ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සහ එය යළි යථා තත්ත්වයට පත්කර ගැනීම


මෙය “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ යහපත් පාලනය”‍ යන මැයෙන් 2025 ජූනි 16 දින කොළඹ දී පැවති සමුළුව පාදක කරගෙන පළකරනු ලබන ලිපි පහක ලිපි මාලාවේ දෙවැන්නයි ‘‘මෙහි මුල් ලිපිය ”‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන”‍ යන මැයෙන් 2025.07.27 දින ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ විය.

සමුළුවේ සමාරම්භක සැසියේ දේශනවලින් අනතුරුව විද්වත් මණ්ඩල සාකච්ඡා සැසි හතරක් පවත්වන ලද අතර එහි ආරම්භක විදවත් මණ්ඩල සැසියේ දී පළ කළ අදහස් සම්බන්ධයෙන් මෙම ලිපිය සැකසී ඇත. 

මෙම සැසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර විසින් මෙහෙයවන ලද අතර විද්වත් මණ්ඩලයට මහින් ද සිරිවර්ධන  (හිටපු  භාණ්ඩාගාර ලේකම්), ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්  (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ), මහාචාර්ය සිරිමල් අබේරත්න (දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ  විධායක අධ්‍යක්ෂ) සහ සනත් මනතුංග (ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති)  සහභාගී වූහ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ මුල් බැසගත් ගැටලු‍  

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය ක්ෂණිකව ඇති වුවක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දීර්ඝ කාලීනව මුල් බැසගත් දුර්වලතා, විදේශ අංශයේ පැන නැගුණු අහිතකර තත්ත්වයන් සහ ප්‍රතිපත්තිමය වැරදි මගින් තවදුරටත් තීව්‍ර මට්ටමකට පත්වීමකි. 

ශ්‍රී ලංකාව වරින් වර අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම සිදු කළත්, වැඩි අවධානයක් යොමු කර ඇත්තේ - රජයේ වියදම් වර්ධනය වෙන, එහෙත් ඵලදායිතා වර්ධනය අවම වෙන සංවෘත ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහිය. ශ්‍රී ලංකාව අපනයන භාණ්ඩ හා ගමනාන්ත විවිධාංගිකරණය කිරීමට සහ ගෝලීය අගය දාමයන් හා සම්බන්ධ වීමට යම් ප්‍රයත්න ගත් නමුත්, අපනයන ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගෙන නොමැත. මීට අමතරව ප්‍රශස්ත නොවන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිසා 2022 වසර වෙන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වාර්තා වූ අඩුම මට්ටමක් දක්වා පහත වැටිණි. 

ඒ හා සමගාමීව රාජ්‍ය වියදමෙහි අවශ්‍ය ගැලපීම් සිදු නොවීම හේතුවෙන් අයවැය පරතරය අඛණ්ඩව වර්ධනය විය. එමෙන්ම, දුර්වල ලෙස ඉලක්ක කළ සුභසාධන ක්‍රම, අක්‍රමවත් බදු සහන ඇතුළු ජනප්‍රියවාදී ප්‍රතිපත්ති මගින් ද රාජ්‍ය මූල්‍ය අංශයට බලපෑම් ඇතිවිය. මහ බැංකුව මගින් අයවැය මූල්‍යනය කිරීම නිසා උද්ධමනකාරී පීඩනයන් ද ඇති විය. ඉන්ධන සහ බලශක්ති අවශ්‍යතා සඳහා වැඩි වශයෙන් ආනයන මත යැපෙන නමුත්, එහි මිල පිරිවැය ආවරණය නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම මගින් ඒ හා සම්බන්ධ රාජ්‍ය ව්‍යවසායයන් අධික ලෙස පාඩු ලැබූවා පමණක් නොව - එම ආයතන සිය මෙහෙයුම් සඳහා බැංකු පද්ධතියෙන් විශාල වශයෙන් ණය ලබා ගැනීම මගින් ආර්ථිකයට පීඩනයක් ඇති කළේය.

