අක්කර පන්දහසක් පමණ භූමියක් පුරා පැතිරුණු මහා කැලයක් මැද ඇති කඳුගැටයක භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් නිසොල්මණේ වැඩවාසය කරති. ඒ ඒ භාවනා කුටිවල කමටහන් ගත් එකී භික්ෂූන් වහන්සේලා ගේ දැහැන් බිඳෙන්නට වූයේ, උන්වහන්සේලා වසර විසි තුනක කාලයක් තිස්සේ උඩ පහළ වැඩම කළ “ඩක්කුව” කැඩී විනාශ වී විසල් විනාශයක් සිදු වූ නිසාය.
මේ සිද්ධියෙන් භූමියේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා හා සමග කැළඹීමටත්, කම්පනයටත් පත් වුයේ සාමාන්‍ය ජනතාවයි.
සියල්ල අතහැර මහ වන මැද අල්පේච්ඡ ජීවිත ගත කරමින් භාවනායෝගීව වැඩ වාසය කරන දහසකුත් ස්වාමීන් වහන්සේලා ට අකල් මරණයක බිහිසුණු අත්දැකීම ලබා දුන් ඒ අනතුරු අවස්ථාව ගැන ආරණ්‍ය සේනාසනයට නිතර යන එන ඇතමුන් කීවේ වෙනත්ම අදහසකි.
“උන් වහන්සේලාට දාල යන්න තියෙන්නෙ පාත්තරයයි, පොරවන් ඉන්න චීවරයයි විතරයි. ඒ කුටි වලට අපි ගිහින් තියනව. හොරා ගන්න කියල වටිනා දෙයක් නෑ. මරණානුස්සතිය වඩපු උන් වහන්සේලා ට මරණය කියන්නෙ මහ දෙයක් නෙවෙයි. භාවනා කරන්නෙ ජීවිතයම බුදුන්ට පූජා කරල. ඒ නිසා මේ සිදුවීම උන්වහන්සේලා ට එක සිද්ධියක් විතරයි. මීට පෙර මේ ආරණ්‍යයේ තරුණ භික්ෂූන් වහන්සේ නමක් අපවත් වුණා. ඒ ඉතුරු වූ දානය බැහැර කරන්න ගිය අවස්ථාවක. බැහැර කරන ඉඳුල් කන්න එන වල් ඌරන්ට පාපතරයෙක් බැඳ තිබූ තුවක්කුවක් පත්තු වෙලායි උන් වහන්සේ අපවත් වුණේ. මෙවැනි සිද්ධීන් ජීවිතේ අනිත්‍ය බව තව තවත් පසක් කරගෙන අධ්‍යාත්මය සොයා ගෙන යන ගමනට හේතු කර ගැනීමට උන් වහන්සේලාට පුලුවන්.”
මැල්සිරිපුර පන්සීයගම ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමයට අනුබද්ධ නා උයන ආරණ්‍ය සේනාසනයට වසර ගණනාවක් භාවනා කිරීමට යන-එන ගිහියෙක් එසේ කීවේය.
වස් කාලය ආරම්භ වී ඇති වර්තමානයේ භික්ෂූන් වහන්සේලා වැඩි වශයෙන් ආගමික කටයුතු වලට සම්බන්ධ වෙති. සැප්තැම්බර් 24 වනදා ද රාත්‍රී 8.00 වන විට කමටහන් ගත් ස්වාමීන් වහන්සේලා තම තමන් ගේ ආවාස කුටි වලට වැඩම කිරීමට සුපුරුදු පරිදි ඩක්කුව ක්‍රියාත්මක වන ස්ථානයට වැඩ තිබේ. ඩක්කුවේ නැගී අඩි 800 ක් පමණ වූ මැද කන්දට යාමට ස්වාමීන් වහන්සේ ලා වැඩි පිරිසක් එදින එතැනට පැමිණ සිටියහ.
