ශ්‍රී ලංකා ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක
රටේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි.
Q ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සියයට 44 ක බද්දක් ගැහුවම විපක්ෂය චූන් වුණා. ඒත් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් මගින් ඒ බද්ද සියයට 20 දක්වා අඩු කරගන්න ආණ්ඩුව සමත් වෙනවා. දැන් මොකද හිතෙන්නේ?
පිළිතුර:- රට පැත්තෙන් ගත්තොත් අපේ විවිධ භාණ්ඩ ඇමෙරිකාවට යනවා. ඇඟලුම් තමයි ප්‍රධාන. ඊළඟට රබර් යනවා. අපි ඇරෙන්න වෙන කවුරුවත් නෑ ඒවට. අනික් භාණ්ඩවලට අපිට තරගයක් තියෙනවා. ඒ අනුව තරගකාරී රටවල් එක්ක අපට තරගයක් තියෙනවා. වියට්නාමය, බංග්ලාදේශය, මැලේසියාව, තායිලන්තය ඒ රටවල් එක්ක යම් තරගයක් දෙන්න වෙනවා. අපිට වගේම ඒ රටවලට සියයට 19 යි 20 යි. ප්‍රශ්න ඒක නොවෙයි. මේ බද්දත් එක්ක ට්‍රම්ප් ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කළා. ඒ ජූලි 31 වැනිදා. ඒ නිවේදනයේ තියෙන්නෙ ඇනෙජක්ස් 1 කන්ට්‍රි /2-3 – අපිත් ඉන්නේ ඒ කාණ්ඩයේ. ඒකේ ඉන්න හැම රටක්ම ඇමෙරිකා එක්සත් ජනපදය එක්ක අනිවාර්යයෙන්ම වෙළෙඳ, ආරක්ෂක ගිවිසුම්වලට එළැඹිලා හෝ එළැඹීමට අවසන් සාකච්ඡා මට්ටමේ තියෙනවා කියලා. අනික් රටවල් ගත්තොත් ඒ රටවල්වලට දාලා තියෙන වෙළෙඳ හා ආරක්ෂක කොන්දේසි පැහැදිළියි.
Q ඔබ එහෙම කියන්නේ..?
පිළිතුර:- මම එහෙම කියන්නේ ඇමෙරිකාවට ඉතාම ළඟම ජපානයට තියෙන කොන්දේසි මොනවද? ඒ රටට කිව්වේ ‘උඹලට සියයට 15 කරන්නම්. උඹලගේ කාර්වලට අපි සියයට 25 ක් දාන්නම්. උඹලා අපෙන් ඩොලර් බිලියන 150 ක තෙල් ගන්න ඕනැ. උඹලා අපේ රටේ ආයෝජනය කරන්න ඕන කියලා. ඔය වගේම කොන්දේසි තමයි ඒගොල්ලන්ගේ යුද කඳවුරු තියෙන දකුණු කොරියාවට දැම්මෙත්. වියට්නාමයට, ඉන්දුනීසියාවට දැම්මෙත්. ඉන්දියාවට කිව්වා F-35 ප්ලේන් ගන්න ඉන්දියාව බෑ කිව්වා. ඒක නිසා තමයි දැන් ඉන්දියාවත් එක්ක ෆයිට් එක.
Q අපේ රටට දාපු කොන්දේසි දැන්ම කියන්න බෑ කියලා ආණ්ඩුව කියනවා?
පිළිතුර:- ඒ වුණාට අපට වාර්තා වෙනවා ස්වභාවික ගෑස් බලාගාරවලට ඇමෙරිකාවෙන් ගන්න කියලා නියෝගයක් තියෙනවා කියලා.
Q ජවිපෙත් ඉන්න ආණ්ඩුවක් ඒකට එකඟ වෙන එකක් නෑ.
පිළිතුර:- විදුලිබල මණ්ඩලය කෑලි පහකට කපලා විකුණන්න ඉන්න ආණ්ඩුවක් රටට විරුද්ධ වෙන එකක් නෑ. පාකිස්තානයට, බලුකිස්තානයට කිව්වා ඒගොල්ලන්ගේ තෙල් හාරන්න කියලා. අපට එහෙම ආරාධනාවක් කරලා තියෙනවද? ඊළඟට ඒගොල්ලන්ගේ තෙල් ගන්න කියලා අපට කියලා තියෙනවා ආරක්ෂක ගිවිසුම නවීකරණය කරන්න කියලා නියෝග කරලා තියෙනවද? අපි මේවා මුකුත් දන්නේ නෑ. අපි අඳුරේ ඉන්නේ. ඒ අනුව 2-බී වගන්තිය යටතේ එක්සත් ජනපදය එක්ක අත්සන් කළ හෝ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් මොනව ද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා මේ සීයට 20 කියන එක විතරක් නොවෙයි එතැන තියෙන්නේ. දෙවැනි කාරණය මේ සීයට 20 ත් එක්ක අපට ලොකු තරගයක් දෙන්න වෙනවා. ඒ තරගය අපි කොහොමද දෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මේ වගේම ප්‍රශ්නයක් අපිට 2000දී ආවා. අර කෝටා ක්‍රමය අහෝසි කිරීමටත් එක්ක. ඒ වෙලාවේ තරගයක් දීලා අපි අපේ ස්ථානය රැකගත්තා. ඒ වගේම අපේ අපනයනයෙන් සියයට 23 ඇමෙරිකාව ඒ නිසා අපේ අපනයනය විවිධාංගීකරණය කළ යුතුයි.
