රටෙන්ම පොහොට්ටුව හේදිලා යද්දි ගාල්ලෙන් දිනපු හාස්කම


ප්‍රශ්නය:- පහුගිය මහ මැතිවරණයෙදී මුළු රටෙන්ම පොහොට්ටුව හේදිලා යද්දිත් ඔබ ගාල්ලෙන් දිනලා පාර්ලිමේන්තු එනවා. මොකක්ද ඒ හාස්කම ?

පිළිතුර:- හාස්කමක් නොවෙයි. ජනතාව බලාපොරොත්තු වෙච්ච දේශපාලනය මම කළා කියලා මම විශ්වාස කරනවා. ඒ තුළ ජනතාව මාව විශ්වාස කළා. මම ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නෙ. අමාරුම දුෂ්කර මොහොතෙදිත් ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැතිව මම අපේ දේශපාලන කඳවුර ආරක්ෂා කළා. පාර්ලිමේන්තු යන්න බලාගෙන නොවෙයි. මම හැමදාම මිනිස්සු එක්ක හිටියා. අපි ගාල්ලෙන් හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කළා. ඒකත් මගේ ජයග්‍රහණයට හේතුවක්.

මම පල්ලෙහා ඉඳන් පියවරෙන් පියවර දේශපාලනය කරගෙන ආපු කෙනෙක්. මම ප්‍රාදේශීය සභාවේ සභාපති වුණා. පළාත් සභාව නියෝජනය කළා. මම මහ පොළොවේ පය ගහලා හිටියේ. වංචා දූෂණ චෝදනා මට නෑ. එහෙම චෝදනා නැතිවීමත් ජනතාව මාව පිළිගන්න හේතුවක් වුණා.

ප්‍රශ්නය:- පොහොට්ටුවට විධායක බලය, පාර්ලිමේන්තු බලය, ප්‍රාදේශීය සභාවල බලය තිබුණා. අසුරු සැණින් මේ බලය ගිලිහීමට හේතු ගැන යම් පසු විපරම් කළාද ?

පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. අපි තෙරුම් ගන්න කාරණා දෙකක් තියෙනවා. පළමුවැන්න තමයි අපිට බලය තියෙන කාලයේ අපට චෝදනාවක් එල්ල වුණාම අපි ඒවාට උත්තර දුන්නේ නෑ. අපට විවිධ වංචා, දූෂණ චෝදනා එල්ල වුණාම අපි ඒවාට උත්තර දීලා අපේ නිදොස් බව ඔප්පු කරන්න ගියේ නෑ. ඒ චෝදනා එකතු වෙලා එකතු වෙලා ඒ මිනිසුන්ගේ හිත්වල පැළපදියම් වුණා. අපට එල්ල කරපු චෝදනා ගොඩක් ඒවා බොරු හිතලු. ගොතපුවා. අපි ඒවාට උත්තර දෙන්න මහන්සියක් ගත්තෙ නෑ. දැන් ආණ්ඩු කරන කණ්ඩායම ඒ මෙහෙයුමේදි බොහොම ඉදිරියෙන් හිටියා.

අපි අතින් වුණ දෙවැනි වරද තමයි යම් යම් කාරණාවලදි අපි ජනතාවට ඇහුම්කන් දුන්නේ නෑ. අපි සමහර වැරැදි තීන්දු ගත්තා. ඒවාට එරෙහිව ජනතා උද්ඝෝෂණ එනකොට අපි ඒවා ගණන් ගත්තේ නෑ. අපි දැන් හිතන්නේ ජනවරමක් ලබාගත්තාම ඒ ජනවරම ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා දැන් අපි වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ. අපි ඊළඟට බලය ගන්නෙත් එහෙම දියුණු වැඩපිළිවෙළක් තුළයි. එතකොට අපේ අතින් නැවත ඒ වැරැදි සිද්ධ වෙන්නේ නෑ.

 

ප්‍රශ්නය:- ඔබ වරක් කියලා තිබුණා පොහොට්ටුවේ ජනවරම ගිලිහීම ගැන සතුටු වෙනවා කියලා.

