විශ්වාසභංගය ගැන පක්ෂය තීන්දුවක් ගනියි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පත් කළ මන්ත්‍රී 
නීතිඥ සාගර කාරියවසම් 

  • ජනතාව ඉල්ලූ හැම ඉල්ලීමක්ම මේ ​ෙවන විට අපේ රජය ඉටුකරලා ඉවරයි.   
  • සමහරු මම යවපු ලිපිය වැරදි විදිහට අර්ථ නිරූපණය කළා.   
  • තෙල් මිල වැඩිකිරීම වැරදියි කියා මම කිව්වේ නෑ   
  • මම ගම්මන්පිලට යවපු ලියුම පක්ෂයේ තීරණයක්. ලිපිය යවන්න කලින් පක්ෂයේ දැනුවත් කළ යුතු සියලු දෙනා දැනුවත් කළා.   

 

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේය. ඔහු කුමක් කරයි ද? මේ ඒ ගැන හා රටේ උණුසුම් දේශපාලන මාතෘකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පත් කළ මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා විමසමින් කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- කවද ද තෙල් මිල අඩු කරන්නේ.   


පිළිතුර:- තෙල් මිල අඩු කිරීම ගැන මට දෙන්න පුළුවන් උත්තරය තමයි තෙල් මිල අඩු කරන්න හැකියාව ලැබෙන පළමු වැනි අවස්ථාවේදීම තෙල් මිල අඩු කරනවා කියන එක. 

 
ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ හිටියා නම් තෙල් මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා ඔබේ පාර්ශ්‍වයෙන් කියැවුණා. බැසිල් ආවා ඔහු තමයි දැන් මුදල් ඇමැති.   


පිළිතුර:- අපේ කවුරුහරි කිව්වා නම් බැසිල් මහත්තයා ආපු ගමන් තෙල් මිල අඩු කරනවා කියලා ඒක මම හිතන්නේ දේශපාලනමය කතාවක්. එහෙම දෙයක් නොවෙයි තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔබ දන්නවා පක්ෂයක් හැටියට ඒ විරෝධය දැක්වූවා. ඒ විරෝධය දක්වන්න අපි නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් වැරදි අර්ථකතන දුන්නා කිසියම් පිරිසක්. ඒ ලිපිය හොඳින් කියවලා බලන බුද්ධිමත් ඕනෑම කෙනෙකුට තේරෙන කාරණය තමයි අපි කිව්වේ, තෙල් මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති තැනකට රජය පත් කිරීම කියන කාරණයක්. මේ දේවල් කිරීමේ දී එහි වගකීම හැම විටකදීම අගමැතිතුමා සහ ජනාධිපතිතුමා වෙත ආරෝපණය කිරීමට දරන උත්සාහය කියන කාරණා දෙක තමයි අපේ දැඩි විවේචනයට භාවිතය කළේ.   


ප්‍රශ්නය:-ඔබ කියන්නේ තෙල් මිල වැඩි කිරීමේ තීරණය රජයේ තීරණයක් නොවෙයි ඇමැති ගම්මන්පිලගේ තීරණයක් කියලා.   


