සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා
රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා සමග කළ සාකච්ඡාවකි.
Q දෙසැම්බර් වෙනකොට සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වෙනවා කියලා ඔබේ පක්ෂයේ කබීර් හෂීම් කිව්වා. තවමත් ඒ ප්‍රකාශය වලංගු ද?
පිළිතුර:- ඒක ඒ අර්ථයෙන්ම ගන්න වැරැදියි. ඒවා දේශපාලන වේදිකාවල කියන සාමාන්‍ය කතා. එතැන දී කබීර් හෂීම් මැතිතුමා පැහැදිලි කළා. ඒකේ අර්ථය මොකක් ද කියලා.
Q කියපු දේ ඇරෙන්න වෙන මොනව ද පැහැදිලි කරන්න තියෙන්නේ ?
පිළිතුර:- ජනාධිපති කෙනෙක් පත් කරන්නේ අවුරුදු පහකටනේ. ගෝඨාභය ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙලා පැනලා ගියේ නැත්නම් අවුරුදු පහම තනතුර දරන්න ඉඩ තිබුණා. ජනාධිපතිවරයෙක් අවුරුදු පහම ඉන්න එක නොවෙයි වැදගත් වෙන්නේ, පොරොන්දු ඉටු කරමින් ඉන්න එකයි වැදගත්. නැත්නම් හිටියත් නොහිටියා වගේ තමයි.
Q ගෝඨාභයට යන්න වුණේ ජන අරගලයක් නිසා. එහෙම ජන අරගලයකට අවස්ථාවක් මේ ආණ්ඩුවෙන් ලැබෙයි ද?
පිළිතුර:- ජනාධිපතිවරයා ආණ්ඩුව පලවා හරින්න ජන උද්ඝෝෂණ පවත්වන්න තරම් දේශපාලනික පරිසරයක් තවම මතු වෙලා නෑ. ඡන්දය දීපු ජනතාව තවමත් ආණ්ඩුව ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ජනමතයේ වෙනස්කම් තියෙනවා. ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන්නට වඩා වැඩි පිරිසක් මහ මැතිවරණයේ දී ඡන්දය දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ ඡන්දය දීපු පිරිසෙන් ලක්ෂ 20 කට වැඩියෙන් පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දීම අතහැරියා. මම තවමත් විශ්වාස කරනවා ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා ලබාගත් ඡන්ද ප්‍රමාණය හෝ ඒ ආසන්න ප්‍රමාණයක් තවම තියෙනවා. ඔවුන් අපේක්ෂා සහගතව ඉන්නවා වැඩක් කරයි කියලා. විප්ලවයක් මගින් ගෝඨාභය රාජපක්ෂ එළෙව්වා වගේ අනුර දිසානායක එළවන්න මතයක් තවම මහ පොළොවේ නෑ.
Q ආණ්ඩුව ඔබලාට කියන්නේ ‘%පච විපක්ෂය’ කියලයි. ඇයි ඡන්ද කාලෙදී වේදිකාවල බොරු විද්දේ?
පිළිතුර:- මොනවද අපි කිව්ව බොරු...?
Q මාලිමාව ආවොත් කඨින පින්කම් තහනම් කරයි. පෙරහර තහනම් කරයි. ජාත්‍යන්තර සබඳතා නෑ කිව්වා. නමුත් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් එක්ක කතා කරලා බදු අඩු කරගන්නත් ආණ්ඩුවට පුළුවන් වුණා...?
පිළිතුර:- ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් එහෙම විශේෂ දක්ෂතා දක්වලා නෑ. ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ කලාපයේ පොඩි රටවල්වලට දීලා තියෙන බදු ප්‍රතිශතයම අපිටත් දීලා තියෙනවා. ඒක අමුතු ජයග්‍රහණයක් නොවේ. මේ රටේ පහුගිය දශක හතර පුරාම බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා වෙනම අමාත්‍යාංශයක් තිබුණා. දැන් ඒක තවත් අමාත්‍යාංශයක කොටසක් විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි.’ කියන වගන්තිය මේ වෙනකොටත් උල්ලංඝනය කරලා තියෙන්නේ. බුදු දහමට රාජ්‍ය ආරක්ෂාව ලබා දිය යුතුයි කියන තත්ත්වය පහත දාලා තියෙන්නේ. ඒ වගේම මේ අය කිව්වා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කිව්වා. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බුදු දහමට මොන වගේ පිළිගැනීමක් ලැබෙයි ද කියන සැකයයි අපි මතු කළේ. දැනටමත් බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරලා බුදු දහමට රාජ්‍යයේ විශේෂත්වය ලැබිය යුතුයි කියන තත්ත්වය අහිමි කරලා තියෙන නිසා තවදුරටත් ඒ සැකය පවතිනවා. මේවා හැරුණු විට මොනවද මේ රජය කරලා තියෙන්නේ?
