
වී මෝල් හිමියන්ට රජයෙන් ලොකු ණයක්
අස්වනු නෙළන මේ සමයේ වී මිල පහළ යාම ගොවීන්ගේ දැඩි විරෝධයට හේතු වී තිබේ. ඇතැම් තැනක විරෝධතා ද පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඇමැතිවරුන් අතර වී මිල පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්වුණේ ද මේ නිසාය.
වෙළෙඳ හා වාණිජ ඇමැති වසන්ත සමරසිංහ, කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත සහ මුදල් හා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් සමඟ ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
”ඒ, වසන්ත ඇමැතිතුමාටයි ලාල් ඇමැතිතුමාටයි ලොකු ප්‍රශ්නයක් නේද තමන්ගේ දිස්ත්‍රික්කවල...” ජනාධිපතිවරයා කතාව ඇරඹුවේ එසේ කියමිනි.
”අපේ ගොවීන්ට හැමදාම තියෙන ලොකුම ප්‍රශ්නෙ වී මිල. අපේ රජයක් යටතේ වැඩි මිලක් දෙන්න පුළුවන්නම් හොඳයි.” වසන්ත සමරසිංහ ඇමැතිවරයා කීවේය.
”නාඩු 120ට ගන්න කියලනෙ කියන්නේ. සම්බා 130ට... ඒක තමයි එයාලා ඉල්ලන්නෙ. අපි බලමු ඒ මිල දෙන්න පුළුවන් ක්‍රමයක්...” එසේ කී ජනාධිපතිවරයා හැරුණේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙතටය.
”ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ ජනාධිපතිතුමනි, කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට. ඒ අය සල්ලි නැතිව හිරවෙලා ඉන්නේ...” වසන්ත සමරසිංහ ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා පැවසුවේ මාස අටකින් ගෙවිය යුතු රුපියල් මිලියන 25ක පොලී රහිත ණයක් එම මෝල් හිමියන්ට ලබාදීමට රජය සූදානම් බවය.
”පසුගිය අවුරුදුවල හිඟ ණය නැති මෝල් හිමියන්ට අපි මේ ණය මුදල දෙනවා. මේ ණය මුදලේ පොලිය ගෙවන්නේ රජයෙන්. හැබැයි මේ මෝල්වලට දවසට කිලෝ විසිපන්දාහක් කෙටීමේ කැපෑසිටිය තියෙන්න ඕනෑ. ඒ වගේම නාඩු කිලෝව 120ටත්, සම්බා 130ටත්, කීරි සම්බා කිලෝව 140ටත් මෙයාලා ගන්න ඕනෑ. මාස අට අවසන් වෙද්දී මේ මුදල රජයට ආපහු ගෙවන්න ඕනෑ...” ජනාධිපතිවරයා කියා සිටියේය.
”දවසකට කිලෝ විසිපන්දාහක් කොටන්න පුළුවන් මෝල් තියෙන සමුපකාර සමිතිවලටත් මේ ණය මුදල දෙන්න ජනාධිපතිතුමනි.” වසන්ත සමරසිංහ ඇමැතිවරයා ඉල්ලා සිටි අතර ඊට ජනපතිගේ අනුමැතිය හිමි විය.
මෙම වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීය.
”ඔයාලා හැමදාම ලාභ ලබන එකේ මාස තුනක් ගොවීන් ඉල්ලන ගණනට වී මිලදී ගන්න.” ජනාධිපති අනුර මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මෙම සතියේ සිටම කිලෝ 64ක අමු වී මිටියක් රුපියල් 6000කට මිලදී ගැනීමට මහා පරිමාණ මෝල් හිමියන්ගේ එකඟතාව පළ විය.
ජනපති සහ නීතිඥ සංගම් හමුව
දැනට ශේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවයේ යෙදී සිටින විනිසුරුවන්ගේ සේවා කාලය වසර දෙකකින් දිගු කිරීම පිළිබඳව මුලින්ම අනාවරණය කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි. එම සංගමය මේ පිළිබඳව දැඩි විරෝධයක් පළ කළ අතර ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද ඉල්ලා සිටියේය. සති කිහිපයකට පසු එම සාකච්ඡාව ලැබුණේ ඉකුත් 12 වැනිදා සවස 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, ලේකම් හා භාණ්ඩාගාරික ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වූහ. ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර ද සාකච්ඡාවට එක්වූයේය. (මෙම රැස්වීමට නීතිඥ සංගමයේ විධායක සභාවේ බහුතරයක් පැමිණ නොසිටි බව රජය පවසයි.)
