනටමත් රට තුළ ක්‍රියාත්මක වන බව දේශපාලන මනෝ විද්‍යාව පිළිබඳව ‘අ’යන්න පමණක් දන්නා අයෙකුට වුවද ඉතා හොඳින් තේරුම් ගත හැක. එහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ අප රට වැනි සභ්‍යත්වයක් මත පදනම් වූ රාජ්‍යයන්හි ඓතිහාසික අධ්‍යාපන පද්ධතිය ද සමාජ සංස්ථාවක් ලෙස සැලකීමය. එනම් අප රටට අදාළව ගත් විට සංඝ සමාජය, පවුල සහ අධ්‍යාපන පද්ධතිය යන ත්‍රිත්වය ප්‍රබල සමාජ සංස්ථා බවට පත්වේ. අප රටේ පිරිවෙන් අධ්‍යාපනයෙන් උපත ලැබූ ඓතිහාසික අධ්‍යාපන පද්ධතියෙහි විවිධ ප්‍රතිසංස්කරණ සඳහා විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් ද දීර්ඝ කාලයක සිට මුදල් ප්‍රතිපාදන ලබා දෙමින් දිරිගැන්වීම් ලබාදීමේ රහස ද ඒ මගින් එළිදරව් වේ.
කෙසේ වෙතත් මීට පෙර ඉතිහාසයේ ඉතා දැඩි ඒකාධිපති පාලකයකු ලෙස සැලකූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පවා තම බෑනා වූ අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ අධ්‍යාපන වෙෙළඳ පොළක් බිහි කිරීම මුල්කරගත් එම ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ධවල පත්‍රිකාවක් ලෙස රටට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව එදා ජ.වි.පෙ. විසින් දියත් කළ දැඩි විරෝධය මැද එය අකුළාගැනීමට සිදුවිය. ඉන්පසු 1997 දී චන්ද්‍රිකා මැතිනිය ද එදා තාරා ද මැල් ප්‍රතිපත්ති ලෙස හැඳින්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා රටට ඉදිරිපත් කර විරෝධතා සැලකිල්ලට ගෙන ඒවා සංශෝධනය කිරීමට නිහතමානී විය. පසුව 2023 දී ද රනිල් වික්‍රමසිංහ මහතා නැවත ධවල් පත්‍රිකාවේ උපාය මාර්ගික ප්‍රවේශය වෙනත් ආකාරයකට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක ලෙස රටට ඉදිරිපත් කළේය. ඒ අනුව හරිනි අමරසූරිය මැතිනියගේ හිතුවක්කාර ක්‍රියා මගින් ජනතා විමුක්ති පෙරමුණේ අතීත භූමිකාව අභියෝගයට ලක්වන බව ඉතා පැහැදිලිය.
එසේ වුවත් හරිනි අමරසූරිය මෙණෙවියගේ තම යටි අරමුණ සඟවමින් සිදුකරන මෙහෙයුම සාධාරණීකරණය කරනු ලබන්නේ දරුවන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම මුවාවෙනි. නමුත් තරඟය නිසා සිසුන් මුහුණ දෙන නිෂේධනාත්මක මානසික බලපෑම අවම කිරීම සඳහා පමණක් නොව රටේ සමස්ත සමාජ සංස්කෘතික හා ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට අදාළව ද අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීය අවස්ථා වර්ධනය කිරීම සඳහා කළ හැකි සහ කළ යුතු බොහෝ දේ ඇත. ඒ අනුව වෘත්තීය අධ්‍යාපන කුසලතා සහ අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම සඳහා එතුමිය ඉගෙනගත යුත්තේ ප්‍රංශ රාජ්‍යයෙන් මිස මාළු කර්මාන්තයේ ප්‍රවීණයන් බහුල පින්ලන්තයෙන් නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

