රාජපක්ෂලා විතරක් නොවෙයි රනිලුත් අපේ නෑයෙක්


සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 

හර්ෂණ රාජකරුණා

රටේ නව දේශපාලන පෙළගැසීම් හා ඉදිරි ක්‍රියාමාර්ග විමසමින් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සමඟ කළ සාකච්ඡාවකි.


?පුංචි ඡන්දය නොතිබ්බොත් පාරට බහිනවා කිව්වා. දැන් ඡන්දෙත් නෑ. සද්දෙත් නෑ.


මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුව තුළ අරගල කළා. මහපාරේ සටන් කළා. අධිකරණයට ගිහින් තියෙනවා. අපි අඛණ්ඩව ඒ සටනේ ඉන්නවා. අපි අපේ කාර්ය භාරය ඉටු කරලා තියෙනවා. නමුත් බොහොම කනගාටුයි කියන්න. රනිල් රාජපක්ෂ ආණ්ඩුව අධිකරණ තීන්දුව පිළිගත්තෙත් නැතිව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරමින් ඉන්නවා.


?රට තිබුණ තැනින් යම් පමණකට ගොඩ ඇවිත් තියෙනවා. විපක්ෂය මේ මොහොතේ කළ යුත්තේ මේ තත්ත්වය දියුණු කරගන්න උදව් කිරීමයි?


රටක් විදියට ගතයුතු නිවැරැදි හැම පියවරකටම සමගි ජන බලවේගය සහාය දීලා තියෙනවා. රටට විරුද්ධ යම් දෙයක් පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒකට නොබියව අපි කටයුතු කරලා තියෙනවා. ඒක නිසා සාම්ප්‍රදායික විපක්ෂයක් හැටියට අපි හැමදේටම විරුද්ධ වෙලා දේශපාලනය කරන කණ්ඩායමක් නොවෙයි. හරි දේට සහාය දෙනවා වගේම විරුද්ධ දෙයට එයට එරෙහිව කටයුතු කරනවා.


?සෞඛ්‍ය ඇමැති කෙහෙළියට එරෙහිව ගෙනත් තියෙන විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද?


මෙහෙමයි. අපිට පාර්ලිමේන්තුව තුළ බහුතරය ගන්න එක ලෙහෙසි නෑ. නමුත් එතැනදී මේ විශ්වාසභංගය අපි ඉදිරිපත් කළේ රට වෙනුවෙන්. පාර්ලිමේන්තුවෙන් පිට මුළු රටේම ජනතාව දන්නවා මේ ඇතිවෙලා තියෙන තත්ත්වය. හැමෝම දන්නවා අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වය. ඒ නිසා මේ විශ්වාසභංගයෙදි මුළු රටටම දැන ගන්න පුළුවන් ජනතාවත් එක්ක ඉන්නේ කවුද? ජනතාවට විරුද්ධව ඉන්නේ කවුද? කියලා. ජනතාවත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවට සහයෝගය දෙයි. එහෙම නැත්නම් ජනතාවට ද්‍රෝහි වෙමින් විශ්වාසභංගයට විරුද්ධ වෙයි. 


?ඇමැති කෙහෙළිය කියන්නේ ආණ්ඩුවේ එක සාමාජිකයෙක් විතරයි. ඇයි ඔහුට පමණක් නැතිව මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ නැත්තේ?


අපි මේ මොහොතේ දැවැන්ත කඩා වැටීමක් තියෙනවා. ඒ නිසාම ජනතාවට විශාල පීඩාවක් සැලසෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ කඩා වැටීමට සම්බන්ධ පුද්ගලයාට තමයි මේ විශ්වාසභංගය ගේන්නේ. ඉදිරියේදී මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගේන්න අපි පැකිළෙන්නේ නෑ. ඒක අපිට කරන්න පුළුවන්. අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්වත් නොවෙයි. ජාතික මැතිවරණයක්. 


රටට අලුත් ජනවරමක් ඕනෑ. මේක සම්පූර්ණයෙන් විකෘති තත්ත්වයක්. ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනතාව එළවපු කණ්ඩායමක් තමයි තවම රට පාලනය කරන්නේ. ඒක නිසා පැහැදිළිවම අලුත් ජනවරමක් අවශ්‍යයි.


?ජනාධිපතිවරයා යොදවපු සර්ව පාක්ෂික සමුළුවට ඔබලා ගියා. නමුත් අනුර කුමාරලා ආවේ නෑ. ඇයි ඔබලාට බැරි මුළු විපක්ෂයම එක ධජයක් යටතට ගේන්න?


අපි විපක්ෂයේ බහුතරය සමග එකඟ වෙනවා. සමහර අවස්ථාවලදී මාලිමාව අපිත් එක්ක එකතු වෙනවා අඩුයි. මාලිමාව නැතත් විපක්ෂයේ සෙසු සියලු දෙනා අපිත් එක්ක වැඩ කරනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ සියලු දෙනා එකතු කරගත් අති දැවැන්ත සන්ධානයක් ගොඩ නගන්න.


?ඉඩම් බලතල, පොලිස් බලතල සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන සජබෙ ස්ථාවරය මොකක්ද?


අපි පක්ෂයක් හැටියට ඉතා පැහැදිලිවම බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් පෙනී ඉන්නවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් රටේ නීතියක්. පොලිස් බලතල, ඉඩම් බලතල කොයිතරම් ද කියන එක ගැන සාකච්ඡා කරන්න අපට පුළුවන්. බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් අපි පැහැදිලිවම පෙනී සිටිනවා. 


?ප්‍රශ්නය- ආරංචි මාර්ගවලට අනුව මුලින්ම එන්නේ ජනාධිපතිවරණයයි. ඒ ගැන ඔබලාගේ තක්සේරුව?