සුහදව පැවැත්වුණු එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එදින පෙරවරුවේ නීතිඥ සංගමය නිකුත් කර තිබූ නිවේදනය ගැන විරෝධය පළ කළේය.
”ඔබතුමාලා සාකච්ඡාව යොදාගෙන තිබියදී අද උදේ නිවේදනයක් නිකුත් කළා. ඔබතුමාලා ආවේ යම්කිසි ස්ථාවරයකින්. ඒත් මම විවෘත මනසකින් මේ සාකච්ඡාවට එන්න සූදානම්ව සිටියේ. මේ නිවේදනය නිසා මටත් ස්ථාවරයක් ගන්න සිදුවුණා...” මෙවැනි තත්ත්වයක් වෘත්තිකයන් සමඟ සාකච්ඡාවකදී තමා බලාපොරොත්තු නොවූ බව ජනාධිපතිවරයා පැවසීය.
තමන් මෙම සංශෝධනයට විරුද්ධ වන හේතු නීතිඥ සංගම් නිලධාරීහු පැහැදිලි කළහ. ජනාධිපතිවරයා ද තමාගේ සහ රජයේ ස්ථාවරය පැහැදිලි කළේය.
”මේ වෙලාවේ මාතෘකාව වෙලා තියෙන්නේ විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීම ගැන විතරයි. ඒ සම්බන්ධයෙන් ගන්නා තීරණය එක් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරලා කරන දෙයක් නොවෙයි. රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා තීරණයක්. මේක සමස්ත අධිකරණ ක්‍රමයේම ගැටලු විසඳීමේ වෑයමක එක් පුරුකක් විතරයි. මගේ තනි මතයක් නොවෙයි.” ජනාධිපතිවරයා කියා සිටියේය.
ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම හා 22 වැනි සංශෝධනය
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව විපක්ෂය ආණ්ඩුවට එරෙහිව කඳවුරු බඳිද්දී ආණ්ඩුව ද තමන්ට හිතවත් පිරිස් එකතු කරමින් සිටියි. ජනාධිපතිවරයා, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ‘ජනවරමේ නීතිඥයෝ‘ නමැති සංවිධානයේ පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වූයේ 22 වැනි සංශෝධනය, දූෂණ විරෝධී පනත ආදිය ගැන තවදුරටත් කරුණු පැහැදිලි කිරීමටය.
”මොකක්ද දැන් මේ පනත් සංශෝධන ගැන රටේ ජනතාව කියන්නේ?” ජනාධිපති අනුර කුමාර දිසානායක විමසීය.
”ජනතාවගෙ නම් මේ සංශෝධනවලට අකමැත්තක් නෑ. අපි බිම් මට්ටමේ වැඩකටයුතුවලට සහභාගි වෙනකොට එකතු වෙන ජනතාවගෙ පැත්තෙන් නම් වංචාවට දූෂණයට එරෙහි සටනට ලොකු කැමැත්තක් තියෙනවා. අපිට හම්බවුණු ජනතාව කියන්නේ තියෙන නීති තද කරලා දූෂිතයන්ට දඬුවම් දෙන්න කියලා.” ලක්මාලි මන්ත්‍රීවරිය කීවාය.
”ඔව්, නීතිඥ සංගමය ඇතුළු නීති වෘත්තිකයන් නිරත ඇතැම් අයගේ විනිසුරු විශ්‍රාම වයස ඉහළ දමන එකට යම් විරෝධයක් තිබුණට, විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි කරන එකට, මහාධිකරණ උසාවි ප්‍රමාණය වැඩි කරන එකට විරෝධයක් නෑ. සමහර අයට තියෙන ප්‍රශ්නේ විනිසුරුවරුන් බඳවාගැනීම ප්‍රමාද කරන්නේ ඇයි කියන එක. තව අයට මේ සංශෝධනය හදිසියේ ගේන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා. අපි ඇත්ත තොරතුරු හරියට සමාජගත කළොත් මේ සංශෝධන ගැන හොඳ ප්‍රතිචාරයක් ලබාගන්න බැරිවෙන එකක් නෑ.” ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න නියෝජ්‍ය ඇමැතිනිය කීවාය.
