ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ සිව්වැනි ශ්‍රී ලංකා නිල සංචාරය ඉකුත් 4 වැනිදා සිට 6 වැනිදා දක්වා සිදු කෙරිණි. එහිදී මූලෝපායික වශයෙන් වැදගත් අවබෝධතා ගිවිසුම් හතකට අස්සන් තැබුණු අතර, ඒවායෙන් වැඩිමනත් කතාබහට ලක් වී තිබෙන්නේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමයි. විපක්ෂයේ පිරිස් පෙන්වා දෙන්නේ එයින් රටට අගතියක් වෙන බවත්, ඒ ගිවිසුම් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පවා ලබා නොගෙන ඇති බවත් ය. එහෙත් ජනාධිපතිවරයා ගාල්ලේ දීත් විදේශ කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දීත් ප්‍රකාශ කළේ එම අවබෝධතා ගිවිසුම් මගින් රටට අනර්ථයක් සිදු නොවන බවත්, ඒවා අස්සන් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කර අනුමැතිය ලබා ගත් බවත් ය. ඉන්දීය අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයේ හා අස්සන් තැබුණු අවබෝධතා ගිවිසුම්වල අන්තර්ගත දේශපාලන සහ ආරක්ෂක ඇඟවුම් පිළිබඳ විමසමින් ආචාර්ය දයාන් ජයතිලක සමග කළ සාකච්ඡාවක් මෙසේ ය.
Q ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී අනපේක්ෂිත ආකාරයේ ඉහළ පිළිගැනීමක් ඔහුට හිමි වූ බවක් අපි දැක්කා. ඓතිහාසිකව ඉන්දියානු ව්‍යාප්තවාදය තේමාත්මකවත් භාවිතාත්මකවත් ප්‍රදර්ශනය කළ ජවිපෙ වගේ දේශපාලන ව්‍යාපාරයක මේ ඓතිහාසික දේශපාලනමය හැරීම ඔබ තේරුම් ගන්නේ කෙසේ ද?
සමස්තයක් හැටියට මේ සංචාරය ගත්තහම මෙය මෝදි අගමැතිතුමාට හා ඉන්දියාවට විශාල ජයග්‍රහණයක්. ඒ වගේම ඔවුන් ලබපු විශාල තිළිණයක්. නමුත් ලංකාව පැත්තෙන් බලන විට එය එසේ නොවේ. මේ සංචාරයේ දී ලංකාව පසුබැස්මක සිටියා වගේම යම් විතැන්වීමකුත් වුණා. මෝදි අගමැතිවරයාට ආකාර කිහිපයක විශේෂ පිළිගැනීමක් හිමිවුණා. ඒ වගේම සුවිශේෂභාවයකුත් තිබුණා. ඒ සුවිශේෂභාවය කොතරම් සුදුසු ද කියන එක ප්‍රශ්නයක්. පළමුවැනි සුවිශේෂතාව තමයි 1948 දී නිදහස ලැබීමේ උත්සවය පැවැත්වීමෙන් පසු ලංකාවට පැමිණි කිසිදු විදේශ රාජ්‍ය නායකයෙකුව උත්සවශ්‍රීයෙන් නිදහස් චතුරශ්‍රයේ දී පිළිගනු ලැබුවේ නෑ. ශ්‍රී ලංකා ජනතාවගේ විශේෂ ආදරයට පාත්‍ර වූ හිටපු චීන අගමැති චෞ එන් ලායි 1957 දී ලංකාවට ආවා. 2013 දී චීන ජනාධිපති ෂී ජින්පින්ග් ලංකාවට ආවා. ඒ දෙදෙනා ඇතුළු කිසිදු රාජ්‍ය නායකයෙක් නිදහස් චතුරශ්‍රයේ දී පිළිගත්තෙ නෑ. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන්ව පිළිගනු ලබන්නෙ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට. නමුත් මෙවර ප්‍රථම වතාවට ඉන්දීය අගමැතිවරයාව නිදහස් චතුරශ්‍රයේ දී පිළිගනු ලැබුවා. එය නිවැරදි දෙයක් නොවේ.
ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරව පදක්කම මෝදි අගමැතිතුමාට පිරිනැමීමත් විශේෂත්වයක්. ලංකාව විසින් විදේශ නායකයෙකුට දෙන ඉහළම ගෞරවය එම පදක්කමයි. ඒ ගෞරවය මීට කලින් දීලා තිබුණෙ මියගිය යසර් අර්ෆත් නමැති පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයාට. ඒ 2014 දි. ඔහුගේ අභාවයෙන් පසු ඒ තනතුරට පත් වූ මහමුද් අබ්බාස් නමැති පලස්තීන ජනාධිපතිවරයාටත් එම තිලිණය ලංකාව විසින් පිරිනමනු ලැබුවා. ඉන්පසු වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙකුට මේ සම්මානය පිරිනැමුවෙ නෑ. නමුත් මෝදි අගමැතිතුමාට ජනාධිපතිවරයා විසින් එය පිරිනමනු ලැබුවා. එයත් සුවිශේෂභාවයක්. සුවිශේෂභාවය පැත්තෙන් අදාළ වෙන තව කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කළ කතාව. මම ඒ විදියෙ කතාවක් මීට කලින් දැකලා තිබුණෙ නෑ. ජනාධිපතිතුමා ඒ කතාව කළේ මෝදි අගමැතිතුමාගේ රසිකයෙක් විදියට. මෝදි අගමැතිතුමාත් ඔහුගේ කලාපීය නායකත්වය හා ලෝක නායකත්වය ගැනත් ප්‍රශස්ති ගී ගායනා කිරීමක් අපේ ජනාධිපතිතුමා අතින් සිද්ධ වුණා. මම වතාවක් රුසියානු ජනාධිපති පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින්ග්, ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් සහ හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන අය එකට හිටපු තැනක හිටියා. සිරිසේන මහත්තයා වත් ඒ වෙලාවේ මේ විදියෙ ප්‍රශස්ති ගායනා කළේ නෑ.
ඉන්දු-ලංකා ගිවිසුම සම්බන්ධයෙන් එදා තිබූ විවෘත භාවය මේ ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් දකින්න ලැබුණෙ නෑ
Q ඔබ දකින විදියට මෙය රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳ පරිචයක් නැතිකමේ ප්‍රශ්නයක් ද?
නෑ. මෙය ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. එක අන්තයක සිට අනිත් අන්තය දක්වා දෝලනයවීම සමහර සංවිධානවල සිරිතක්. අන්ත වමේ සිට අන්ත දකුණට දෝලනය වෙනවා. ඒක තමයි මෙතැන සිද්ධවෙලා තියෙන්නෙ.
Q සාම්ප්‍රදායික ඉන්දියානු විරෝධයෙන් එපිටට ගොස් ඉන්දීය සබඳතා සම්බන්ධයෙන් ජවිපෙ යම් නම්‍යශීලීභාවයක් පසුගිය කාලයේ ගොඩනඟා ගත්තා. මේ හැසිරීම ඒ නම්‍යශීලීභාවයේ ප්‍රතිඵලයක් ද? නැතිනම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් කාලයේ දී විශේෂයෙන්ම ඔහුගේ දිල්ලි සංචාරයේ දී විෂන් ලේඛනය මගින් ඉන්දියාව සමග ගොඩනඟා ගත් සබඳතාවල දිගුවක් ද?
ඔය දෙකම නොවෙයි. මම එසේ කියන්නෙ ප්‍රධාන හේතුවක් නිසායි. 2023 අගෝස්තු මස 18 වැනිදා විශ්‍රාමලත් හමුදා සාමූහිකය අමතමින් අනුර දිසානායක මහත්මා කළ දීර්ඝ දේශනය වැදගත්. ඒකෙදි ඔහු ප්‍රතිචාර දක්වන්නෙ එවක ජනාධිපති වික්‍රමසිංහ ඉන්දියාවට ගොස් අස්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට. එතැනදි අනුර කුමාර කිව්වෙ ලංකාව ඉන්දියාව සමග විදුලි රැහැන් ඇදීම, තෙල් නළ එළීම මගින් දෙරට සම්බන්ධ කිරීම ආදී කටයුතුවලට අදාළව ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් මගින් රටට ප්‍රශ්න ඇති වෙන බවයි. රටේ නිදහස මේ ගිවිසුම්වලින් නැති වෙන බවත් ඔහු කිව්වා.