අලුතින් කිසිම ව්‍යාපෘතියක් ආරම්භ කරලා නෑ. විදුලිබල ක්ෂේත්‍රයේ කිසිම අලුත් ව්‍යාපෘතියක් නෑ. පාරවල් කාපට් කරනවා කොන්ක්‍රීට් දානවා. ඒ විදියට නගර සභාවෙන් පළාත් පාලන ආයතනවලින් කරන දේවල් හැරෙන්න මොනවද මේ රජය අලුතෙන් කරලා තියෙන්නේ කයිය විතරයි.
Q මාලිමාව හා ජවිපෙ අතර අභ්‍යන්තර ගැටුමක් තියෙනවා කියලා විපක්ෂය කියනව ද ඔබත් එහෙම හිතනව ද?
පිළිතුර:- මම නම් විශ්වාස කරන්නේ ගැටුම් තියෙනවා. නමුත් ආණ්ඩුව බෙදී යන තත්ත්වයක් තවම නෑ. පුද්ගලික මත ගැටුම් තමයි දැනට තියෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා චිචීගේ රොකට්ටුව පිළිබඳ ප්‍රශ්නයේ දී අගමැතිතුමියත් වසන්ත සමරසිංහ ඇමැතිතුමත් අතර ඇතිවුණ මතභේදය. එතැනදී ඇමැතිවරයා, අගමැතිතුමිය නොසලකා හැරියා. ඒක විශාල අවුලක්. වැරැදි කරපු පුද්ගලයන්ට නිර්දෝෂි වෙන්න අවස්ථාවක් දෙන්නම එකතුවෙලා හදලා දුන්නා. නමුත් මම හිතන්නේ නෑ තාම ආණ්ඩුව බිඳ වැටීමට තරම් තත්ත්වයක් තියෙනවා කියලා. නමුත් ආණ්ඩුව හොඳටම කලබල වෙලා තියෙනවා. එහෙම කලබල වෙලත් කට්ටිය සුහදව ඉන්නවා කියලා පෙන්වන්න ඡායාරූපයක් අන්තර්ජාලයට දාලා තිබුණා. එහෙම උත්සාහ කරන්නේ එතැන ගැටලුවක් තියෙන නිසානේ.
Q ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව සජබෙ විශ්වාසභංගයක් අත්සන් කරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ බෙදුණු ආණ්ඩුවට සමගි වෙන්න හේතුවක් නිර්මාණය කිරීමයි.
පිළිතුර:- කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභාංගය අරන් ආපු වෙලාවෙත් ඒ රජයට මන්ත්‍රීවරුන් 123 ක් හිටියා. එයින් 113 ක් කෙහෙළිය රඹුක්වැල්ලට පක්ෂව ඡන්දය දුන්නා. ඒ වෙලාවේ සමහරු කිව්වා ‘විශ්වාසභංගය නිසා ආණ්ඩුව එකමුතු වෙලා’ කියලා.
Q ඉතින් ඒකනේ වුණේ?
පිළිතුර:- නමුත්, ඒ විවාදයෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවන දූෂණ ක්‍රියා පිළිබඳව, කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා හැටියට අනුගමනය කරපු වැරදි කාර්ය පටිපාටිය පිළිබඳව හෙළිදරව් කරන්න හැකි වුණා. ඒ විතරක් නොවෙයි, කෙහෙළිය ඇමැතිවරයා එයට මුහුණ දුන්න ආකාරය අනුව විපක්ෂයට අසභ්‍ය වචනයෙන් බැණ වඳිමින් හැසිරුණු ආකාරය රටේ ජනතාව දැක්කා.
ඒ තුළින් ඇතිවුණ තත්ත්වය තුළ අපරාධ පරීක්ෂණ ඉස්සරහට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඉන්න වෙලාවෙම ඔහුගේ කැබිනට් මණ්ඩලයෙ හිටපු ඇමැතිවරයෙක් වෙච්ච කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න පුළුවන් තත්ත්වයක් මහ පොළොවේ ඇතිවුණා. ඔබට මතක ඇති ඒ විවාදයෙදිත් ඔය ඔබ කොහොම තර්කය අරගෙන ආවා. ඔබේ ඔය තර්කය පිළිගන්නවා නම් ආණ්ඩුවකට හරි ආණ්ඩු විපක්ෂයෙ ඇමැතිවරයකුට හරි විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න වෙන්නේ නෑ. මොකද බහුතරයක් තියෙන නිසානේ ආණ්ඩුවක් තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ආණ්ඩුවක් කඩා වැටෙන්නේ ටිකෙන් ටික.
කොහොමටත් මේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා තනතුරේ නොසිටිය යුතු ඇමැතිවරයකු බව ඉතාමම පැහදිලියි. එතුමාට පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කිරීම ආදි බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට යුද හමුදා බුද්ධි අංශයේ පරීක්ෂණ කටයුතුවලදී හෙළිදරව් වෙලා තියෙනවා.