”ඇතැම් විනිසුරුවරුන්ට දීමනා ප්‍රශ්න, වැටුප් ප්‍රශ්න ආදිය තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කළොත් හොඳයි.” වෛද්‍ය නජිත් ඉන්දික කීවේය.
”අපි මේ කරන්න යන දේ විධිමත් ආකාරයට රට ඉදිරියේ සාකච්ඡා කරන්න ඕනෑ. මොකද ගොඩක් වෙලාවට අපේ අරමුණ ගැන සම්පූර්ණ චිත්‍රයක් සමහරුන්ට නැහැ. නීතිඥ සංගමය වුණත් විශ්‍රාම වයස දීර්ඝ කරන එකට විරෝධයක් නෑ. කරන ආකාරය ගැනයි කාලය ගැනයි තමයි ඒ අය විරෝධය එල්ල කරන්නේ. මේ වගේ සංශෝධනයක් කරනකොට විවේචන එනවා. ඒක සාධාරණයි.” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
”දැන් සැප ද අහපු
අය කෝ?” - සජිත්ගෙන් ප්‍රශ්නයක්
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතිය ද ගත කළේ ජනතාවගේ ප්‍රශ්නවලට සවන් දෙමිනි. කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව ජීවිකාව ගෙන යන ධීවර ජනතාව මුණගැසුණු විපක්ෂනායකවරයාට එම ජනතාව කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාම නිසා මාළු මිල ඉහළ යාමෙන් තම ජීවන වෘත්තියට පහර වැදී ඇති බවය.
”ඒ කාලේ විපක්ෂයේ ඉන්නකොට නම් ‘දැන් සැපද‘ කියලා වේදිකාවල කෑගහලා අහපු අයත් හිටියා. එදා එහෙම කියලා පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගැන පොරොන්දු දීලා බලය ගත්තා. දැන් ඒ සමාජය, ඒ රට බිහිවෙලා ද කියලා මම තමුන්නාන්සේලාගෙන් අහන්න කැමැතියි...” විපක්ෂනායකවරයා කියා සිටියේය.
”රටේ ජනතාව ජීවන වියදමෙන් මිරිකිලා ඉන්නේ. එදිනෙදා ජීවත්වීම ගැන ජනතාවට ප්‍රශ්න බොහොමයක් මතුවෙලා තියෙනවා. එහෙම තියෙද්දී ආණ්ඩුව පොදු ජනතාවගේ ප්‍රශ්න අමතක කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක එල්ලිලා ඉන්නවා. ඊට පස්සේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරලා ඒකාධිපති පාලනයක් බිහි කරන්නයි රජය උත්සාහ කරන්නේ.” විපක්ෂනායකවරයා තවදුරටත් පැවසීය.
විපක්ෂය තානාපතිවරුන් හමුවෙයි
විපක්ෂයේ පක්ෂ නායකයන් ගණනාවක්ම ඉකුත් සතියේ මෙරට සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවී ආණ්ඩුව අධිකරණය සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වන සංශෝධනය ගැන ඔහු දැනුවත් කර තමන්ගේ විරෝධය පළ කිරීමට කටයුතු කළේය. සුරේන් රාඝවන්, දයාසිරි ජයසේකර, ප්‍රේමනාත් දොළවත්ත, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් එම ගමනට සහභාගි වූ අතර මහ කොමසාරිස්වරයා එම කරුණු සාවධානව අසා සිටියේය.
විපක්ෂය ඉකුත් බදාදා සවස ‘කළම්බු ක්ලබ්‘ වෙත රැස්වූයේ ද මෙම සංශෝධනය ගැන ගන්නා ඊළඟ පියවර සාකච්ඡා කිරීමටය. විපක්ෂනායක සජිත් ඇතුළු සියලු පක්ෂ නායකයෝ එම රැස්වීමට එක්ව සිටි අතර සංශෝධනය ගෙන එන දවසේ පවත්වන විරෝධතා ගැන එහිදී සාකච්ඡා කෙරිණි.