පිළිතුර:- ඔව්. ඒක තුළින් අද අපි අපට එල්ල කළ හුඟාක් චෝදනාවලින් අපි නිදහස් වෙලා තියෙනවා. උගණ්ඩාවට සල්ලි ගෙනිච්චා කියන චෝදනාව ගන්න. රාජපක්ෂවරුන් උගණ්ඩාවට සල්ලි අරන් ගියලා කියලා ගොඩක් දෙනෙක් විශ්වාස කළා. යුද්ධ කාලයේ දෙමළ ජනතාවගේ රත්රන් රාජපක්ෂවරු ගත්තා කියල කිව්වා. පහුගිය කාලේ ඒ රත්රන් යුද හමුදාව මහා භාණ්ඩාගාරයට බාර දුන්නා. මේ චෝදනා දෙකම බරපතළයි. චිචීගේ රොකට්ටුව ගැන තරුණ පරපුර වෛරයෙන් හිටියේ. ජනතාවට කන්න බොන්න තියෙන සල්ලිවලින් තමයි චිචී රොකට් යවන්නේ කියලා ජනතාව විශ්වාස කළා. අගමැතිනියම පාර්ලිමේන්තුවේදි කිව්වා ඒකට ජනතාවගේ මුදල් භාවිත කරලා නෑ කියලා. ලැම්බොගිනි, රත්රන් අශ්වයෝ ඔය වගේ කොච්චර කතා කිව්වද? අද ඔප්පු වෙලා තියෙනවා ඒවා පට්ටපල් බොරු කියලා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්.

 

ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් පොහොට්ටුවෙ බාගයට බාගයක් ඉන්නේ හිරේ. නැත්නම් ඇපපිට. ඒ වගේම සැකපිට. තව කී දෙනෙක් ඇතුළට යයිද දන්නේ නෑ.

පිළිතුර:- මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිතුමා ඇතුළේ. එතුමාට තියෙන්නෙ කැරම් බෝඩ් බෙදා දීපු චෝදනාවක්. කැරම් බෝඩ් බෙදා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි චෝදනාව තියෙන්නෙ. මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට කිව්වේ මහ බැංකු බැඳුම්කරේ ගැන අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් අල්ලන් එනවා කියලයි. ඒවා තමයි ඇත්ත හොරකම්. අපේ කඳවුරට එල්ලවෙලා තියෙන චෝදනා, හොරකම්, දූෂණ කියලා අර්ථකථනය කරන්න පුළුවන්. ඒවා අධිකරණයෙදී ඔප්පු විය යුතුයි. මම කියන්නේ අපට එල්ල කරපු චෝදනායි දැන් එල්ල කරන චෝදනායි අහසට පොළොව වගෙයි.

 

ප්‍රශ්නය:- පොහොට්ටුවේ සිහින කුමරු දැන් මාස තුනකට ආසන්න කාලයක් පුරා ඉන්නේ බන්ධනාගාරයේ.

පිළිතුර:- එතුමා ඇත්තටම අපිට සිහින කුමාරයෙක් නොවෙයි. එතුමා 2029 දි නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති වෙනවා කියන විශ්වාසය අපට තියෙනවා. නාමල් රාජපක්ෂ කියන්නෙ යථාර්ථයක්. එතුමාට එල්ල කරන චෝදනා දිහා දේශපාලන කණ්ණාඩියකින් බලන්නෙ නැතිව හරියට බැලුවොත් මොකද වෙන්නෙ කියලා බලන්න පුළුවන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව හැසිරෙන දිහා බැලුවම රට තුළ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒවායේ වගකීම් දරන්නේ පැලවත්ත කඳවුරෙන්. පන්ති පහ කරපු කාඩර්වරුන්. ඔවුන් කරන්නේ මර්දනය මිසක් වෙන දෙයක් නොවෙයි. නිමල් පෙරේරා කියන පුද්ගලයාගේ කටඋත්තරයක් මත තමයි නාමල් මන්ත්‍රීතුමා අත්අඩංගුවට අරන් තියෙන්නෙ. එයා කොමිස් මුදල් ගත්තා කියලා පිළිගත්ත කෙනෙක්. එයා එළියේ ඉන්නවා. එයා කියන නිසා නාමල් මන්ත්‍රීතුමා මේ නඩු කටයුත්තට පටලවලා තියෙනවා. ශානි අබේසේකර 2019 දී නිමල් පෙරේරා ගැන උසාවියට වාර්තා කරලා තියෙනවා ඔහු විශ්වසනීය තොරතුරු සපයන්නෙක් නොවෙයි කියලා. එහෙම කෙනකුගේ කටඋත්තරයකට තමයි නාමල් මන්ත්‍රීතුමා අත්අඩංගුවට අරගත්තේ. අපි තදින්ම විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා. ඒ විශ්වාසය තුළ අපි බලාගෙන ඉන්නවා.

 

ප්‍රශ්නය:- කොහොම වුණත් ආණ්ඩුව යන්නේ “තනි රේස්” එකක්. විපක්ෂය ඔහේ බලාගෙන ඉන්නවා.