ඩක්කුවේ ගමන් මගට සමගාමීව පඩි පෙළක් තිබුණ ද, වැහිසමය නිසා රාත්‍රී කාලයේ සතා සීපාවුන් ගෙන් මිදී ආරක්ෂිත ව කුටිවලට යාමේ පහසුව උදෙසා උන්වහන්සේලා ඩක්කුව භාවිතා කළහ. කණ්ඩායම් දෙකක් කඳු මුදුනට ගිය පසු - තුන්වන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දහතුන් නමක් ඩක්කුවට ගොඩ වී මැඳ කන්ද බලා වැඩම කොට ඇත්තේ රාත්‍රී 8.00 ත් 8.20 ත් අතර කාලයේ ය. ගමනාන්තය මැද කන්ද පෙනෙන නොපෙන දුරට ගමන් ගත් ඩක්කුව ක්ෂණයෙන් කන්දෙන් පහළට පෙරළී ගොස් ඇත්තේ - කලු ගල් ටිපර් ලෝඩ් එකක් යාන්ත්‍රිකව බිම පතිත කරවන අවස්ථාවක නංවන හඬ අනුවාදනය කරවමිනි.
අක්කර පන්දහසක් පමණ වූ කඳු වළල්ලක් පුරාවට පැතිර ඇති නා උයන සෙනසුන - උමන්දාවට මායිම්ව නා උයන ධර්මායතනයත්, පන්සියකමත් ගලේවෙලත් අතර දුම්රිය කන්ද ආශ්‍රිතව නා උයන ආරණ්‍ය සේනාසනයත්, භාවනායෝගී සිල් මෑණිවරුන් සහ කාන්තාවන් උදෙසා නා උයන ධම්මිකාරාමයත්, වශයෙන් නා උයනට අනුබද්ධ ආයතන ලෙස විසිරී පැතිරී තිබේ.භාවනායෝගී ස්වාමීන් වහන්සේලා ගේ ආවාස කුටි ඇතුළු ගොඩනැගිලි විශාල ගණනාවක් මහ වන මැද නිසොල්මනේ ඇති අතර, ඒ කුටි වල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ කෙනෙකු දැක බලා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයකි. උන්වහන්සේලා දැක බලා ගැනීමට එක්කෝ දානය පිළිගැන්වීමට එම ස්ථානයට යා යුතුය. එසේ නැත්නම් අධ්‍යාපන කටයුත්තකට ධර්මායතනය කරා වැඩම කරන අවස්ථාවක් උදා වෙන තෙක් සිටිය යුතුය.
එහෙත් පසුගිය 24 වන දා රාත්‍රියේ සිට භාවනායෝගී ස්වාමීන් වහන්සේලා දැහැනින් මිදී ඉතා කලබලයෙන් එහෙ-මෙහෙ යනු දැකගත හැකි විය.
ඉතාම අල්පේච්ච ජීවිතයක් ගත කරන නා උයන ආරණ්‍ය සේනාසනය තුළ වන සතුන් ගේ හඬ හැර කිසිම මනුෂ්‍ය හඬක් නෑසෙන පරිසරය මොහොතකට හෝ වෙනස් වන්නේ ගෙඩිය ශබ්ධ කරන අවස්ථාවලදී ය. වර්තමානයේ පර්චස් 15-20 ක සීමාවක ස්ථාපිත බොහෝ ආගමික මධ්‍යස්ථානවල කටයුතු කිරීමේ දී පවා - ශබ්ද දූෂණය දූෂණය සිදු කරමින් අනවශ්‍ය ආකාරයට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ ද, නා උයන ආරණ්‍ය සේනාසනයේ අක්කර පන්දහසක පමණ පුරා පැතිරී විසිරී සිටින භික්ෂූන් වහන්සේලා ට හෝ ආවතේවකරුවන් ට පණිවුඩ දීමට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකිරීම තුළින් උන්වහන්සේ ලා පරිසරයට කොතරම් සමීප පිරිසක් ද යන්න තේරුම් ගත හැකිය.
ඒ නිහඬ බව 24 දින රාත්‍රියේ නිරතුරු බිඳී ගියේ නොනවත්වා අඛණ්ඩව ගෙඩියට තඩි බාන ශබ්දයෙනි. ගෙඩිය යනු පණිවිඩයක් ලබාදීමට තබා ඇති ශබ්ද උපකරණයකි. ඒ උපකරණයට ශක්තිමත් දණ්ඩකින් තට්ටු කිරීමෙන් නිකුත්වෙන ශබ්දය ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාට ත් අසල්වාසීන්ට ත් පණිවිඩ නිකුත් කරනු ලබයි.
ඒ ශබ්දයෙන් කලබල වූ ප්‍රදේශවාසීන් රාත්‍රී කාලයේදීම ආරණ්‍යයට එක් රැස්වීම් ඇති අතර, වනයේ සීසී කඩ විසිරී තිබුණු ස්වාමීන් වහන්සේලා ගේ නිසල සිරුරු ඇඳන් මත තබාගෙන පහළට රැගෙන එන්නට ගම්වාසීන් කටයුතු කළෝය.ආරණ්‍ය සේනාසනය සමග ඉතා සුහදව කටයුතු කරන අවට ගම්වාසීන් ගෙන් කිසිවෙක් ඒ කණගාටුදායක සිද්ධිය වීඩියෝ කරන්නට හෝ සමාජගත කරන්නට උත්සාහ කළේ නැත. ඔවුන් එකාවන්ව ස්වාමීන් වහන්සේලා ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කළහ.
රෝහල් ආරංචි මාර්ග සහ ආරක්ෂක අංශ ඔස්සේ මාධ්‍ය වෙත ගලා ගිය තොරතුරු වලින් සමස්ත සමාජයම කම්පාවට පත්වන්නට විය. ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ එම ස්ථානයට වැඩම කිරීමෙන් පසු විස්තර කළේ අරන්තලාවේ මහා භික්ෂු ඝාතනයෙන් පසු එකවර භික්ෂූන් වහන්සේලා වැඩි පිරිසක් අපවත් වූ අවස්ථාව මේ බව කියමිනි.
කඳු අතර ගමන් කිරීමට භාවිතා කරන ඩක්කුවෙහි කාර්මික දෝෂ පැවැතිම සම්බන්ධයෙන් එය නඩත්තු කරන ඉංජිනේරු අංශය පිළිබඳව ද, කිලෝ ග්‍රෑම් 500ක ධාරිතාවක් දැරිය හැකි ඩක්කුවෙහි ඊට වඩා වැඩි බරක් ඇතැයි සිතිය හැකි 13 නමක් ගමන් කිරීමපිළිබඳව ද, කතාබහ පැවතුණි. වැඩි බර හේතුවෙන් එය දරා සිටින ඇණ ගැලවී කේබල් කැඩීයාම වී ද යන්න ඇතමුන් ප්‍රශ්න කළහ.
උදේට පිඬුසිගා වඩිනව කැලයෙ ඉන්න බහුතරයක් හාමුදුරුවරු එක් වේල ක් විතරයි දවසටම ගන්නේ. පාවහන් පළඳින්නේ නෑ. ඒ පයින් යනවිට සක්මනට බාධාවක් වෙයි කියන අදහසින්.මොකද උන්වහන්සේ ලා ගමන් කරන්නේ භාවනා ඉරියව්වෙන්. මුදල් පරිහරනයක් නෑ කවදාවත්.
ගලේවෙල සියඹලාගහ වැව ප්‍රදේශයේ සිට වසර දෙකක් පුරාවට නා උයන ආරණ්‍ය සේනාසනය පිරිසුදු කිරීමට සහභාගි වෙන ඩබ්.ආර්.බී. වීරකෝන් සිද්ධිය සැළ වූ වහාම මෙම ස්ථානයට පැමිණි පුද්ගලයෙකි. ඔහු ආරණ්‍යය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.
“මේ ස්ථානයේ ධ්‍යාන ලබපු ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි රහතන් වහන්සේලා වුණත් ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ සමහර අය දවස් ගණන් බණ භාවනා කරනවා. එළියටවත් එන්නේ නෑ. ගොඩක් සුදු හාමුදුරුවරු යුරෝපා රට වලින් ඇවිත් මෙහෙ බණ භාවනා කරනවා. මගේ දැනීමේ හැටියට භාවනා කුටී අටසීයක් නවසීයක් විතර තියෙනවා. මම මේවා පිරිසිදු කරන්න එන්නේ ඉතාම කැමැත්තෙන්.අල්පේච්ඡ ජීවිත ගතකරන, විනයෙන් ඉතා උසස් මේ ස්වාමීන් වහන්සේලාගෙ පහස ලබන මේ වනාන්තරය මැද මේ සිදු වූ සිද්ධිය මේ ස්වාමීන් වහන්සේලා ට තවත් කමටහන් පාඩමක් විතරයි කියලයි මට හිතෙන්නේ.”
මේ සිද්ධියත් සමග භික්ෂූන් වහන්සේලා සමග කතා කිරීමේ අවශ්‍යතාව ඇති වුවත්, උන්වහන්සේලා වචනයකට දෙකකට එහා කතා නොකරන හෙයින් - එහිලා අප උනන්දු වූයේ නැත. උන් වහන්සේලා නිහඬ ව නිසොල්මනේ ආරණ්‍ය භූමියේ සැරිසරූහ.