විපක්ෂයෙන් විරෝධතා පා ගමනක්
ඉකුත් සතියේ පැවැති හමුවකදී දොස්තර රාජිත සේනාරත්න, රෝහිත අබේගුණවර්ධන සහ ඩිලාන් පෙරේරා ඇතුළු දේශපාලකයන් පිරිසක් අතර ද සාකච්ඡාවට ලක්වූයේ ආණ්ඩුව ගෙන එන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයෙන් දැනෙන විරෝධයක් පළ කළ යුතු බවටය.
”ඔහොම ඉන්නකෝ... දැන් අපි සජබෙත් එක්කනේ මේ විරෝධය පළ කරන්න ඕනෑ. එයාලගෙ වැඩපිළිවෙළ ගැන ටිකක් කතා කරලා බලමු...” එසේ කී දොස්තර රාජිත සජබ මන්ත්‍රී සුජීව සේනසිංහට කතා කර ඒ ගැන විමසීය.
”ලොක්කෝ දෙන්නා මුණගැහිලා දැන් සතියකට වඩා ගතවුණා. මොනවා ද සජබෙන් කරන්න ඉන්නේ?” රාජිත විමසීය.
”අපි සූදානම් වෙමින් ඉන්නේ ගාල්ලේ ඉඳලා පා ගමනක් එන්න. අපේ පැත්තෙන් ලක්ෂයක ජනතාවක් සහභාගි කරවනවා. අපි අනිත් පක්ෂවලටත් ආරාධනා කරනවා. මේකෙ සංවිධාන කටයුතු හැම පක්ෂයකින්ම කමිටියක් දාලා කරමු...” සුජීව සේනසිංහ කීවේය.
”මේකට නාමල්වත් එකතු කරගන්න...” දොස්තර රාජිත කීවේය.
”ඔව්... එයාවත් එකතු කරගමු... ඒ ගැන කතා කරන්න ඕනෑ...” සුජීව සේනසිංහ පැවසීය.
”පා ගමනක් යනකොට දවසින් දවස උද්ඝෝෂණය වැඩි වෙන විදිහටයි සංවිධානය කරන්න ඕනෑ. මම මුල්ම පා ගමනටත් ගිය මිනිහෙක්. ඒ ඒ දවසට සෙනඟ කොයි ආසනවලින්ද එන්නේ... ඒ මිනිස්සුන්ට දෙන පහසුකම් මොනවාද? ඕවා ඔක්කොම හොඳට සූදානම් කරලා මේ පා ගමන කරමු...” දොස්තර රාජිත උපදෙස් දුන්නේය.
හිටපු දේශපාලකයන් අටදෙනෙක් සිරගෙවල්වල
හොරු ඇල්ලීම සහ දඬුවම් දීම ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවමින් අල්ලස් හා දූෂණ පිළිබඳ නඩු ඇසීම රජය කරගෙන යන අතර, විපක්ෂයේ චෝදනාව වී ඇත්තේ සිතාමතාම විපක්ෂ දේශපාලකයන් දඩයම් කිරීමේ රජය නිරතව සිටින බවය.
මේ වන විට දඬුවම් නියමව සහ සැකපිට රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටින දේශපාලකයන් සංඛ්‍යාව අටදෙනෙකි. අකිල විරාජ් කාරියවසම් සහ චන්දන කත්‍රිආරච්චි යන හිටපු දේශපාලකයන් මේ වන විට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ද, සුගීෂ්වර බණ්ඩාර මැගසින් බන්ධනාගාරයේ ද, මහින්දානන්ද, නලින් ප්‍රනාන්දු, එස්.එම්. රංජිත්, චමින්ද විජේසිරි සහ සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයේ ද රඳවා සිටිති. එහිම මරණ දඬුවම නියම වූ සිරකරුවන් රඳවා සිටින අංශයේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ද රඳවා සිටිති.
විපක්ෂ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ඉකුත් බදාදා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට ගියේ එහි රඳවා සිටින හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ සුවදුක් විමසන්නටය. තමාට බලපෑ සිද්ධිය පිළිබඳව බොහෝ කරුණු අකිල, දයාසිරි මන්ත්‍රීවරයා සමඟ කියා සිටියේය.
”මොනවා කරන්නද... ඔය ටික ඉඳලා එන්න...” අකිලගේ සුවදුක් විමසමින් දයාසිරි කීවේය.