එවැනි තත්ත්වයක් තුළ මෙම නියෝජ්‍ය ඇමැතිවරයාගේ නිර්දෝෂී භාවය තහවරු වනතුරු ඔහු එම ධුරයේ නොසිටිය යුතු බවයි. අපි විශ්වාස කරන්නේ. ඒ අනුවයි මේ විශ්වාසභාංගය අරන් ආවේ. දේශපාලන වාසි ලැබුණත් නොලැබුණත් කළ යුතු දේ අපි කරනවා. විශ්වාසභංගය අරන් එන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවීම මහජනතාවට වැදගත් නිසයි. එම යුක්තිය ඉටුවීමට බාධා කරන හෝ බාධා කිරීමට හැකියාව තිබෙන තැනැත්තන් පරීක්ෂණවලට ඉහළින් තනතුරු දැරීම නුසුදුයි. ඒ වගේම ජනාධිපතිවරයා පත්වෙලා වසරක් වෙනවා. එම වසරක කාලය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් හෝ පොරොන්දු වූ පරිදි මහ මොළකරු හෙළිදරව් කිරීම අසමත් වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ අපි විශ්වාස කරනවා ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම අත්‍යවශ්‍ය වූත් සාධාරණ වූත් දෙයක් හැටියට.
Q හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හඬක් මතුවෙලා තියෙනවා. ඔබ කොහොම ද නීතිමය ඇසින් මේ දිහා බලන්නේ?
පිළිතුර:- ආරක්ෂාව ලබාදීම අත්‍යවශ්‍ය දෙයක්. ඕනෑම හිටපු ජනාධිපති කෙනෙකුට විශේෂ ආරක්ෂාවක් තිබිය යුතුයි. ඔවුන් තනතුර දරන කාලය තුළ ගන්නා තීරණ නිසා වෛර, ක්‍රෝධ ඇතිකර ගන්නා පිරිස් සමාජය තුළ ඉන්න පුළුවන්. ඒක යුද්ධය සම්බන්ධයෙන්, පාතාලය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. වෙනත් දේශපාලන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ලබාදීම අතිශයින්ම වැදගත්. ඒ ඇරෙන්න අති සුඛෝපභෝගී වරප්‍රසාද ලබාදීම හෝ අමතර වරප්‍රසාද ලබාදීම අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. ඒක මතක තියාගන්න. ආරක්ෂාව ලබාදීම නම් අනිවාර්යයි. අනෙකුත් කාරණා අහෝසි කිරීම ගැන අපිට විශේෂ ගැටලුවක් නෑ.
Q ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 159 ක් ඉන්න නිසා ඕනෑම පන්නයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න පුළුවන්. මේක භයානක තත්ත්වයක් නොවෙයි ද?
පිළිතුර:- කොහොමත් ජනතාව වරමක් දීලා තියෙනවා. අලුත් ව්‍යවස්ථාවක් සඳහා අපි ප්‍රශ්න කරන්නේ අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ පොරොන්දුව තවම ඉටු නොකිරීම ගැනයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කරන මූලික අයිතිවාසිකම් ස්ථාපනය කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව පහුගිය ජනාධිපතිවරණයේ අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වුණා. සමගි ජනබලවේගයක් ඉන්නේ ඒ ස්ථාවරයේමයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔය කියන මූලධර්මවලට යටත්ව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියලා ඒකට දැන් කදිම අවස්ථාවක් තියෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගේනකොට ජනමත විචාරණයකින් ඒක සම්මත වෙන්න ඕනෑ.
ඒ නිසා කඩිනමින් අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි. අපි කියන්නේ ආණ්ඩුව මේ කාරණයට සංවේදී මම පාර්ලිමේන්තුවේ දී සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. එතැන දී ආණ්ඩුව කිව්වේ ‘ඔව්. ඔව්. අපිට අවශ්‍ය වෙලාවට අරන් එනවා’ කියලයි. ඊට පස්සේ සති තුනකට පස්සේ මම අගමැතිවරියගෙන් පාර්ලිමේන්තුවේ දී මේක ප්‍රශ්නයක් හැටියට විමසුවා. ඒ අවස්ථාවේ දී කිව්වේ අපි ඒක අපේ කාල සටහනකට අනුව කරනවා කියලයි.
නමුත් ඒ පිළිබඳ මාර්ග සිතියමක් තවමත් නෑ. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලුම පක්ෂ ඒකමතිකව තීරණය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන්න. එතකොට රජය තීරණය කරන්න ඕනැ එම යෝජනාවට අනුව ව්‍යවස්ථා සභාව කටයුතු කරනවද නැත්නම් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවද කියලා.
ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඔවුන්ට එය ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි කියන්නේ සියලු පක්ෂ එකතු වෙලා රටට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කටයුතු කරන්න කියලයි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්