ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවේ සම අනුග්‍රාහකයෙකු නොවීම වාසියක්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය මේ දිනවල පැවැත්වෙයි. සෑම වසරකදීම සිදු වෙන පරිදි මෙවරත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධ ඔහුගේ ප්‍රධාන දේශනය ඉදිරිපත් කළ අතර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඔහුගේ ප්‍රකාශයේ දී පැහැදිලි කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ යුද්ධයේ අවසන් කාලයේ සිදුවී ඇතැයි චෝදනා නැගෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ද තාක්ෂණික සහාය ඇතිව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියට පිවිසීමට රජය කටයුතු කරන බව ය. මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට අදාළව සිදු වූ වර්ධන ගැන මේ පැහැදිලි කිරීම ගෙන එන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ය.

වසර 2009 දී සිවිල් යුද්ධය අවසාන වීමත් සමග යුද්ධයේ අවසාන කාලයේ දී සිදු වූවා යැයි කියන මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව අඛණ්ඩව යෝජනා ඉදිරිපත් කරනු ලැබීය. එම යෝජනා ගෙන ඒමට පෙර ඒ ඒ රටවල මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වාර්තාවක් සකස් කරයි. අදාළ වාර්තා කවුන්සිලයට ඉදිරිපත් කිරීමට පෙර ඒ ඒ රටවලට පිටපත් ලබා දෙයි. එසේ ලබා දෙන පිටපත්වල ඇතුළත් කරුණු වලට රටවල් එකඟ වීමට හෝ නොවීමට පිළිවන. මානව හිමිකම් කවුන්සිලයේ සභා රැස්වීම ආරම්භ වන දවසේ සාමාජික රටවල මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳව කොමසාරිස්වරයා විසින් මුඛ්‍ය දේශනයක් පවත්වනු ලබයි.

ලංකාවට එෙරහිව මානව හිමිකම් කවුන්සිලයේ විවිධ සැසිවාරවලදී යෝජනා සම්මත කොට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ ශ්‍රී ලංකා රජයේ කැපවීම එම මුඛ්‍ය දේශනයේ දී විමසුමට ලක්කරයි. 2015 දී පැවැත් වූ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ දී 31/1 නමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවට එවකට විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මංගල සමරවීර  සමඅනුග්‍රාහකත්වයක් ද දැක්වීය. යුද්ධයේ අවසන් කාලයේ සිදු වූවා යැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධ සිදුවීම් ගැන විමර්ශනය කිරීමට දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවටත් අන්තර්ජාතික පරීක්ෂණයක් කළ යුතු බවටත් එම වාර්තාවෙන් නිර්දේශ කෙරිණි. එපරිදි එම යෝජනාවට සමඅනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව සියතින්ම ගෙල සිරකරගත්තේ ය.

ඉන්පසු 35/1, 45/1, 46/1 සහ 55/1 යනාදී වශයෙන් කවුන්සිලයේ දී සම්මත කරන ලද යෝජනා වලින් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ නිර්දේශ ඉදිරිපත් කෙරිණි. මේ වසරේ සැප්තැම්බර් 08 වැනි දින සිට ආරම්භ වූයේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය යි. මෙවර සමුළුවාරය හා මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැසියට ඉදිරිපත් කළ වාර්තාව වැදගත්වීමට බලපාන තවත් හේතුවක් වන්නේ සැසිවාරය ආරම්භ වීමට පෙර ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කළ බැවිනි. එහිදී ඔහු යාපනය ප්‍රදේශයේ සංචාරයක ද නිරත වූ අතර යුද්ධයේ දී අතුරුදන් වූ අයගේ ඥාතීන් ද මුණගැසුණේ ය. ඊට අමතරව චෙම්මනි සමූහ මිනීවළ  නිරීක්ෂණය කළේ ය. සැසිවාරයේ දී මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කියවන්නේ මානව හිමිකම් කාර්යාලය විසින් පිළියෙල කරනු ලබන වාර්තාව යි. එම වාර්තාව කියවූ පමණින් ශ්‍රී ලංකාවට කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැත. යෝජනා සම්මත වීමක් සිදු වෙන්නේ ද නැත. මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ එම මුඛ්‍ය දේශනයට ය.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට හොඳ බව මගේ අදහස යි. ඊට හේතුව මානව හිමිකම් කවුන්සිලය සෑම අවස්ථාවකදී ම උත්සාහ කරන්නේ සම අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟ කරවා ගැනීමට ය. මීට පෙර අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරන ලද සම අනුග්‍රාහකත්වයෙන් සකස් කෙරුණු යෝජනාවලට අනුග්‍රහය දැක්වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. එහෙත් ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සලය දේශපාලන මඩගොහොරුවක් වශයෙන් විවේචනය කර එහි සාමාජිකත්වය ඉවත් කරගත්තේ ය. යෝජනාව සඳහා සම අනුග්‍රාහකත්වය ගන්නා ලෙස ලංකාවට යම් බලපෑමක් එල්ල වූයේ ඇමෙරිකාවේ ඉවත් වීමත් සමග ය. එහෙත් ශ්‍රී ලංකාව දැඩිව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. අදාළ සම අනුග්‍රාහක යෝජනාව ගෙන එනු ලබන්නේ බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් විසිනි. ශ්‍රී ලංකාවේ කැමැත්ත නැතුව එම රටවල් තනි වී සිටින බවක් පෙනේ. මේ සන්දර්භයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඔහුගේ මුඛ්‍ය දේශනයේ දී එම රටවල් සමූහය අප රට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්විය යුතු බවට වක්‍රව බලපෑම් කරයි.

ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර ප්‍රකාශ කළේත් යුද්ධයේ අවසන් කාලයේ දී සිදුවිණි යැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධ ප්‍රශ්නය විසඳන්නේ දේශීය යාන්ත්‍රණයක් මගින් බව ය. එබැවින් විදේශ කටයුතු අමාත්‍යවරයා මානව හිමිකම් සැසියේ දී කළ ප්‍රකාශය වත්මන් රජය ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කළ එක අවස්ථාවක් වශයෙන් සැලකිය හැකි ය. 2015 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් පසු වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. එකී ව්‍යාපෘතිය අනුව මෙතෙක් බලයේ සිටි කිසිදු රජයක් මානව හිමිකම් උල්ලංඝනයවීම් ගැන අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට අනුමතය ලබා නොදුන්නේ ය. එසේ ම ඒ සඳහා ජාත්‍යන්තර නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ද අවසර ලබා නොදුන්නේ ය. එහෙත් ඔවුහු ශ්‍රී ලංකාවෙන් බාහිරව සිට එම පරීක්ෂණය කරති. එහි වාර්තාව මේ වන විට ඉදිරිපත් කර ඇත.

මෙවර සැසියේ දී මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව සම්බන්ධ මුඛ්‍ය දේශනයට අමතරව බ්‍රිතාන්‍යයේ මානව හිමිකම් තානාපතිවරියත් වෙනම ප්‍රකාශයක් ලබා දුන්නා ය. ජාතික සංහිඳියාව ජාතික ඒකාබද්ධතාව ඉහළ නැංවිය යුතු බව ඇය සිය ප්‍රකාශයෙන් අවධාරණය කළා ය. වෙසෙසින්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව ද ඇය පවසා සිටියා ය. මේ ඉල්ලීම් සෑම සැසිවාරයකදීම පාහේ ඉදිරිපත් වේ. ඊට අමතරව ශ්‍රී ලංකාවට එරෙහිව නිතරම යෝජනා ගෙන එන සමඅනුග්‍රාහක කණ්ඩායම තවත් ප්‍රකාශයක් කළේ ය. මේ සියලු පාර්ශ්වවල යෝජනා හා ප්‍රකාශවලින් අවධාරණය කරන ප්‍රධාන කාරණය වන්නේ වගවීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රමාණවත් නොවන බව ය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ මුඛ්‍ය දේශනයේ දී අප රට ප්‍රශංසාවට ද ලක් කළේ ය. එහෙත් ඔහු 55/1  ජාතික සංහිඳියාවට අදාළව ගෙනා යෝජනාව ඉවත් කරගන්නේ ද නැත. එම යෝජනාවේ 57 සිට 63 දක්වා වගන්ති වලින් මෙරටට නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අහෝසි කළ යුතුය යන්න එම නිර්දේශවලින් එකකි. එසේ වුවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එක්වරම අහෝසි කළ හැකි ද යන්න ප්‍රශ්නසහගත ය. ඊට එක් හේතුවක් වන්නේ පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එම පනතින් සලසා ඇති ප්‍රතිපාදනය. අප දන්නා පරිදි ඉකුත් දිනෙක දී ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කණ්ඩායම ලංකාවට ගෙන ඒමෙන් පසු දින 90 ක් රැඳවුම් භාරයේ තබාගැනීමට අවසර ලැබී තිබෙන්නේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි සඳහන් ප්‍රතිපාදන වලිනි. එබැවින් මෙම පනත අහෝසි කරන්නේ නම් එය ඉතාම පරෙස්සමෙන් කළ යුතු ය.

මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනා ගෙන එන කණ්ඩායම් ඉදිරිපත් කරන බරපතළ නිර්දේශයක් ගැන අවධානය යොමුකිරීමට මම කැමැත්තෙමි. එනම්, ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තිය අස්සන් කර එය පිළිගත යුතු බව ය. එහි අර්ථය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය පිළිගත යුතු බව ය. ශ්‍රී ලංකාව මෙම නිර්දේශය එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබේ. එය ඉතා සාධනීය තත්ත්වයකි. එයට අස්සන් කළ හොත් ඕනෑම මොහොතක මෙරට යුද නායකයන් එම අධිකරණය හමුවට ගෙන යා හැකි ය. මෙම කණ්ඩායම් ඉදිරිපත් කරන තවත් චෝදනාවක් වෙන්නේ ශ්‍රී ලංකාවේ තැනින් තැන සමූහ මිනීවළවල් තිබෙන බවත් ඒවායෙහි කැණීම් කළ යුතු බවත් ය. මේ සමූහ මිනීවළවල් සම්බන්ධ කතා අද ඊයෙක ඇති වූවක් නොවන අතර, ඒවායෙහි ආරම්භය ඉන්දීය සාම සාධක හමුදා මෙරටට පැමිණි කාලය දක්වා අතීතයකට දිව යයි. කෙසේ වුවත් එවැනි මිනිවළවල් ගැන සොයා බැලීමත් හොඳ දෙයකි.

පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයන් මිය යෑම ගැන අවධානය යොමු කරමින් ඔවුන් කියන්නේ ලංකාවේ එම මරණ ඉහළ අගයක් ගන්නා බව ය. උතුරේ ඉඩම් ලබා දීම ගැනත් ඔවුහු කියති. මේ සියලු දේවල් කාලයක සිට ඉදිරිපත් වෙන ඒවා ය. විදේශ කටයුතු අමාත්‍යවරයා ඔහු ගේ දේශනයේ දී දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේ ය. එබැවින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවෙහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක නොකළ හොත් ඔවුන් අප රට සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කුමන ස්වරූපයක් ගනු ඇත්ද යන්න ගැන පුරෝකථනයක් කිරීම අපහසු ය. ඇතැම්විට අතිරේක කාලයක් ලබා දීමට පිළිවන. මෙහි ඇති තවත් වැදගත් තත්ත්වයක් නම්, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් 43 ක් පමණ ශ්‍රී ලංකාව දැනට ජාතික සංහිඳියාව සහ වගවීම සඳහා ගෙනයන වැඩ පිළිවෙළ පිළිගෙන තිබීම ය. ඊට එක් හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ සහ ලෝක බැංකුවේ සහාය හිමි වී තිබීමත් එම සංවිධානවල ප්‍රධාන තනතුරු උසුලන බටහිර අය ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳ ඇසකින් දකින නිසාත් ය.

මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝන ගැන දිගටම වාර්තා ඉදිරිපත් කළ අතර, ඒවායෙහි ඇතුළත් නිර්දේශ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ද අඛණ්ඩව විවේචන ඉදිරිපත් කළේ ය. මෙවැනි සන්දර්භයක මානව හිමිකම් කවුන්සිලය මේ කාරණය එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ගෙන ගොස් ඉන්පසු ආරක්ෂක කවුන්සලයට යොමු කළ හොත් නිර්මාණය වෙන තත්ත්වය බැරෑරුම් වීමට පිළිවන. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනය හෝ රුසියාව හෝ නිෂේද බලය භාවිත කරමින් එවැනි යෝජනාවක් පරාජයට පත් නොකළ හොත් ශ්‍රී ලංකාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීමට ඇති ඉඩ ඉහළ ය.

දූෂණ විරෝධී පනත ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන බව ඔවුන් පවසා ඇත. අනීතිකව උපයා විවිධ රටවල සඟවන ලද මුදල් නැවත ලංකාවට ගෙන ඒමේ උත්සාහයට ද අන්තර්ජාතික ප්‍රජාව කැමති ය. මීට වසරකට පෙර මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනා යෝජනාවෙහි ආර්ථික අපරාධ කරන ලදැයි සඳහන් විය. ඒවා ගැන සෙවිය යුතු බව ද එයින් නිර්දේශ කර තිබිණි. වත්මන් ආණ්ඩුව 2024 දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත නමින් ඉතා වැදගත් නීතියක් සම්මත කළේ ය. එම පනත යටතේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළව සෑම රාජ්‍ය නිලධාරියෙකුම වගකීමට බැඳ තිබේ. මෙවැනි කාර්ය පටිපාටියක් රටේ ක්‍රියාත්මක වුව ද මහ කොමසාරිස්වරයා ඔහුගේ මුඛ්‍ය දේශනයේ දී ඒ කිසිවක් ගැන කරුණු දැක්වූයේ නැත. තානාපති කාර්යාල මගින් රජය කරන මේ දේවල් ගැන ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කළ යුතු ය.

