විසි වසරක් බලයේ ඉන්න පුළුවන් ද?


ජ.වි.පෙ. මහලේකම් ටිල්වින් සිල්වා ඉකුත්දා චීනයේ සංචාරයක යෙදුණේය. චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් සමග ලැබූ අත්දැකීම් ටිල්වින් සිල්වා මහතා ඉකුත්දා ජනමාධ්‍ය සමග බෙදා ගත්තේය. එහිදී ජවිපෙ මහ ලේකම්වරයා කියන්නේ රටේ වෙනස්කම් සිදුකිරීමට නම් වසර පහළොවක් විස්සක්වත් බලයේ සිටිය යුතු බවත් මැතිවරණ තුන හතරක්වත් දිනාගත යුතු බවත් චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් පෙන්වා දුන් බවත්ය. චීනයටද නූතන දියුණුව ලබාගැනීමට වසර හතළිහක් පමණ ගත වූ බව ටිල්වින් කියා සිටියේය.

ලෝකයේ ආර්ථිකමය වශයෙන් දියුණු වූ සෑම රටක්ම කෙටි කාලයකින් එම දියුණුව ලබා ගත්තේ නැත. ඒ සඳහා රජය, දේශපාලකයන් සහ මහජනතාවද එක හා සමාන කැපකිරීම් කරමින් ආර්ථිකමය ඉලක්ක ජයග්‍රහණය කිරීම සඳහා දුෂ්කර ගමනක් යා යුතුය. බොහෝ රටවල් මැතිවරණ පැවැත්වීමෙන් තොරව එක දිගට වසර පහළොවක් විස්සක් රට පාලනය කරමින් එම දියුණුව ලබා ගත්තේ වැඩවර්ජන තහනම් කරමින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් සිරගත කරමින් සහ අවම වැටුපට වැඩි වේලාවක් වැඩ කිරීමේ නීති පනවමිනි. රටවල් හැදුවේ එහෙමය.

චීන නිලධාරීන් මෙන්ම ටිල්වින් සිල්වා කියන කතාව සියයට සියයක්ම නිවැරදිය.

එහෙත් ලංකාවේ එවැනි ක්‍රියාමාර්ගයකින් ආර්ථික දියුණුව ලබාගැනීමට හැකියාව තිබේද?

ජවිපෙ මහ ලේකම්වරයාගේ අදහසට සමාන මෙවැනිම අදහසක් 1978 දී පළ කළේ තුනෙන් දෙකේ අතිවිශාල බලයක් ලැබූ මෙරට ප්‍රථම ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනය. ජයවර්ධන මහතා ඔහුගේ ආණ්ඩුව බලයට පත්වී පළමු දින සියය තුළ රට තුළ ආර්ථික හා දේශපාලන වශයෙන් විශාල වෙනසකට අඩිතාලම දැමීය. නිදහස් වෙළෙඳ කලාපය ඇරඹීය. මහවැලිය කඩිනම් කරන සැලැස්ම එළිදැක්වීය. නිදහස් ආර්ථික ක්‍රමය රට තුළට කැඳවා ගත්තේය. ඒ සමගම ඔහු කීවේ රට සංවර්ධනය කිරීම සඳහා රජයකට වසර හයක් ප්‍රමාණවත් නොවන බවය. අඩුම වශයෙන් වසර පහළොවක්වත් එකම රජයක් පැවතිය යුතු බවත් එවිට රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකළ හැකි බවත් ජයවර්ධන ජනාධිපතිවරයා පැවසීය.

