සජිත් නායකතුමා පොරොන්දු වූ දේ ඉහළ නිලධාරීන් ක්‍රියාත්මක කළේ නෑ


සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ 

  • පක්ෂයේ මහ ලේකම්ට දීපු ලිපියක් එතැනින් එළියට එනවා නම් මහ ලේකම් හා නිලධාරීන් එයට වගකිව යුතුයි  

සමගි ජන බලවේගය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරු පක්ෂය තුළ ඔවුන් දරන තනතුරු වලින් ඉකුත්දා ඉල්ලා අස්වූහ. ඒ ඇයි? හේෂා විතානගේ මන්ත්‍රීවරයා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි. 


ප්‍රශ්නය: නම ‘සමගි ජන බලවේගය’ වුණාට ඒක ඇතුළේ නැත්තෙන් සමගියම නේද? 


පිළිතුර: නෑ. එහෙම හිතන්න කාරණාවක් නෑ. සමගි ජන බලවේගය කියන්නේ මේ රටේ අලුතෙන්ම බිහි වෙච්ච පක්ෂය. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ශක්තියෙන් බිහිවෙච්ච මේ දේශපාලන කඳවුර තවත් බොහෝ දේවල් නිවරැදි කරගෙන ඉස්සරහට යන්න තියෙනවා. ඒ නිවැරදි කරගෙන යන ගමනේදී හරි කාරණා බේරා ගන්න යම් යම් තීන්දු තීරණ ගන්න වෙනවා. ඒක නායකතුමා පසුබට වීමකින් තොරව කරගෙන යනවා. 


ප්‍රශ්නය: ඔබත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාත් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වුණා. ඇත්තටම මොකක්ද හේතුව. 


පිළිතුර: ඒක අපේ පක්ෂයේ අභ්‍යන්තරය තුළ වෙච්ච දෙයක්. අපි නායකතුමාගෙන් ඉල්ලා සිටිය ඒ අභ්‍යන්තර කාරණාව පක්ෂයේ නිලධාරීන් අතින් මාධ්‍යයට ගියේ කොහොමද කියලා හොයන්න කියලා. ඒකට පාදක වෙච්ච කාරණාව තමයි අපේ දිස්ත්‍රික්කවල දේශපාලනය කරද්දී අවබෝධ කර ගත්ත කාරණා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය පිට පිටම පරාද වෙන්න හේතුව තමයි පක්ෂ යාන්ත්‍රණය තුළ පුද්ගලවාදීව කටයුතු කිරීම නිසා නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකිවීම. 

ප්‍රශ්නය:ඒක සමගි ජන බලවේගය තුළත් තියෙනවා. 


පිළිතුර: ඔව්. ඒක තමයි ප්‍රධාන කාරණය. එක්සත් ජාතක පක්ෂය එහෙම කරපු නිසා දක්ෂයෝ පක්ෂය දාලා ගියා. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම පක්ෂයක් ජයග්‍රහණය කරවන්න බෑ. අපට දැනෙනවා සමගි ජනබලවේගය තුළත් එවැනි තත්ත්වයක් තියෙනවා. 


ප්‍රශ්නය: පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසට මේ ගැන කිව්වේ නැද්ද? 


පිළිතුර: එතුමාට අපි දිගින් දිගටම දැනුම් දුන්නා. එතුමා ඒ සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගත්තා. අපේ ප්‍රශ්නය අහලා එතුමා ක්‍රියාත්මක වුණා. 


ප්‍රශ්නය:නමුත් ප්‍රයෝජනයක් නෑ. 