ඒ අනුව රජයේ අයවැය පරතරය ඉහළ යාමත් විදේශ අංශයේ ජංගම ගිණුමේ හිඟය, විශේෂයෙන්ම වෙළෙඳ හිඟය, පුළුල් වීමත් මගින් දීර්ඝ කාලීනව ‘ද්විත්ව හිඟය ‘ ලෙස හඳුන්වන තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයේ දක්නට ලැබිණි. මෙවැනි අසමතුලිතතා දීර්ඝ කාලීනව පැවතීම මගින් කම්පන සඳහා  ඔරොත්තු දීමට ආර්ථිකයට ඇති හැකියාවට බලපෑම් ඇති විය.

2022 වසරේ ආර්ථික අර්බුදය

මෑත කාලය ගත් කල, 2018 වසරේ සිට සෑම වසරකම අඛණ්ඩව අත්විඳීමට සිදු වූ දේශපාලනමය හා සාමාජීය අවිනිශ්චිතතා සහ කොවිඩ් වසංගතයේ බලපෑම මගින් ආර්ථිකයේ දුර්වලතා තීව්‍ර විය. 

රාජ්‍ය මූල්‍ය අංශයේ දුර්වලතා, අධි තක්සේරු වූ ශ්‍රී ලංකා රුපියල හා සංචිත බිඳ වැටීම් ඇතුළු ගෙවුම් ශේෂ පීඩන, මහ බැංකුව මගින් අයවැය මූල්‍යනය කිරීම් ඇතුළු පාලන දුර්වලතා සහ ණය තිරසර නොවීම ආදී ගැටලු‍ රාශියක් එකවර පැන නැගීම මගින් සංකීර්ණ අවදානම් තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. සමස්තයක් ලෙස ඉහළ මට්ටමක පැවති පොලී අනුපාත ව්‍යුහය හා ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම බැංකු පද්ධතියේ වත්කම් හා වගකීම් තත්ත්වයට ද ඍජුවම බලපෑම් කළ අතර මූල්‍ය පාරිභෝගිකයන්ට ද අපහසුතා ඇති කළේය. 

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම නිසා රජයට මෙන්ම බැංකු පද්ධතියට ද විදේශ මූල්‍යයන පහසුකම් සඳහා තිබූ ප්‍රවේශයන් සීමා විය. ඒ අනුව, 2022 වසරේ දී ආර්ථිකය සියයට 7.3කින් සංකෝචනය වීම, උද්ධමනය සියයට70ක අගයකට ළඟා වීම, ශ්‍රී ලංකා රුපියල කෙටි කලක් තුළ සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම, භාවිත කළ හැකි විදේශ සංචිත අවම මට්ටමකට පත්වීම සහ විදේශ ණය සේවාකරණය සම්බන්ධ අභියෝග සමග පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. කෙසේ වුවත්, නිසි හා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගත හැකි විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මෙවර ඇති වූ අර්බුදකාරී තත්ත්වයේ විශේෂත්වය වූයේ, ගෙවුම් ශේෂ අර්බුදයකට අමතරව තීව්‍ර මෙන්ම සංකීර්ණ විදේශ ණය අර්බුදයකට ද ලක් වීමය.

අර්බුදය විසඳීම සඳහා ගත් ක්‍රියාමාර්ග 

අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට ආර්ථික ස්ථායිකරණ ප්‍රතිපත්ති සමුහයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ඒ අනුව, මූල්‍යයන පහසුකමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කළ අතර, ඒ සමගම විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත් හිටුවමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවිය. වේගයෙන් ඉහළ යන උද්ධමනය හා රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ අතර, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ශක්‌තිමත්  කිරීම සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී. ඒ අතර, බදු අදායම වර්ධනය කරගැනීම සහ අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැර දැමීම ඇතුළු ප්‍රතිපත්ති මාලාවක් රජය විසින් හඳුන්වා දුන් අතරම, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා සීමා පැනවීම, රජය සතු ප්‍රධාන ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ පිරිවැය ආවරණය වෙන මිලකරණය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ද සිදු කෙරුණි. 