එකල ඔහු ඒකාධිපතියකු වන්නට යන බව කියමින් ශ්‍රීලනිපය හා ජවිපෙ එම ප්‍රකාශයට නින්දා කළ මුත් වර්තමාන ජවිපෙ මහලේකම්වරයාද එදා ජේ.ආර්. දැරූ මතයම දරයි. ජේ.ආර්. මෙන්ම ටිල්වින්ද නිවැරදිය. අපේ රටේ සිදුවන්නේ රජයක් යම් ප්‍රතිසංස්කරණයක් කරගෙන යන විට ඊළඟ මැතිවරණයෙන් එම රජය පරාජයට පත්වීමය. නව රජය එම වැඩපිළිවෙළ අතහැර තමන්ගේම වැඩපිළිවෙළක් අලුතෙන්ම ආරම්භ කරයි. පැවැති ආණ්ඩුවේ වැඩපිළිවෙළත් ඒ සඳහා වැය කළ අතිවිශාල මහජන මුදල් ප්‍රමාණයත් විනාශ කරමින් නව රජය තවත් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරයි. එම ප්‍රතිසංස්කරණද අතරමග නවතින්නේ මීළඟ මැතිවරණයෙන් එම රජයද පරාජයට පත්වන නිසාය. අලුතෙන් පත්වන රජය පෙර රජයේ වැඩපිළිවෙළ නවත්වා යළිත් තමන්ගේම වැඩපිළිවළක් අරඹයි.

ශ්‍රී ලංකාවේ තට්ටු මාරු දේශපාලනය අනුව කිසිම ආණ්ඩුවකට හරි හැටි රට සංවර්ධනය කරන්නට නොහැකි වූයේ වසර හයෙන් හයට ආ මැතිවරණවලින් ආණ්ඩු මාරු වූ නිසාය.

රටක් හදන්නට නම් එකම පක්ෂයට වසර විස්සකවත් කාලයක් බලයේ රැඳී සිටීමේ ඉඩකඩ තිබිය යුතුය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මැතිවරණ කල්දමමින් බලහත්කාරයෙන් හෝ ගෙන ගිය පාලන ක්‍රමය නොතිබුණේ නම් අදටද මහවැලි ව්‍යාපාරය සම්පූර්ණ නොවන්නට ඉඩ තිබිණ. කුරුණෑගල – කඩවත අධිවේගී මාර්ගය අතරමග නටබුන් වී ඇති ආකාරයටම ආණ්ඩු මාරුවත් සමග වික්ටෝරියා වේල්ල අඩක් බැඳ නතර කර දමන්නට එදා සිදුනොවූයේ ජේ.ආර්. ඡන්ද කල් දමා මැතිවරණ සිතියම අකුළා දමා තම පරම දේශපාලන සතුරා වූ විපක්ෂ නායිකාවගේ ඡන්ද බලය අහිමිකර විපක්ෂයේ ප්‍රබලයන් සිර ගතකර මහවැලියත් හදා නිදහස් වෙළෙඳ කලාපත් අරඹා රටට ආර්ථික දියුණුවක් ඇති කර දුන් නිසාය.

ජේ.ආර්.ට ඇති චෝදනා වෙනම කතාවකි. එහෙත් ඔහු ඇරඹූ සංවර්ධන ව්‍යාපෘතිවලට ළඟින්වත් යාහැකි සංවර්ධනයක් ඇතිකිරීමට ඉන්පසු ආ කිසිම රජයකට නොහැකි විය. ඔහුට තවත් වසර හයක් ලැබුණේ නම් මෙරට සමාජයීය අතින් කෙසේ වෙතත් ආර්ථික අතින් වඩාත් ඉදිරියට යන්නට ඉඩ තිබිණි. ටිල්වින්ගේ ප්රකාශයට අපද එකඟවන්නේ ඒ අරුතිනි. 

