ලෝක වසංගතයට මුවාවෙලා හොරකම් ටික කරගෙන යනවා


සමගි ජන බලවේගයේ බදුල්ල 
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
චමින්ද විජේසිරි 

රටේ අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- මේ මොහොතට අදාළව රටේ තත්ත්වය ඔබ දකින්නේ?  


පිළිතුර:- වර්තමාන ආණ්ඩුව ලෝක වසංගතය හුවා දක්වමින් ඒකට මුවා වෙලා ඔවුන් ඔවුන්ට හුරුපුරුදු හොරකම් ටික කරගෙන යනවා. අද ඖෂධ ගෙන්වීම වගේම ඖෂධ දත්ත ගබඩාවේ තොරතුරු හංගනවා. හිටපු ආරක්‍ෂක ලේකම් අද රටේ ජනාධිපතිවුණාම ඔහු හිටපු ආරක්‍ෂක ලේකම්වරයා යුද්ධයට කරපු කැපවීම පෙන්වලා ජාතික ආරක්‍ෂාව ඉහළ තැනක තියයි කියලා හිතලා තමයි හැට නව ලක්‍ෂයක් ජනතාව ඡන්දය දුන්නේ. මහ මැතිවරණයෙදී ඔය බලය ලැබුණෙත් ඒ නිසයි. නමුත් ජාතික ආරක්‍ෂාව පැත්තකට දාලා ජනතාව පැත්තකට දාලා කොවිඩ් ආසාදිතයන් පැත්තකට දාලා තමන්ට සුපුරුදු හොරකම් කරගෙන යනවා. රටේ ආර්ථිකය හදනවා වෙනුවට තමන්ගේ පවුලේ ආර්ථිකය හදාගෙන යනවා කියලා තමයි පෙන්නේ. රටේ පුරවැසියෙක් හැටියට අපට ඒ ගැන දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. රටේ නීත්‍යානුකූල බලය ඔවුන් පාවිච්චි කරන්නේ. රටේ ජනතාව ඔවුන්ට ලබාදිය යුතු තීන්දුව ලබා දීමට බලාගෙන ඉන්නවා.  


ප්‍රශ්නය:- කවුරු සතුටට පත් කළත් මේ තක්කඩි විපක්‍ෂය සතුටට පත් කරන්න බෑ කියලා ආණ්ඩුව කියනවා.  


පිළිතුර:- තක්කඩි කවුද කියලා මුළු රටම දන්නවා. මේ වසංගතය ඇතුළේ සිදුවන ඛේදනීය සිදුවීම් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපේ දේශපාලනයට මේ ආණ්ඩුව ගොඩ නැගුණේ කොහොමද කියලා මුළු රටම දන්නවා. මළකඳක් මතින් ජාතිවාදය මතින් තමයි මේ අය බලයට ආවේ, නමුත් විපක්‍ෂයක් හැටියට අපි කිසිසේත්ම මේ වසංගතය අපේ දේශපාලනයට පාවිච්චි කරන්නේ නෑ. කවුරුහරි එහෙම කරනවානම් ඒකට විරුද්ධවත් අපි නැගී සිටිනවා. අපි දිගින් දිගටම පෙනී හිටියේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන මේ මාරක වසංගතය හමුවේ ජනතාවට ඉටුවිය යුතු සාධාරණත්වය ඉටු කරන්නයි. ඒ වෙනුවෙන් අපි වැඩිපිළිවෙලක් රජයට ඉදිරිපත් කළා. එදා ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරපු ආකාරයට අපි කටයුතු කරන්නේ නැහැ. අපිව සතුටු කරන්න කියලා නෙවෙයි අපි කියන්නේ. රටේ අහිංසක ජනතාව සතුටු කරන්න. ඒ වෙනුවෙන් මේ කොරෝනාවෙන් ගසාකන එක නවත්වන්න. හොරකම් කරන එක නවත්වන්න ආණ්ඩුව මුල ඉඳලම කටයුතු කළේ මේ වසංගතය මර්ධනය කරන්න නොවෙයි වර්ධනය කරන්නයි.   


ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම කියන්නේ, ඔබට සාක්ෂි තියෙනවාද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම. ඔබ දන්නවා මේ කොරෝනා වසංගතය කොහොමද ඔවුන් ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා පාවිච්චි කළේ කියලා. පළමු රැල්ල දෙවැනි රැල්ල ආවම මහ මැතිවරණය ඉලක්ක කරගෙන යම් පාලනය කිරීමක් කළා. නමුත් මේ තුන්වැනි රැල්ලෙදි කිසිම දෙයක් නොකර සිටීම තුළ අපට පේනවා බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් එහෙම දෙයක් කරනවා. බලය ලබා ගත්තට පස්සෙ හැමදේම අමතක කරලා ඔවුන් ඔවුන්ගේ ගමන යනවා. විපක්‍ෂය හැටියට අපි මෙහෙම හැසිරීම ගැන වගකීමෙන් කටයුතු කිරීම ගැන රටේ ජනතාවගෙ පැත්තෙ ඉඳගෙන මේ විදියට කටයුතු කිරීම ගැන ජනතාව සතුටට පත් වෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුව දිගින් දිගටම මේ විදියට කරගෙන යන හොරකම් වංචා දූෂණ වහාම නතර කරන්න කියලයි.  