ජනාධිපතිවරණයට අපි සූදානම්. ජනාධිපතිවරණය කලින් ලබාගන්න නීතිමය බාධාවක් තියෙනවා නම් ඒ නීති වෙනස් කරලා ජනාධිපතිවරණය කලින් ලබාගන්න ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වුණත් අපි අපේ සහයෝගය ලබා දෙන්න සම්පූර්ණයෙන්ම කටයුතු කරනවා.


?ජනාධිපතිවරණයේ ඔබේ පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස? ඒකේ වෙනසක් නෑ?


ඔව්! කිසිම වෙනසක් නෑ. සමගි ජන බලවේගයේ අපේක්ෂකයා විදියට අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දැනටමත් තීන්දු කරලා තියෙනවා ඒ අපේක්ෂකයා පක්ෂයෙ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා.


?මාලිමාවෙන් අනුර කුමාර හෝ හරිනි අමරසූරිය ආවොත් බෙදෙන්නේ විපක්ෂයේ ඡන්ද?


මාලිමාව අපට සහයෝගය දෙයි කියලා ලොකු විශ්වාසයක් අපට නෑ. ගිය පාරත් ඒ ගොල්ලෝ ඉල්ලුවනේ. ඒ නිසා ඒ ගොල්ලන්ගේ අපේක්ෂකයා කවුරු වුණත් ජනතාව පිළිගන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාවයි. 


?කොහෙන් හරි පොදු අපේක්ෂකයෙක් ආවොත්?


අපේ අපේක්ෂකයා තමයි පොදු අපේක්ෂකයා වෙන්නේ.


?ඔබලා සමග දැනට ඉන්න සුළු ජාතික පක්ෂ ඉදිරි ජනාධිපතිවරණයකදී ඔබලා සමගම ඉඳීවිද? රනිල් වික්‍රමසිංහට උදව් කරයිද?


රනිල් වික්‍රමසිංහ ළඟ හිටගත්තොත් ඒක මහින්ද රාජපක්ෂ ළඟ හිටගත්තා හා සමානයි. පොහොට්ටුව-රාජපක්ෂලාව ආරක්ෂා කරන්න යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දීලා ඒක කරන්න පුළුවන්. 


?ඉදිරි ජනාධිපතිවරණයකදී පොහොට්ටුව කුමක් කරයි කියලද ඔබේ අනුමානය?


මම හිතනවා ඉදිරි ජනාධිපතිවරණයකදී පොහොට්ටුවේ බෙදීමක් ඇතිවෙයි කියලා. ඒ බෙදීම වහන්න සමහරවිට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙයි. එහෙම නැත්නම් තව පිරිසක් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දාන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒකෙන් කරන්නේ රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ හොර නඩය ආරක්ෂා කරන එකයි. 


?රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා අවුරුද්දක් ගෙවුණා විතරයි. මේ ටික කාලයට ඔහු වැඩ පෙන්නුවා කියලා කිව්වොත්?


මම විශ්වාස කරන්නේ නෑ මහා ලොකු දෙයක් එතුමා කරලා තියෙනවා කියලා. එතුමා විසඳුම් දීලා තියෙන ආකාරය දිහා බැලුවොත් ඉන්ධන පෝලිම් නැති කළේ කොහොමද?

ඉන්ධන මිල තුන් ගුණයකින් වැඩි කළා. ඒකෙන් ඉන්ධන පරිභෝජනය අඩු වුණා. ඒ නිසා තමයි පෝලිම් නැති වුණේ. විදුලිය කප කපා තිබුණා. විලි බිල සියයට තුන් සියයකින් වැඩි කළා. එතකොට පරිභෝජනය අඩු වුණා. ඊට අමතරව තවත් සමාගම්වලට විකුණලා ඒ අයගෙනුත් යම් දායකත්වයක් ලබා දෙන්න කටයුතු කළා. එහෙම නැතිව මහා ලොකු විසඳුම් දුන්නේ නෑ. ඇස් බැන්දුමක් තමයි මේ වෙලා තියෙන්නේ. පරිභෝජනය අඩුවීම නිසා පෝලිම් ද නැති වෙලා තියෙනවා.


?ඔබ රාජපක්ෂලාට එරෙහිව මේ සාකච්ඡාව ඇතුළේ කතා කළා. නමුත් රාජපක්ෂලා හා ඔබගේ පවුල අතර ලොකු නෑ කමක් තියෙනවා. 


ඔව්! ඉතින් ඥාති සබඳතා ගොඩක් තියෙනවා. සියනෑ කෝරලේ ගොඩක් අයට. ඒකනේ සියනෑ කෝරළේ කියලා කියන්නේ. ඥාති සම්බන්ධතා හා දේශපාලන සම්බන්ධතා කියන්නේ දෙකක්. මම ඉන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලන කඳවුරක. ඒ නිසා ඥාති සබඳතා අදාළ වෙන්නේ නෑ.


ගොඩක් අය ඉන්නවා පාර්ලිමේන්තුව තුළ එහෙම ඥාති සබඳතා තියෙන. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමගත් අපේ ඥාති සම්බන්ධයක් තියෙනවා. ඒවා මේ අලුත් දේවල් නොවෙයි.


?රන්ජන් රාමනායක කිව්වා වගේම මේ ඔක්කොම යාළුවෝ නෑදෑයෝ මල්ලි නේද?


ලංකාව කියන්නේ බොහොම පොඩි රටක්නේ. කොළඹ කියන්නේ බොහොම පොඩි ප්‍රදේශයක්. ඒ නිසා සම්බන්ධතා හැමෝටම තියෙනවා.

 

     සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්