වසර 2026 සැප්තැම්බර් මානව හිමිකම් සැසිය පවත්වන කාලය වන විට අපේ වැඩසටහන කිව යුතු ය. වසර දහයකට අදාළව මානව හිමිකම් සැලැස්මක් සකස් කළ යුතු ය. මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්න විසඳීම සඳහා අපේ යාන්ත්‍රණයක් නිර්මාණය කර ඊට ජාත්‍යන්තරයෙන් තාක්ෂණික සහාය ලබා ගත යුතු ය. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් නිසා ලන්ඩන් හි පිහිටි මානව හිමිකම් ආයතනයෙන් ද තාක්ෂණික සහාය ගත හැකි ය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. එය ගෙනෙන තෙක් වත්මන් ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තවත් දියුණු කළ හැකි නම් වැදගත් ය. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වගකිවයුතු අය අත්අඩංගුවට ගෙන නඩු පවරන්නේ ද වන්දි ගෙවීමේ කාර්යාලය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද ආදිය පිළිබඳ ඔවුහු වැඩිමනත් අවධානය යොමු කරති. එබැවින් අප මේ සියල්ල ඇතුළත් යාන්ත්‍රණය නිසි අයුරින් පවත්වා ගෙන යා යුතු ය. 

ප්‍රතිසන්ධානය හා වගවීම ශක්තිමත් කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් තවදුරටත් ඉටු විය යුතු දේවල් තිබෙන බව ද අපි පිළිගත යුතු වෙමු. උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් සභාවක් පත් කර එහි වාර්තාව ප්‍රසිද්ධ කළ ද එහි නිර්දේශ නිසි ලෙස ක්‍රියාත්මක නොකළේ ය. උදලාගම හා මැක්ස්වෙල් පරණගම වාර්තා තිබුණ ද ඒවායෙහි නිර්දේශත් හරි හැටි ක්‍රියාත්මක නොකළේ ය. මෙම වාර්තාවල ඉතා වැදගත් නිර්දේශ ඇතුළත් වුව ද ඒ අවස්ථාවේ දේශපාලන වාසි තකා ඒවා ක්‍රියාවට නැංවූයේ නැත. දේශීය වශයෙන් පත් කළ මේ කමිටු වාර්තා අප විසින් ක්‍රියාවට නැංවීම අතපසු කරනු ලබන විට ජාත්‍යන්තරය ඒ කෙරෙහි අවධානය යොමු නොකරතියි කිව නොහැකි ය. 2012 දී එවකට මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වශයෙන් කටයුතු කළ ආචාර්ය නවනීදන් පිල්ලෙයි ශ්‍රී ලංකාවේ සංචාරය කළා ය. එම සංචාරය අලළා ඇය පූර්ණ වාර්තාවක් සකස් කළ අතර එයින් ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක් කරමින් නම් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාසය පළ කළා ය. එහෙත් ශ්‍රී ලංකාව ඒවා ක්‍රියාත්මක නොකළේ ය. එබැවින් අප දෙන පොරොන්දු ඉටුකිරීම වැදගත් ය. නැතිනම් අමාරුවේ වැටෙන්නේ රජය පමණක් නොව මුළු රටම ය. සෑම මට්ටමකම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් ප්‍රතිසන්ධාන හා වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු ය. අප කරන දේවල් ගැන ජාත්‍යන්තර ප්‍රජාවට සන්නිවේදනය කිරීම ද වැදගත් ය.

අප මෙහි දී අමතක නොකළ යුතු තවත් යථාර්ථයක් තිබේ. එනම්, අද වනවිට චීනය, ඉන්දියාව සහ දකුණු කොරියාව වැනි බලවත් රටවල් තනි කඳවුරක සිටින බව ය. සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් වී ඡන්ද විමසීමක් ඉල්ලා සිටිය හොත් අපට මෙම රටවල සහාය ද හිමි වෙනු ඇත. මේ රටවල නායකයෝ පසුගියදා චීනයේ දී නිමාවට පත් වූ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවාරයට ද සහභාගී වූහ. එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවකු සහභාගී නොවූ අතර එය අඩුපාඩුවක් ලෙස මම දකිමි. එවැනි අවස්ථා අපි භාවිතයට ගත යුතු වෙමු. මෙම සමුළුවේ දී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අමතර කාලයක් ලබා දීමට ඉඩ ඇත. මේ ක්ෂේත්‍රයේ කරන වැඩසටහන් ජාත්‍යන්තර තාක්ෂණික සහාය ද ලබා ගනිමින් මනා ලෙස ක්‍රියාත්මක කළ හොත් අපට මේ අභියෝගය ජයග්‍රහණය කළ හැකි ය. එසේ නොවුණ හොත් ශ්‍රී ලංකාවට විරුද්ධව තවත් යෝජනා ගණනාවක් ඉදිරි මානව හිමිකම් සැසිවාරවල දී ඉදිරිපත් වෙනු ඇත.

උපුල් වික්‍රමසිංහ