පිළිතුර: ඔව්. පක්ෂයේ ඉහළ නිලධාරීන් මේක ක්‍රියාත්මක කරනවා පෙනුණෙ නැහැ. අපි දිගින් දිගටම බලපෑම් කළා මේක ක්‍රියාත්මක කරන්න කියලා. මම රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මම යෝජනා කළා අපේ පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරයකු වන ජයතිස්ස රණවීර මැතිතුමාත් ඒ වගේම අපේ පක්ෂයට දැවැන්ත හයියක් වෙච්ච තේනුක ගුණසිංහ මැතිතුමා දේශපාලනයට එන්න සූදානමින් සිටියා. ඒ වගේම ධර්මදාස සිල්වා මැතිතුමා වගේ අපේ පක්ෂය ජයග්‍රහණය සඳහා මේ වගේ චරිත එකතු කර ගන්න ඕනැ කියලා මම කිව්වා. නමුත් දිස්ත්‍රික්කයේ ඉන්න පැරණි මතිමතාන්තරවල හිරවෙලා ඉන්න පක්ෂ නායකයෝ ඒක ආපස්සට හරවනවා දකිනකොට ආණ්ඩුව වැටිලා තියෙන මොහොතක පක්ෂය ජයග්‍රහණය කරවන්න පුළුවන්කම තිබියදී තවදුරටත් පුද්ගලවාදීව කටයුතු කරනවා නම් අපි කොහොමද මේ ගමන යන්නේ. 


ප්‍රශ්නය:ඔබ ඉන්නේ කලකිරීමෙන්? 


පිළිතුර: කලකිරීමෙන් කියන්නේ මම දිස්ත්‍රික්කයේ මනාප ලාභීන් අතර පළමුවැනියා. එහෙම මම මගේ පෞද්ගලිකත්වය ගැන හිතලා පක්ෂයේ තනතුරුවල ඉඳල වැඩක් නෑ. පක්ෂයේ නායකයටත් හයියක් වෙමින් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා දිස්ත්‍රික්කයේ කටයුතුවලින් අයින් වෙලා එළියෙ ඉඳගෙන වැඩ කරනවා කියලා හිතලා තමයි පක්ෂයේ මහ ලේකම් මද්දුම බණ්ඩාර මැතිතුමාට මගේ ඉල්ලා අස්වීම බාර දුන්නේ. ලියුම බාර දීල දින කිහිපයක් ගියාට පස්සේ මම කියන ඔය කණ්ඩායමේ අවශ්‍යතාවයට මේ ලිපිය මාධ්‍යයට දීලා තියෙන්නේ. ගරු නායකතුමා විසඳුමක් ලබා දෙමින් තිබූ අවස්ථාවක තමයි මේක කළේ. 


ප්‍රශ්නය:ඔබලා ඉල්ලා අස්වීම මාධ්‍යයේ ගියාම ඇයි ඔච්චර කලබල? 


පිළිතුර: අපිට ඒක ප්‍රශ්නයක් නොවෙයි. හංගලා ඉල්ලා අස්වෙන්න ඕනෑකමකුත් නෑ. ඒකට උත්තර නොදී ඉන්න අවශ්‍යතාවකුත් නෑ. අපි විශ්වාස කරනව පක්ෂය ජයග්‍රාහී ගමනක් යනවා නම් මෙන්න මේ වැරදි ක්‍රමවේද නිවැරදි කරගත යුතුයි. 


ප්‍රශ්නය:ඔබට මේ ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ තලතා අතුකෝරාළ මන්ත්‍රීවරිය සමගද? ඇය ඔබට වඩා ජ්‍යෙෂ්ඨයි? 


පිළිතුර: තලතා අතුකෝරාළ මැතිනියත් අපේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට දිස්ත්‍රික්කයේ නායිකාව ලෙස කටයුතු කළා. සමගි ජන බලවේගය තවම දිස්ත්‍රික් නායකයෙක් නායිකාවක් පත් කරලා නෑ. කවුරු වුණත් පක්ෂයේ ජයග්‍රාහී ගමන තමන්ගේ පෞද්ගලික දේශපාලන ගමන හදා ගැනීම වෙනුවෙන් වළක්වනවානම්. එයට එරෙහිවීම දේශපාලනඥයෙක් හැටියට මගේ වගකීම. මාව පාර්ලිමේන්තුවට යැව්වේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව. ඔවුන්ගේ අරමුණු ඉටු කරදීම මනාප ලැයිස්තුවේ මගේ ස්ථානය තහවුරු කර ගන්නවාට වඩා ලොකුයි කියලා මම හිතනවා. මොන දේශපාලන හයියක් හරි හදාගෙන පක්ෂයේ ජයග්‍රාහී ගමන ආපස්සට හරවන්න කවුරුහරි උත්සාහ කරනවා නම් කොන්දේසි විරහිතව ඒකට විරුද්ධව සටන් කරනවා. ඒක තමයි මේ කරන්නේ. 


ප්‍රශ්නය:ඔබ කිව්වා ඔබලාගේ ඉල්ලා අස්වීම් මාධ්‍යයට දීලා තියෙන්නේ පක්ෂයේ නිලධාරීන් කියලා කවුද මේ නිලධාරීන්? 


පිළිතුර: පක්ෂයේ මහ ​ලේකම්වරයාට ලබාදීපු ලිපියක් එතැනින් එළියට යනවා නම් ඒකට පක්ෂයේ මහ ​ලේකුම්තුමා සහ ඔහුගේ නිලධාරීන් වගකිව යුතුයි. ඒ නිසා ඒ ගැන පක්ෂය තුළ විශේෂ පරීක්ෂණයක් කළ යුතුයි කියලා අපි හිතනවා. 


ප්‍රශ්නය: ලියුම එළියට දැමීමෙන් ‘යනවානම් පලයල්ලා’ කියන සිග්නල් එක දුන්නා කියලා ඔබ හිතන්නේ නැද්ද? 


පිළිතුර: මම හිතනවා නායකයකුමා හැම තිස්සෙම උත්සාහ කරන්නේ තරුණ දේශපාලනඥයන් හැටියට අපේ හයියත් අරගෙන පක්ෂය ජයග්‍රහණය කරන්නයි. එතුමගේ කැපවීම අපි දන්නවා මේ රටේ කිසිම දේශපාලනඥයෙක් කැප නොවන ආකාරයට කැප වෙන නායකයෙක් එතුමා. ඒ තත්ත්වය නායකතුමා ළඟ ඉඳගෙන අපි කරන වැඩපිළිවෙල හරහා පක්ෂය දිනවන්නයි අපට අවශ්‍යය. මේ ලියුම් එළියට දාලා අපිව පෞද්ගලිකව වට්ටන්න හිතුවද කියලා අපිට සැකයක් තියෙනවා. කොහොම වුණත් ඒක පෙරළා ඔවුන්ගේ කර පිටට ඇවිත් තියෙනවා. පක්ෂය මේ ගැන විශේෂයෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි. මේ කාරණා අපි රටට හෙළි කරනවා. 


ප්‍රශ්නය:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයත් ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තිබෙනවා. 


පිළිතුර: නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙ නායකත්වය ප්‍රශ්න කිරීම්වලට ලක් කළ යුතු නෑ. හේතුව එතුමා නායකයකු හැටියට මේ රටට හොඳ පූර්වාදර්ශයක් දීලා තියෙනවා. සමහර නායකයන් ගෙවල්වලට වෙලා පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරද්දී මෙතුමා බිමට බැහැලා ගමට බැහැලා පොළවේ දේශපාලනය හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන නායකයෙක්. එතුමාගේ කඳවුරේ ඉන්න සාමාජිකයන් හැටියට අපිටත් එතුමට නොදෙවනි ආකාරයට කටයුතු කරන්න වෙනවා. එතුමගේ නායකත්වය නිසා පක්ෂයට මොනම ආකාරයෙන්වත් අඩුපාඩුවක් වෙන්නේ නෑ. හැබැයි එතුමාගේ තියෙන දක්ෂතාවය උනන්දුව හා කැපවීම හරහා පක්ෂ දේශපාලනය වෙනස් මගකට ගන්න උත්සාහ කරද්දී අර පල් වෙච්ච පරණ එක්සත් ජාතික පක්ෂයේ පරණ දේශපාලන ක්‍රමයට මේ පක්ෂයටත් ගේන්න උත්සාහ කරනවා නම් කවුරුහරි අන්න ඒක වෙනස් කිරීම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වගකීමක්. 