පිළිතුර:- එහෙම නෑ. මේ ආණ්ඩුව අමු අමුවේ ගල්අඟුරු වංචාව කළා. අපියි මුලින්ම ඒ ගැන හෙළිදරව් කළේ. ඒ වංචාව කළේ කවුද කියලා හොයනවා වෙනුවට අතීතයේ ඉඳලා ගල්අඟුරු ගෙන්වීම ගැන හොයන්න කොමිසමක් පත් කළා. ඒ වගේම කන්ටේනර් 323ක් පැන්නුවා. පාර්ලිමේන්තුවේ දී අපි මේ ගැන දිගින් දිගටම කතා කළා. ආණ්ඩුව කමිටුවක් දැම්මා. ඒ කමිටු වාර්තාව ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒ කමිටු වාර්තාවේ තියෙනවා “වංචාවක්” වෙලා තියෙනවා කියලා. විපක්ෂය තමයි ඒ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මේ හොරකම් වගේම තවත් හොරකම් තියෙනවා. අපි ඒවත් හෙළිදරව් කරනවා.

 

ප්‍රශ්නය:- ආණ්ඩුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතක් කෙටුම්පතක් ගෙනාවා. පොහොට්ටුව “මීක්” නෑ.

පිළිතුර:- ඒ පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තියෙනවා. මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට ඒ කාලයේ තිබුණ පනතට අභියෝග කරපු කණ්ඩායමක් දේශපාලන දඩයමකට මේ ලෑස්ති වෙන්නේ කියලා අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම එදා කිව්වා. අද ආණ්ඩුව ඊට වඩා භයානක එකක් ගෙනත් තියෙන්නෙ. ඒ පනතේ තියෙන බියකරු බව ජනතාවට දැකගන්න වෙන්නෙ ඒක සම්මත වුණාට පස්සෙ.

ආණ්ඩුව අද කටයුතු කරන්නෙ ජනතා අභිලාෂ සමග නොවෙයි. ආණ්ඩුව අද කටයුතු කරන්නෙ ජනතාවගෙන් එල්ලවෙන පීඩනයෙන් මිදෙන්නෙ කොහොමද කියන මානසිකත්වයෙන්. තමන්ගේ ආණ්ඩුව රටේ ජනතාවගෙන් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියන තැනක ඉඳගෙන තමයි ආණ්ඩුව මේ සියලු පනත් ගේන්නෙ.

ආණ්ඩුව කිව්වේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” කියලා. නමුත් ඒ ප්‍රකාශනයේ එක වගන්තියක්වත් ඉටු කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. නමුත් අණපනත්වලින් ජනතා විරෝධය මැඩලන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවානම් ඒක තමයි ලොකුම වැරදීම.

 

ප්‍රශ්නය:- 2029 දි නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනවා කියලා ඔබ කිව්වා. හැබැයි ආණ්ඩුව නම් කියන්නෙ ඉදිරි අවුරුදු 15-20 ආණ්ඩු කරන්නෙ මාලිමාවම කියලයි.

පිළිතුර:- ඇත්තටම ඔහොම ප්‍රකාශ ගැන අපට අතීතයෙන් උදාහරණ ගන්න පුළුවන්. අපිත් දීර්ඝ කාලයක් ආණ්ඩු කරපු පක්ෂයක්. ඉතාම කෙටි කාලයකින් පක්ෂයක් හදලා ඉතාම කෙටි කාලයකින් රටේ සමස්ත දේශපාලන බලය අත්පත් කරගත් පක්ෂයක්. එහෙම බලයක් අත්පත් කරගත් අපි හිතුවෙත් 2029 නොවෙයි 2050 වෙනකම් බලයේ ඉන්නවා කියලා. මේ ආණ්ඩුව බලයෙන් හිස උදුම්මවාගෙන ඉන්න නිසා ඔහොම කියනවා ඇති. බලයෙන් මත්වෙලා ඉන්න නිසා මේ ආණ්ඩුවට රටේ සැබෑ ප්‍රශ්න තේරෙන්නෙ නෑ වගේම ජනතාවගේ හදගැස්ම දැනෙන්නෙත් නෑ. මේක ජනතා ප්‍රශ්න හමුවේ නිර්වින්දනය වෙච්ච ආණ්ඩුවක්. අපි ලබාගත් බලය හමුවේ අවුරුදු 10ක් 20ක් රට කරනවා කියලා හිතුවට අපි අද සියයට 3ට වැටුණා. ජනතා විමුක්ති පෙරමුණට සියයට 3යි තිබුණේ. මේ අය නතර වෙන්නේ ඒ සියයට තුනක් නැති කරගෙනයි.

 

- ප්‍රසන්න සංජීව තෙන්නකෝන්