
අද සමාජය වැලඳගෙන සිටින තරගකාරී වෙළෙඳපොළ රටාවන්, සුපිරි වෙළෙඳසල් සංස්කෘතිය මෙන්ම නව ප්‍රවණතාවක් වන මාර්ගගත වාණිජ කටයුතු ආදිය නිසා සාම්ප්‍රදායිකව අපගේ මනසේ මුල් බැස ගෙන ඇති සමුපකාර ක්‍රමයට ජනතාව ගේ එතරම් ඇල්මක් නැති තරම් යැයි කිවහොත් නිවැරදිය. සමුපකාරය යැයි කී පමණින් අප මනසට එන්නේ ගමේ නගරයේ තිබෙන විවිධ සේවා සමුපකාර වෙළෙඳසල හෝ අලුතින් පිහිටවූ කෝප්-සිටි වෙළෙඳසල්ය. නමුත් සමුපකාර ක්‍රමය යනු ඉන් ඔබ්බට ගිය ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගවලින් පිරී ගිය දැවැන්ත ජනතා ව්‍යාපාරයකි.
දේශපාලනයෙන් ඔබ්බට සැඟවුණ වටිනාකම්
සමුපකාර ක්‍රමය තුළ නිලබල ක්‍රමය ගොඩනැගීමට භාවිතා වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ පදනම සමුපකාර ඡන්දය නමින් ප්‍රකට සාමාජිකයින් ගේ ඡන්දය මගින් පාලක මණ්ඩල පත්කර ගැනීමයි. සාමාජිකයින් ගේ ඡන්දයකින් පත්වෙන පාලක මණ්ඩලයකින් ක්‍රියාත්මක වෙන වාණිජ හා සුබසාධන අරමුණු සහිත ව්‍යාපාරයක් ලෙස සමුපකාර ක්‍රමය ක්‍රියාත්මක වේ. එහිදී තම සාමාජික ප්‍රජාවගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික සුරක්ෂිතතාව ඇති කිරීම මෙන්ම එම ව්‍යාපාරය සම්බන්ධ වන බාහිර පුද්ගලයින්ට ද ප්‍රතිලාභ අත්කර දීම වැනි අරමුණු හා ගුණාංග “සමුපකාර” සංකල්පයේ අන්තර්ගතය.

කවර තත්ත්වයන් යටතේ වුව ද අදත් සමුපකාර ක්‍රමය සමාජය තුළ යම් ආකාරයකට සක්‍රියව පැවැතීමට හේතුව, ඒ තුළ අන්තර්ග්‍රහණය වී පවතින සැඟවුණු වටිනාකම් සමුදායයි. ඒ වටිනාකම් සමුදාය සමුපකාරය ක්‍රමය තුළ ගොඩ නැගෙන්නේ, ඕනෑම සමාජයක පුද්ගලයින්ට තම සමාජ, ආර්ථික හා සංස්කෘතික අවශ්‍යතා ඉටුකර ගැනීමට යාමේ දී අවශ්‍යවන සාමූහිකවත්වය සමුපකාර ක්‍රමය තුළ සංවිධානය වීමෙන් ලබාගත හැකි නිසාය. ඒ නිසාම සමුපකාර ක්‍රමය හඳුන්වන්නේ “එකා සැමටත් සැම එකාටත්” යන තේමාවෙන්ය.