එදා අනුර කුමාර දිසානායක කියපුවා අඩු වැඩි වශයෙන් නිවැරදියි. ඒ නිසා මෙතන තියෙන්නෙ 2023 දි කියපු දේවල් 2025 දි වෙනස් කරපු දෙයක් මිසක් - 1970 සහ 1980 ගණන්වල කියපු ඒවා වෙනස් කරන දෙයක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ගෙ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම ගැනත් වර්තමාන ජනාධිපතිවරයා 2024 දි නිවැරදි විවේචනයක් කළා. නමුත් එතුමා බලයට පත් වුණාට පස්සෙ ඒ ගිවිසුම එක කොමාවකින්වත් වෙනස් කළේ නෑ. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ 2023 යි 2025 යි අතර මහා ආර්ථික අවපාතයක් ඇති වුණේ නෑ. 2023 දි කියපු දේවල් ක්‍රියාත්මක කරන්න ඕනෑ. එහෙම නැතුව අංශක 180 කින් හැරෙන්න හොඳ නෑ. එතුමා ඉන්දියාව සම්බන්ධයෙනුත් අංශක 180 ක් දකුණට හැරිලා තියෙනවා. අයි.එම්.එෆ්. එකඟතාව සම්බන්ධයෙනුත් අංශක 180 ක් දකුණට හැරිලා තියෙනවා. මෙය සැලකිය හැක්කෙ ලබාගත්ත ජනවරම පාවාදීමක් හැටියට.
Q අස්සන් තැබුණු ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමෙන් රටට අහිතකර විපාක අත්වෙන බව විවිධ පාර්ශ්ව කීවත් ජනාධිපතිවරයාත් විදේශ කටයුතු අමාත්‍යවරයාත් එවැනි අනතුරක් නැති බව පැහැදිලිව පවසා තිබෙනවා. මෙයින් රටට අගතියක් වෙනවා කියා ඔබ හිතනවා ද?
අනිවාර්යයෙන්ම. මේ අවබෝධතා ගිවිසුමේ විනිවිදභාවය ගැන ගැටලුවක් තියෙනවා. දෙවැන්න එය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදය. ඉන්දු-ලංකා ගිවිසුම ගත්තොත් ඒක ඉතා ඉක්මනට ප්‍රසිද්ධ කළා. ඒ ගිවිසුම අස්සන් කළාට පස්සෙ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත් රජීව් ගාන්ධි අගමැතිතුමාත් මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්වුවා. ඒ විවෘත මාධ්‍ය සාකච්ඡාවට දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වුණා. නමුත් එදා තිබුණු ඒ විවෘතභාවය මේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ ගිවිසුම ගැන ටිකක් හරි තොරතුරු දැනගන්න ලැබෙන්නෙ ඉන්දියානු මාධ්‍යයෙන්. ඉන්දියානු ජනමාධ්‍ය ඒ ගිවිසුම විශ්ලේෂණය කරනවා. නමුත් ලංකාවේ මිනිස්සු ඒ ගිවිසුම ගැන දන්නෙත් නෑ.
ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමෙන් ලංකාව චීනයට විරුද්ධ ක්වොඩ් සංවිධානයේ සාමාජික රාජ්‍යයක පැත්ත අරගෙන තියෙනවා
Q ඉන්දීය විදේශ ලේකම්වරයා මෝදි අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර 28 වැනිදා නවදිල්ලිහිදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වෙ ලංකාව සමග තිබෙන ආරක්ෂක සහයෝගීතා ගිවිසුම මේ සංචාරයේදී යාවත්කාලීන කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව. ඒකේ තේරුම ලංකාව මීට කලින් ඉන්දියාව සමග මේ විදියෙ ගිවිසුමකට අස්සන් තැබුවා කියන එක ද?