ප්‍රශ්නය: මන්ත්‍රී චමින්ද විජේසිරිත් ඔබ වගේම ඉල්ලා අස්වුණා. ඔහුට තියෙන ප්‍රශ්න මොනවද? 


පිළිතුර: මගේ මිත්‍රයාට තියෙන්නෙත් මේ වගේ ප්‍රශ්නම තමයි. මේ යන දේශපාලන වටපිටාවන් තුළ පැරැණි තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට දරණ උත්සාහය පරාජය කරන්න අපි ගන්න උත්සාහය වළක්වන්න ඒ ඒ අය පෞද්ගලිකව උත්සාහ ගන්න නිසා පක්ෂය ජයයග්‍රහණය කරවන්න අපට දියහැකි ශක්තිය දෙන්න බෑ. ඒ අවහිරතා වළක්වා ගන්න තමයි අපි මේ තීන්දුව ගත්තේ. අපි දැක්කා පසුගිය දවස්වල ආණ්ඩුව මේක ලොකුවට ගත්තා. අපි රටට කියනවා මේ වගේ නන්නත්තාර වෙච්ච ආණ්ඩුවක ඉඳගන්න අපට කිසිම ඔළුවේ අමාරුවක් නෑ. අපි එහෙම බංකොලොත් වෙච්ච අය නොවෙයි. මේ රට බේරා ගන්න පුළුවන් එකම නායකයා තමයි සජිත් ප්‍රේමදාස. එතුමා ශක්තිමත් කරන දේශපාලනයකින් රටට ජයග්‍රහණ ලබා දෙනව මිසක් වෙන අරමුණක් අපට නෑ. ඒක ඉටුකර ගන්න බැරි වුණොත් ගෙදරට වෙලා ඉන්නවා. සමගි ජන බලවේගය හැර ආණ්ඩුව හෝ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න මම හෝ චමින්ද විජේසිරි සහෝදරයා කටයුතු කරන්නේ නෑ. අපට මතකයි දින 52 කාලයේදී සල්ලි මලු අරගෙන අපේ පස්සෙන් ආවේ. එක එක ව්‍යාපාරිකයෝ ආවා. අපි ඒ අය කවුද කියලා රටට හෙළි කලා. 20 වැනි සංශෝධනයේදිත් අපේ නම් දාගෙන විවිධ කුමන්ත්‍රණ කළා. ඒ හැම වෙලාවකදීම කෙළින් හිටපු අපි අද මේ ගිලෙන නැවට පනින්නේ නෑ. නමුත් ආණ්ඩුව එවැනි උත්සාහයක් ගන්නවා. ඒ හීනය දකින්න අපි ඉඩ දෙනවා. අපි ජනතාවට පණිවිඩයක් දෙනවා සමගි ජන බලවේගය කියන්නේ තවත් එක් දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ රටේ ජනතාවට වගකියන දේශපාලන පක්ෂයක් විදිහට අලුත් ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කරන පක්ෂයක්. උදාහරණයක් හැටියට පසුගිය මහ මැතිවරණයේදී අපේ නායකතුමා ජනතාවට කිව්වා රටේ ආරක්ෂාව බාර දෙන්නේ සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. අන්න ඒ විදියට අපි කරන දේ ජනතාවට කලින් කියනවා. එහෙම නැතිව බඩවඩා ගන්න අය කැබිනට් එකේ වාඩි වෙනවට මේ රටේ කවුරුවත් කැමති නෑ. අපි අලුත් දේශපාලන ගමනක් යා යුතුයි. 


ප්‍රශ්නය: නමුත් මන්ත්‍රී චමින්ද විජේසිරි මාධ්‍ය හමුවක් තියලා කිව්වා. සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් නෑ. කියලා. 


පිළිතුර: නෑ. එතුමා ඒ කියන කාරණාව මාධ්‍ය හරහා විකෘති කරලා ගියේ එතුමා කතා කළේත් මේ මං කියපු කාරණාවම තමයි. ආණ්ඩුවේ වැරදි ටික පෙන්නලා ඊළඟ මැතිවරණය දිනලා වැඩක් නෑ. අපි හදන්න ඕන මේ රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි බලයට පත් වුණාට පස්සේ මාස හයෙන් වෙනත් ගමනක් නොයන ආණ්ඩුවක්. එහෙම ගමනක් යනවා මිස බලය ලබා ගැනීමට පමණක් අපි දේශපාලනය කරලා හරියන්නේ නෑ. එහෙම කතාවක් තමයි එතුමා කිව්වේ ඒ දේ තමයි මේ රටේ ජනතාවත් ඉල්ලන්නේ. 


ප්‍රශ්නය:ඔබ දැන් කොහොම ශපථ කළත් අයවැය ඡන්ද විමසීමේදී හේෂා විතානගේත් චමින්ද විජේසිරිත් ආණ්ඩුව එක්ක එකට හිටගෙන ඡන්දය දේවි? 


පිළිතුර: මගේ අම්මගේ තාත්තාගේ ජාතකය මේ රටේ ජනතාව හමුවේ තියලා ඒ ජාතකයෙ නිවැරදි භාවය ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නෑ. අම්මත් තාත්තත් ජාතක කරපු මේ හේෂා විතානගේ පාවා දෙන්නෙකු විදියට ඉතිහාසගත වෙන්නේ නෑ. අපි මේ දේශපාලනය කරන්නේ හරි අවංකව. ඒ නිසයි අපි පක්ෂය තුළ ඉඳගෙන අරගල කරන්නේ. සල්ලිවලට බලපුළුවන්කාර කම්වලට යටත්වෙලා මහින්ද රාජපක්ෂ මේ රටට කරන හානියට දායකවෙන්න අපි සූදානම් නෑ. ඒ නිසා ජනතාවට මම ශපථ කරනවා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව දේශපාලන පරපුරක් නැති මාව මනපා ලැයිස්තුවේ අංක එකට ඔසොවා තැබුවේ ලොකු බලාපොරොත්තුවකින්. මගේ දෙවුර මත තැබූ වගකීම ඉතාම ගෞරවයෙන් ආරක්ෂා කරනවා. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. චමින්ද විජේසිරි කියන්නේ මට සහෝදරයෙක් වගේ. අපේ දේශපාලන ගමන කිළිටි නෑ. මේ කඳවුර වැරදියි නම් අපි එළියට බැහැල කතා කරනවා. අපි පක්ෂය ඇතුළේ අරගල කරනකොට කවුරුහරි කියනවා නම් අපි ආණ්ඩුවට ජැක් ගහනවා කියලා ඒ අපි කරන අරගලය දරා ගන්න බැරි මේ පක්ෂය තුළම ඉන්න කුණු වෙච්ච දේශපාලන මඩගොහොරාවේ ඉන්න කණ්ඩායම්. ඒ අයට උත්තර දෙන්න අපට අවශ්‍ය නෑ, අපිව පත් කරපු අපේ ආදරණීය ජනතාවට අපි කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග රට වඩාත් ජයග්‍රාහී තලයකට ඔසවා තබනවා. එතැනින් එහාට ගිය දේශපාලන ගමනක් අපට අවශ්‍ය නෑ. 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්