ගෝඨාභය හා මාලිමා මහ ලේකම් හමුවෙති
දේශපාලනඥයන් සහභාගි වූ අවමංගල්‍ය කිහිපයක් ඉකුත් සතියේ යෙදී තිබුණි. පොහොට්ටුවේ කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්නගේ පියාණන්ගේ අවමංගල්‍යයට ද හිටපු මෙන්ම වත්මන් මැති ඇමැතිවරුන් ගණනාවක්ම සහභාගි වූහ.
හොරණ පැවැති මෙම අවමංගල්‍යයට ගිය දොස්තර රාජිත සේනාරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි කතාබහක යෙදී සිටියේ දේශපාලකයන්ට වැටෙන නඩු හබ පිළිබඳවය.
”බලන්නකෝ ඩොක්ටර්... අපිත් මෙච්චර ඇමැති ධුරවල හිටියා. අපි නම් මෙහෙම හොය හොයා අත්අඩංගුවට ගත්තේ නෑ. ආපු පැමිණිලි තිබ්බා නම් ඒවට රිමාන්ඞ් කළා. මම මේ දවස්වල පැත්තකට වෙලා නිහඬව ඉන්නවා...” හිටපු ඇමැතිනි පවිත්‍රා කීවාය.
”ඒක තමයි... ලැයිස්තු හදාගෙන පන්න පන්න ගහන ආකාරයක් දැන් පේන්න තියෙන්නේ.” දොස්තර රාජිත ද කියා සිටියේය.
පොහොට්ටුවේ නායකයන් හැමදෙනාම පාහේ එදින සිටියේ ද සංජීවගේ නිවසේය.
”තාත්තට වයස අවුරුදු කීයක්ද සංජීව?” ජොන්ස්ටන් ප්‍රනාන්දු විමසුවේය.
”අසූ තුනක් සර්... තාත්තා කිසි දුකක් වින්ඳේ නෑ... පෙරේදා රෑ ටිකක් අසනීප වුණා... එච්චරයි...”
පසුදා දහවල් 12.00ට පමණ ගෝඨාභය රාජපක්ෂ මළගෙදරට පැමිණියේය. ඒ වෙද්දී මාලිමාවේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ මාලිමා මන්ත්‍රී කණ්ඩායමත් මළගෙදරට පැමිණ සිටියහ.
”මම ඩොක්ටර් නිහාල් අබේසිංහ...” මාලිමා මහලේකම්වරයා ගෝඨාභයගේ අතට අතදී තමා හඳුන්වා දුන්නේය. ඔවුන් දෙදෙනා ටික වේලාවක් කතාබහ කරමින් සිටිනු දක්නට ලැබිණි.
ඉන් ටික වේලාවකට පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද එහි පැමිණි අතර, මළගෙදරට පැමිණ සිටි හැමදෙනාම පාහේ පුටුවලින් නැඟිට මහින්දට ආචාර කළහ. මහින්ද දේහයට අවසන් ගෞරව දක්වා සංජීව එදිරිමාන්න ඇතුළු පවුලේ අය සමඟ කතාබහ කරමින් සිටි ගෝඨාභය ඇතුළු පිරිස ළඟට පැමිණ වාඩිගත්තේය. පක්ෂය වෙනුවෙනුත් රාජපක්ෂ පවුල වෙනුවෙනුත් එදිරිමාන්න පවුලට ශෝකය පළ කරමින් ගුණකථනය කළේ නාමල් රාජපක්ෂය. නාමල් ආදාහනාගාරයටත් ගියේය.
”ඔබතුමා මෙතනටත් ආවා... බොහෝම ස්තුතියි...” සංජීව එදිරිමාන්න නාමල්ට කීවේය.
”අපේ අය ළඟින්ම අපි ඉන්න ඕනෑ දුකක් හිතෙන වෙලාවේදී...” නාමල් සංජීවගේ අතින්ම අල්ලාගෙන කීවේය.
සාගර අත්අඩංගුවට
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ට නාරාහේන්පිට පොලිස් මාධ්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවා තිබිණි.
