
අප මත්වෙන්නට මේ තරම් කැමති ඇයි? මත් වූ විට පෙනෙන මායා ලෝකය ඇත්ත ලෝකයට වඩා සුන්දර වූ විට මිනිසුන් මත සොයා යනවාද?
ඇත්ත ලෝකයේදී දරුවෝ බඩ ගින්දරේ හඬති. බිරින්දෑවරු හාල් තුන පහේ ඉල්ලා මොර දෙති. අම්මා තාත්තා ලෙඩ ඇඳේය. ණය බර අහස උසට වැඩි වී ඇත.
මත් වූ විට හමුවන ලෝකයේ මේ කිසිදු ප්‍රශ්නයක් නැත. දිව්‍යාංගනාවෝ චාමර සලති. සියල්ල සැහැල්ලුය. බඩගින්නේ මොර දෙන දරුවන්, බිරින්දෑවරුන් පේන තෙක් මානයකවත් නැත.
ඇත්ත ලෝකය අසුන්දර වන තරමට අසරණ මිනිස්සු මත් වී මායා ලෝකය සොයති. මේ සමාජ ව්‍යසනයෙන් දේශපාලන මෘගයෝද කූට ව්‍යාපාරිකයෝ ද බොරදියේ මාළු බෑමට පටන් ගනිති. කලින් කලට එක එක ජාතියේ මත්ද්‍රව්‍ය ලංකාවට ගොඩ බැස්සේ ඒ අනුවය.
“රටම එකට” ජාතික මෙහෙයුම ඇරැඹෙන්නේ මේ අන්ත දුගී දුප්පත් මිනිසුන්ගේ රීරිමාංශයම උරා බොමින් සිටි මේ යක්ෂ සේනාව මට්ටු කිරීමටය.
“රටම එකට” යනු සටන් පාඨයක් නොව එක් එක් පුරවැසියාගේ වගකීම සහ කැපවීම මත සාර්ථක වන මෙහෙයුමක් බව රජය පවසයි.
මතට එරෙහි වීමට ජනතාවට මූලික වශයෙන් කළ හැකි දෑ මොනවා ද?
1. තොරතුරු ලබා දීම, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදා හැරීමේ හෝ සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන අංශ වෙත (විශේෂයෙන් පොලිසියට සහ NDDLB වෙත) නිවැරදි තොරතුරු ලබා දීම.
2. දැනුම්වත් කිරීම - පවුලේ සාමාජිකයන්, දරුවන් මත්ද්‍රව්‍යවල භයානකකම පිළිබඳව නිසි ලෙස දැනුම්වත් කිරීම.
3. පුනරුත්ථාපනයට සහාය- ඇබ්බැහි වූවන් ප්‍රතික්ෂේප නොකර සමාජගත වීමට අවස්ථාව ලබා දීම.
4. ප්‍රජා ආරක්ෂාව- විෂ මත්ද්‍රව්‍යවලට තරුණ පරපුර යොමු වීමට හේතු වන සමාජීය හිදැස් පිරවීමට, ප්‍රජා මට්ටමේ වැඩසටහන් (ක්‍රීඩා, ආගමික, සංස්කෘතික) සංවිධානය කිරීමට දායකවීම යන කරුණු හඳුනාගෙන තිබේ.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමටද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගත්තේය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත හඳුන්වා දුන් ‘1818’ ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට, දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදා හැරීම හෝ ඒ ආශ්රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව පවතී.
‘රටම එකට’ ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ඉහළ සිට පහළට විහිදුණු සමාජයේ සියලු ස්ථර නියෝජනය වන සංවිධාන ව්‍යුහයක් ක්‍රියාත්මකය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ඉහළ සිට පහළට විහිදුණු සමාජයේ සියලු ස්තර නියෝජනය වන සංවිධාන ව්‍යුහයක් ක්‍රියාත්මකය.
ජාතික මෙහෙයුම් සභාව, දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ මහජන ආරක්ෂක කමිටු එම ප්‍රධාන ව්‍යුහයන්ය.
ජාතික මෙහෙයුම් සභාවේ කාර්යභාරය වෙන්නේ නායකත්වය සහ මග පෙන්වීම, ජාතික මෙහෙයුම සැලසුම් කිරීම සහ වැඩසටහන සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහ ස්ථාපිත කිරීම සහ නීතිමය සහ මූල්‍යමය අංශ ශක්තිමත් කිරීමය.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා පිහිටවනු ලැබූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශ්ව 23ක් පත්කර තිබේ.
මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.
සෙසු පාර්ශ්වකරුවන් ලෙස ආගමික නායකයන් විසින් නම් කරනු ලැබූ නියෝජිතයෝ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, රජයේ ප්‍රධාන රස පරීක්ෂක, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීහු, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතවරු, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතවරු කටයුතු කරති.
