විපක්ෂනායකතුමා ප්‍රයෝජනයට අරගෙන පොලිස් පලිහ කඩාගෙන යන්න අරගලකරුවන්ට වුවමනා තිබුණා


සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   

හේෂා විතානගේ 

2 වැනිදා කොළඹ පැවැති ‘ආණ්ඩුවේ මර්දනයට එරෙහි විරෝධතාවෙදී’ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ට අරගලකරුවන්ගෙන් විරෝධතාවක් එල්ල වූ බවට මාධ්‍ය වාර්තා කළේය. එතැන සිදුවූයේ කුමක්ද? සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   


ප්‍රශ්නය:- 2 වැනිදා කොළඹ තිබුණ උද්ඝෝෂණයේදී මොකද වුණේ?   


පිළිතුර:- අපි රටේ ප්‍රධාන විපක්ෂය විදියට අපට ආරාධනා කළා වෘත්තීය සමිති සන්ධානය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය මේ විරෝධතාවට සම්බන්ධ වෙන්න කියලා. අපි විපක්ෂය හැටියට කොන්දේසි විරහිතව ආණ්ඩුව ගෙන යන මර්දනයට එරෙහිව විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට අරගෙන රඳවා තබා ගැනීමට එරෙහිව අපි පෙනී සිටින නිසා අපි ඒ විරෝධතාවට සම්බන්ධ වුණා. 

 
ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ එතැනදී මොකද වුණේ කියන එකයි? 

 
පිළිතුර:- අපි මේ රටේ ඉදිරි බලය ගන්න ඉන්න පක්ෂය. ඒ වගේම රටට වග කියන පක්ෂයක් විදියට අපේ මතයට අනුව ඒ උද්ඝෝෂණය සාමකාමී උද්ඝෝෂණයක් විදියට පවත්වාගෙන ගියා. සමහර අය උද්ඝෝෂණවලදී සුලභව දකින්න ලැබෙන විදියට පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන වෙනත් තැනකට මේක අරගෙන යන්න උත්සාහ කළා. නමුත් අපි පක්ෂයක් විදියට එවැනි තත්ත්වයකට යන්න සූදානම් නෑ. නමුත් අපි උද්ඝෝෂණයට සාධාරණය ඉටු කළා කියන්න පුළුවන්.   


ප්‍රශ්නය:-  එතැනදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ‘හූ’ කියලා පැන්නුවා කියලත් මාධ්‍ය වාර්තා පළ වුණා?   


පිළිතුර:- පැහැදිළිවම අරගලකරුවන් යැයි කියන පිරිස්වලට අවශ්‍ය වෙලා තිබුණා විපක්ෂනායකතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රයෝජනයට අරගෙන පොලිස් පලිහ කඩාගෙන ගොස් ගැටුමක් ඇතිකර ගන්න. ඉතින් මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා වාගකීමක් ඇති නායකයෙක් හැටියට ඔවුන් සමග එකඟ වෙලා තිබුණ කාරණාවලින් එහාට ගිහින් කටයුතු කරන්න කැමැති වුණේ නෑ. පොලිස් වළල්ල කඩාගෙන යා යුතුයි කියලා අදහසක් සමහරු සෘජුවම කිව්වා. අපේ නායකතුමා, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපේ අරමුණ ඒක නොවෙයි මේ වෙනකොට රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබඳව සමාජයට රටට අවශ්‍ය පණිවිඩය ලබා දීමයි. අපට පොලිසියත් එක්ක ගැටුමක් ඇති කරගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. අපට ගැටුම තියෙන්නේ රජය එක්ක හා පාලකයො එක්ක. පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන් සමග ගැටුම් ඇතිකර ගැනීම තමන්ගේ රැඩිකල් දේශපාලනය කරන අයට හුරුවුණාට සමගි ජනබලවේගයේ අරමුණ රාජ්‍ය නිලධාරීන් යට කරලා අපේ බලය පෙන්වන එක නොවෙයි. මේ රටේ පාලකයන්ට දැනෙන විදියටයි අපි දේශපාලනය කරන්නේ.   