Q ඒක මේ ආණ්ඩුවේම ප්‍රශ්නයක් නොවෙයි.
පිළිතුර:- ඔව් ඒක හරි? කාලාන්තරයක් තිස්සේ තියෙන දෙයක් ඒක. ඒවගේ යම් වැඩපිළිවෙළක් එක්ක යන්න ඕනැ. හැබැයි මේ ආණ්ඩුව චීනයට ගිහින් ගිවිසුම් ගහලා ආවා අපි දන්නේ නෑ. ඒ මොනවද කියලා. ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගාණක් ගැහුවා. අපි දන්නේ නෑ ඒ මොනවද කියලා. ඇමෙරිකාවත් එක්ක ගහපු ගිවිසුම් මොනවද කියලා අපි දන්නේ නෑ.
Q ඔබ මේ රටේ ඉන්න වගකිවයුතු දේශපාලන නායකයෙක්. ‘අත්සන් කරපු ගිවිසුම් ගැන අපි දන්නේ නෑ.’ කියන එක ඔබට තරම් වටිනව ද?
පිළිතුර:- ඒ ගැන ලජ්ජාවෙන්න ඕනෑ අනුර දිසානායක. ඒ ගිවිසුම් හෙළි නොකළ එක ගැන මොනවා වුණත් ඉන්දියාවත් එක්ක ජේ.ආර්. ජයවර්ධන අත්සන් කරපු ගිවිසුම ඔහු එළියට දැම්මා. රනිල් වික්‍රමසිංහ එල්.ටී.ටී.ඊ. එකත් එක්ක ගහපු ගිවිසුම සෑම පක්ෂ කාර්යාලයකටම එව්වා. මහින්ද රාජපක්ෂ ඇමෙරිකාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. ඒකෙන් පිටු හතක් ඔහු එළියට දැම්මා. රනිල් වික්‍රමසිහ ඒ ගිවිසුම නවීකරණය කළා. ඒ පිටු හැත්තෑ ගානම එළියට දැම්මා. මේ රටේ රාජ්‍ය නායකයාට බෑ තොරතුරු හංගාගෙන ඉන්න. තොරතුරු හංගාෙගනම ඉන්නවා විතරක් නොවෙයි තොරතුරු කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරන්නෙත් නෑ.
Q ඒකට විශේෂ හේතුවක් ඔබ දන්නවද?
පිළිතුර:- ඔව්. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පඩිගන්න පක්ෂ කේඩරය අනාවරණය වීම වළක්වන්න. මේ ගොල්ලෝ ආවේ කොහොම ද? ඔක්කොම අය විවේචනය කරලා ශුද්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදයක් දෙනවා කියලයි. මේක ඇත්තටම රටේ ව්‍යවස්ථාවෙන් මහජනයාට ප්‍රදානය කරලා තියෙන පරමාධිපත්‍යයෙ බලය ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කිරීමක්. ජනාධිපතිවරයා මේ රටවල් තුනත් එක්ක ගනුදෙනු කරලා තියෙන විදිය දැක්කම ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න වුණත් කරුණු තියෙනවා. මම දන්නේ නෑ ඒක කොහොම වෙයි ද කියලා. මේක ගත්තොත් දේශද්‍රෝහිත්වයේ හොඳම එක.
Q සෙවණගල ගොවියෝ පාරට බැහැලා ඉන්නවා. තරුණයන් පාරට බැස්සා, කෝ විපක්ෂය ඔබ ඇතුළු විපක්ෂය බුදිද?
පිළිතුර:- විපක්ෂය ඕන නෑ කියලනේ සටන් යන්නේ. ගෝඨාභය ගෙනාව පිරිස් එකතු වෙලා ගෝඨාභය එළවලා අනුර දිසානායක බලයට ගෙනාවා. අපි ඔය දෙකටම දායක වුණේ නෑ. අපිට කිව්වා ‘අපි පිල් මාරු කරනවා’ කියලා කොහොම වුණත් මේකයි කතාව. මේක අපි තේරුම් ගන්න ඕනැ. මේ මතුපිටින් සිද්ධ වෙන දේ වගේම අභ්‍යන්තරයෙන් සිදුකරගෙන යන පක්ෂයේ ව්‍යාපාති මතුපිටින් ආණ්ඩුව මේ කරගෙන යන දේවල් කරගෙන යන්නේ 2027 වෙනකම් විතරයි.