සාමුහිකත්වය ගොඩ නැගෙන්නේ පුද්ගලයින් සංවිධාන ගත වීමෙනි. එම සංවිධාන ගත වීම තුළ හවුල් අයිතියක් පවත්වා ගනී. එසේ හවුල් අයිතියක් සහිතව ගොඩනැගෙන සංවිධානයක් නැතිනම් ව්‍යාපාරයක් පාලනය කිරීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග පවත්වා ගනී. එමෙන්ම ඒ සඳහා සමාන අරමුණු සහිත පුද්ගලයින් එකමුතුවීම ස්වේච්ඡාවෙන් සිදුවේ. උදාහරණ වශයෙන් ධීවරයින්, කිරි ගොවීන්, ධාන්‍ය නිෂ්පාදකයින්, ඇඟලුම් නිෂ්පාදකයින්, රෙදි වියන්නන්, මල් නිෂ්පාදකයින් වැනි තමන් සිදුකරන ව්‍යාපාරය පවත්වාගෙන යන්නන් මෙසේ සමාන අරමුණු සහිත පුද්ගලයින් සංවිධානගතවීමෙන් ගොඩනැඟුණ සමුපකාර ලෙසය. එසේ පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතු තුළ දී සංවිධානය වී ඇති සියලු දෙනාගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට තනිව කටයුතු කිරීමට වඩා හවුලේ කටයුතු කිරීමෙන් සාර්ථකව අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කරයි. මෙකී අදහස් මත පදනම්ව ගොඩ නැඟුණ සංවිධාන ව්‍යුහයක් ලෙස සමුපකාර ක්‍රමය සැලකීමට හැකි අතර, එහි වටිනාකම් මිනිස් සමාජයේ පැවැත්මට නිරන්තරයෙන් අවශ්‍ය බැවින් සමුපකාරය යනු සමාජයේ බැහැර කළ නොහැකි සංවිධානයකි.
ඉහත දැක්වූ පරිදි සමුපකාර ක්‍රමයක් ක්‍රියාත්මක වීමේ දී තම සාමාජිකයින්ගේ “සුරක්ෂිතභාවය” ඇති කිරීම උදෙසා කටයුතු කරයි. එනම් සාමාජිකයින්ගේ ආර්ථික - සුරක්ෂිතභාවය, නිෂ්පාදන - සුරක්ෂිතභාවය, වෙළෙඳපොළ - සුරක්ෂිතභාව මෙන්ම මූල්‍ය - සුරක්ෂිතභාවය ඇති කිරීම වැනි අරමුණු පෙර දැරිව කටයුතු කරයි. ඒ තුළින් අවසානයේ සමස්ත සමාජයේම යහපත වෙනුවෙන් එම ප්‍රතිලාභ බෙදී යනු ඇත.
ඒ අනුව අවසානයේ සමාජයක ජීවත්වන්නන් ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම්-පැලඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් සාධාරණ අවස්ථා ඇති කිරීමට සමුපකාර ක්‍රමයට හැකිය. මේ නිසා සමුපකාර ක්‍රමය යනු සමස්ත සමාජයටම ප්‍රතිලාභ අවස්ථා ඇති කළ හැකි විධිමත්ව සංවිධාන ගත වෙමින් තමන්ට පහසුකම් සපයන හෝ තමන්ගෙන් පහසුකම් ලැබිය හැකි ව්‍යාපාර සංවිධාන ඒකාබද්ධ වූ ව්‍යවසායකත්ව ව්‍යුහයක් ලෙස තේරුම් ගත හැකිය.
තරගකාරී වෙෙළඳපොළ සමග තරගය
මේ ආකාරයට සමුපකාර ක්‍රමය තුළ පවතින ගුණාංග යහපත් වුද, විවෘත ආර්ථිකය තුළ ක්‍රියාත්මක වඩා තරගකාරී වෙළෙඳපොළ ක්‍රමයකට එය ගළපන්නේ කෙසේ ද? යන්න සාකච්ඡා කළ යුතුය. හේතුව සමුපකාර ක්‍රමය කඩා වැටුණේ විවෘත ආර්ථිකය නිසාය යන තර්කය සමාජයේ මතුව ඇති නිසාය. බැලූ බැල්මට එහි සත්‍යයක් ඇත.
එයට හේතුව ‘සම්ප්‍රදායික සමුපකාරය’ වෙළෙඳපොළ තරගයට මුහුණ නොදුන් නිසාය. නමුත් බහුතරයක් දෙනා නොදන්නා කරුණක් වන්නේ තරගකාරී වෙළෙඳපොළ තුළ විශාල ව්‍යාපාරික සමාගම් කටයුතු කරන්නේ, සමුපකාර ක්‍රමයේ සැඟවුණු ගුණාංග තමන්ගේ ව්‍යාපාර සඳහා වක්‍රව භාවිත කරමින්ය. අද මෙරට ආහාර නිෂ්පාදන අලෙවි කරන විශාල සුපිරි වෙළෙඳසල් ජාලයන් ගේ සැපයුම් අංශ මුළුමනින්ම ගොඩනැගී ඇත්තේ සමුපකාර ක්‍රමය ඇති ගුණාංග පදනම්වය. එහි වරදක් නැත.