ප්‍රශ්නය:- ආණ්ඩුවක් කරලා ඉතාම අසාර්ථක වෙලා විපක්‍ෂයට වැටුණු ඔබලාට ආණ්ඩුවේ සාර්ථක ආසාර්ථකබව ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා ආණ්ඩුව කියනවා.  


පිළිතුර:- අපි එදා අපේ ආණ්ඩුවේ වැරැදි නිවැරැදි කරගන්න තමයි අපි සමගි ජන බලවේගය ගොඩ නගා ගත්තේ. අපි එක්සත් ජාතික පාක්‍ෂිකයා සමග පක්‍ෂ නායකයා ගැන පක්‍ෂයේ නායකයන් ගාව තිබුන ඩීල් ගැන කතා කළා. පාක්‍ෂිකයා තමයි අලුත් බලවේගයක් හදන්න කියලා කිව්වේ. අපි තවම ආණ්ඩුවක් පිහිටුවලා නෑ. සමගි ජන බලවේගය හදන ආණ්ඩුව ඉතිහාසයේ මේ රට දූෂණයෙන් මුදා ගන්නවා. 2024 අපේ සැලැස්ම ඒකයි. පාක්‍ෂියා රැක බලාගෙන රට ගොඩනගන්නේ කොහොමද කියන එක වෙනුවෙන් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ අපි ඒකරාශි වෙලා ඉන්නේ. ඉතිහාසයේ කිසිම දේශපාලන නායකයෙක් නොකරපු ජනතාවගේ පැවැත්ම ආරක්‍ෂාව සියලු ජාතීන්ගේ එකමුතුව සමගිය රකින ආගම් රකින ඒ දේශපාලන හයිය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුළ තිබෙනවා. ඒ එකමුතුකම අපේ පක්ෂය තුළ තියෙනවා. අපේ සන්ධානය තුළ තියෙනවා. ඒ නිසා ඒ ගමන අපට යන්න පුළුවන්. ආණ්ඩුකරණයෙදී පහුගිය කාලයේ වෙච්ච වැරැදි, ඒවා කවුද කළේ, ඒවට සම්බන්ධ වුණේ කවුද, ඒ අය දැන් කොහේද ඉන්නේ. එ අය කාත් එක්කද ඩිල් දාගත්තේ. මේවා මුළු රටම දන්නවා. ඒ නිසා මම හිතනවා එජාප පාක්‍ෂිකයන් සියලු දෙනා සමගි ජන බලවේගය ආණ්ඩුවක් හදනතුරු බලාගෙන ඉන්නවා. පාක්‍ෂිකයා රකින රට රකින ආණ්ඩුවක් ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. හොරා කන්නැති දූෂිතයන් නැති ආණ්ඩුවක් පාක්‍ෂිකයා ඉල්ලනවා ඒ ආණ්ඩුව දෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන්කම ඉහළින්ම තියෙනවා.  


ප්‍රශ්නය:-  ගොවියෝ පාරට බස්සලා ගුරුවරු පාරට බස්සලා කොරෝනා වගුර ගැඹුරු කළේ විපක්‍ෂයයි?  


පිළිතුර:- ඔය චෝදනාව කරන්න කලින් මට ආසයි බැසිල් රාජපක්‍ෂ අද වර්තමාන මුදල් අමාත්‍යවරයා එදා කොවිඩ් කාර්ය සාධක බළකායේ ප්‍රධානියා හැටියට යුරෝපයෙන් කොවිඩ් ආසාදිත වෙච්ච සංචාරකයන් රට තුළට ගෙනල්ලා අත්හදා බැලීමක් කරන්න කියලා කරපු වැඩෙන් තමයි මේ මහා නස්පැත්තිය සිද්ධ වුණේ. රටේ ගොවීන්ට ගොවිතැන් කරන්න අවශ්‍ය දේ නොලැබුණ නිසා තමයි ගොවියා පාරට බැස්සේ. ගොවීන් පාරට බැස්සේ අපි කියලා නොවෙයි. ගොවීන් වගේම ගුරුවරුන් පාරට බැස්සේ මේ වසංගතයේ භයානකකම නොදැන නෙවෙයි. ඒ නිසා ආණ්ඩුවේ නොහැකියාව අසමත්කම නිසාම කොවිඩ් වසංගතය වර්ධනය වුණාම එක ගොවි උද්ඝෝෂණ, ගුරු උද්ඝෝෂණ පිට දානවා. අර කොවිඩ් ආසාදිත සංචාරකයන් ගෙන්වලා කොවිඩ් තුන්වැනි රැල්ල ඇතිවීම අමතක කරලා තියෙනවා. ඒ නිසා අපි කල් ඇතුවම කිව්වා ඩෙල්ටා වයිරසය රටට ඇතුළුවීම වළක්වන්න වැඩ පිළිවෙලක් හදන්න කියලා. ඒක හදන්නේ නැතිව සංචාරකයන් අරගෙන ඇවිල්ලා ඔවුන්ගේ ගජ මිතුරන් සනසන්න කටයුතු කළා. තවත් අධිබලැති වෛරස් ප්‍රභේද මග එනවා කියලා සෞඛ්‍ය විශේෂඥයන් කියනවා. ඒ හරහා හතරවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා මේ තත්ත්වයට රට පත්වීමේ අනතුර නැති කරන්න ආණ්ඩුවට පුළුවන්ද? ඖෂධ ගබඩාවේ තියෙන දත්ත මැකෙනවා නම් අපේ රටේ ආරක්‍ෂාවට අබ සරණයි. අබ සරණයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ සියලු දේවල් සිද්ධ වුණේ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය නිසා හා හොරකමට වංචාවට ප්‍රමුඛතාවය දීපු නිසයි.  