පිළිතුර:- තෙල් මිල වැඩි කිරීම රජයේ තීරණයක්. නමුත් අපි දන්නවා පසුගිය යහපාලන ආණ්‍ඩුව කාලේ මංගල සමරවීර ඇමැතිවරයා සතියකට වරක් තෙල් මිල වැඩි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. එතැනදී කිව්වේ සිංගප්පූරුවේ තෙල් මිල වැඩිවෙනකොට අපි වැඩි කරනවා. සිංගප්පූරුවේ තෙල් මිල අඩු කරනකොට අපිත් අඩු කරනවා කියලා. එතකොට ඒකට විරුද්ධව අපි ගෙනාපු තර්කය තමයි සිංගප්පූරුවේ තෙල් මිල වැඩි වෙනකොට වැඩි කරන්නයි, අඩු කරන කොට අඩු කරන්නයි ඇමැතිවරයෙක් අවශ්‍ය නෑ කියන එක. මොකද ඒක හොඳ කොම්පැණියක මිලදී ගැනීමේ කළමනාකරුවකුට කරන්න පුළුවන්. ඒක නොවෙයි අපි අමාත්‍යවරයෙකුගෙන් බලාපොරොත්තු වුණේ‍ ගැඹුරු පිළිතුරක්. ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනාධිපතිතුමා අගමැතිතුමා වාඩි වෙච්ච කමිටුවකදී ඔවුන් දෙදෙනා තීරණය කළා තෙල් මිල වැඩි කරන්න කියලා කිව්වාම මොකක්ද ජනතාවට දෙන පණිවිඩය. ජනතාව හිතන්නේ අගමැතිතුමා හා ජනාධිපතිතුමා තෙල් මිල වැඩි කරන්න තීරණය කළා කියලා. එහෙම නොවෙයි. අපි කියන්නේ එක් එක් අමාත්‍යවරයාට ඔවුන්ගේ විෂය පථය බාර දුන්නාම ඔවුන්ට වපසරියක් තියෙනවා. එ් වපසරිය තුළ ඔවුන් කටයුතු කරන්න ඕනෑ. එහි යම්කිසි දෙයක් ඔහුට කරන්න බැරිවුණා නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනතාවට වග කියන්න ඕනෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ජනතාවට කරුණු පැහැදිලි කරන්න ඕනෑ. මේ කිසිම දෙයක් එතැන වූණේ නෑ. ඒක තමයි අපට තිබිච්ච ප්‍රධාන ගැටලුව.   


ප්‍රශ්නය:-ඔබ නොකියා කියන්නේ ඇමැති ගම්මන්පිල කෙරෙහි තිබ්බ විශ්‍වාසය භංග වුණා කියලා නේද?   


පිළිතුර:- නැහැ. ඇමැති ගම්මන්පිල කෙරෙහි තිබ්බ විශ්‍වාසය භංග වුණා කියලා නොවෙයි කිව්වේ. එම අවස්ථාවේ ඒ ක්‍රියාකරපු ආකාරය වැරදියි කියන එකයි අපි කිව්වේ. මොක ද අනික් එක තමයි අපි පක්ෂයක් හැටියට අපි දැක්කා තව දෙයක්. ඒ තමයි රට වහලා තිබ්බ අවස්ථාවක රට වැහුවාම මාස් පතා පඩි ගන්න රජයේ සේවකයන්ටත් පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවල නියුතු අයටත් ලොකු හානියක් වෙන්නේ නැහැ. රජයේ ​සේවකයන්ට කොහොමත් වැටුප ලැබෙනවා. පෞද්ගලික අංශයෙ ඉහළ තනතුරු දරන අයට නිවසේ සිටම අන්තර්ජාලය හරහා වැඩ කරන්න පුළුවන්. නමුත් මෙයින් පීඩා විඳින්නේ පෞද්ගලික අංශයේ පහළ සේවකයන් සහ එදිනෙදා රැකියාව කරගෙන ජීවත්වන පුද්ගලයන්. උදාහරණයක් හැටියට පාර අයිනේ තැබෑරුම ළඟ වඩේ විකුණන මනුස්සයා. එතකොට පොල් කඩන මිනිසා. මාළු විකුණන කෙනා. මේ වගේ නොයෙකුත් දෙනා රට වැහුවම දැඩි ලෙස අපහසුතාවයට පත්වෙනවා. එහෙම දැඩි පිඩාවකින් ඉන්න අවස්ථාවකදි වෙන දෙයක් වැඩි කරනවා වගේ නෙවෙයි තෙල් මිල වැඩි කිරීම තිරිගු පිටි මිල වැඩි කළොත් ඒකෙන් බලපෑම එන්නේ තිරිගු පිටි ආශ්‍රිත නිෂ්‍පාදනවලට පමණයි. තෙල් මිල වැඩි කරනවා කියන්නේ හැම දෙයකටම බලපෑම එනවා. සමස්තයක් විදියට ජනතාවගේ ජීවන වියදම ඉහළ යනවා ඉන්ධන මිල වැඩි කිරීම.   


ප්‍රශ්නය:-තෙල මිල ඉහළ දැමීම තීරණය කරන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඉන්න ඇමැති අනු කමිටුවකින්. එහෙම කමිටුවක් ගත්ත තීරණයක් ඔය විදියට විවේචනය කරනකොට ඔබ අභිගෝයකට ලක් කරන්නේ ජනාධිපතිවරයාව හා අගමැතිවරයාව.   


පිළිතුර:- මම ඒකයි පටන් ගන්නකොටම කිව්වේ මම යවපු ලිපිය වැරදි විදියට අර්ථ නිරූපණය කළා කියලා සාහසික විදියට ඒ දේ කළා. සාමාන්‍ය පෙළ සිංහල විෂයට සාමාන්‍ය සාමාර්ථයක් තියෙන පුද්ගලයකුට පෙනී යා යුතු දේ තමයි. ඒ ලිපියේ කිසිම තැනක මම කියන්නේ නෑ තෙල් මිල වැඩි කිරීම වැරදියි කියලා. ඒ වෙනුවට තෙල් මිල වැඩි කරන්න වෙන තැනට රජය පත් කිරීම වැරදියි කියලයි මම කියන්නේ.   


ප්‍රශ්නය:-ඔබ ඔය ලිපිය යවන මොහොතක වන විට බැසිල් රාජපක්ෂ ලංකාවෙ හිටියේ නෑ. ලිපිය යවන්න කලින් ඔබ ඔහුට කිව්වද?   


පිළිතුර:- ලිපිය යැවීම පක්ෂයේ තීරණයක්.   


ප්‍රශ්නය:-බැසිල් පක්ෂයේ නිර්මාතෘවරයා.   


පිළිතුර:- ඔව්. ඔහු පක්ෂයේ නිර්මාතෘවරයා. මම ඔබට දෙන පිළිතුර තමයි ලිපිය යැවීම පක්ෂයේ තීරණයක් කියලා.  


ප්‍රශ්නය:- ඔබ මගේ ප්‍රශ්නය මග අරිනවා. මම අහන්නේ ලිපිය යවන්න පෙර බැසිල් රාජපක්ෂට කිව්ව ද කියලයි.   


පිළිතුර:- මෙහෙමයි පක්ෂයෙ දැන ගත යුතු සියලු දෙනා දැනුවත් කළා ලිපිය යවන්න කලින්.   


ප්‍රශ්නය:-ඒ කියන්නේ බැසිල් රාජපක්ෂත් දැනගෙන හිටියේ.   


පිළිතුර:- පක්ෂයේ නායකතුමා, පක්ෂයේ සභාපතිවරයා ඇතුළු හැම දෙනාටම මම මේ ලිපි​ෙය පිටපතක් යැව්වා. මම ඒ ලිපිය මාධ්‍යයට නිකුත් කරන අවස්ථාවේදීම දැනුවත් කිරීමක් කළා. නමුත් මං ඒක විශේෂයෙන් කියන්න ඕනෑ බැසිල් රාජපක්ෂ මහත්තයටත් කිව්ව කියලා. මම කියන්නේ පක්ෂයේ දැනගතයුතු සියලු දෙනාටම කිව්වා කියලයි. 

 
ප්‍රශ්නය:-ඇමැති ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබලාගේ ස්ථාවරය කොහොමද?   


පිළිතුර:- පක්ෂය රැස්වීමක් කැඳවලා තියෙනවා. පක්ෂයේ තීරණය පක්ෂය විසින් තීරණය කළ යුතුයි. ආණ්‍ඩු පක්ෂයේ වගේම සන්ධානයේ නායකයන් සමගත් සාකච්ඡා කරලා පක්ෂය විසින් තීන්දුවක් ගත යුතුයි. ඒ තීරණය මත පක්ෂයේ සාමාජිකයන් ක්‍රියා කරනවා.   


ප්‍රශ්නය:-හවුල්කාර පක්ෂ ඕනෑවට වැඩියි. ෂොට් එකක් දෙන්න ඕනෑ කියලා ඔබ හිතුවා. ඒ නිසා ඇමැති ගම්මන්පිලට ෂොට් එකක් දුන්නා.   


පිළිතුර:- එහෙම ෂොට් එකක් දිය යුතුයි කියන මානසිකත්වයක් අපේ පක්ෂය තුළ නෑ. අනිත් එක මේ සන්ධානයේ කවුරු හරි කෙනෙක් වැරදි දෙයක් කරනවා නම් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ද නොඑසේ නම් හවුල්කාර පක්ෂයක සාමාජිකයෙක්ද කියන කාරණය අපට අදාළ වෙන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අති මහත් වූ ජනතාවක් සුවිශාල බලාපොරොත්තු රැසක් එක්ක බිහිකර ගත් පක්ෂයක්. මේ පක්ෂයට බලය දෙන්නේ අවුරුදු දෙක තුනකට සුළු කාලයක් තුළ පක්ෂයට අවුරුදු දෙකක් වෙනකොට පළාත් පාලන ආයතන අති බහුතරයකට බලය ලබා දුන්නා. ඒ තමයි ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය. ඒ විශ්වාසය බිඳින්න කටයුතු කරන්නේ කවුද? කියන එක නොවෙයි මෙතැන වැදගත්. එවැනි දෙයකට ඉඩ නොතැබිය යුතුයි කියන කාරණයයි වැදගත්.   