නෑ. ශ්‍රී ලංකාවට ඉන්දියාව, චීනය, පාකිස්තානය ඇතුළු තවත් රටවල් ගණනාවක් සමග ආරක්ෂක සම්බන්ධතා සහ නිශ්චිත ගිවිසුම් තියෙනවා. නමුත් ඒ ගිවිසුම්වලට උඩින් තව එකක් අවශ්‍ය වෙන්නෙ නෑනෙ. මොකක් ද යාවත්කාලීන කරනවා කියන්නෙ? මේ ගිවිසුම් තනි ආකෘතියක් යටතට ගේනවා කියනවා. අලුත් දේවල් නැත්නම් එසේ කිරීමේ අවශ්‍යතාව මොකක්ද කියලා මම ප්‍රශ්න කරනවා. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට රටක් වෙනත් රටක් සමග ආරක්ෂක ගිවිසුමක් අස්සන් කරනවා නම් ඒක ඉස්සෙල්ලාම ධවල පත්‍රිකාවක් හැටියට පාර්ලිමේන්තුවට ගේනවා. නමුත් මෙතැනදි එහෙම ධවල පත්‍රිකාවක් ගෙනැල්ලා විවාද කරලා සියලු පක්ෂ සමග සාකච්ඡා කරලා අවශ්‍ය සංශෝධන ගේන තත්ත්වයක් තියා ගිවිසුම අස්සන් කළාට පසු දවස් ගාණක් ගියත් තවම එළියට දාලා නෑ. ඒ කියන්නෙ මෙතැන මොනවා හරි තියෙනවා කියන එකනෙ.
Q නමුත් ජනාධිපතිවරයා ගාල්ලේ පැවති ජන රැලියක් අමතමින් කියනවා එම ගිවිසුමෙන් රටට අනතුරක් නෑ කියලා. ඔහු කියන්නෙ එය ඒකාබද්ධ මෙහෙයුම්, පුහුණු වැඩසටහන් හා පර්යේෂණ කටයුතුවලට පමණක් අදාළ වෙන ගිවිසුමක් බව.
ජනාධිපතිතුමා ගාල්ල කතාවේ දී පරස්පර විරෝධී කතා දෙකක් කියනවා. එකක් ඔහු කියනවා ගිවිසුමේ අලුත් දේවල් මොකුත් නැති බවත් තිබෙන්නෙ පැවති දේවල් බවත්. ඊට පස්සෙ එතුමා අලුත් තර්කයක් ගේනවා. කලාපයේ ආරක්ෂාව වැදගත් බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවටත් වගකීමක් තිබෙන බවත් ඒ සඳහා දියුණු යුද විද්‍යා හා තාක්ෂණය සහිත රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන්න වෙන බවත් කියනවා. ලංකාවෙ අවුරුදු 76 ක් තිස්සේ යුද විද්‍යාව දියුණු කරලා තිබුණා නම් මෙවැනි ගිවිසුම් අස්සන් නොකර ඉන්න තිබූ බවත් ජනාධිපතිතුමා කිව්වා. ඒ කියන්නෙ මෙතැන අලුත් දෙයක් තියෙනවා. අවුරුදු 76 ක් තිස්සෙ නොකළ දෙයක් නම් මේ ගිවිසුමෙන් අලුත් දෙයක්නෙ කරන්න හදන්නෙ.
මෙතැනදි අපිට අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි කලාපය කියන්නෙ මොකක් ද? දකුණු ආසියාවට ද ආසියාවට ද? දකුණු ආසියාවට විතරක් නම් ඔය විදියෙ යුද විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ගිවිසුමක් ඉන්දියාවත් එකක් විතරක් අත්සන් කරන එක හොඳ නෑනෙ. අප සමග දීර්ඝකාලීන මිත්‍රත්වයකින් කටයුතු කරන පාකිස්තානය ඉන්නවා. ආසියානු කලාපය ගත්තොත් චීනයත් ඉන්නවා. අනිත් එක තමයි යුද විද්‍යාව සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන ලොකු කැක්කුම මොකක් ද? එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවති යුද්ධය අපි ජයග්‍රහණය කළා. කාට විරුද්ධව කාගේ ආරක්ෂාව සැලසීම සඳහාද අපට යුද විද්‍යාත්මක ඌනතාවක් තියෙන්නෙ? කවුද කිව්වෙ එහෙම ඌනතාවක් තියෙනවා කියලා. මොන වගේ යුද තාක්ෂණයක් ද අවශ්‍ය වෙන්නෙ? ඒක ගන්න තියෙන එකම තැන ඉන්දියාව ද? රට ණය බරින් මිරිකෙන මිනිස්සු ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටෙන තත්ත්වයක යුද විද්‍යාව පිළිබඳව ප්‍රමුඛත්වය දිය යුතුද? මේ විදියෙ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කොළේ වහලා ගැසීමක් තියෙන්නෙ.
