හරක් කටාගෙන් එළියට එන අපරාධ රාජ්‍යයේ සුලමුල


දරුණු ගණයේ පාතාල සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි පවසන නඳුන් චින්තක නොහොත් හරක් කටා මීට සති කිහිපයකට පෙර පොලිස් රුඳවුම් නියෝගවලින් මිදී රිමාන්ඩ් කෙරිණ. වසර දෙකකුත් මාස දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් තංගල්ල බන්ධනාගාරයේ රුඳවුම් නියෝග මත සිටි හරක් කටාට අද වෙන තෙක් නඩු පවරා ඇත්තේ එක් සිදුවීමකට පමණි. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිය දී පැනයාමට තැත් කිරීමට අදාළව සුප්‍රකට කිරි ටොපි නඩුවය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු, මදුෂ්ගේ ජාලයේ ප්‍රධානියා යැයි කියු, මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රබලයා යැයි කියු කටාට වසර දෙකකුත් මාස පහක් යනතුරු එකදු කුඩු නඩුවක් නැත. එය පුදුමයකි.

කෙසේ වෙතත් හරක් කටා ඉතිහාස ගතවෙන්නේ අපරාධකරුවෙකුට රුඳවුම් නියෝගවලින් දිය හැකි උපරිම රුඳවුම් නියෝගය ලබාදුන් පුද්ගලයා ලෙසය. සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු පැය 48 ක් තුළ රිමාන්ඩ් කළ යුතුය. එසේ නොමැති නම් අධිකරණය හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දවස් හතක රුඳවුම් නියෝගයක් ලබාගත යුතුය. එසේත් නොමැති නම් ආරක්ෂක ඇමැතිවරයාගේ නියෝග මත මාස තුනක හෙවත් දවස් 90ක රුඳවුම් නියෝගයක් ලබාගත යුතුය. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15අ (01) වගන්තිය යටතේ සැකකරුවෙකු ජාතික ආරක්ෂාවට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වනවා නම් සැකකරුට එරෙහිව පවත්නා නඩු විභාගයක් අවසන් වෙන තෙක් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග පරිදි රඳවා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව කටාට ලැබුණු රුඳවුම් නියෝගය එය විය.

රහස් පොලිසියට දුන් ඇපල් ලැප්ටොප්

අපරාධකරුවෙකු නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නම් එලෙස කිරීම අපට කිසිදු ප්‍රශ්නයක් නැත. එසේ රඳවා තබාගනිමින් සිටි කටාට ගොනු කළ එකදු නඩුවක් හෝ විමර්ශනයක් නැත. ඇති එකම විමර්ශනය සහ චෝදනාව වන්නේ රහස් පොලිසියෙන් පැනයාමට තැත් කිරීම පමණි. එසේ නම් මෙලෙස රඳවා ගත්තේ ඇයි?

එකී ප්‍රශ්නයට සැක කළ හැකි කරුණු රුසක් පිළිතුරු ලෙස දැන් අනාවරණය වෙමින් පවතී. පළමු පිළිතුර වන්නේ හරක් කටාට රහස් පොලීසියෙන් පැනයාම සඳහා උදව් කළ පසුව පැනගොස් ඉන්දියාවේ සැඟව සිට ඉන් අනතුරුව මෙරටට රුගෙන ආ කොස්තාපල් රවිඳු සන්දීප යන අයගේ සහෝදරියගේ ස්වාමියා වන අමිල සංජීව විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදුන් ප්‍රකාශයයි. එම ප්‍රකාශය ඔහු ලබා දෙන්නේ තම මස්සිනා වන රවිඳු විසින් ඔහුත් සමඟ බෙදාහදාගත් තොරතුරුවලට අදාළවය.

ඒ අනුව ඔහු පවසන්නේ තම මස්සිනා පැවසූ පරිදි රහස් පොලීසියේ නිලධාරීන්ට ඇපල් ලැප්ටොප් පහක් ලබාදුන් බවය. ඊට අමතරව දරුණුම කතාව වන්නේ සී.අයි.ඩීයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුට සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකුට කෝටි 20ක මුදලක් ලබාදුන් බවට හරක් කටා පැවසූ බව තම මස්සිනා විසින් දැනුම් දුන් බවයි. එසේම ස්ථානාධිපතිවරයෙකු සඳහා කෝටි දෙකක මුදලක්ද, ඊට අමතරව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ලක්ෂ 40ක් 60ක් වශයෙන් මුදලු‍ත්, සන්දීපට ලක්ෂ 20 ක මුදලුත් ලබාදුන් බව ඔහු විසින් එම ප්‍රකාශවල පවසා ඇත. එම සාක්ෂියේ එක් තැනක සඳහන් වන්නේ තම දරුවා බැලීම සඳහා ඇමතුමක් ලබා ගැනීමට පොලිස් නිලධාරියෙකුගෙන් සහයක් පැතූ විට ඒ සඳහා ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවද කටා, තම මස්සිනාට පවසා ඇති බව අමිල සිය ප්‍රකාශයේ දන්වා ඇත.