ප්‍රශ්නය:-  රජයේ ගුරුවරුන්ට රුපියල් 5000 ක් දෙන්න රජය තීරණය කරලා තියෙනවා. එය සාධනීය පියවරක් වශයෙන් ඔබ දකින්නේ නැද්ද?  


පිළිතුර:- මේ මොහොතේ ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම්වලට සාධාරණ පියවරක් අවශ්‍යයි. නමුත් ආණ්ඩුව ගෙනියන්නේ සීනි බෝල වැඩපිළිවෙළක්. සමෘද්ධිලාභීන්ට රුපියල් පන්දාහ දුන්න බව අපි කවුරුත් පිළිගන්නවා. මේ වෙලාවේ ගුරුවරුන්ගේ වැටුප වැඩිවීම ඔවුන්ගේ වැටුප් විෂමතාව තුරන් කරලා ඔවුන්ගේ ශ්‍රේණීන්ට අවශ්‍ය ගෞරවණීය වැටුප් තලයක් තමයි ඔවුන් ඉල්ලන්නේ. මේ ඒ සටන බාල කිරීම සඳහා තමයි ඔය රුපියල් පන්දාහේ අල්ලස දෙන්නේ. පැහැදිළිවම ගුරුවරුන්ගේ ඉල්ලීම ලබාදෙන දිනය හරියට කිව්වොත් මොකද මේ ගුරුවරු හෙට මේක ඉල්ලන්නේ නෑ. ඔවුන් ඉල්ලන්නේ මේ වැටුප් වැඩිවීම සිදුවන ක්‍රමවේදය හා නිශ්චිත දිනයයි. මේවා මේ ටොෆි දීලා රවට්ටන්න ආණ්ඩුව හිතනවානම් එක් මුලාවක්.  


ප්‍රශ්නය:- ඊළඟ අයවැයෙන් මේ මුදල් දෙනවා කියලා ආණ්ඩුව කියනවා. 

 
පිළිතුර:- අයවැයෙන් ලබාදෙනවා කිව්වට 2021 අයවැය ලේඛනයට ඇතුළත් කරනවා කියලා 2020 දි බොරු පොරොන්දුවක් දුන්නනේ. ඒ නිසා ඔය දෙන්නම් කාසි ගැන විශ්වාසයක් තියන්න බෑ. මං හිතනවා නිශ්චිත වගකිවයුතු නිල ලියැවිල්ලක් ජනාධිපතිවරයා, මුදල් ඇමැතිවරයා, අධ්‍යාපන ඇමැතිවරයා ලබාදිය යුතුයි.  
පහුගිය අවුරුදු 24ක කාලය තුළ ගුරුවරුන් විදුහල්පතිවරුන් රැවටුණ රැවටිල්ල මතක ඔවුන් නැවත රැවටෙන්නේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා නිශ්චිත නිල ප්‍රකාශයක් කරන්න කියලා.  


ප්‍රශ්නය:- රට වහලා සති දෙකක් වෙනවා. ඔබලා උද්ඝෝෂණය කළා රට වහන්න කියලා. මෙහෙම රට වහලා ආර්ථිකය නඩත්තු කරන්න පුළුවන්ද?  


පිළිතුර:- කොහේද රට වහලා තියෙන්නේ? රට වහලා නම් ඔබ එන්න මාත් එක්ක කොළඹ ඇවිදින්න යන්න. කොළඹ හා නගරවල තත්ත්වය බැලුවම කිසිම වෙනසක් නෑ මාධ්‍ය ඒ බව රටට කියනවා. මේ දාලා තියෙන්නේ ඇඳිරි නීතිය. සංචරණ සීමා නොවෙයි. සංචරණ සීමා දාලා තිබුණ කාලේ යම් පාලනයක් තිබුණා. අද නිරෝධායන ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. මම නම් දැකලා නෑ මේ වගේ නිරෝධායන ඇඳිරි නීතියක්. විද්‍යාත්මක නොවන ලොක් ඩවුන්වලට තමයි ආණ්ඩුව දිගින් දිගටම ගියේ. ඒ නිසා තමයි ආර්ථිකය කඩා වැටුණේ. එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි.  

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකොන්