රටම අඳුරේ තියනවා කියලා බියවද්දලා ජාවාරම් කරනවා


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 43 සේනාංකයේ නායක

පාඨලී චම්පික

දැවි තෙල් ටෙන්ඩරය සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ උණුසුම් කතාබහකි. මේ ඒ පිළිබඳවත් රටේ උණුසුම් දේශපාලන කාරණා පිළිබඳවත් සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි.   

?ජාතික සභාවේ එක කමිටුවක ඔබ සභාපතිවරයෙක්. ඒ ආණ්ඩුවට එක්වීමේ පළමු පියවර?   


මෙහෙමයි. මේ රටේ විවිධ දේශපාලන ක්‍රම තියෙනවා. එකක් තමයි බල දේශපාලනය. විපක්ෂයේ ඉන්න කොට ආණ්ඩුව කරන හැමදේටම විරුද්ධ වෙනවා. ‘අපි නම් මේ ආණ්ඩුව ගේන කිසිම එකකට සහාය දෙන්නේ නෑ’ කියලා උග්‍ර සටන් පාඨ කියනවා. හැබැයි රෑට රෑට ගිහින් හමුවෙනවා. සමහරු ඩීල් දේශපාලනය ඒ විදියට කරනවා. තව කෙනෙක් පවුල් දේශපාලනය කරනවා. ඒ දේශපාලනයේ එකම අරමුණ තම පවුල තමන් හැදෙන එක. තව සමහරුන්ට අනන්‍යතා දේශපාලනය තියෙනවා. තමන්ගේ ජාතියට ආගමට ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතාගෙන ඒ අනුව කටයුතු කරනවා. අපිත් එහෙම කටයුතු කරලා තියෙනවා. 

 
?ජාතිය ආගම, මුල්කරගත් දේශපාලනයෙන් ඔබ දැන් අයින් වෙලා?   


අද රට වැටිලා තියෙන තත්ත්වයට අනුව ඔය එක දේශපාලනයක්වත් හරියන්නේ නෑ. වාගාඩම්බර කතා පවත්වන ඔය කවුරු බලයට ආවත් මේ ප්‍රශ්නවලට මේ විදියටම මුහුණදෙන්න වෙනවා. ඒගොල්ලන්ගේ පැටිකිරිය අරගත්තට පස්සෙ ඒගොල්ලෝ සාර්ථක පාලකයන් කියලා පෙන්වන්න කිසිම දෙයක් නෑ. ඒක නිසා මේ අර්බුදය හමුවේ අපි යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්.   


?ඕවා ලංකාවේ දේශපාලනයෙ නොකෙරෙන දීග?   


ඒ නිසා තමයි රට මේ තත්ත්වයට පත්වුණේ. අපි යෝජනා කරපු ජාතික ආණ්ඩුව පදානුගත අර්ථයෙන්ම හරි හමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වී රටේ ජනතාවගේ පැත්තෙන් විශ්වාසය දිනාගන්න. ඒ වගේම අපි ඩොලර් බිලියන 52 ක් පිටරටට ණයයි. ඒ නිසා ඒ විශ්වාසය දිනාගැනීම අත්‍යවශ්‍යයි අපට මේ ගමන යන්න.   


?ජාතික ආණ්ඩුවක් හැදූ පමණින් ඔය කියන විශ්වාසය දිනාගන්න පුළුවන්ද?   