මේ ගිවිසුම ගැන ඉන්දියානු ජනමාධ්‍ය වාර්තා කරන විදියට ඉන්දියාවේ අවි නිෂ්පාදන හා ගබඩා කිරීමේ පහසුකම් ලංකාවේ ඇති කරන්න මේ ගිවිසුමෙන් එකඟවෙලා තියෙනවා. මට පේන විදියට ලංකාවේ යුද කර්මාන්ත ආරම්භ කරලා ඉන්දියාව විසින් ආයුධ ගබඩා කළොත් ඉන්දියාව කියයි මේවා රැක බලා ගන්න එයාලගෙ හමුදා ඒකක ඕනෑ කියලා. ඉන්දියානු යුද කර්මාන්තශාලා හා ගබඩා ලංකාවේ ස්ථාපිත කළොත් ලංකාව වෙන රටක ඉලක්කයක් වෙන්නෙ නැද්ද? අපි මේවත් තේරුම් ගත යුතුයි.
Q චීන-ඉන්දියා බල තුලනයට මෙයින් බලපෑමක් වෙයි කියලා ඔබ හිතනවා ද?
මෙතන අපි කරලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම පීලිපැනීමක්. එක පැත්තකින් අපේ කිට්ටුම අසල්වැසියා ඉන්නවා. අනිත් පැත්තෙන් දූරස්ථ නමුත් අචල පෝසත් මිත්‍රයෙක් ඉන්නවා. ඒ තමයි චීනය. මේ දෙරටම මිත්‍රයන් වශයෙන් තියාගෙන රාජ්‍යතාන්ත්‍රිකව හා මූලෝපායිකව සම දූරස්ථභාවයක් තියාගෙන දෙරට අතරම සමතුලිතතාවක් තබාගනිමින් විදේශ සබඳතා හසුරවනවා වෙනුවට අනුර කුමාර ජනාධිපතිතුමා කරලා තියෙන්නෙ එක පැත්තක් ගැනීම.
ඉන්දියාව කියන්නෙ චීනයේ බලපෑම තුරන් කිරීමට නැතිනම් චීනය කොටු කිරීමට පිහිටු වූ “ක්වොඩ්” සංවිධානයේ සාමාජික රාජ්‍යයක්. අනිත් සාමාජික රටවල් වෙන්නෙ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය. ඒ සංවිධානයේ එක් ප්‍රබල සාමාජික රාජ්‍යයක් සමග ආරක්ෂක ගිවිසුමක් අස්සන් කරන කොට සිදුවෙන දේ තමයි පැත්තක් ගැනීම. ඒ පැත්ත අරගෙන තියෙන්නෙ කවදාවත් අපට වරදක් නොකරපු යුද්ධ කාලයේ දීත් අපට අචලව සහාය දුන් චීනයට විරුද්ධව. මේක ප්‍රඥාගෝචර සහ සදාචාරාත්මක පියවරක් නොවෙයි. මේ කරගෙන යන දේ ගැන රටක් විදියට අපි ලැජ්ජා වෙන්න ඕනෑ.
ජනාධිපතිතුමා ඔහුගෙ කතාවේ දි ධීවර ප්‍රශ්නය ගැන මතු කළා කියලා කිව්වට කිසිදු ගිවිසුමක් අත්සන් කළේ නෑ
Q ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ දී අදානි සමාගම මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉවත්වීම ගැන බරින් සාකච්ඡා වෙනු ඇති බවටත් අගමැතිවරයා ඒ ඔස්සේ ලංකාවට යම් තෙරපුමක් ඇති කරනු ඇති බවටත් මත පළ වුණත් එවැන්නක් සිදු වූ බවක් අපි දැක්කෙ නෑ. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?
සාකච්ඡා වෙච්ච දේවල් ගැන අපිට පරිපූර්ණ වශයෙන් කියලා නෑ. නමුත් අපි දන්න දේවල් දෙකක් තියෙනවා. අපි ඉන්දියාවට හුඟක් දේවල් දීලා තියෙනවා. කවදාවත් නොවූ විරූ ආකාරයට අපි මේ අවස්ථාවේ ඉන්දියාව සමග ගැටගැහිලා තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් ලංකාව ලබා ගත්තු දෙයක් නෑ. ඒ කියන්නෙ අපිට බැරි වුණා ඉන්දියාව ගිවිසුමකට තල්ලු කරන්න ධීවර ප්‍රශ්නය ගැන. ජනාධිපතිතුමා ඒ ගැන ඔහුගෙ කතාවෙදි ඒ කාරණය ගැන මතු කළා කියලා කිව්වට කිසිදු ගිවිසුමක් අස්සන් කළේ නෑ.
කච්චතිව් දූපත ගැනත් ඉන්දියානු අගමැතිවරයා ගෙන් එකඟතාවක් ගන්න බැරි වුණා. අදානි ප්‍රශ්නයට වඩා බැඳියාව පිළිබඳ දෙයක් තියෙනවා. අදානි සමාගම බංග්ලාදේශයට යළිත් වතාවක් පූර්ණ වශයෙන් විදුලි සැපයුම ආරම්භ කර ඇති බවට බීබීසී පුවත් සේවය වාර්තා කරලා තියෙනවා. බංග්ලාදේශයේ පැවති ආරවුල් තත්ත්වය හේතුවෙන් ඉන්දියාවෙන් ලබාගන්නා විදුලිය වෙනුවෙන් අදානි සමාගමට ගෙවිය යුතු මුදල් බංග්ලාදේශයට ගෙවාගන්න බැරිවුණා. ඒ නිසා අදානි සමාගම කළේ එරටට සපයන විදුලියෙන් සියයට 50 ක් මාස හතරකට අත්හිටුවීම. බංග්ලාදේශය ඒ මුදල් පියවූවාට පසු අදානි සමාගම බංග්ලාදේශයට පූර්ණ වශයෙන් විදුලිය සැපයූවා. බලශක්ති සැපයුම් පිළිබඳ ස්විචය වෙනත් රටකට පැවරීම කොතෙක් භයානක ද යන්න මෙයින් පැහැදිලි වෙනවා.
තමිල්නාඩු ප්‍රාන්තය ලංකාවට විරුද්ධව එක්තරා මතවාදයක ඓතිහාසිකව ඉන්න බව අපි අමතක නොකළ යුතුයි. තමිල්නාඩුවෙ දස ලක්ෂ අසූවක ජනතාවක් ඉන්නවා. යුද අපරාධ හෝ ධීවර ප්‍රශ්නය ගැන තමිල්නාඩුව ලංකාවට විරුද්ධව ඉදිරියේදී ප්‍රබල හඬක් නැඟුවොත් මේ ගිවිසුම් මගින් නවදිල්ලියට ලංකාවේ බලශක්තිය සම්බන්ධයෙන් භාර දෙන ස්විච් ඕෆ් කරන්නෙ නෑ කියලා සහතික වශයෙන් කියන්න පුළුවන් ද? මන්නාරමයි දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවයි යා කරන රැහැන් ඇදීමට හා නළ ඇදීමට අදාළ අවබෝධතා ගිවිසුම්වලටත් මේ සංචාරයේදී අත්සන් තැබුණා. අපි දන්නෙ නැද්ද තමිල්නාඩුව අපි ගැන මොනවද හිතන් ඉන්නෙ කියලා. ඇයි අපි අපේ ගෙළටම තොණ්ඩුවක් දාගන්නෙ? මේක තමයි මේ ගිවිසුම් හතෙන්ම කෙරිලා තියෙන්නෙ.