රටම එකට දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පාර්ශ්ව 16කින් සමන්විතය.
එහි සම සභාපතිවරුන් ලෙස ආණ්ඩුකාරවරයා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කටයුතු කරති.
සෙසු පාර්ශ්වකරුවන් ලෙස ආගමික නායකයෝ, ප්‍රධාන ලේකම්, දිස්ත්‍රික් ලේකම්, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් පාලන කොමසාරිස්, පළාත් පරිවාස කොමසාරිස්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දිස්ත්‍රික් බාර පොලිස්පතිවරු, ආරක්ෂක අංශ නියෝජිතයෝ, අන්තරාදායක ඖෂධ නියාමන අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීහු, සිවිල් සංවිධාන නියෝජිතයෝ සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතවරු නම් කර සිටිති.
රටම එකට ප්‍රාදේශීය මෙහෙයුම් සභාවේ පාර්ශ්වකරුවන් 19ක් සිටින අතර එහි සභාපති ධුරය දරන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයායි.
ආගමික නායකයෝ, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීහු, කලාප අධ්‍යාපන අධ්යක්ෂ, රෝහල් අධ්යක්ෂ/ වෛද්‍ය අධිකාරි, පොලිස් ස්ථානාධිපතිවරු, සෞඛ්‍ය සේවා නිලධාරීහු, පරිවාස නිලධාරීහු, ළමා හිමිකම් ආරක්ෂක නිලධාරීහු, ප්‍රාදේශීය ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු, අන්තරාදායක ඖෂධ පාලන අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරීහු, යොවුන් සේනාංකයේ ස්ථාන භාර නිලධාරී, වෘත්තීය පුහුණු අධිකාරියේ හෝ කාර්මික විද්‍යාලයේ විදුහල්පති හෝ ස්ථාන භාර නිලධාරි, තරුණ සේවා නිලධාරී, සුරාබදු අධිකාරී, ප්‍රජා විශෝධන නිලධාරී, සිවිල් සංවිධාන නියෝජිතවරු, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතවරු ප්‍රාදේශීය මෙහෙයුම් සභාවේ සෙසු සාමාජිකයෝයි.
මේ සියලු පාර්ශ්ව එක්ව විධිමත් ආරක්ෂක දැලක් එළා විෂමත් රකුසා අල්ලා ගැනීම රජයේ අරමුණයි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර පැමිණි වේගයෙන් ඉදිරියට ගියේ නම් ලංකාව තව ඉතා කෙටි කලකින් සොම්බි රාජ්‍යයක් බවට පත්වනු ඇත.
අයිස් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය නිසා සමාජ දේහය මුළුමනින්ම අකර්මණ්‍ය වෙමින් පවතී. මෙය එක් පුද්ගලයෙකුගේ හෝ පවුලක ගැටලුවක් නොවේ. මුළු රටේම ආර්ථික, සමාජීය සහ මානසික පැවැත්මට තර්ජනයක් එල්ල කරන ජාතික ව්‍යසනයකි.
මත්ද්‍රව්‍ය පිළිබඳ සංඛ්‍යා ලේඛනවලට අවධානය යොමු කිරීමෙන් මේ කාරණය හොඳින්ම වටහා ගැනීමට හැකි වන්නේය.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ වයස අවුරුදු 18-35 අතර කාණ්ඩයෙනි. මේ ශ්‍රම බළකායේ ක්‍රියාශීලීම අවධියයි. විෂ මත් ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ඇරැඹුම් වැඩසටහනේදී ජනපති ඉතා සංවේදී කතාවක් කීවේය.

ජනපති එහිදී මාපියන්ගෙන් ඉල්ලා සිටියේ “මතට ලොල් වූ දරුවා අපට ගෙනැවිත් භාර දෙන්න” යනුවෙනි.
“මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අපේ වගකීමක්. දැනටමත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනඟා තිබෙනවා. අපි මාපියන්ට ආරාධනා කරනවා තමන්ගේ දරුවා ගෙනත් බාර දෙන්න. අපි ඔවුන් එම ඇබ්බැහියෙන් මුදවා ගෙන යහපත් පුරවැසියන් ලෙස යළි ඔබට බාර දෙන්නම්. අපි ඒ වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් පහසුකම් වර්ධනය කරනවා. ඒ නිසා ඊට ඇබ්බැහි වූවන් කිසිවෙකු එයින් මිදීමට බිය විය යුතු නැහැ”යනුවෙනි. ජනපති ඒ කී කතාව ඇත්තටම මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වූ දිනෙක ඔහු ජාතියේ “ඇත්ත අප්පච්චි” බවට පත්වනු ඇත.
අංජුල මහික වීරරත්න