ප්‍රශ්නය:- ඇමැති විමල් වීරවංශ බොහොම නිහඬයි. එහෙම නිහඬ කර ගත්තේ කොහොම ද?   


පිළිතුර:- ඒක මගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නොවෙයි. මං හිතන්නේ නෑ විමල් වීරවංශ මැතිතුමා නිහඬයි කියලා. එතුමා එහෙම නිහඬ චරිතයක් නොවෙයි. නමුත් ඔය ප්‍රශ්නය ඔබ මගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නොවෙයි. 

 
ප්‍රශ්නය:-ඇයි ඔබ මේ හවුල්කාර පක්ෂ මෙල්ල කරගන්න උත්සාහ කරන්නේ.   


පිළිතුර:- නැහැ. මම ඔබට ඉතා පැහැදිලිව කියන්නේ මම ගැටෙන්නේ හවුල්කාර පක්ෂ සමග නොවෙයි. මම ගැටෙන්නේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන මේ දැවැන්ත පක්ෂය බිහි කරන්නේ මේ රටේ ජනතාව. ඔබ දන්නවා මේ රටේ ඉතිහාසයේ මෙහෙම පක්ෂයක් බිහි කරන්න කාටවත් බැරිවුණා. අපි දැක්කා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විජය කුමාරතුංග මහතා සමග වමේ සියලු නායකයන් එකතු කරගෙන පක්ෂයක් බිහි කළා. නමුත් ප්‍රාදේශීය සභාවක්වත් ජයග්‍රහණය කරන්න බැරිවුණා ඔවුන්ට. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ එවකට අපි දැනගෙන හිටපු ලංකාවේ හිටපු අති ප්‍රබලයන් දෙන්නා ගාමිණී දිසානායකයි, ලලිත් ඇතුලත්මුදලියි දෙන්නා රාජාලියා පක්ෂය බිහි කරනවා. ඔවුන්ට ප්‍රාදේශීය සභාවක්වත් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නෑ. මේක තමයි ලංකාවේ අලුත් පක්ෂ සම්බන්ධයෙන් තිබුණු යථාර්ථය. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව එතැන තිබ්බේ නෑ. ජයග්‍රහණවලින් ගමන පටන් ගත්තේ 

 

ප්‍රශ්නය:-එහෙම වුණේ මහින් ද රාජපක්ෂ නිසා.   


පිළිතුර:- පොදුජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තිබුණු විශ්‍වාසය මත මේ රටේ ජනතාව බිහි කළ පක්ෂය. එහි නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනතා අභිලාෂයෙන් තමයි මේ පක්ෂය ගොඩනැගුවේ. මෙවැනි පක්ෂයක අභිමතාර්ථයන්ට එරෙහිව යනවා නම් කවුරුහරි කෙනෙක් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතිය පක්ෂයේ ලේකම්වරයා හැටියට මට ඇත්නම් වෙන කාටද තියෙන්නේ. ඒ ප්‍රශ්නය මම ඔබෙන් පෙරළා අහනවා.   


ප්‍රශ්නය:- ඇත්තටම මේ ආණ්‍ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය භංග වෙලා.   