මේ කතාව බැලු‍විට ඕනෑම කෙනෙකුට සිතෙන්නේ කටා නිධානයක් ලෙස ඇතැම් දුෂිත පොලිස් නිලධාරීන් යොදාගෙන ඇති බවයි. කෑම බීම පමණක් නොව යට ඇඳුම පවා ගන්නට හරක් කටාගෙන් සල්ලි ඉල්ලාගත් බව බැලු‍ බැල්මට පෙනෙන දෙයකි. එහෙත් එකී ප්‍රකාශය වෙනුවෙන් එකදු පරීක්ෂණයක් අද වෙන තෙක් නැත.

ඒ කතාව එසේ තබා දැන් දෙවැනි කතාවට අප අවතීර්ණ වන්නේ එය උඩ කතාවට වඩා රසවත් නිසාය. පසුගිය දිනෙක රහස් පොලීසිය කටාට භික්ෂුවකගේ ඡායාරූපයක් පෙන්වා ප්‍රශ්න කළේය. එම ඡායාරූපයේ සිටි භික්ෂුව ශ්‍රී ලංකා පොලීසියේ ලොකු ලොක්කන් සමඟ කරට කර සිටින අයෙකි.

කෝටි දොළහේ කොන්ත්‍රාත්තුව 

කෙසේ වෙතත් මෙම භික්ෂුව සම්බන්ධ වන්නේ කටාගේ මුදල්වලට විදීමේ ප්‍රභු කොන්ත්‍රාත්තුවේ එක පාර්ශ්වයක් ලෙසය. දැනට ලැබී ඇති තොරතුරු මෙසේය. හරක් කටා ආරක්ෂක අංශයේ රුඳවුම් භාරයේ සිටිය දී ඝාතනය නොකිරීමටත්, එසේම රුඳවුම් නියෝගය දිගු නොකිරීමටත් මෙම භික්ෂුවගේ මැදිහත්වීම මත එක්තරා දේශපාලන නළුවෙකුටත්, එක්තරා දේශපාලකයකුගේ නීතිඥ පුතෙකුටත් කොන්ත්‍රාත්තුව ලබාදී ඇතැයි දැනගන්නට ඇත. එම කොන්ත්‍රාත්තුවේ වටිනාකම කෝටි 12ක් පමණ බව සඳහන්වේ. අදාළ මුදල විදෙස් රටකදී ලබාගත් බවත් ඇතැම් නිලනොලත් තොරතුරු හරහා අපට දැනගන්නට ඇත. එලෙස මුදල් ගත්තත් අවසානයේ කටාට රුඳවුම් නියෝග ගසන්නේ හිතාගන්න බැරි ලෙසය. ඒ නඩුව නිමවන තෙක්ම රඳවා තබා ගන්නටය. එහෙත් වැඩේ කණපිට හැරුණ නිසා මේ මුදල් ලබාගත් අය කෝටි දෙකක් මුදල් ලබාදුන් අයට නැවත ලබාදුන් බවද දැනගන්නට ඇත. එහෙත් තවමත් කෝටි 10ක් ආපසු ලැබී නැත. එකී මුදල ඇත්තේ කා සන්තකයේ ද? දැන් ප්‍රශ්නය එතනය.

අදාළ මුදල ලබාගත් අයට තියාගන්න යැයි කියා කටා නිශ්ශබ්ද වේ යැයි අප සිතන්නේ නැත. කටා පහුගිය කාලයේ රඳවාගෙන සිටියේ එකී ඇත්ත එළියට ඒම නවත්වන්න දැයි දැන් දැන් අපට ඇතිවන ගැටලු‍වකි. එක්තරා අවස්ථාවක හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ තමන්ට ද කටා මුදල් ලබාදීමට උත්සාහ කළ බවත් එය ලබාදීමට මැදිහත් වූ පුද්ගලයා දැන් ජීවතුන් අතර නැති බවත්ය. ඒ වෙනින් කවුරුත් නොව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම් දරා සිටි අයකුගේ සහෝදරයෙකු මෙන්ම පහුගිය ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකුගේ බිරිඳගේ පියාය. ඔහු මිය ගියේ නාඳුනන වෙඩි ප්‍රහාරයකිනි. ඒ සාක්ෂිය ද අවසන් වී ඇත. අදටත් ඒ අල්ලස් දීමට තැත් කිරීම ගැන කිසිදු පරීක්ෂණයක් හෝ සටහනක් නොමැත.

කටා පසුපස සිටින අවතාර 

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වනවිට සියල්ල හෙළිකරගෙන ඇත. මුදල් ලබාගත් අය, ලබා ගැනීමේ හේතුව යන මේ සියල්ල අනාවරණය වී ඇත. රාජ්‍ය බලයත්, ප්‍රභූ සම්බන්ධතා බලයත් යොදාගනිමින් අපරාධකරුවන්ගේ ජීවිත සමඟ ගේම් අදින ලොකු ලොක්කන් කවුද යන්න දැන් බොහොම පැහැදිලිය. මදූෂ් අත්අඩංගුවේ සිටිය දී ඝාතනය වුණේ සියලු‍ රහස් වමාරන්නට පෙරය. එහෙත් කටාගේ ජීවිතය රුකුණ නිසා දැන් කටා සියල්ල හෙළිකරමින් ඇත. මේ නිසාම කටාගේ ජීවිතය අවදානමට ලක්ව තිබේ. පසුගියදා ඔහු රිමාන්ඩ් කළ දිනයේ කටා ඝාතන සැලසුමක් උසාවි භූමියේ තිබුණේය. එහෙත් ආරක්ෂක අංශවලට තොරතුරු ආ නිසා කටාගේ ජීවිතේ රුකුණේය. එලෙස ඝාතනය කරන්නට සිටියේ කටාගේ ප්‍රතිවිරුද්ධ කල්ලියක් වන කොමාන්ඩෝ සලින් ද සහ කෙහෙල්බද්දර පද්මේ විසින්ය. ප්‍රහාරය සූදානම් කළේ මාධ්‍යවේ දී වෙස් ගෙනය. ඒ සඳහා අවශ්‍ය කැමරා මිලදී ගැනීමටද සුදානම් වී සිටියේය. ඒ සියල්ල හෙළි කළේ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය භාරයේ සිටින දේවාය. එපමණක් නොව ඒ වැඩේ වැරදුණු නිසා දෙවන ඝාතන සැලසුම ද සූදානම් කර තිබුණේය. ඒ බුස්ස බන්ධනාගරයෙහිදී සයිනයිඩ් ප්‍රහාරයකටය. එහෙත් එය ද අනාවරණය වුණේය.

මෙවැනි සිදුවීම්වලින් පෙනෙන්නේ කටා පසුපස විවිධ අවතාර වැටෙමින් ඇති බවය. ඒ ඇත්ත හෙළි කිරීම නිසාය. කටා තවත් බොහෝ දෑ දන්නා කෙනෙකි. තමා කොටුකර මීට වඩා මුදල් ගරා ගත් අය ගැන කටා දන්නේය. ඒ සියල්ල හෙළිවෙන තෙක් ඒ දේවලට සම්බන්ධ අය ඉවසාගෙන සිටී ද යන්න ලංකාවේ හැටියට විශ්වාස නැත. ඒ නිසා කටා ජාවාරම්කරුවෙකු වුණත් ජාවාරම්කරුවෙකුගෙන් පවා හොරා කන ජාවාරම්කරුවන් සිටිනා රටක ඒ කවුද යන්න සියල්ල අනාවරණය කළ යුතුය. ඒ අනාවරණය මේ රටේ අනාගතයට වැදගත්ය. එසේ නොමැතිව කෙතරම් පාතාලය මර්දනය කළත් මේ ජාවාරම්කරුවන් පාතාලයට පණ දෙන්නේ ඇස් ඉදිරිපිටය. ඒ නිසා ප්‍රථමයෙන් මේ සුදුකරපටි පාතාලයන් රටට නිරාවරණය කිරීම මෙරට ආරක්ෂක අංශවල පළමු රාජකාරිය විය යුතුය.

දමිත් කරුණාතිලක