විශාල සුපිරි වෙළෙඳසල් ජාල හිමි ව්‍යාපාරික සමාගම්, සමුපකාර ක්‍රමයට ගම් මට්ටමින් එළවළු, ධාන්‍ය, පලතුරු ගොවීන්, කිරි ගොවීන් සංවිධානය කර ඇත. ඔවුන් ගේ නිෂ්පාදන මිලට ගැනීමට මෙම ව්‍යාපාරිකයින් කටයුතු කරන බැවින්, නිෂ්පාදකයාට වෙළෙඳපොළ ගැටලුවක් ද නැත. මේ අතර ගොවියාට නැතිනම් නිෂ්පාදකයාට අවශ්‍ය යෙදවුම් ලබාදීම, පුහුණුව ලබාදීම, පමණක් නොව අද වනවිට ඔවුන් ගේ පවුල්වල සුබසාධනය ඇති කිරීම වැනි කරුණුවලට මැදිහත්වීම සඳහාද සුපිරි වෙළෙඳසල් ජාල හිමි ව්‍යාපාරික සමාගම් කටයුතු කරයි.
ඇමරිකාව, ජපානය, ඊශ්‍රාලය, ඉන්දියාව මෙයට කදිම උදාහරණ සපයයි. ඇමරිකාවේ ජාතික සමුපකාර ව්‍යාපාරික සංගමය විසින් හඳුනා ගෙන ඇති පරිදි, මිලියන2කට වැඩි පිරිසක් සේවය කරන සමුපකාර ව්‍යාපාර 29,000කට අධික සංඛ්‍යාවක් රටෙහි පවතී. ඒවායේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 650 ඉක්මවයි. එනම් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මෙන් 9 ගුණයක් පමණ විශාල පිරිවැටුමක් වාර්ෂිකව ලැබීමට තරම් විශාල සමුපකාර පද්ධතියක් ඇමරිකාව සතුය. එමෙන්ම ඉන්දියාවේ අමූල් කිරි නිෂ්පාදන ව්‍යාපාරය - ලෝකයේ තුන්වන කිරි නිෂ්පාදන කර්මාන්තය වන අතර, එය මුළුමනින්ම ගොඩනැගී ඇත්තේ සමුපකාර සංකල්පය මතය.
මෙරට මාර්ක්ෆෙඩ් ආයතනය පිහිටුවීමේ මුඛ්‍ය අරමුණ වූයේද, සමුපකාර ක්‍රමය තුළ විධිමත් යෙදවුම් හා නිමැවුම් සඳහා සැපයුම් ජාලයක් පවත්වා ගෙන යාමය. එම ආයතනය විසින් ගොවීන් ගේ නිෂ්පාදන මිලට ගැනීමත්, ඔවුන්ට අවශ්‍ය යෙදවුම් ලබාදීමත් සිදුකරන ලදී. ඒ සඳහා එම ආයතනයට රට පුරා විධිමත් බෙදාහැරීම් ක්‍රමවේදයක් පැවැතියේය. එමෙන්ම දේශීයව නිෂ්පාදනය නොකරන හා ආනයනය මත රඳා පවතින ආහාර ද්‍රව්‍ය ආනයනය කර රට පුරා සාධාරණ මිල ගණන් යටතේ බෙදාහැරීමට අවශ්‍ය යාන්ත්‍රණය සැකසීම සඳහා 1989 දී කොප්ෆෙඩ් ආයතනය ආරම්භ කරන ලද්දේ විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වූ ලලිත් ඇතුලත්මුදලි සමුපකාර අමාත්‍යවරයාව සිටිය දී ය.