පිළිතුර:- නෑ. මං මේ දෙන පිළිතුර ඒ විදියට ලියන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ගෝඨා්භය රාජපක්ෂ මැතිතුමා පත් කරන්නේ මේ රටේ මිනිස්සු ඇයි. මේ රටේ ජනතාව එතුමාගෙන් ඉල්ලා සිටියේ ඔඩුදුවාගෙන ආපු ආගමික අන්තවාදී ත්‍රස්තවාදය අවසන් කරන්න කියලයි. උතුරේ නැවත හිස ඔසොවාගෙන ආපු ආවා කල්ලි වගේ විවිධ කල්ලි මතින් නැවත ජාතිවාදි ප්‍රශ්න ඇති නොවන්න කටයුතු කරන්න කියලා ඉල්ලුවා. ඉතාම සාහසික ලෙස උතුරේ හා නැගෙනහිර පළාත්වල සිදු කරපු පුරාවස්තු සංහාරය හා බෞද්ධාගමික සිද්ධස්ථාන ඩෝසර් කිරීමේ ආකාරය නවත්වන්න කියවන ඉල්ලීම කළා. ඒ වගේම මේ රටේ සෑම පුරවැසියකුටම ඕනෑම තැනක නිදහසේ සාධාරණ ලෙස ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න කියලා ඉල්ලුවා. මේ රටේ නැගගෙන ආපු පාතාලය මර්දනය කරන්න කියලා ඉල්ලුවා. මේ රට දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය ​කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් ආපු ගමන නවත්වන්න කියල ඉල්ලීම කළා. මේ රට විනාශ කරන්න ලෑස්ති කරලා තිබුණු එම්.සී.සී. ගිවිසුම නවත්වන්න කියන ඉල්ලීම කළා. මේ රටේ ජනතාවට අයිති දේපොළ කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණලා එය ආයෝජනය නොකර කෑමට බීමට පාවිච්චි කරලා ඒ සල්ලි විනාශ කරපු ඒ තත්ත්වය වෙනස් කරලා මේ රටේ සම්පත් රැක ගන්න කියන ඉල්ලීම කළා. මේ හැම ඉල්ලීමක්ම මේ වෙනකොට අපේ රජය ඉටු කරලා ඉවරයි.   


ප්‍රශ්නය:- හැබැයි මේ විදියට බඩු මිල ඉහළ දාන්න කියලා නම් ඉල්ලුවේ නෑ.   


පිළිතුර:- මෙතැනදී ඉතාම පැහැදිලිව එක දෙයක් කියන්නම්. අපේ ආණ්‍ඩුව තරම් රාජ්‍ය බලය ලබාගන්නකොට එයට සූදානම් වෙලා හිටපු පක්ෂයක් තවත් නෑ. පසුගිය යහ පාලන රජයේ පරාජයට අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට තිබුණු එකම අදහස රාජපක්ෂවරු එළවලා බලය ලබාගන්නේ කොහොමද කියලා විතරයි. එතැනින් එහාට රට පාලනය කරන්නේ කොහොමද කියලා සැලැස්මක් තිබුණේ නෑ. නමුත් අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා අපට පක්ෂය පිහිටුවනකොට කියපු එක දෙයක් තමයි පක්ෂය ගම් මට්ටමින් සංවිධානය කිරීමේ දී එය විතරක් නොවෙයි. ඊට අමතරව අපේ පක්ෂය බලය ලබා ගත්තාම රජය කරන්නේ කොහොමද කියන සැලසුම් සකස් කළ යුතුයි කියලා. අපි ඒක ඉතාම සාර්ථක ආකාරයෙන් සිදු කළා. අපි මේ රටේ රාජ්‍ය බලය ගන්නකොට මේ රටේ ඉදිරි අවුරුදු දෙකේ සැලැස්ම අවුරුදු පහේ සැලැස්ම අවුරුදු දහයේ සැලැස්ම ආදී වශයෙන් සැලසුම් තියෙනවා. නමුත් කොරෝනා වයිරසය නිසා ඉලක්ක වෙත යන්න බැරි වුණා. අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනෑ ලෝකයෙ තිබුණු බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය සමග අවුරුදු තිහක් යුද්ධ කරපු ජාතියක්. නමුත් එ් කාලයේ දකුණේ එක හෝටලයක් වැහුවේ නෑනේ. පාසල් වැහුවේ නෑනේ. රට සාමාන්‍ය තත්ත්වයෙන් ගෙනිච්චා. නමුත් අද තත්ත්වය මොකක්ද 2020 මාර්තු මාසයෙ ඉඳන් මේ වෙනතුරු සංචාරක ව්‍යාපාරයක් අපේ රටේ හා දරුවන් පාසල් ගිහින් නෑ. මේ රට මාස ගණන් වහලා දාල තිබුණේ. මේ තත්ත්වය යටතේ මේ සිදුවුණ දේ ගැන ඍජු වගකීම රජය වෙත පවරනවා නම් ඔහු සාධාරණ නෑ. මේ තත්ත්වය යටතේ ආර්ථීකය කළමනාකරණය කරනවා කියන්නේ ඉතා අපහසු කාර්යයක්. හැබැයි එයත් අප ඉතාම සාර්ථක ලෙස කළමනාකරණය කරලා තියෙනවා.   