ලෝකයේ විස්මයජනක දියුණුවක් ලබා ඇති දකුණු කොරියාව අද පවතින දියුණුව ලැබීමේ අඩිතාලම දැමුවේ එරට හමුදා ආඥාදායක ජනරාල් පාක් චුන්ග් හී විසිනි. 1962 හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබාගත් පාක් චුන්ග් හී සිය හමුදා සාමාජිකයන්ද සමග එකතුව රටේ ආර්ථික දියුණුවේ අඩිතාලම දැමීය. 1962 බලයට පත් වූ ඔහු 1979 දී ඝාතනය වන තුරුම රට තුළ දැඩි ආර්ථික වර්ධනයක් සිදුකළේය. කොරියානු ඉතිහාසයේ වඩාත්ම ප්‍රතිඵලදායක නායකයා වූයේ ඔහුය. බලයට පත්වීමෙන් පසු ඔහු ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ආරම්භ කළ අතර එය අවසානයේ වේගවත් හා පෙර නොවූ විරූ ආර්ථික වර්ධනයක් හා කාර්මීකරණයකට මග පෑදුවේය. එය හැඳින්වෙන්නේ ‘%හැන් ගඟේ ආශ්චර්යය’ වශයෙනි. ඔහුගේ කාලයේ ආරම්භ කළ හුන්ඩායි සහ සැම්සුන් වැනි සමාගම් අද ලෝක ව්‍යාප්ත සමාගම් ජාලයකි. 1962 සිට ඔහුගේ ඝාතනය සිදුවූ 1979 දක්වා රට විශාල ආර්ථික ශක්තියක් හිමි කරගත් අතර ඔහුගෙන් පසු හමුදා ආඥාදායක වූ චුන් ඩු හ්වාන් යටතේ 1996 දක්වාම එම ආර්ථික දියුණුව ඉදිරියට ගලා ගියේය. කම්කරුවන් සඳහා අඩු නිදහස. අඩු වැටුප් සහ මානව හිමිකම් මර්දනය කිරීම එම වසර තිස්පහක කාලය තුළ ආර්ථික වර්ධනයේ සාර්ථකත්වයට හේතු විය.

දකුණු කොරියාවේ සංවර්ධන මොඩලයෙන් අපට ලබා ගත හැකි පාඩම නම් රටක් සංවර්ධනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ අනවශ්‍ය බාධාවක් බවය. දකුණු කොරියාව, චීනය වියට්නාමය වැනි රටවල් එම විස්මය ජනක ආර්ථික සංවර්ධනය ලබා ගත්තේ බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වීමේදී නොව එක් පක්ෂයක පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දීය. වැඩි ශ්‍රමය සහ අඩු වැටුප මෙම සෑම රටකම ආරම්භක සමයේ ප්‍රධාන ලක්ෂණ විය. ලංකාවට එසේ කළ හැකි ද?

ජවිපෙ මහලේකම්වරයා සඳහන් කරන චීන ජනරජයේ ආර්ථික ආශ්චර්ය ඒ ආකාරයට කරගෙන යාමට හැකි වූයේ එරට බහු පක්ෂ ක්‍රමයක් නොමැති නිසාය. රට සංවර්ධනය කරද්දී යම් වර්ෂ කිහිපයක් පොදු ජනතාවට දුෂ්කරතා උදාවේ. චීන විප්ලවයෙන් පසු රට ගොඩනගද්දී කුසගින්නේ මියගිය පිරිස ලක්ෂ සංඛ්‍යාතය. කැපකිරීම් කළ එම පරම්පරාවේ මිනී වළවල් උඩින් නූතන චීනය ගොඩනැඟුණේය. රුසියාවේද ජපානයේද මැලේසියාවේද ආණ්ඩු සංවර්ධනය ළංකර ගත්තේ ඒ ආකාරයටය. මැතිවරණ පස්සටය. රට හැදීම පළමුවය.

මෙරට වැඩිම කාලයක් එකදිගට රටපාලනය කළේ 1977 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන රජය විසිනි. විවෘත ආර්ථිකය අරඹමින් රටේ පෞද්ගලික අංශය ගොඩනැගීමෙහිලා ජයවර්ධන රජය ගත්තේ විප්ලවීය පියවරකි. එකල ශ්‍රීලනිපය ජනතා විමුක්ති පෙරමුණ සහ උතුරේ ත්‍රස්තවාදී කල්ලි ඔහුගේ රජයට විශාල ලෙස බාධා නොකරන්නට විවෘත ආර්ථික සංකල්ප යටතේ සිංගප්පූරුව පරදවන ආර්ථික දියුණුවක් ලබා ගන්නට මෙරටට හැකියාව ලැබෙන්නට තිබිණි. රාජ්‍ය දේපොළ ගිනිතැබීම් වැනි කඩා කප්පල්කාරී ක්‍රියා මැද වුවත් අදද රටට ආදායම් ලැබෙන්නේ ජේආර් සහ ප්‍රේමදාස ආණ්ඩු විසින් ඇති කරන ලද ව්‍යාපාරවලිනි. පස් අවුරුදු කඩිනම් මහවැලියේ ප්‍රතිලාභ වඩාත් භුක්ති වින්දේ ජේආර්ගෙන් පසු පරම්පරාවය.

මහවැලි ජලාශ ගොවිබිම් අස්වද්දමින් විදුලිය සපයමින් කරන සේවය වර්තමානයේදී ද අති ඉහළය. නිදහස් වෙළෙඳ කලාප, ඇඟලුම්හල් 200 වැඩ සටහන වැනි ව්‍යාපාර තවදුරටත් ප්‍රතිලාභ සලසා දෙමින් සිටියි. ජේආර්ගේ සිහිනය වූ එක දිගට වසර පහළොවක් රට පාලනය කිරීමේ සැලසුම බාධාකිරීම් වලින් තොරව සිදුකරන්නට ඉඩ ලැබුණේ නම් ජවිපෙ මහලේකම්වරයාට රට සංවර්ධනය උදෙසා එවැනි සිහිනයක් දකින්නට සිදුවන්නේ නැත. අවාසනාවකට රටට එම ප්‍රතිලාභය අහිමි කළේ ටිල්වින්ගේ ආරම්භක නායක රෝහණ විජේවීර ඇතුළු කණ්ඩායම් විසිනි.

රටක් ගොඩනැගීමට නම් ජනතාවට විශාල වශයෙන් කැපකිරීම් කරන්නට සිදුවෙයි. විදේශයෙන් ආනයනය කරන ආහාර ද්‍රව්‍යයේ සිට සියලු පාරිභෝගික භාණ්ඩ ආනයනය නතර කිරීමට සිදුවෙයි. චීනය වැනි රටවල් ධනවත් වූයේ විදේශයෙන් කිසිම දෙයක් නොගෙනෙන ප්‍රතිඵලයක් තුළිනි.

ලංකාවේද එවැනි උත්සාහයක් 1970 දැරුවද එම රජයට ඉනික්බිතිව ගෙදරයාමට සිදුවිය.

1970 සමගි පෙරමුණු ආණ්ඩුව තමා විසින්ම පෙනී සිටියේ සමාජවාදී ආණ්ඩුවක් හැටියටය. ලංකා සමසමාජ පක්ෂයත් ලංකා කොමියුනිස්ට් පක්ෂයත් හවුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ගිය සමගි පෙරමුණු රජයේ තිබූ සමාජවාදී ප්‍රතිපත්තියක් නැත. ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩුව ගෙනියන්න මුදල් නැතිකමින් පොහොර ආනයනය නතර කර රටේ ජනතාවට කාබනික ගොවිතැන ගැන දේශනා කළ ආකාරයටම සමගි පෙරමුණු රජයද රටින් බඩු ගෙන ඒමට මුදල් නැති නිසා ආනයන සියල්ල නවතා දේශීය ආර්ථිකයක අගය දේශනා කළේය. රටේ ජනතාවට කන්නත් නොතිබුණේය. එහෙත් දේශපාලකයන්ට කන්න තිබුණේය. සමාජවාදය විකුණා හත් අවුරුද්දක් රට කළ ආණ්ඩුව ජේආර්ගෙන් ලජ්ජා සහගත පරාජයකට ලක්වී ගෙදර ගියේ රටේ ජනතාවට සදහටම සමාජවාදය එපා කරවමිනි. එපා වීමේ තරම කොතෙක්ද යත් හැත්තෑ හතෙන් පසු තනි පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට කවදාවත් මැතිවරණ ජයක් ලබාගත නොහැකි විය.