අද වන විටත් මෙරට සමුපකාර ක්‍රමය සංවිධිතව පවත්වා ගෙන යාම සඳහා ගොඩනැඟුණ සමුපකාර සම්මේලන 13ක් පමණ සමුපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ඇත. ඒවා තුළින් අරමුණු කරන ලද්දේ යෙදවුම් හා නිමැවුම්, වෙළෙඳපොළ මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ අවශ්‍යතා සැපිරීමය. උදාහරණ ලෙස සමුපකාර ග්‍රාමීය බැංකු සම්මේලනය සලකමු. අද වනවිට ලංකාවේ ග්‍රාමීය බැංකු ශාඛා 2,500ක් පමණ ඇති අතර, එය මෙරට විශාලතම බැංකු ජාලය වශයෙන් හැඳින්විය හැකිය.
වර්තමානයේ ඒවායේ ක්‍රියාත්මක බැංකු කටයුතු වඩාත් සක්‍රිය කරන්නේ නම්, විධිමත් සාධාරණ ශුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මේ හරහා හැකි වනු ඇත. එමෙන්ම රජයේ විවිධ සහනාධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ද මූල්‍ය ප්‍රතිලාභීන් සම්බන්ධ කරගෙන උද්ධමනීය නොවන ක්‍රම ඔස්සේ සහනාධාර බෙදා දීමට විවිධ සේවා පාරිභෝගික සමුපකාර ක්‍රමය හා ග්‍රාමීය බැංකු පද්ධතිය ඒකාබද්ධව භාවිත කිරීමට පුළුවන. මේ අකාරයට සමුපකාර ක්‍රමයේ සංවිධානගත ආයතන ව්‍යුහය භාවිත කිරීමෙන් නිෂ්පාදන සුරක්ෂිතතාවත්, වෙළෙඳපොළ සුරක්ෂිතතාවත්, මූල්‍ය සුරක්ෂිතතාව ඇති කිරීමට හැකිවනු ඇත. එය සමස්ත සමාජයේම ආර්ථික සුරක්ෂිතතාව ඇති වීමට හේතුවන කාරණයකි. සමාජයේ ආහාර සුරක්ෂිතතාව තහවුරුවීමට නම් මේ ආර්ථික සුරක්ෂිතතාව ඇතිවීම වැදගත්ය.
ආර්ථික දායකත්වය
රටක ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වැදගත් වන්නේ යම් සේද, ඒ හා බැඳුණු ආර්ථික පද්ධති මනාව පවත්වාගෙන යාම ද වැදගත්ය. එහිදී සමුපකාර ක්‍රමය අතිශය වැදගත් ආර්ථික පද්ධතියකි. එයට තවත් හේතුවක් ඇත. ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිවන විට, කෘෂි අංශයේ දායකත්වය අඩුවන අතර නිෂ්පාදන සාධක යොමු වන්නේ කර්මාන්ත හා සේවා අංශට වෙතටය. එවිට ආර්ථිකයේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන කෘෂි අංශයේ ආර්ථික දායකත්වය අඩු වෙමින් පැවැතීම නිසා ආහාර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම සඳහා තනි තනි නිෂ්පාදකයින් එකතුව සිදු කරන නිෂ්පාදනය සාමූහිකව සිදුකිරීම වැදගත් වේ. ඒ සඳහා භාවිතා කළ හැකි මෙවලම වන්නේ සමුපකාර ක්‍රමය භාවිතයයි.
ආර්ථික විද්‍යාත්මකව ගත් විට නිෂ්පාදනය වැඩිවීමත් සමග පිරිවැය අඩුවීම ද වැදගත්ය. ඒ සඳහා නිෂ්පාදන කාර්යක්ෂමතාව අවශ්‍ය අතර එය තාක්ෂණය භාවිතයෙන්ම අත්කර ගත නොහැකිය. මේ සඳහා වැදගත් සාධකයක් ලෙස සමාජ ප්‍රාග්ධනය භාවිතය අද වැදගත් සාධකයක් ලෙස භාවිතා කළ හැකි බව, ගෝලීය අර්ථ ශාස්ත්‍රඥයින් පිළිගන්නා දෙයකි. එම සමාජ ප්‍රාග්ධනය ගොඩනැගීම යනු සමූහිකව කටයුතු කරමින් නිෂ්පාදනයේ යෙදීමය. මෙරට චිරාත් කාලයක සිට පැවත එන ’අත්තම් ක්‍රමය’ මෙයට උදාහරණයකි. සමාජ ප්‍රාග්ධනය භාවිතා කරමින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමටත්, එමගින් නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමටත්, සමුපකාර ක්‍රමය භාවිතා කිරීමට හැකිය. සමාන වුවමනාවන් ඇති නිෂ්පාදකයින් සාමූහිකව කටයුතු කිරීම යන ගුණංගය භාවිතා කිරීමට සමූපකාරය මගින් සිදු වන දෙයයි. එය රටක ආහාර සුරක්ෂිතතාව ඇතිකර ගැනීමට වැදගත් සාධකයක් ලෙස ගත හැකිය.