ප්‍රශ්නය:- අපි දැක්කා සරත් ෆොන්සේකා අන්තරේ වේදිකාවටත් ගොඩ වෙනවා. ෆොන්සේකාට එහෙම පිළිගැනීමක් ලැබිලා සජිත්ට මෙහෙම විරෝධයක් එන්නේ ඇයි?   


පිළිතුර:- සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිසිදු විරෝධයක් තිබුණේ නෑ. පෙළපාලිය අවසන් වෙනතුරු සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ශිෂ්‍ය සංගම් වෘත්තීය සමිති නියෝජිතයන් ගියා. හැබැයි ඔවුන්ගේ ඉල්ලීමක් වුණා පොලිස් වළල්ල කඩාගෙන යන්න නායකත්වය දෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සෘජුවම කිව්වා ‘එවැනි දෙයක් කරන්න මට බෑ. එහෙම එකඟතාවක් අපි අතර තිබුණෙත් නෑ. වෙන උද්ඝෝෂණවලදී වගේ එහෙම කඩාගෙන යන්න අපේ අදහසකුත් නෑ. මෙතැන ඉන්න පිරිස ආමන්ත්‍රණය කරලා අපි විසිරිලා යමු’ කියලා. ඇත්තටම විය යුත්තේ ඒකයි. සරත් ෆොන්සේකා මැතිතුමා වෙන්න පුළුවන්. මම වෙන්න පුළුවන් අපට පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙනවා වෙන්න පුළුවන්. අපට ඕනෑම කෙනෙක් එක්ක යන්න පුළුවන්. නමුත් රටේ නායකයෙක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට එවැනි තීරණයක් ගැනීම අපහසුයි. මං හිතන්නේ ඒ වෙලාවේ ගත යුතු හොඳම බුද්ධිමත්ම තීරණය තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ගත්තේ.   


ප්‍රශ්නය:-  මේ අරගලය හැඳින්වුණේ ‘නිර්පාක්ෂික පොදු අරගලයක්’ කියලයි. ඒ අරගලය ‘හයි ජැක්’ කරන්න දේශපාලන පක්ෂ උත්සාහ කරනවා?

   
පිළිතුර:- එහෙම හයිජැක් කිරිල්ලක් නෑ. අරගල දවස්වල ඔබ දකින්න ඇති එක එක කණ්ඩායම් හට් ගහගෙන හිටියා. නමුත් අපි එතැන හට් ගහගෙන සජබෙ කණ්ඩායමකුත් ඉන්නවා කියලා පෙන්වීමේ අවශ්‍යතාවයක් අපට තිබුණේ නෑ. මේ වෙනකොට මේ රටේ විශාලතම ජන පදනම තියෙන පක්ෂය හැටියට ඒ ජන පදනම ආරක්ෂා කරගෙන ඔවුන් හරි තැනට ගෙන යන එකයි අපේ කාර්යභාරය. එතැනදී විපක්ෂනායකවරයා හැටියට අරගලකරුවන් කළ ඉල්ලීමකට ගෞරවයක් වශයෙන් තමයි අපි මේකට සම්බන්ධ වුණේ. රට පුරා ඉන්න පාක්ෂිකයන් ගෙන්වන්න අපි කටයුතු කළේ නෑ. කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් තමයි අපි මේක කළේ. ඒ නිසා පක්ෂයක් හැටියට අපි තනියෙන් කරන වැඩසටහන් තියෙනවා. ඒකාබද්ධ වැඩසටහන් තියෙනවා. ආණ්ඩු විරෝධී අරගලයට සහාය දක්වන වැඩසටහන් තියෙනවා. ඒ ඒ විරෝධතාවල වෙනස් භාවයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා හැම කඳවුරක් එක්කම සාකච්ඡා කරන හැම කඳවුරක් සමඟම හිටගන්න නායකයෙක් හැටියට තමයි මේ විරෝධතාවට ගියෙත්. මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය ගෙනයන මේ ජනතා විරෝධී මර්දනකාරී ගමනට අපි සියලු දෙනා එක්ව හඬක් නැගිය යුතු වෙලාවක්. මොකද නැත්නම් අපි කාටවත් දේශපාලනය කරන්න අවස්ථාව නැතිවෙනවා. දැඩි මර්දනකාරී පාලනයක් ගෙන යෑමේ අරමුණක් තිබෙන බව පැහැදිළියි. ඒ නිසා පළමු සංඥාව අපි ආණ්ඩුවට ලබා දුන්නා. මේ මර්දනය නතර කරන්න කියලා. එහෙම නතර කරන්නේ නැතිව ආණ්ඩුව තවදුරටත් තමන්ට හිතුමතේ මේ මර්දනය කරගෙන යනවා නම් සමගි ජනබලවේගය හැටියට මෙයට වඩා දරුණු දැනෙන විරෝධතාවකින් අපි ගමන ආරම්භ කරනවා කියලා අපි දැනුම් දෙනවා.   


ප්‍රශ්නය:- මේ මොහොතේ පාරේ අරගල කරලා රටේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා ඔබ හිතනවද?   


පිළිතුර:- මමත් හිතන්නේ පාරේ අරගල කළ යුතුම නෑ. හැබැයි කවුරුහරි කියනවා නම් මේ මොහොතේ ආණ්ඩුව ජනතාවාදීව කටයුතු කරනවා කියලා එහෙම කියන්නේ ඔළුව අමාරුකාරයෙක්. අපි දැක්කා හරීන් ප්‍රනාන්දු කියනවා මනූෂ නානායක්කාර කියනවා දැන් රට හරි කියලා. ඒ දෙන්නට වෙන කියන්න දෙයක් නෑ. රටේ ජනතාවට තුන්වේල කන්න බැරිව ඉතාම අමාරුවෙන් ඉන්න වෙලාවේ කිසිදු පදනමක් නැතිව, කිසිදු අවශ්‍යතාවක් නැතිව වියදම් කරන්න ශත පහක් වෙන් කරන්නෙ නැතිව ඇමැතිවරුන් 38 ක් පත් කරලා රටට දුන්න පණිවිඩය මොකක්ද? තමන් මන්ද බුද්ධික භාවයෙන් වැඩ කරනවා කියලා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ පෙන්නුවේ. එහෙම නායකයෙක් ඉස්සරහා නිශ්ශබ්දව ඉන්න විපක්ෂයක් තියෙනවා නම් ඒ විපක්ෂයට කොන්ද නැහැ. අපි කියන්නේ ජනතාවාදීව වැඩ කරලා පෙන්වන්න. විශාල ඇමැති මණ්ඩලය අයින් කරන්න. ඇමැතිවරුන් හතර පස් දෙනෙක් එක්ක මේ අමාරු වෙලාවේ වැඩ කරන්න. එහෙම වැඩ කරනවා නම් අපි උදව් කරන්න සූදානම්. එහෙම නැතිව තව ඇමැතිවරුන් පත් කරගෙන තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරන වෙලාවක ඒකට විරුද්ධව අරගල කරන තරුණ කණ්ඩායම්, ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක් බන්ධනාගාරගත කරන කොට නිහඬව ඉන්න විපක්ෂයට බෑ. එහෙම නිහඬව ඉඳීමෙන් පෙන්නුම් කරන්නේ සංහිඳියාවක් නොවෙයි. ඒ නිසා එක එක්කෙනාට එක එක කතා කියන්න පුළුවන්. නමුත් මේ රටේ ජනතාව දන්නවා මේ පාලනය ඔවුන් ගෙනියන්නේ ඔවුන්ගේ ගමන හදා ගන්නකම් කියලා. මහින්ද මහත්තයාට පාරට බහින්න බැරිව ඉන්න එක පාරට බහින්න පුළුවන්කම හැදෙන කම් කියලා. ඒකට මේ රටේ ජනතාව සූදානම් නෑ.  


