
කතරගම පුද බිමේ වාර්ෂික ඇසළ පෙරහරට සහභාගී වීම සඳහා යාපනයේ සිට බැතිමතුන් පා ගමනින් පැමිණෙන්නේ අනාදිමත් කාලයක සිටය. මෙවරද කතරගම ඇසළ උලෙළ සඳහා යාපනයේ සිට පැමිණි හින්දු බැතිමතුන් සැලකිය යුතු පිරිසක් මුලතිව් කැලෑබද අතිශය දුෂ්කර ප්‍රදේශය පසු කරමින් ගමන් කරමින් සිටියහ.
වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමිපාණන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ඉන්දියාවේ සාම පා ගමනක නිරතව සිටින අතරවාරයේ, වීදි සරණා සුනඛයෙක් ඒ පා ගමනට එක්වී ‘ආලෝකා‘ නමින් ජාත්‍යන්තරයේ පවා අවධානය දිනාගත්තේය. එලෙස ඉන්දියාවේදී භික්ෂූන් වහන්සේලාගේ පා ගමනට එක් වූ ‘ආලෝකා‘ සිහිගන්වමින්, කතරගම බලා පාගමනින් යන හින්දු බැතිමතුන්ගේ ගමනටද අතරමගදී අහිංසක වීදි සුනඛයෙක් එක් විය.
ගමන් ආරම්භ කර මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ කතරගම බලා යන මෙම හින්දු බැතිමතුන් ඒ කාලය තුළ කුසගිනි නිවාගන්නේ නිර්මාංශ ආහාරවලිනි. එම නිසා මේ පාදයාත්‍රාව පුරාවටම හින්දු බැතිමතුන්ගේ ගෞරවයට සහ භක්තියට පාත්‍ර වූ මෙම සුනඛයාටද කෑමට ලැබුණේ නිර්මාංශ ආහාරය. මුරුගන් දෙවියන්ට කෙරෙන උපහාරයක් වශයෙන් බැතිමතුන් විසින් මෙම සුනඛයාට ‘සුබ්‍රමනියම්‘ ලෙස නම් තබන ලදී. මුරුගන් දෙවියන් හඳුන්වන තවත් නමක් වන්නේද සුබ්‍රමනියම් ය.
”මෙයා අපට මුරුගන් දෙවියෝ ලබාදුන්නු තෑග්ගක්. අපි මෙයාව මැරෙන තුරා හොඳින් රැකබලා ගන්නවා,” යැයි පාගමනින් පැමිණි බැතිමතුන් කිහිපදෙනකු කතරගම පුදබිමේ රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරීන් සමඟද පවසා තිබිණි.
යාපනයේ සිට කුඩා ළමුන්ද කරපින්නාගෙන පැමිණි මෙම හින්දු බැතිමතුන්, කල්මුණේ නගරයේදී නතර වූයේ පලතුරු මිලදී ගැනීමටය. එහිදී පලතුරු අලෙවි කළ කල්මුණේ ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙක්, තමන් අසලට පැමිණි ‘සුබ්‍රමනියම්‘ නමැති සුනඛයා පලවාහැරීමට පා පහරක් එල්ල කළේය. පා පහර කෑ සුනඛයා යළිත් කතරගම බලා ඇදී යන හින්දු බැතිමතුන්ගේ පා ගමනට එක් වූ අතර, බැතිමතුන්ද එම තරුණයා සමඟ අඩදබරයට නොගොස් ගමන ඉදිරියටම ගියහ.
කෙසේ වෙතත්, සුනඛයාට පා පහර එල්ල කරන අයුරු කිසිවකු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි. සතුන්ට ආදරය හා කරුණාව දක්වන බොහෝ දෙනකුගේ අවධානයට යොමු වූ මෙම දර්ශන පෙළ හේතුවෙන්, අහිංසක සතකුට නිකරුණේ පා පහර එල්ල කිරීම දැඩි ලෙස විවේචනය විය. අනතුරුව සුනඛ සුභසාධක සංගම්වල ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු විසින් මේ පිළිබඳව කල්මුණේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
අම්පාර දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ අධීක්ෂණය යටතේ සහ අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චිගේ උපදෙස් මත, කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චිගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ විය. සමාජ මාධ්‍යයේ සංසරණය වූ රූපරාමු පරීක්ෂා කර බලා, සත්ව හිංසා අණපනත් යටතේ පසුගිය ජූලි 27 වැනි දින සැකකාර තරුණයා අත්අඩංගුවට ගන්නා ලදී. කල්මුණේ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සූරිය කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද මෙම විමර්ශනයට එක්ව සිටියහ.
කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකාර තරුණයා රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර, නඩු විභාගය අවසානයේ ඔහුට රුපියල් සියයක දඩයක් සහ වසර පහකට අත්හිටවූ මාස තුනක සිරදඬුවමක් නියම විය.