ආරණ්‍ය සේනාසනයේ අධ්‍යාපනය ලබමින් කමටහන් ලබන පාදුක්කේ සද්ධාසිරි ස්වාමීන් වහන්සේ කියා සිටියේ - කමටහන් ලබන ස්වාමීන් වහන්සේලා ආගමික කටයුතුවලට පහළට විත්, යළි උඩට වඩින අවස්ථාවේ මේ විපත සිදුවූ බවයි. නිරන්තරයෙන් ආරණ්‍යයට ආ ගිය අයෙකු සඳහන් කලේ - ’මේ ස්වාමීන් වහන්සේ ලා කිසිම දෙයක් ඉල්ලලා නෑ. ඉල්ලන එක අකැපයි කියලා. ඒ වගේම එවැනි අවශයතාවක් ද උන් වහන්සේලා නෑ.’ යන්නය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
උඩවලවේ සංඛ සුමන | මල්වානේගම සමිද්ධි හිමි | රුමේනියාවේ ධම්මරංසි | නාවලපිටියේ උත්තරානන්ද හිමි | නුගේගොඩ විපස්සී | ඉන්දියාවේ ධම්ම ගවේෂි | රුසියාවේ ධම්ම රක්ඛිත |
”උදේට පිඬුසිගා වඩිනව කැලයෙ ඉන්න බහුතරයක් හාමුදුරුවරු එක් වේල ක් විතරයි දවසටම ගන්නේ. පාවහන් පළඳින්නේ නෑ. ඒ පයින් යනවිට සක්මනට බාධාවක් වෙයි කියන අදහසින්.මොකද උන්වහන්සේ ලා ගමන් කරන්නේ භාවනා ඉරියව්වෙන්. මුදල් පරිහරනයක් නෑ කවදාවත්.
කිසි දේශපාලනයක පැත්තක් ගන්නෙ නෑ. මේ පිළිවෙත් පුරන සිල්වත් භික්ෂූන් වහන්සේ ලා
මයික් එකක් ඉස්සරහට කතා කරන්න එන්නෙත් හරිම කලාතුරකින්. බැරිම අවස්ථාවක විතරයි. ඒ තරම් ම සිල්වත් ජීවිතයක් ගෙවන්නෙ.”
“වෙන ආගමික මධ්‍යස්ථාන වල තියෙන හඳුන්කූරු සුවඳ, ඝෝෂාකාරී සාදු නාද, පාට පාට මල් වට්ටි, වගේම විවිධ පිරිකර පූජාවන් මේ ආරණ්‍ය සේනාසනය තුළ දකින්න නෑ. විවිධ රස මසවුළු නෑ. සැප පහසු භෞතික සම්පත් නෑ. ප්‍රතිපත්ති විතරයි. ඒ ප්‍රතිපත්ති රකින්න නිහඬ බව රැකීමයි කළ යුත්තේ. අද මේ සිද්ධ වුණු සිද්ධියත් එක්ක මේ භූමියේ සාමාන්‍ය මිනිසුන්ගේ කෑ කෝ හඬ තිබුණත් , උන්වහන්සේ ලා තවමත් සුපුරුදු නිහඬ පිළිවෙතින් වැඩ වාසය කරනවා.”
නා, කරුවල, නැදුන් වැනි වටිනා රූක්ෂ ගස් දහසක් ස්වාමීන් වහන්සේලා ගේ මේ ක්‍රියාකාරකම් අතරේ උන්වහන්සේලා ට සිදුවූ අනතුර ගැන කම්පිතව නිසොල්මණේ බලා හිඳිති. ස්වාමීන් වහන්සේ ලා අනිත්‍යය පසක් කර ගනිමින් සිදුවූ සිද්ධියට අදාළව ස්වාමීන් වහන්සේලා ගේ ආදාහන කටයුතු සිදු කිරීමට සූදානම් වෙමින් සිටිය දී - රටේ පවතින නීතියට අනුව සිද්ධිය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳවත් , ඊට හේතුව කුමක් ද? යන්න හා බලපෑ ආසන්නම හේතුව කුමක් ද? යන්න පිළිබඳවත්, විමර්ශනය කරමින් සිටී.
චාන්දනී දිසානායක