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ගෝලීය අවසාන ණය ලබා දෙන්නා ලෙස සැලකෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටි අතර, 2023 මාර්තු මස දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විස්තීර්ණ ණය පහසුකමෙන් සහාය ලබන වැඩසටහන අනුමත කළේය. ඒ අනුව, මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ අයවැය සහාය වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක් සඳහා ප්‍රවේශය හිමි විය. එමගින් අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ මූල්‍යයන පහසුකම් සඳහා ප්‍රවේශය හිමිවීමත්, ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණු වීමත් මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට විශාල සහායක් ලබා දේ.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිර්මාණය

ප්‍රථමයෙන් ආර්ථික ස්ථාවරත්වය අත්කර ගැනීමත්, පසුව ඒ මත ආර්ථික වර්ධනය ළඟා කරගැනීමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අරමුණ වේ. ගෙවුම් ශේෂ අර්බුදයකට අමතරව ණය අර්බුදයකට ද රට මුහුණ දී තිබීම වැඩසටහන සැකසීමේ දී අභියෝගයක් විය. එමෙන්ම ආර්ථිකයේ ප්‍රධාන ගැටලු‍ අතර රාජ්‍ය ආදායම් දුර්වලතාවය ප්‍රමුඛ වීම නිසා ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අත්කර ගැනීම මූලික අරමුණක් විය. වැඩසටහන නිර්මාණයේ දී ප්‍රධාන අභියෝගයක් වූයේ, ඒ වෙනවිටත් ඉහළ උද්ධමනය සහ ජීවන රටාවේ ඇති වූ බිඳ වැටීම් මගින් පීඩාවට පත්ව සිටි  ජනතාව මත ප්‍රතිසංස්කරණ මගින් ඉහළ බදු සහ ඉන්ධන හා බලශක්ති මිල ගැළපීම් ආදී පීඩාවන් ද ඇති වීමය.

ණය තිරසර බව අත්කරගැනීම ද වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් වූ අතර ණය හිමියන්ගේ විවිධත්වය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සංකීර්ණ කළේය. රාජ්‍ය මූල්‍ය තත්ත්වය වර්ධනය කිරීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ලබා ගත හැකි ණය සහන සම්බන්ධව යම් සමතුලිතතාවක් ඇතිකළ යුතු විය. වෙළෙඳපොළ  ආර්ථිකයක් සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ඇතුළත් යහපත් පාලනය අත්‍යවශ්‍ය වෙන අතර, ආයතනික පදනම දුර්වල වීම මගින් ඇතිවන අහිතකර තත්ත්වයන් වෙළෙඳපොළ ආර්ථිකයේ සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අසාර්ථකත්වයක් ලෙස හුවා දැක්වීම බහුලව සිදු වෙන බැවින් වැඩසටහන තුළ යහපත් පාලනය ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු විය. සමාජ ආරක්ෂණ ජාල සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව තිබු අතර සර්ව ආර්ථික ගැළපීම් සහ අවදානමට ලක්වූවන්ගේ සුබසාධනය අතර සමතුලිතතාව පවත්වා ගැනීමට එය අත්‍යවශ්‍ය විය.    