එමෙන්ම සමුපකාරය තුළින් සාධාරණ වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීම පාලනය කිරීම මෙන්ම පාරිභෝගික විශ්වාසය, පුළුල් වෙළෙඳපොළ අවස්ථා ඇතිවීම සිදුවනු ඇත. පසුගිය ආර්ථික අර්බුදයත් සමග ඇති වූ තත්ත්වයන් සමනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති නිර්දේශ සැලකිල්ලට ගැනීමේ දී මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතිවා පමණක් නොව, ඇතැම් ප්‍රතිපත්තීන්වලට එළඹීමේ දී සමුපකාර ක්‍රමයේ අත්දැකීම් භාවිත කර ඇත. එම නිසාම ජාත්‍යන්තරව පිළිගත් සමුපකාර ක්‍රමය මත ගොඩනැගුණු සාර්ථක ව්‍යවසායකයින් වන අමූල් වැනි සමුපකාර ව්‍යාපාරික සමූහයන් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඇති කිරීමේ වැදගත්කම රජය මෙන්ම විපක්ෂයේ ඇතැම් පක්ෂ ද අද පිළිගනු ලබයි.
මේ අතර රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර, අඩු ආදායම් ලාභි ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ක්‍රමයක අවශ්‍යතාව අද මතුව ඇත. කෘෂි නවීකරණ වැඩ සටහන් ඉදිරියට යාමට නම් නිෂ්පාදනය බෙදා හැරීමත්, යෙදවුම් බෙදාහැරීමත් සම්බන්ධයෙන් විධිමත්භාවයක් ඇති කිරීමට නම් සමූපාකර ක්‍රමය මත පදනම් වූ සැපයුම් ජාල ව්‍යුහයක් භාවිත කළ හැකිය. මෙයාකාරයට ගත්විට සාධාරණ වෙළෙඳපොළක, සාධාරණ ලාභයක් තුළින් තම සාමාජිකත්වයට ලැබෙන ප්‍රතිලාභ මෙන්ම තමන්ගේ පාරිභෝගිකයින් වන සමස්ත සමාජයට ලැබෙන ප්‍රතිලාභ ද ඉහළ නැංවීමට සමුපකාර ක්‍රමය භාවිත කිරීමට හැකිය. විවෘත ආර්ථිකය තුළ සුභසාධනය ඉහළ නැංවීම අරමුණු කරන සමාජීය වෙළෙඳපොළ ආර්ථිකයක් දෙසට රටක් පරිවර්තනය කිරීමේදී සමුපකාර ක්‍රමයට විශාල දායකත්වයක් සැපයිය හැකිය. එහිදී වැදගත් වන්නේ නූතන ලෝකයේ අත්දැකීම් සහිත සාර්ථක සමුපකාර ක්‍රමවලට ගැළපෙන ලෙස මෙරට සමුපකාර ක්‍රමයේ පවත්නා නීති රීති නැවත සම්පාදනය කරමින් ජනතා සහභාගිත්වය පුළුල් කර ගැනීමය.
සරත් හේවගේ
හිටපු අධ්‍යක්ෂ
(ග්‍රාමීය ආර්ථික සංවර්ධන)
ජනාධිපති කාර්යාලය
හිටපු අධ්‍යක්ෂ
(ග්‍රාමීය ආර්ථික සංවර්ධන)
ජනාධිපති කාර්යාලය