හරිනම් ජනාධිපතිතුමා අරගලකරුවන් මතක්කරලා පහනක් පත්තු කරන්න ඕනෑ


සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ

ලක්ෂ්මන් කිරිඇල්ල 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැති ලෙස පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළේය. මෙම අයවැය පරාජය කර ආණ්ඩුව පෙරළීමේ විපක්ෂයේ මෙහෙයුමක් තියෙනවද? මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසමින් කළ සාකච්ඡාවකි.

?ඡන්දත් නෑ. අරගලත් බෑ කියලා ජනාධිපති රනිල් කිව්වා. ඔබ මොකද හිතන්නේ?   


පිළිතුර- බොහොම කනගාටුදායක ප්‍රකාශයක්. එතුමා අරගලයෙන්නේ රටේ නායකත්වයට පත්වුණේ. අරගලය නොතිබුණා නම් එතුමාට ඔය තනතුර හම්බ වෙන්නේ නෑ. හැමදාම අරගලකරුවන් සිහිපත් කරලා එතුමා හරිනම් පහනක් පත්තු කරන්න ඕනෑ.   


?හැමදාම වීදි සටන් උද්ඝෝෂණ කරලා රට හදන්න පුළුවන්ද? ජනාධිපතිවරයට අවස්ථාවක් දිය යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද?   


පිළිතුර- රටේ ප්‍රශ්න විසඳුවේ නැති නිසානේ මිනිස්සු පාරට බැස්සේ. ඒකට සාමකාමී අරගලයක්නේ මතු වුණේ. ඒක වෙනස් වුණේ අරලියගහ මන්දිරයෙන් මැරයන් ගිහින් ගැහුවට පස්සෙනේ. ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් තවම පරීක්ෂණයක් නෑ. අපි ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. නමුත් ජනතාවගේ ප්‍රශ්න ආණ්ඩුව විසඳන්නේ නැත්නම් කවුරුහරි ඒක විසඳන්න ඕනෑ. ආණ්ඩුව විසඳුවෙත් නෑ ප්‍රශ්න පා වෙන්න ඇරියා. ඒකෙන් ප්‍රශ්න උත්සන්න වුණා. ජනතාව මැදිහත් වුණේ ඊට පස්සෙයි.   


?ඒ ජනතා මැදිහත්වීමේ ප්‍රතිඵලය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවීමයි.   


පිළිතුර- ආණ්ඩුව තමයි රනිල් වික්‍රමසිංහව තෝරා ගත්තේ. ඒකෙන් රාජපක්ෂලාට ආරක්ෂාවකුත් එනවනේ.   


?සජිත් ප්‍රේමදාස දැන් මැතිවරණයක් ඉල්ලනවා. රට බාරගන්න කියලා ඔහුටත් ආරාධනා කළා?   


පිළිතුර- ඔව් අපිට ආරාධනා කළා. අපි බාර ගත්තෙ නැත්තේ අපිට බහුතරයක් නෑනේ. එහෙම වුණාම පාර්ලිමේන්තුවේදි පනතක් සම්මත කර ගන්න ගියාම උදේ පාන්දරම කන්නලව් කරන්න ඕනෑ.   


?ජනාධිපති රනිල්ට ඉන්නේ එක මන්ත්‍රීවරයයි.   


පිළිතුර- නමුත් පොහොට්ටුවනේ ඔහුව තෝරා ගත්තේ. පොහාට්ටුව සීයට සීයක් එයා පිටිපස්සේ ඉන්නවා. අපි වගකීම බාර ගත්තත් අපට බහුතරයක් නෑ.   
ඉතිහාසය පැත්තෙනුත් දෙමළ ජාතික සංධානය හැමදාම අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේ. නමුත් මෙවර ඔවුන් රැක ගන්න විපක්ෂ නායක සජිත් අසමත් වෙනවා.   
පිළිතුර- බලය බෙදීමට අපි කැමැතියි. මෙතැන සාකච්ඡා වුණේ අයවැය නොවෙයිනේ. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ හරහා ලබා ගන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ.

   
?බලය බෙදීමට විපක්ෂ නායක සජිත් එකඟයිද?   


පිළිතුර- බලය බෙදීමට සීයට සීයක් එකඟයි. අපි හැමදාමත් එතැන හිටියා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අපි සටන් කළා. එතැනින් එහාට යා යුතුයි කියලයි මම නම් කියන්නේ. මම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාට කිව්වේ ‘ප්‍රශ්න එන්නේ අපේ පැත්තෙන් නොවෙයි ආණ්ඩුව පැත්තෙන්’ කියලා. මම මහින්දගෙන් ඇහුවනේ 13+ වලට කැමැතිද කියලා. බොහොම දියාරු විදියටනේ මහින්ද ඒකට උත්තර දුන්නේ දිනේෂ් ගුණවර්ධන නැගිට්ටෙම නෑ. මහින්දත් ‘බෑ බෑ කිය කිය වගේ නැගිට්ටේ. එයා කියපු දේ ඇහුනෙත් නෑ. මගේ ෆෝන් එකට ආවා ජනාධිපතිතුමාගේ කටහඬ. මට කිව්වා ‘13+ කැමැතිද’ කියලා අහන්න කියලා. එතකොට නැගිටලා උත්තර දෙන්න එපැයි. ඒ නිසා තමයි මහින්ද නැගිට්ටේ.     
?13+ දුන්නොත් පළාත් සභාවලට ඉඩම් බලතල පොලිස් බලතල දෙන්න වෙනවා.   


පිළිතුර- ඒක තමයි මම කිව්වේ ජනාධිපතිතුමාට ප්‍රශ්න එන්නේ අපෙන් නොවෙයි ආණ්ඩුව පැත්තෙන් කියලා.   


?ඔබ කැමැතිද පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දෙනවට?   


පිළිතුර- ඒවා අපි සාකච්ඡා කරන්න ඕනෑ. නිකම්ම ඉඩම් බලතල, පොලිස් බලතල දෙන්න බෑ. ඒවා සාකච්ඡා කරන්න ඕනැ. මධ්‍යම ආණ්ඩුවට යම්කිසි පාලනයක් තියෙන්නෙ ඕනෑ. ඒවා සාකච්ඡා කරලා සියලු දෙනාගෙම එකඟතාවෙන් විසඳගන්න බැරිකමක් නෑ.   


?රටේ ජාතිවාදි යුද්ධ ඇවිළී ගියේ ඔය ප්‍රශ්න නිසා. රට යළිත් තල්ලු කරන්නේ ඒ දිශාවටද?

   
පිළිතුර- නෑ ඉතින් ඇත්ත වශයෙන්ම ඔය දෙමළ කණ්ඩායම් කියන්නේ දිස්ත්‍රික්කයේ ජන අනුපාතය අනුව ඉඩම් බෙදන්න කියලනේ.    


?විපක්ෂය බලාගෙන හිටියා අය-වැය උස්සලා පොළොවෙ ගහන්න. නමුත් ආණ්ඩුව කියන්නේ විපක්ෂයට කට උත්තරත් නෑ කියලයි. 

 
පිළිතුර- කට උත්තර නැතිව නොවෙයි. බදු වැඩි කළානේ අයවැයට කලින්.   


?ගෝඨාභය ඇවිත් බදු අයින් කළාම ඒකට විරුද්ධ වෙච්ච විපක්ෂය දැන් බදු දානකොට ඒකටත් විරුද්ධ වෙනවා. මොකද්ද මේ දෙබිඩි පිළිවෙත?   


පිළිතුර- මම කියන්නේ මෙහෙමනේ. අපේ ආණ්ඩුව කාලේ තිබ්බ බදුවලට කවුරුවත් විරුද්ධ වුණේ නැහැනේ. ඔයා හොඳට කල්පනා කරලා බලන්න 2015 දි යහපාලන ආණ්ඩුව ඇැවිත් වැට් බද්ද ගැහුවාම කවුද ඒකට විරුද්ධ වුණේ. ඒකෙන් බිලියන 800ක් ආණ්ඩුවට ආවා. ලොකු සමාගම්වලින්නේ ඒක ගත්තේ. මෙතැන එහෙම නොවෙයිනේ. රජයේ හා පෞද්ගලික අංශයෙ සේවකයන්ගේ පඩිපතට පවා බදු වැටෙන තත්ත්වයට ඇවිත්නේ.    


?පේන විදියට පළාත් පාලන මැතිවරණය මාර්තුවේදී තියන්නේ නෑ වගේ?   


පිළිතුර- බෑ බෑ. මැතිවරණ ක්‍රම සංශෝධනය කරනවා කියලා ඡන්ද කල්දාන්න බෑ. මම පාර්ලිමේන්තුවෙදිත් කිව්වා මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒක ඉදිරි මැතිවරණවලට. මේ මැතිවරණය කල් දැම්මොත් අපි අධිකරණයට යනවා.   


?ජනාධිපති රනිල් උත්සාහ කරන්නේ මජර මනාප ක්‍රමය සහිත මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නයි.   