ඊට පෙර දින නාමල්, සාගර, ඩී.වී. චානක ඇතුළු පක්ෂයේ ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
”හෙට කීයටද මහලේකම්තුමාට යන්න තියෙන්නේ?” නාමල් විමසීය. ”මම ඔක්කොම නීතිඥවරුන් සම්බන්ධ කරලා තියෙන්නේ. අපේ මේ නීතිඥවරුන් හෙට ඔබතුමා වෙනුවෙන් එතැනට එනවා.” නාමල් තවදුරටත් කීවේය.
”මේ ආණ්ඩුව බලන්නේ කොහොමහරි අපේ මහලේකම්තුමාව අත්අඩංගුවට ගන්න.” ජොන්ස්ටන් කීවේය.
”උදේම උදය ගම්මන්පිලත් එනවා කීවා.” සාගර කීවේය.
උදෑසනම එහි ගිය සාගරගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩංගුවට ගත් අතර, එදින සවසම ඔහුට ඇප ලැබිණි.
ගොවීන් සමඟ නාමල්ගේ සාකච්ඡාව
ගොවි ප්‍රශ්න සම්බන්ධයෙන් රට පුරා ගොවීන් හමුවී සංවාද මණ්ඩප පැවැත්වීමට නාමල් ඇතුළු පොහොට්ටුව තීරණය කර ඇත. එන් එක් සංවාදයක් ඉකුත් සතියේ කැකිරාවේ මානාකාවේදී පැවැත්විණි. එම හමුවට ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
තම කතාව අතරතුරදී නාමල් රාජපක්ෂ කියා සිටියේ, ඒ කාලේ අපේ සීයා වක්කඩින් අත සෝදාගෙන ඇවිත් තමයි නොමිනේෂන් අත්සන් කළේ කියාය. වී මිලදී ගැනීම ගැන මතුව ඇති ප්‍රශ්න සහ පොහොර ප්‍රශ්න ගැනද මෙහිදී ගොවීහු නාමල් සමඟ අදහස් හුවමාරු කරගත්හ.
විනිසුරු වයස ගැන එජාප කතා
මෑතකදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය දෙවරක් රැස්විය. එහිදී වැඩිපුරම අවධානය යොමු වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවයි. එමෙන්ම විනිසුරු වයස වැඩි කිරීමේ තීරණය පිළිබඳව ජනමත විචාරණයක් අවශ්‍ය බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දැඩිව සාකච්ඡාවට ලක් කෙරිණි.
එහිදී අදහස් දක්වමින් නායක රනිල් කීවේ මෙවැන්නකි:
”නඩු ලක්ෂ එකොළහක් ගොඩගැහිලා තියෙනවා. බහුතරයක් තිබෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණවල සහ දිස්ත්‍රික් උසාවිවලයි. උපරිමාධිකරණවල නඩු දහදාහක්වත් ගොඩගැහිලා නැහැ, ඊටත් වඩා අඩුයි. අඩු ගණනේ අපි නඩු ලක්ෂයක්වත් අවුරුද්දකට ඉවර කරන්න ඕන. ඒ කාරණය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වේවි.”
”විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරන්න ආණ්ඩුවෙන් තීරණයක් ගත්තා නම් ඒකට ජනමත විචාරණයක් ලබාගන්න තිබෙනවා. ඒ කාරණා සඳහා නීතිඥ සංගමය සහ අනෙක් පක්ෂ සමඟත් අප සාකච්ඡා කරනවා. ඒ වගේම අපිට පුද්ගලයන් ගැන ප්‍රශ්නයක් නැහැ, අපට තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ජනතාවගේ අයිතිවාසිකම ජනතාව ආරක්ෂා කරගන්න ඕන. ඒක හොරකම් කරන්න ඉඩ දෙන්න බෑ.” රනිල් කීවේය.
එජාපයේ 80 වැනි සංවත්සරය හා තරුණ පරපුර
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය මෙවර ඉතා ඉහළින් පැවැත්වීමට තීරණය වී තිබේ. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වාම විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිතය. ජේ.ආර්. ජයවර්ධන 120 වැනි උපත් සංවත්සරය ද මේ දිනවලටම යෙදී තිබේ. ඒ වැඩකටයුතු සංවිධානය කිරීමේ වගකීම භාරදී ඇත්තේ හරීන් ප්‍රනාන්දුටය.
පක්ෂයේ නව ප්‍රතිසංවිධාන කටයුතු උනන්දුවෙන් නොකළහොත් අවුරුදු 35ට අඩු අයට දේශපාලනය එපා වන බව රනිල්ගේ මතය විය.
”ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකයේම තත්ත්වය එයයි. ඒ වගේම විබෞද්ධකරණයට විරුද්ධ වීමට අප මූලිකවම තීරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ රටේ ආගමික නිදහසක් තිබිය යුතුයි. ඒ නිසා සුළු ආගම් ආරක්ෂා කිරීම පිළිබඳවත් අපි ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා. දෙමළ භාෂාවෙන් ක්‍රියා කිරීමේ පවතින අඩුපාඩුකම් ද හඳුනාගත යුතුයි.”
පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ එලෙස අදහස් දක්වමින් සිටි රනිල් තවත් වැදගත් මතයක් ගෙනහැර දැක්වීය:
”සිංහල හා දෙමළ රජයේ භාෂා සහ ජාතික භාෂා කරන අතර ඉංග්‍රීසි භාෂාවත් ජාතික භාෂාවක් කළ යුතුව තියෙනවා. අපි කොච්චර කෑගැහුවත් ඇත්ත කාරණය ඒක තමයි. අනෙක් භාෂා ඉගෙන ගැනීමේ පහසුකම් ඇති කිරීමත් රජයට තිබෙනවා. ඒ වගේම අලුත් ලෝකයට අවශ්‍ය කරන දැනුම ලබාගැනීමට පහසුකම් ඇති කළ යුතුව තිබෙනවා. ඉංග්‍රීසි දැන් ලෝක භාෂාවක් බවට පත්වෙලා හමාරයි. භාෂාව අධිරාජ්‍යයෙන් ගත්තට දැන් අධිරාජ්‍යය නැතිවෙලා භාෂාව අධිරාජ්‍යයක් වෙලා.”
රනිල් කී ඒ මතයට ඌණපූරණයක් එකතු කරමින් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න පැවසූයේ, ”අපි සුද්දා වගේම භාෂාවත් පැන්නුවානේ” යනුවෙනි. රනිල් ද හිස වනා ඒ කතාව අනුමත කළේය.
”ඉන්දියාව සුද්දා පැන්නුවට භාෂාව තියාගත්තා.” දිනිත් කීය.
”82දී මම ඉංග්‍රීසි උගන්වන වැඩපිළිවෙළ හදන්න අඩිතාලම දානකොට ජනතා විමුක්ති පෙරමුණ, විජේවීර ඒකට විරුද්ධව වැඩ කළා.” රනිල් කීවේ කම්පාවෙනි.
අකිලට තවත් චෝදනාවක්
අකිල විරාජ් රිමාන්ඞ් කිරීම සම්බන්ධයෙන් එජාප නායකයන් සියලු දෙනාම සිටියේ කනස්සල්ලෙනි.
”ගල් අඟුරු චෝදනාව පැහැදිලිවම ඔප්පු වෙලා තියෙද්දී, ඊට අදාළ ඇමැති කෝටි ගණනක වරදකට වගකිව යුතුව තියෙද්දී ඒක යටගහන්න කොමිෂන් දානවා. ලක්ෂ විස්සක මොකක්ද සිද්ධියක් කියලා අකිල රිමාන්ඞ් කරනවා.” වජිර කීවේය.
”එයාට ඔය මුදලක් වැඩක් නෑ. මම දන්නවා එතුමා කුලියාපිටියේ හොඳ පවුලකින් ඇවිල්ලා තියෙන්නේ. පෞද්ගලිකවත් එයාට ව්‍යාපාර තියෙනවා. ‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය කළා. සංස්කෘතික ත්‍රිකෝණය නැවත ලාභ ලබන ව්‍යාපෘතියක් බවට පත් කළා. ඒ වගේ තවත් ව්‍යාපෘති ගොඩක් කළා. ඒ එකකින්වත් හම්බ කරපු නැති මිනිහා මේවයින් හම්බ කරන්නේ මොකටද?” රනිල් කීවේ ඊට පිළිතුරු ලෙසිනි.
”ඇත්තටම අකිලට ඔය චෝදනා නොවෙයි වෙන එක චෝදනාවක් තියෙනවා. ඒ, ඔය පරීක්ෂණ මෙහෙයවන ලොක්කෙක්ගේ පුතෙක් රෝයල් එකට දාලා දීපු එක. ඒක ඕන්නම් විභාග කරන්න. වැඩිදුර විස්තර අපේ මනුෂගෙන් අහගන්න කියන්න.” මාන්නප්පෙරුම යටගිය කතාවක් ඇද්දේ කාට කාටත් හිතන්නට යමක් ඉතිරි කරමිනි.