Q ඔබ එහෙම කියන්නේ?
පිළිතුර:- මම ඒක කියන්නේ හේතු ඇතිව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජය 2027 දී ඉවර වෙනවා. ඒ දක්වා ආණ්ඩුව කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න ජාවාරම්කාර පන්තියයි. අද මේ වෙනකම් ආණ්ඩුව මෙගා ජාවාරම්කාරයකුට අත තියලා නෑ. බදු පොලුකාරයන්ගේ නම් ලැයිස්තුව අතේ තියෙනවා කිව්වා. පුළුවන් නම් හෙළි කරන්න කියන්න. බැංකු පොලුකාරයන්ගේ ලිස්ට් එක තියෙනවා කිව්වා. පුළුවන් නම් හෙළි කරන්න කියන්න. මොකද ඒගොල්ලෝ ඉන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ. අවි ජාවාරම්කාරයෝ ගැන දන්නවා කිව්වා. කෝ මොනවද කළේ? හැබැයි දෙකයි පනහේ හොරකම් පස්සේ ගිහින් මහා මාධ්‍ය ප්‍රචාරයක් ගන්නවා. එක පැත්තකින් රටේ ජාවාරම්කාර පන්තියට ඕනෑ විදියටය සියල්ල සිද්ධ වෙනවා. කැසිනෝ ව්‍යාපාරයට ඕනෑ විදියට රටේ සංචාරක ව්‍යාපාරය මෙහෙයවනවා. ඒ ජාවාරම්කාර පන්තිය ජනාධිපති කාර්යාලයට වෙලා තමන්ගේ මෙහෙයුම තිතට කරගෙන යනවා. මේවා ගැන කැබිනට් මණ්ඩලයවත්, වෙන කවුරුවත් දන්නවා කියලා මම හිතන්නේ නෑ.
Q ඔබ කිව්වා ඔය ඇහැට පේන ක්‍රියාවලියට අමතරව අභ්‍යන්තරිකව පක්ෂයෙ ව්‍යාපෘතියක් යනවා කියලා?
පිළිතුර:- ඔව්. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චීනයට ගිහින් ඇවිත් කිව්වා ‘අවුරුදු 18 ක් 20 ක් අපට බලය ඕනෑ. පක්ෂය, රාජ්‍ය බවට පත් කරන හැටි අපි චීනෙදි ඉගෙන ගත්තා’ කියලා. දැන් ඒ අනුව අපට පේනවා මට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයෙක් කිව්වා ‘මහත්තයෝ 2028 වෙනකොට මහජන වැසිකිළිවල කාසි එකතු කරන වැඩේ කරන්නෙත් අපේ පක්ෂය’ කියලා. මේක දැන් පොලිස් ආරක්ෂණ කමිටුවලින් පටන් ගත්තා. ගොවි සමිතිවලින් පටන් ගත්තා. තරුණ සමිති චේ කල්ලි කරගෙන යනවා. විරෝධතා මතු වෙන්නේ ඒ නිසයි. වෘත්තිය සමිති ඔවුන්ගේ පාලනය යටතට ගනිමින් ඉන්නවා. ඒක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදි ඒ කුමන්ත්‍රණය පරාජය කළේ. පන්සල්වල දායක සභා පවා පැලවත්තට වගකියන ක්‍රියාවලිය හරහා පක්ෂය රාජ්‍ය බවට පත් කරන්න යනවා. 2027 න් පස්සේ ඒක තමයි එළියට ගන්නේ. දැන් මේ ආණ්ඩුව චීනයටත් ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් ‘හා’ කියනවා. හැබැයි වැඩිකල් ඕක කරන්න බැහැ මහත්තයෝ. ඕක පුපුරලා යනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රට බහු පක්ෂ ක්‍රමය තියෙන රටක්. ඒක නිසා ඔය සෙල්ලම් කරන්න වෙන්නේ නෑ.
Q ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සංවාදයක් රටේ මතුවෙලා තියෙනවා?