රාජ්‍ය මූල්‍ය සම්බන්ධ ප්‍රධාන ඉලක්ක වෙන ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ බදු ආදායමේ ප්‍රතිශතය ආදිය ගැඹුරින් සලකා බලා ළඟා කරගත හැකි මට්ටමක පනවා ඇති අතර විශේෂයෙන්ම බදු ආදායම් ඉලක්ක දශක කීපයකට ඉහත පැවති හිතකර අගයන්ට අනුකූලව පැනවීම මගින් පෙර ප්‍රතිපත්තිමය වැරදි නිවැරදි කිරීම අරමුණු විය. රාජ්‍ය ආදායම් උපයන ආයතන නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කිරීම සහ රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ආයතනගත කිරීම වැඩ සටහනෙහි ප්‍රමුඛතාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන තුළ පරිපාලනමය කටයුතු  ඩිජිටල්කරණය කිරීම මගින් ඒ සඳහා වෙන මිනිස් ශ්‍රම අවශ්‍යතාව අවම කිරීමෙන් දූෂණ අවදානම් අඩු වීම ද වාසි සහගත වේ. එමෙන්ම, රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා වෙන ප්‍රමුඛතම නීති ප්‍රතිපාදන ඇතුළත් වෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත වූ අතර, ණය කළමනාකරණ පනත යටතේ ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීමත් සමග රාජ්‍ය මූල්‍ය කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ කේන්ද්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වේ.

ආර්ථික ස්ථායිකරණ ක්‍රියාවලිය

2022 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු මට්ටමකින් දැඩි කරමින් ඉහළ උද්ධමන තත්ත්වය කෙටි කාලයක් තුළ තනි ඉලක්කමක මට්ටමකට අඩු කර ගැනීම ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමට අතිශයින්ම හිතකර විය. විවේචන මධ්‍යයේ වුවද - ජා. මු. අරමුදලේ වැඩසටහන තුළ බදු අනුපාත ඉහළ දැමීම සිදුකළ අතර, පරිපාලනමය වැඩි දියුණු කිරීම් සහ අනුගත වීම හා ආවරණය ඉහළ දැමීමේ ක්‍රියාමාර්ග ඇතුළත් රාජ්‍ය මූල්‍ය අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙන ලදී.  

මූර්ත ආර්ථික වර්ධනය පසුගිය කාර්තු හයක කාලය තුළ ධන අගයක් වාර්තා කිරීම, විදේශ ජංගම ගිණුම පිට පිට වසර දෙකක් අතිරික්තයක් වාර්තා කිරීම, වෙළෙඳපොළ පදනම් වූ විනිමය අනුපාතය ස්ථාවරව පැවතීම, විදේශ සංචිතවල හිතකර වර්ධනය, පොලී අනුපාතික අඩු හා ස්ථාවර මට්ටමක පැවතීම හා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගැනීම ආදිය මගින් ආර්ථික ස්ථාවරත්වය තහවුරුව ඇත. අක්‍රීය ණය අඩු වෙමින් පවතින අතර පුද්ගලික අංශයේ ණය වර්ධනය ණයපත්, පුද්ගලික ණය සහ නිවාස ණය ඉල්ලු‍මෙන් මෙන්ම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විශේෂයෙන්ම සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය ඉල්ලු‍මෙන් ද නිරූපණය වේ. ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය තුළ  තෝරාගත් ණය පැහැර හැරීම් තත්ත්වයෙන් මිදීමත් සමග විදේශ මූල්‍යයන පහසුකම් සඳහා බැංකු වෙත ඇති ප්‍රවේශය වර්ධනය වූ අතර එහි දී අවදානම් අධිභාරය අඩුවීමෙන් ඇති වන වාසිය පාරිභෝගිකයාට ලැබෙමින් පවති. 

ඉදිරි දැක්ම 

ශ්‍රී ලංකාව 2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසු තීරණාත්මක හා අපහසු ප්‍රතිපත්ති ගැලපීම් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති අතර  තවදුරටත් ප්‍රතිපත්තිමය වැරදි සඳහා කිසිදු අවකාශයක් නොමැත. වැඩසටහනේ ප්‍රතිසංස්කරණ වැඩි ප්‍රමාණයක් එහි මුල් අවධියේදීම ක්‍රියාත්මක කර ඇතත්, වැඩසටහනේ පළමු භාගය සම්පූර්ණ වෙන මේ මොහොත වෙනවිට එම ක්‍රියාවලිය තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත. පසුගිය වැඩසටහන්වල සිදු වූ ප්‍රධාන දුර්වලතාවක් වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියා ආපසු හැරවීම මගින් ආර්ථිකයේ ස්ථාවරත්වය බිඳ වැටීමේ හා යළි ගොඩනැගීමේ විෂම චක්‍රය වෙත නැවත තල්ලු‍ වීම මෙවර වළක්වා ගත යුතුය. 