ප්‍රශ්නය:- සජබෙ මැතිවරණයක් ඉල්ලනවා. මැතිවරණයකින් බලයට එන්න සජබෙට පුළුවන් කියලා හිතනවද?  


පිළිතුර:- පැහැදිළිවම. ඔබ බලන්න මේ වෙනකොට අපි ආසන බල මණ්ඩල පිහිටුවා ගෙන යනවා ලංකාව පුරා. ඒ ආසන බල මණ්ඩලවල සජබ සාමාජිකයන්ට වඩා ඉන්නේ පොහොට්ටුවට පහුගිය කාලේ විශාල වශයෙන් උදව් කරපු අය. ඒ සංඥාව තමයි මෙතෙක් කල් පාලනය කරපු රාජපක්ෂලාගේ වියරු බොරුව ජනතාව තේරුම් අරගෙන තියෙනවා කියන එක. ඒ නිසා රටේ පාලකයන්ට මේක කරගෙන යන්න බැරි වෙලාවේ ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් දරා ගන්න බැරි විදියට බදු ගහන වෙලාවේ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමටම ජනතාවට තියෙන එකම මාර්ගය මැතිවරණයක්. ඒ මැතිවරණය ලැබුණම ජනතාවට තමන්ට අවශ්‍ය පාලනය තෝරා ගනී. ඒ අවස්ථාව ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්න වෙලාවක් මේක.  


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ජනාධිපති රනිල් කියනවා ‘පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ගණන අඩු කළ යුතුයි’ කියලා. මේක ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටියක් කියලා සමහරු කියනවා?  


පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක දේශපාලනය කරපු කෙනෙක් තමයි මමත්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ නායකත්වය කොයිවගේද කියලා හොඳින්ම දන්න මන්ත්‍රීවරයෙක් තමයි මමත්. රනිල් වික්‍රමසිංහ මහත්මයාට පළාත් සභා මැතිවරණය කල්දාන්න එතුමා ගෙනාපු ගේම් එක තමයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුයි කියන එක. අද වෙනකම් ඒ මැතිවරණය නෑ. අඩුම තරමේ ඒ ගැන කතාවක්වත් නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට හොඳට හුරු පුරුදුයි මැතිවරණ කල් දැමීම. පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුයි කියාගෙන ඔය එන්නේ ඡන්දය කල්දාන්නයි. මේ රටේ ජනතාව බුද්ධිමත්. එතුමාගේ ක්‍රියාදාමය ගැන අවබෝධයක් තියෙන විපක්ෂයක් තියෙන්නේ. ඒ නිසා මොනම හේතුවකටත් එවැනි දෙයකට ඉඩ දෙන්නේ නෑ නියමිත කාලයටත් අවුරුද්දක් පහුවෙලා තියන මේ මැතිවරණය තියල ඒ පත්වන මන්ත්‍රීවරුන්ගෙන් පස්සේ අවශ්‍ය සංශෝධන කරගන්න. පළාත් පාලන නියෝජිත ප්‍රමාණය වැඩියි. ඒ ප්‍රමාණය ගෙනාවෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි. එදා එතුමා ගෙනාපු යෝජනාව අදට හොඳ නැත්නම් ඒකත් මේ මැතිවරණයෙන් පස්සේ කරගන්න කියලා අපි කියනවා.  


ප්‍රශ්නය:- ආණ්ඩුව අයවැය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකක් වෙයිද?  


පිළිතුර:- අපි දන්නවා මේ අය රටට කිසිම සුබදායක දෙයක් කරන්නේ නෑ කියලා. අපි බලනවා විපක්ෂයක් විදියට මේ අයවැයේ යම්කිසි සාධනීය කාරණා තියෙනවා නම් ඒකට සහයෝගය දෙන්න. එහෙම නැත්නම් නිශ්චිතවම ඒකාබද්ධ සියලු විපක්ෂය හැටියට අපි අය වැය පරාජය කරලා මේ ආණ්ඩුව ගෙදර යවනවා.  

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව