සමෘද්ධි නිලධාරීන්ට එන්නත නැත්නම් රාජකාරියෙන් ඉවත්වෙනවා


(ඩයනා උදයංගනී)

සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබා නොදුන්නොත් ජනතාව හා සමීපව සිදුකරන රාජකාරීවලින් ඉවත්වීමට ඔවුන්ට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

මේ වන විටත් කොවිඩ් ආසාදිත වී සමෘද්ධි නිලධාරීන් දෙදෙනකු මියගොස් ඇතැයි කී මන්ත්‍රීවරයා එවන් තත්ත්වයක් හමුවේ එන්නත හෝ නොමැතිව ක්‍ෂේත්‍ර රාජකාරීවල නිරතවිය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනතාව සමඟ රාජකාරි කරන සෙසු වෘත්තිකයන්ටද කඩිනමින් එන්නත් ලබාදීමේ වගකීමක් රජයට තිබෙන බව ද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඉකුත්දා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“කොරෝනා ව්‍යසනය නිසා දැඩි ගැටලු‍කාරී තත්ත්වයක් මතුව ඇති මේ මොහොතේ ආසාදිතයන් හා මරණ අඩුකර ගැනීමට ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කිරීමේදී ආණ්ඩුවට ඇතිවිශාලම ශක්තිය වන්නේ මේ හා බැඳුණු රාජ්‍ය සේවකයිනුයි. රුපියල් 5000, බඩුමලු බෙදන්න ආදී කටයුතුවලදී මෙන්ම ජනතා අවශ්‍යතා සොයා බැලීමේදී සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්‍ෂේත්‍ර නිලධාරීන් විශාල වැඩකොටසක් කරනවා.

විශේෂයෙන්ම සමෘද්ධි නිලධාරීන් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව සිටිනවා. මේ වනවිට සමෘද්ධි නිලධාරීන් දෙදෙනකු කොවිඩ් වැළඳී මියගොස් සිටිනවා. තවත් 75 ක් පමණ ආසාදිතයන් බවට පත්ව තිබෙනවා. තව බොහෝ දෙනෙක් රෝගීන් බවට පත්වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් සමෘද්ධි නිලධාරීන් ඇතුළු සියලු ක්‍ෂේත්‍ර නිලධාරීන්ට කඩිනමින් එන්නත් ලබාදීමේ වගකීමක් රජයට තිබෙනවා. මේ එන්නත ලබා නොදුන්නොත් කොහොමද රාජකාරී කරන්නේ කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඉදිරි සති දෙක තුළ එන්නත් ලබා නොදුන්නොත් ජනතාවත් එක්ක සමීපව වැඩකිරීම නවත්තන්න අපේ විධායක සභාව තීරණය කර තිබෙනවා.

සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ගුරුවරුන්, ප්‍රාදේශීය ලේකම්වරු, බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු ජනතාව සමඟ සමීපව රාජකාරි කරන අයට එනනත් ලබාදෙන ලෙසත් එහි ප්‍රමුඛතාව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා සමෘද්ධි කළමනාකරුවන්ට ලබාදෙන ලෙසත් මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඒ වගකීම ඇති දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය වගකීම ඉටු කරන්නේ නැත්නම් අපිට වෘත්තීය සමිතියක් විදියට වගකීම ගෙන කටයුතු කරන්න වෙනවා.

සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ මහතා මෙසේ පැවසීය.

සමෘද්ධි නිලධාරීන් කොවිඩ් 19 තත්ත්වය නිසා බරපතළ ගැටලු‍ රාශියකට මුහුණ දී සිටිනවා. පසුගිය සිකුරාදා මහියංගනය කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අපේ සහෝදරයෙක් සහ ඊට පෙර කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහෝදරියක් කොවිඩ් ආසාදනය වී මියගියා. මේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, ඇඳුම් කට්ටල, මුව ආවරණ ලබාදෙන්නවත් කටයුතු කර නෑ. ඒවා ලැබෙන්නේ නැත්නම් කොහොමද අපි ක්‍ෂේත්‍රයේ ගිහින් වැඩකරන්නේ. ඒ නිසා ඉදිරියේදී ජනතාව වෙත නොගොස් බැංකුවට පැමිණ සහනාධාර ලබාගන්නා ලෙස දැනුම්දීමට අපට සිදුවෙනවා.” යැයි හෙතෙම පැවසීය.