නූතන ලෝක ආර්ථික රටාව අනුව රටක් ගොඩනැගීමට විදේශ ආයෝජන අත්‍යවශ්‍යය. ඇමරිකානු ජනාධිපතිවරයාද මේ දිනවල තම රටේ ආයෝජන කරන රටවලට බදු ලිහිල් කිරීමට සූදානම් වෙයි. ලෝක බලවතා ද එසේ කරද්දී මෙරට පවතින දැඩි කම්කරු නීති හා වැඩවර්ජන ආදිය නිසා විදේශීය ආයෝජකයන් මෙරටට එන්නේ නැත. 2015 යහපාලන රජය සමයේ රටම ඇන්දූ වොක්ස්වැගන් නිෂ්පාදන කම්හල තබා ඉටිපන්දම් කම්හලක්වත් මෙරටට ආවේ නැත. අප එසේ කාර්මික මිරිඟුවක් පසුපස දුවමින් සිටියදී අපට ආසන්න කෘෂිකාර්මික රටවල් ලෝක වෙළෙඳපොළට කෘෂිකාර්මික අපනයන සිදුකරමින් ඩොලර් උපයමින් සිටී.

අද ලෝක වෙළෙඳපොළේ අන් කවරදාටත් වඩා වැඩියෙන් එළවළු සහ පලතුරු සඳහා විශාල ඉල්ලුමක් ඇතිවී තිබේ. ඉන්දියාව, ලාඕසය, වියට්නාමය. මැලේසියාව, වැනි රටවල් එම ඉඩකඩෙන් විශාල වශයෙන් ප්‍රයෝජන ගනියි. අපට ද එම අවස්ථාව ලබාගත හැකිය. අපනයනය කර ඩොලර් ප්‍රමාණයක් උපයා ගත හැකිය. 2022 පළමු කාර්තුවට පමණක් චීනය, චිලී, තායිලන්තය, වියට්නාමය, පේරු වැනි රටවලින් ආනයනය කර ඇති පලතුරු ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 400 කට වඩා වැඩිය. 2021 දී චීනය ඩොලර් බිලියනයක් වටිනා කෙසෙල් විදේශයෙන් ආනයනය කර ඇත. එහෙත් ඒ ඉඩ කඩෙහි ලංකාව නැත. ලංකාවට ඉතා පහසුවෙන් චීන කෙසෙල් ඉල්ලුම සැපයිය හැකිය. ඒ සඳහා මනාව නඩත්තු කළ කෙසෙල් වගාවක් අවශ්‍යය.

පාවිච්චි නොකර වල්වැදී ඇති ඉඩකඩම් පහසුවෙන් කෙසෙල් වගා බිම් බවට පෙරළිය හැකිය. එවැනි උනන්දුවක් රටවැසියාට තබා ආණ්ඩුවටත් ඇති බවක් නොපෙනේ.

වසර පහළොවක හෝ විස්සක පාලන කාලයක් ගෙනයාමට නම් පාලක පක්ෂයට නීතිමය ආවරණය ලැබෙන බලසම්පන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙයි. රටේ ප්‍රධාන අණදෙන්නා හෙවත් ප්‍රධාන විධායක නිලධාරී ධුරයක් තිබිය යුතුය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිධුරයෙන් කෙරෙන්නේ එම කටයුත්තය. සුවිශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන විට ඉඩකඩම් පවරා ගැනීම ආයෝජකයන්ට ආකර්ශනශීලී රැකියා නීති රීති ලිහිල් කිරීම වැනි ජනතා විරෝධය නැග එන කර්තව්‍යයක් කිරීමට සිදුවෙයි. පාර්ලිමේන්තුවේ අණ පනත්වලින් විශ්වාසභංගවලින් බාධා සිදුවෙද්දී එම කටයුතු කළ නොහැකිය. විධායක ජනාධිපති ධුරයෙන් සියලු දෑ පාලනය කෙරෙන විශාල බලයක් ජනාධිපතිවරයකුට අවශ්‍ය වන්නේ ඒ සඳහාය. වර්තමාන ජනාධිපති ධුරය ස්ථාපිත කර ඇත්තේද ඒ සඳහාය. එම ධුරයේ බලතල මගින් ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරු වැඩවර්ජන මැඩපවත්වා ත්‍රස්තවාදයට පහරදී කැපී පෙනෙන වැඩ කොටසක් කරන්නට සමත් වූහ. එසේ නොමැතිව විධායක පුටුවට නැග එහි නිද්‍රාශීලීව සිට එයින් බැස ගිය ජනාධිපතිවරුද සිටියහ. අවිය කැපෙන අතර එයින් වැඩ ගැනීම හෝ නොගැනීම ජනාධිපතිවරයා සතු තීන්දුවකි. වර්තමාන රජය පෙනී සිටින්නේ විධායක ජනාධිපති ධුරය සහ සමස්ත ව්‍යවස්ථාවම අහෝසි කරන තීන්දුවකය. එවැනි බලතල නොමැතිව වසර විස්සක පාලන කාලයක් නම් කුමන ක්‍රමයකින්වත් ගෙනගිය නොහැකිය.