පිළිතුර:- මේ ආණ්ඩුවට පහුගිය ඡන්දවලදී ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් දායක වුණේ විශ්වවිද්‍යාල ගුරුවරු හා පාසල් ගුරුවරුන්. මේගොල්ලෝ මොකක්ද කිව්වේ ජූලිවලදී ගුරුවරු වර්ජනය කරනකොට බැසිල් ඔයගොල්ලන්ට පොල්ල තිබ්බා. සුබෝධිනී වාර්තාවෙන් බැසිල් දුන්නේ සීයට එකයි. අපි ඒක සම්පූර්ණයෙන්ම දෙනවා කිව්වා. හැබැයි දුන්නේ නෑ. ඊළඟට රනිල් ගෙනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පට්ට ගැහුවා. බහුජාතික සමාගම්වලට, ආසියානු සංවර්ධන බැංකුවට ඕනෑ විදියට, ටියුෂන් කාරයන්, පෞද්ගලික පාසල් හිමිකරුවන්ට ඕනෑ විදියට තමයි රනිල් මේක ගෙනාවේ කියලා දැන් රනිල්ටත් වඩා අන්ත විදියට ඒක කරනවා. ඉතිහාසය, සාහිත්‍ය, කලාව අයින් කරනවා. ඒගොල්ලන්ගේ වේදිකාවට නැග්ග කලාකාරයෝ දැන් කොතනද දන්නේ නෑ ඉන්නේ. මේගොල්ලන්ට ගුණ වායනා කරපු ඉතිහාසඥයන්. පුරාවිද්‍යාඥයන් දැන් කොහේ ද දන්නේ නෑ ඉන්නේ.
Q ඔබ කියලා තිබුණා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිදහස් අධ්‍යාපනයේ මළගම කියලා?
පිළිතුර:- ඔව්. මේගොල්ලෝ විභාග ක්‍රමය නවත්වන්න යනවා. මේ රටේ ශුද්ධ වූ එකම තැනයි තියෙන්නේ ඒ විභාග දෙපාර්තමේන්තුව. අම්මා තාත්තා කවුද, කුලය මොකක්ද කියලා නොබලන එකම තැන එතැන විතරයි. අනුර දිසානායක ඒකට සීයට 50 යි දීලා තියෙන්නේ. පාසලට සීයට 50 යි. එතකොට මොකද වෙන්නේ පාසලේ ගුරුවරුන්ට කප්පම් දෙන්න වෙනවා විභාග පාස් වෙන්න. එතකොට ධනවත් මුදලාලිලාගේ දරුවන්ට විතරයි යන්න පුළුවන්. අනුර දිසානායක මේ කරලා තියෙන්නේ ගුරුවරියන්ට සාරි නොවෙයි දඹරන් දෙන්න වෙනවා විභාග පාස් කරන්න. මේ යන්නේ විභාග දෙපාර්තමේන්තුවට කෙළවන්න. මොකද ජේවීපී එකේ අය කවුරුවත් විභාග පාස් වෙලා ආපු අය නොවෙයිනේ. අපි දන්නවනේ ඒ අය විශ්වවිද්‍යාලවලට ආවේ කොහොමද කියලා සියයට 50 ක් හොරට විභාගය ලියලනේ ගිහින් තියෙන්නේ.
Q ඔබ වගකීමෙන් ද කියන්නේ?
පිළිතුර:- නැතිව, මම නම් ගම් එක්කම කියන්නම් ජවිපෙ පූර්ණ කාලීනයන් ආවේ හොර පාරෙන්. ඔය දුර පළාත්වල විභාග මධ්‍යස්ථානවල තමන්ගෙ පක්ෂයේ මිනිහව අල්ලාගෙන තමයි ආවේ. අපේ විශ්වවිද්‍යාලයේ මම නම් ගම් එක්කම කියන්නම්. ඒක වෙන කතාවක්. මේක විභාග ක්‍රමය බරක් කියාය ඒකට ගහන්න දෙන්න බෑ. ඇත්තටම තරගයක් තියෙනවා මේක දේශපාලනඥයන්ගේ ලියුමට දෙන්න ගියා නම් කොහොම ද වැඩේ. ලකුණු දෙන්නේ ගුරුවරයා නම් මේ කරන්නේ ලොකු විභාගයක්. නිදහස් අධ්‍යාපනයට අත තැබීමක්. මේ අය හිතාගෙන ඉන්නවා ඔක්කොටම යර්ස්, යර්ස් කියාගෙන 2027 වෙනකම් අල්ලාගෙන ඉඳලා පක්ෂය රාජ්‍ය බවට පත් කරන්නයි මේ යන්නෙ. මේ අයගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්නේ කොහොමද 87- 89 කාලේ ආයුධ 2706 ක් තාම බාරදී නැහැනේ. ඒ හොරකම් කරපු ධනය කොහේ ද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැනේ මේවා යටිබිම්ගත ව්‍යාපාරනේ.
Q කෝ විපක්ෂය? මුලින් ඇහුවා වගේ බුදි ද?
පිළිතුර:- ගෝඨාභය ආවම කිව්වේ කල්පයට විකල්පය කියලා. ඒ වගේ තමයි මේකත්. විපක්ෂයේ නායකයෝ බිහිවේවි. ඔබ ඉල්ලන ඔය විපක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටතදී ගොඩනැගේවි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්