පිළිතුර- එයා මේ රටේ තියෙන ප්‍රශ්න වෙන පැත්තකට යොමු කරන්නනේ මේ හදන්නේ. ඕවා කරන්න ඕනෑ නම් යහපාලන ආණ්ඩුව කාලේ කරන්න තිබුණනේ. තුනෙන් දෙකක බලයකුත් තිබුණනේ. අවුරුදු හතරාමාරකින් කරන්න බරිවෙච්ච දේ දැන් මේ මාස දෙක තුනෙන් කරන්න පුළුවන්ද? ආණ්ඩුව ඔය ටිකක් සැහැල්ලුවෙන් වගේ ඉන්නේ දැන් ණය ගෙවීම නතර කරලනේ. ණය ගෙවීම් නතර කරලා නිසා ආණ්ඩුව අතේ සල්ලි ටිකක් තියෙනවා. ලබන අවුරුද්දේ මැයි-ජුනි වෙනකොට ආයෙමත් ණය ගෙවන්න පටන් ගන්න වෙනවා. ඒ වගේම ආණ්ඩුවට 2025 දක්වා අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් මිලියන දොළොස් දාහක් ඕනෑ. මිලියන හය දාහක් ඕනෑ කන්න බොන්න ඉන්ධනවලට. තව ඇමෙරිකානු ඩොලර් මිලියන හය දාහක් ඕනෑ ණය ගෙවන්න. ඉතින් 2025 දක්වා මේක ඕනැ. මේ මුදල හොයා ගන්නේ කොහොමද කියන එක අයවැයේ නැහැනේ. මේක සෙල්ලමක් නොවෙයි. අයි.එම්.එෆ් එකෙන් ණය ගත්තොත් තවත් මේකට එකතු වෙනවා.   


?ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් අගමැතිවෙලා ජනාධිපතිත් වෙච්ච රනිල් වික්‍රමසිංහට මේක ගොඩදාගන්න බැරිවෙයි කියලා ඔබ හිතනවද?   


පිළිතුර- එතුමාට දැනුම තියෙනවා. නමුත් පිරිස් බලය නෑනේ. පාර්ලිමේන්තුවේ වුණත් එතුමාට පිරිස් බලයක් නෑ ඇත්ත වශයෙන්ම.   


?ඔබලාට පුළුවන්නේ අවශ්‍ය සහයෝගය දෙන්න?   


පිළිතුර- ඉස්සෙල්ලාම අපි කියන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න කියලයි. ඒක තමයි අවශ්‍යම දේ. නියමිත කාලවලට මැතිවරණ තියන්න. දැන් පළාත් පාලන මැතිවරණය තියන්න ඕනෑ.    


?රාජිත සේනාරත්න කියනවා ‘ජාතික වගකීමක් වශයෙන් සලකලා අපි උදව් කරන්න ඕනෑ’ කියලා.   


පිළිතුර- ආණ්ඩුවට යන්න ඕනැ නැහැනේ උදව් කරන්න. අපි විපක්ෂයෙ ඉඳගෙන උදව් කළේ නැද්ද? 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී අපට ඕනැනම් පක්ෂව ඡන්දය නොදී ඉන්න තිබුණනේ. විපක්ෂය ඡන්දය දුන්නේ නැත්නම් ඒක සම්මත වෙනවද? ආණ්ඩුවට කොච්චර සහයෝගය දුන්නත් කියන්නේ සහයෝගය දෙන්නේ නෑ කියලා. ඔහොම නම් කතා කරන්නේ අපි අබමල් රොණක තරමින්වත් සහයෝගය දෙන්නේ නෑ ඉදිරියේදී.  


?අයවැය පරාජය කරන්න විපක්ෂයේ සාමුහික ප්‍රයත්නයක් තියෙනවද? 

 
පිළිතුර- නෑ. අපිට ආණ්ඩුව එහෙම පෙරළන්න කිසිම අවශ්‍යතාවක් නෑ. 2019 දි අපි රට බාර දෙන කොට ඇෙමරිකානු ඩොලර් බිලියන 7800ක් එක්ක බාර දුන්නේ. ඒක මේගොල්ලෝ බිංදුවටම හින්දුවනේ. අද ඩොලරුත් නෑ. රුපියලුත් නෑ. අපේ සංචිතවලින් ණය ගෙව්වා. ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනැ ආණ්ඩුව සහ මහ බැංකුවයි. මහ බැංකුව තවම රටට කියලා නෑ ඇයි මේ ණය ගෙවන්න සංචිත පාවිච්චි කළේ කියලා.  


?ගුරුවරියන්ගේ සාරිය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. ඔබ ඉන්නේ මොන පැත්තෙද?  


පිළිතුර- මගේ පෞද්ගලික අදහස නම් ඒ අයට අයිතිය දෙන්න ඕනැ කැමැති විදියට අඳින්න. ඒක හරි වැඩක්නේ. හැම එහෙකටම නීති රීති දාන්න පිස්සුද? බොහෝ දියුණු රටවල මේ වගේ නීති රීති නෑ. තමන්ට කැමැති විදියට ශීලාචාර විදියට අඳිනවා නම් ඒක තමයි වැදගත්.

 

 

සාකච්ඡා කළේ
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්