විසි වසරක ආණ්ඩු කාලයක් ගත කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව වර්තමාන වෙළෙඳපොළ තුළ ඇති ඒකාධිකාරය පිළිබඳ අවධානය යොමු කිරීමට අවශ්‍ය වෙයි. රටේ ජනතාවගේ ඡන්දය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ කුස සමග බව මෙරට ආණ්ඩු ගණනාවකට අත්වූ ඉරණමෙන් වත්මන් මාලිමා ආණ්ඩුවද ඉගෙන ගෙන තිබිය යුතුය. කොරෝනා හා ආර්ථික අර්බුදයත් සමග ඉහළ ගිය බඩු මිල මේ වනතුරුත් පහළ නොයාම ජනතාවට ඇති ප්‍රධානතම ප්‍රශ්නයකි. අද වන විට අමුද්‍රව්‍ය මිල කොරෝනා සමයට වඩා පහළ ගොස් ඇතත් එදා ඉහළ ගිය ඇතැම් භාණ්ඩ හා සේවාවල මිල තවමත් ඇත්තේ ඉහළය. උදාහරණයක් ලෙස එදා ඡායාපිටපතක මිල රුපියල් දහයක මට්ටමක ඉහළ ගියේ කඩදාසි මිල ඉහළ ගිය නිසාය. එහෙත් අද වන විට කඩදාසි මිල පහළ ගොස් ඇතත් ඡායාපිටපතක මිල රුපියල් දහයෙන් පහළට බැස නැත. පොදු ජනතාවගේ ප්‍රධාන ආහාරය වන පරිප්පු කිලෝවේ සිට කරවල ඇතුළු ආනයනික භාණ්ඩ මිල ද පහළට නොබසියි. මෙම මිල ඉහළ යාම පහළ නොබැසීමට හේතු වී ඇති ඉහළ ආදායම් ලබන සමාගම් අතළොස්ස හා බැඳුණු වෙළෙඳපොළ චක්‍රයට රජය ඇතුළත් වී එහි ඒකාධිකාරය බිඳීමට රජය සමත විය යුතුය. ජනතාව තුළ බලවත් විවේචනයට ලක්ව ඇති වෙළෙඳ ඒකාධිකාරය බිඳ දමන කුමක් හෝ ක්‍රමයක් රජය ඇතිකළ යුතුය. එලෙසම බඩුමිල අඩුකිරීම හා බැඳුණු පොරොන්දු සමුදායක් රජය ඉකුත් මැතිවරණ සමයේ ලබාදුන්නේය. එම පොරොන්දු ඉටුකිරීමට රජය වැඩ ඇරඹිය යුතුය. එසේ නොවෙතොත් විසිවසරක ආණ්ඩු කරණය සිහිනයක්ම බවට පත්වී වසර පහක නිල කාලය අවසන් කිරීමත් සිහිනයක් බවට පත් වීමට ඉඩ තිබේ.

ප්‍රේමකීර්ති රණතුංග