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ගෙන යාම සඳහා මහජන එකඟතාව දිනා ගැනීම ඉතා වැදගත් වෙන අතර ඒ සඳහා බදු මුදල් වියදම් වෙන ආකාරය ගැන විශ්වාසයක් ගොඩ නැගීම අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය අංශයේ ගැටලු‍වලට කල් පවත්නා විසඳුම් ලබාදීම සඳහා එම අංශයේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කළ යුතුව ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පවතින විශාල අවිධිමත් ආර්ථිකය බදු දැල තුළට ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු අතර එමගින් වක්‍ර බදු මගින් දිළිඳු ජනතාවට ඇතිවෙන පීඩනය අවම කළ හැක. 

සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් විය යුතු වුවද එය දරිද්‍රතාව මැඬලීම සඳහා වෙන දීර්ඝ කාලීන විසඳුමක් නොවන අතර ආර්ථික වර්ධනය තුළින් ඇති කරන රැකියා හා ආදායම් රැස්කිරීමේ අවස්ථා තුළින් පමණක් දරිද්‍රතාව කල්පවත්නා ලෙස අඩු කළ හැකි බව අවධාරණය කළ යුතුය. ජා. මු. අරමුදලේ වැඩසටහන තුළ වර්ධනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව වැඩි වගකීමක් ඇත්තේ ශ්‍රී ලංකා පාර්ශ්වයට වෙන බැවින් දෙවැනි වටයේ ප්‍රතිසංස්කරණ මගින් ව්‍යාපාර සඳහා හිතකර වාතාවරණයක් ගොඩනගා ගනිමින් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී ශ්‍රම සහ ඉඩම් වෙළෙඳපොළ ආවරණය වෙන නිෂ්පාදන සාධක වෙළෙඳපොළෙහි කාර්යක්ෂමතාව ඉහළ දැමීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වේ. 

වරාය නගරය ඇතුළු ආයෝජන අවස්ථා සඳහා විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම වැදගත් වෙන අතර ඒ සඳහා නිවැරදි බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය. ආර්ථික වර්ධනය අරමුණු කරගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, නිසි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, බදු දැල තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ අනුකූලතාව දිරි ගැන්වීම සහ රජයේ සංවර්ධන වැඩසටහන් ප්‍රමුඛතාව මත පෙළ ගැස්වීමේ දී වත්කම් මත ප්‍රතිලාභය සලකා බැලීම ආදිය සම්බන්ධව ඉදිරි කාලයේ දී අවධානය යොමු කළ යුතුය. 

බැංකු පද්ධතිය ප්‍රාග්ධනීකරණය තුළින් සිය ශක්තිමත් බව තවදුරටත් වර්ධනය කරගනිමින් සිටින අතර ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇත. ආර්ථිකය එහි උපරිම වර්ධන හැකියාව වෙත යොමු කරවීම කඩිනමින් සිදුවිය යුතු අතර දුෂ්කරතා මධ්‍යයේ ගොඩනගාගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව හා ණය තිරසර බව කල් පවත්නා ලෙස රැක ගැනීමටත්, අර්බුදය නිසා ජනතාවට අත්විඳීමට සිදු වූ මූල්‍යමය හානි යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉඩ සැලසීම සඳහාත් දිගු කාලීන ආර්ථික වර්ධනය සහතික වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය. 
සමස්තයක් වශයෙන් ගත්කල,  ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අභිවෘද්ධිය, දැඩි දුෂ්කරතා මධ්‍යයේ අත්කරගත් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම හා සුදුසු වර්ධනාභිමුඛ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මක කිරීම මත තීරණය වනු ඇත.