මේ අතරතුර, මුරුගන් දෙවියන් සිහිවීම පිණිස ‘සුබ්‍රමනියම්‘ ලෙස නම් තැබූ සුනඛයාට පා පහර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝව දුටු, සෞදි අරාබියේ පෞද්ගලික ආයතනයක රැකියාව කළ 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණ ඉංජිනේරුවරයකු වූ කල්මුණේ පදිංචි ශිවරාසා අනෝජන් ද ෆෙස්බුක් පෝස්ටුවක් පළ කළේය. සුනඛයකුට පා පහර එල්ල කිරීම වැරදි ක්‍රියාවක් බව පවසමින් ඔහු පළ කළ මෙම පෝස්ටුව, නබිනායකතුමන්ට අපහාස වන අයුරින් සටහන් කර ඇති බවට චෝදනා එල්ල විය.
මේ පිළිබඳව දැනගත් සෞදි බලධාරීහු, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස එරට පොලිසියට භාර දුන්හ. පරීක්ෂණ පැවැත්වූ එරට පොලිසිය, අදාළ පෝස්ටුව පළ කළ ජංගම දුරකථනයද භාරයට ගෙන ඉංජිනේරු ශිවරාසා අනෝජන් අත්අඩංගුවට ගත්තේය.
සෞදි අධිකරණය හමුවේ සයිබර් අපරාධ නීතිය යටතේ පැවැති නඩු විභාගයෙන් පසු, නබිනායකතුමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් අනෝජන් වරදකරු කරමින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කෙරිණි. එමෙන්ම ඔහුගේ ෆෙස්බුක් ගිණුම අත්හිටුවීමටද නියෝග කෙරිණි.
කෙසේ වෙතත්, අනෝජන්ට ලබාදුන් මෙම දඬුවම ප්‍රමාණවත් නොවන බවත්, සයිබර් අපරාධ නීතිය යටතේ නොව ශරියා නීතිය යටතේ නඩු පැවරිය යුතු බවත් පවසමින් එරට ආගමික නායකයන් විසින් අභියාචනයක් යොමු කරන ලදී.
අනෝජන්ගේ පියා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ දහනවයක මුදලක් ගෙවා නීතිඥ සහාය ලබාගනිමින් ඔහුව නිදහස් කරගැනීමේ අරමුණින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ද මෙයට සෘජුවම මැදිහත් විය.
එවන් පසුබිමක ශරියා නීතිය යටතේ නැවත පැවැති නඩු විභාගයේදී, සෞදි අධිකරණය විසින් අනෝජන්ට මරණ දඬුවම නියම කරන ලදී.
සිද්ධිය සැලවීමත් සමග අනෝජන්ගේ මව්පියන් ඇතුළු ඥාතීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අතර, ඔහුව බේරාගැනීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය. පසුව අනෝජන්ගේ පවුලේ අය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවූ අතර, විපක්ෂ නායකවරයා ඒ අවස්ථාවේදීම අනෝජන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී තොරතුරු විමසා සිටියේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් රැසක්ද ඔහුව බේරාගැනීමට දැඩි උත්සාහයක නිරත වෙති. මේ වන විටත් රාජතන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින් අනෝජන් මරණ දඬුවමෙන් මුදාගැනීමට අවශ්‍ය කටයුතු රජය මගින් කඩිනමින් සිදු කරමින් පවතී.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය හැදෑරූ අනෝජන්, සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටි තම පියාගේ මාර්ගයෙන් එම ආයතනයේම රැකියාව සඳහා සෞදි රාජ්‍යයට ගොස් ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනිදාය. පුතාට මරණ දඬුවම නියම වීමෙන් පසු පියා මෙරටට පැමිණ ඇත.
තව මාස දෙකකින් මෙරටට පැමිණීමට නියමිතව සිටි අනෝජන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ, මෙරටට පැමිණ තමන් පෙම් කළ තරුණිය සමඟ විවාහ වී ඇයද කැටුව නැවත සෞදි අරාබියට යාමටයි. අනෝජන්ගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමක් විසින් මෙම කරුණු තොරතුරු හෙළි කරගෙන තිබේ.
අහිංසක සුනඛයකුට පා පහර එල්ල කිරීම වැරදි ක්‍රියාවක් බව පවසමින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ තරුණ ඉංජිනේරුවරයාට අවසානයේ මුහුණ දීමට සිදුවූයේ මරණ දණ්ඩනයටයි. ජාති, ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ එකම ප්‍රාර්ථනාව වී ඇත්තේ රාජතන්ත්‍රික මැදිහත්වීම් හරහා අනෝජන්ව මෙම මරණ දඬුවමෙන් මුදාගැනීමට හැකි වේවා යන්නයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