”අපි දන්නේ නෑ ඒ උදව්වට සල්ලි දුන්නද කිරි මුට්ටියක් දුන්නද කියලා. ඒවත් අපි හොයලා බලන්න ඕන.” රනිල් කීවේ සිනාසෙමිනි.
ඒකාබද්ධ විපක්ෂයේ වැඩ සහ නුවර ගමන
ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ඉකුත් සතියේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් හමු වූහ. එහිදී මල්වතු මහනාහිමියන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ ප්‍රකාශ කර ඇත්තේ විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් තමන් වහන්සේලා ජනපතිට යැවූ ලිපියට වෙච්ච දෙයක් නැති බවයි. මහනාහිමිවරුන්ගේ ලිපියක් එලෙස නොසලකා හැරීම විශාල වරදක් බව ඒකාබද්ධ විපක්ෂ නායකයෝ ද එහිදී පෙන්වා දුන්හ. (එවැනි ලිපියක් ගැන නොදන්නා බව අධිකරණ ඇමැතිවරයා ද පවසා තිබිණි.)
”එයින් පෙනෙන්නේ නීතිඥ සංගමය, සිවිල් සංවිධාන අතර පමණක් නොව ආණ්ඩුව ඇතුළේද මේ ගැන සංවාදයක් නොමැති බවයි.” මහාචාර්ය ජී.එල්. පීරිස් කීය.
මේ සතියේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ විපක්ෂයේ පක්ෂ අතර එකමුතුකමක් ගොඩනැගෙන මූලික ක්‍රියාදාමයක් ඇරඹීමයි. එම කටයුත්ත සිදු වූයේ බත්තරමුල්ල මොනෑක් ඉම්පීරියල් හෝටලයේදීය. ඒ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන් සංවිධානය කළ සුහද හමුවක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයකදීය.
පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, සජබ නියෝජනය කරමින් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඊට සහභාගී වූහ. එමෙන්ම විපක්ෂයේ හැම පක්ෂයකටම සම්බන්ධව ක්‍රියා කරන සහ ස්වාධීනව කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු රැසක් ද මීට සම්බන්ධ වී සිටියහ.
ඇරඹුමේදීම නීතිඥ සාගර කාරියවසම් කෙටි හඳුන්වාදීමක් කළේය. අනතුරුව නීතිඥ සංජීව අදහස් පළ කරමින් අධිකරණ ක්ෂේත්‍රයේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරකම් රැසක් අනාවරණය කළ අතර එහි රහස් ලෙස සැලකිය හැකි කරුණු ද තිබිණි.
විමල්, සාගර, උදය සහ ජෝන්ස්ටන් වාඩි වී සිටි මේසයේදී, රනිල් නියෝජනය කරමින් ගොස් සිටි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ, ”අපි ඔක්කොටම වෙන වෙනම සම්බන්ධතා තියෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිටිනවා. ජාතික ප්‍රශ්නවලදී මේ සියලුම දෙනා එක ලයින් එකක් ගන්න අපි අතර එකමුතුවක් තිබුණොත් හොඳයි.” යනුවෙනි.
විමල් වීරවංශ ඊට ඉහළින්ම කැමැත්ත පළ කළේය. ”මගේ සමාජ මාධ්‍යයට සම්බන්ධ කෙනා ඔබලාට සම්බන්ධ කර දෙන්නම්.” විමල් එහිදී කීය. සාගර කාරියවසම් සහ උදය ගම්මන්පිල ද ඊට එකඟතාව පළ කළහ.
පළමුව පක්ෂවල ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් පටන්ගෙන පසුව ලොකු ජාලයක් බිහි කිරීමට ද මෙහිදී කථිකා විය. පක්ෂ අතර මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ප්‍රථම වතාවටයි. එහිදී සියලු ක්‍රියාකාරීන් තම තමන්ගේ පක්ෂය ඉදිරියට නොදා පොදු මතයකට පැමිණීම විශේෂත්වයක් විය.
රාජ දූත