ප්‍රශ්නය:- අන්තිමට වුණේ අගමැති මහින්ද රාජපක්ෂගේ මුදල් ඇමැතිකම ගලවලා බැසිල් රාජපක්ෂට දීමයි.   


පිළිතුර:- එහෙම කියන්න එපා. ඒක විරුද්ධවාදීන් අපේ පක්ෂයේ නායකයන් අතර ගැටුම් හදන්න ගොතන කතාවක්. එහෙම නොවෙයි. මේ ගැන ගැඹුරින් විමසා බැලිය යුතුයි.   


ප්‍රශ්නය:- මුදල් ඇමැතිකම බැසිල් රාජපක්ෂට දෙන්නේ ඇයි. ඔහු විශ්‍වකර්මයෙක් ද?   


පිළිතුර:- කාරණා දෙකක් තියෙනවා. ඔබ අහනවා බැසිල් රාජපක්ෂ විශ්වකර්මයෙක් ද කියලා. ඔව්. ඔහු අති දක්ෂයෙක්. අපි එහෙම කියන්නේ ආවට ගියාට නොවෙයි. ඉතිහාසයෙ ඔහු ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. කළමනාකරණයෙ හා ආර්ථීක කළමනාකරණයෙ සුවිශේෂි හැකියාවකින් යුක්තයි කියලා. ඒක අපි දැක්කා. 2010-2019 මහින්ද රාජපක්ෂ රජය කාලෙදී තමයි ආර්ථික සංවර්ධන දර්ශක අතින් අපි ඉතාම ඉහළට ගිය යුගය. ඒ යුගයෙදී තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ආර්ථිකය හසුරුවපු යුගය. ඒ විතරක් නොවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය බිහි කරන්න යද්දි ඒ කාලේ හිටපු රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා අලුත් පක්ෂයක් හැදුවොත් ඒ අයව පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කියලා. ඒක රටක ජනාධිපතිවරයෙක් කරපු දැවැන්ත තර්ජනයක්. ඒ තර්ජනය කෙළින්ම කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට. නමුත් එතුමා අලුතෙන්ම පක්ෂයක් හදලා ගමේ ආණ්ඩු දිනවලා. ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්‍ඩුවක් පිහිටුවනවා. ඒක තමයි එතුමාගේ දක්ෂතාවය.   


ප්‍රශ්නය:-බැසිල් රාජපක්ෂට මුදල් ඇමැතිකම දෙන්න වුණේ ගෝඨාභය මහින්ද දෙන්නම ෆේල් නිසාද?   


පිළිතුර:- මම ඕකට පිළිතුරක් දුන්නා. එතුමාට මුදල් ඇමැතිකම දෙන්න සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නොවෙයි. මම දිගින් දිගටම ඔබට පැහැදිලි කරන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ අපි රට කරනවා නොවෙයි. ගෝලීය ව්‍යසනයක් එක්ක අපි යන්නේ. එවැනි ගෝලීය ව්‍යසනයක් තුළ ලෝකයේ සියලුම රටවල් ආර්ථික වශයෙන් පීඩා විඳිද්දී මං හිතන්නේ රටේ ආර්ථිකය හදන්න සුවිශේෂී නායකත්වයක් එයට දිය යුතුයි. ඒ සඳහා තමයි එතුමාට මුදල් ඇමැතිධුරයට ගේන්නේ.   
ප්‍රශ්නය:-ඇමැති බැසිල් කුමක් කරයි ද?   


පිළිතුර:- ඔහු කළ යුතු සියලු දේ කරයි.   


ප්‍රශ්නය:-ළඟදීම ඇමැති මණ්ඩල සංශෝධනයක් එන බව කියනවා. කාගේ තටු කැපෙයි ද?   


පිළිතුර:- ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්නේ නෑ. මොකද එය පක්ෂයක් හැටියට අපේ විෂය පථයට පරිබාහිරවයි ඇමැති මණ්‍ඩල සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලතල තියෙන්නේ ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට. 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්