පුළුවන්. අපි කරුණු හතරක් කිව්වා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් හදන්න ඕනැ. ඒක ​මේ අරගල භූමියේ සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරිකයන්ගේ හා විශේෂඥයන්ගේ සහයෝගය ලබාගන්න ඕනැ. දෙක තමයි ඒ හරහා ආණ්ඩුවේ ආර්ථික න්‍යාය පත්‍රය හා දේශපාලන න්‍යාය පත්‍රය සඳහා අවම වැඩපිළිවෙළක් හැදීම. තුන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැමකෙනෙක්ම ආණ්ඩුකරණයට හා අමාත්‍යාංශකරණයට සම්බන්ධ කිරීම. හතර තමයි රටේ ප්‍රධාන රාජ්‍ය ආයතන 52 ක් තියෙනවා. විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලංකා බැංකුව, මහජන බැංකුව වගේ. ඒ වගේ මූලික ආයතන 15 ටවත් දේශපාලනයෙන් තොර වෘත්තීය සභාපතිවරුන් හා වෘත්තීය අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරන්න ඕනෑ. ඒක තමයි අපේ යෝජනාව. මේකේ පළමු හා දෙවැනි යෝජනා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වුණා. එහෙම නම් ඒකට ඡන්දය දීමත් ඔබ කියන විදියට මුක්කු ගැසීමක්. ඒ වැඩපිළිවෙළ හදන්න කියලා බාර දීලා තියෙනවා. අපි කිසිම වරප්‍රසාදයක් ගන්නේ නෑ. අපේ අතිනුත් වියදම් වෙනවා. නමුත් අපි හිතනවා ජාතික වගකීමක්. අන්තර්ජාතික මූල්‍ය ආයතන සමග මොනවද කතා කරන්නේ. ඒ වගේම අපේ රට තුළ මොනවද කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ. අපේ ආහාර ප්‍රශ්නය, බලශක්ති ප්‍රශ්නය, ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න ඕනැ. ඒ වගේම අන්ත දුගී භාවයට හා විරැකියාවට පත්වෙලා ඉන්න මිනිසුන්ට මොනවද අපි දෙන ආරක්ෂාව. මෙන්න මේ වැඩ ගැන විශේෂඥයන් හා සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් සකස් කිරීමයි අපි මේ කරන්නේ.   


?වැටුණු ආර්ථිකය ගොඩගන්න පුළුවන් මාර්ග සිතියමක් තවමත් නෑ?   


මට යෝජනාවලියක් තියෙනවා. අපේ 43 සේනාංකය එ්ක පහුගිය ජනවාරි 23 ජනගත කළා. කරුණු 5 ක් අපි යෝජනා කළා. එකක් අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. අනෙක තමයි ආහාර බලශක්ති හා ප්‍රවාහන ක්ෂේත්‍රවල අපේ සම්පත්. අපේ හැකියාවන් හා අපේ මානව සම්පත වැඩිදියුණු කරගැනීම. ඒ වගේම අපේ රාජ්‍ය යන්ත්‍රය ප්‍රතිසංස්කරණයට භාජනය කිරීම සඳහා වන යෝජනාව. අපට තියෙනවා රාජ්‍ය ආයතන 2200 ක්. එයින් සමහර ආයතන නාම පුවරු විතරයි. එහෙම ආයතන නෑ. උදාහරණයක් හැටියට සිමෙන්ති සංස්ථාව, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව​ පෙන්වන්න පුළුවන්. ඒවා සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දැමිය යුතුයි. සමහර තැන් තියෙනවා එකම වැඩේට ආයතන තුන හතර තියෙන තැන්. පොල් සංවර්ධනයට ආයතන තුනක් තියෙනවා. ඉංජිනේරු කාර්යයන් කරන්න ආයතන පහක් තියෙනවා. මේවා ‘එක වැඩේට එක ආයතනයක්’ කියන පදනමට ගේන්න ඕනැ. ඒ වගේම දාහතර ලක්ෂයක් ඉන්න අපේ ශ්‍රම බළකායේ වැඩ ගැන විගණනයක් කරන්න ඕනැ. උදාහරණයක් විදියට අපට එල්.ටී.ටී.ඊ. එක පරාජය කරන්න ලක්ෂ තුනක හමුදාවක් හිටියා. එහෙම දැන් ඕනැ නැහැනේ. ඒ විදියට වැඩ විගණනයක් කරන්න ඕන. එහෙම කරලා අත්‍යවශ්‍ය පිරිස කවුද අත්‍යවශ්‍ය නොවන පිරිස කවුද කියලා හොයාගන්න ඕනැ. අත්‍යවශ්‍ය නොවන පිරිසට අපි අවස්ථාව දෙන්න ඕනැ. එක්කෝ ස්වකැමැත්තෙන් විශ්‍රාම යන්න. ස්වකැමැත්තෙන් නිවාඩු යන්න. ඒ විදියට අපි රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ. ඊළඟට මම අර කියපු ප්‍රධාන රාජ්‍ය ආයතන 52 සම්බන්ධයෙන් විධිමත් කළමනාකරණ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. මම මේවා කතා කරන්නේ ‘අපට දෙන්න අපි කරලා පෙන්වන්නම්’ වගේ අත්දැකීම් විරහිතව නොවේ. ඒ වගේම තමන් ඉන්න කාලේ තමන්ගේ අමාත්‍යාංශවල අරමුදල් මුළුමනින්ම විනාශ කරලා අමාත්‍යාංශ බංකොලොත් කරලා නොවෙයි. අමාත්‍යාංශය බංකොළොත් කරලා ඉල්ලනවා රටේ ආර්ථිකය නංවන්න. මේක එහෙම එකක් නෙවෙයි. මං රටේ මේවා කරලා පෙන්වලා තියෙනවා. 2008 ඉඳලා මම හිටපු හැම අමාත්‍යාංශයකටම අයත් හැම ආයතනයක්ම ලාබ ලබලා තියෙනවා. මේ රටේ එකම අවස්ථාවයි තිබුණේ අමාත්‍යාංශ ඇගයීමට ලක් කිරීමේ. ඒක කළේ ස්වාධීනව. අංක එකට ආවේ අපි. ඒ නිසා මම මේක කියන්නේ අත්දැකීමෙන්. ඒ විදියට මේ රට ගොඩගන්න පුළුවන්. මම වගකීමෙන් කියනවා නොවැම්බර් මාසය වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව හැටියට ආර්ථිකය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් හදන්න.   


?ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් ඔබ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා. නමුත් රජයේ පාර්ශ්වයෙන් එය ප්‍රතික්ෂේප කළා?   


මේ ගැන විගණකාධිපතිතුමා විමර්ශනයක් කළා. කරලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ මොකක්ද තියෙන්නේ. ඒකේ තියෙනවා මේ දිගුකාලීන ගල්අඟුරු මිලදී ගැනීම් හා කෙටි කාලීන ගල්අඟුරු මිලදී ගැනීම් කියලා. මේ දිගුකාලීන ගල්අඟුරු මිලදී ගන්න ගියා 2023 ඉඳන් 2025 දක්වා කාලය. ටොන් ලක්ෂ 45 ක් තමයි මිලදී ගන්න ගියේ. එයින්​ ටොන් දහයක් වැඩි වෙන්නත් පුළුවන් ටොන් දහයක් අඩු වෙන්නත් පුළුවන්. ලංකාවට ගල්අඟුරු ගෙන්වීමට ලියාපදිංචි ආයතන 7 ක් තියෙනවා. ඒ ආයතන හතටම මේ බව දැනුම් දුන්නා.   


?මම ඔබට අතුරු ප්‍රශ්නයක් යොමු කරනවා. ටෙන්ඩරය නොලැබුණ ආයතන වෙනුවෙන් පෙනීසිටීමත් එක මෝස්තරයක් වෙලා?   


මගේ කතාව පැහැදිලි වුණාම ඔබේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙයි. ආයතන 7 ටම දැනුම් දීලා ටෙන්ඩරය කැඳෙව්වා. මෙතැනදී විගණකාධිපතිතුමා කියනවා ‘මේ ටෙන්ඩරය කැඳවීමේදී ඇතැම් සමාගමක් ඒ කියන්නේ බ්ලැක් සෑන්ඩ් කියන සමාගම ලියාපදිංචි වෙලා හිටියේ නැහැ. මේ සමාගමට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ගෙන ඒම සඳහාත් මේ සමාගමට මේ ටෙන්ඩරය ලබා දීම සඳහාත් ටෙන්ඩර් කමිටුව, ප්‍රේමසිරි මහත්තයාගේ මූලිකත්වයෙන් යුත් ටෙන්ඩර් කමිටුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම උල්ලංඝණය කරලා පක්ෂග්‍රාහී විදියට වැඩ කරලා තියෙනවා කියලා. ඒක තමයි අපි කිව්වෙත්. අනික් කාරණය තමයි මේකට තේරිච්ච සමාගම ස්වැක් ඒජ්. ඒ සමාගම තමයි කිව්වේ ‘අපට බ්ලැක් සෑන්ඩ්’ දෙන්න කියලා. රුසියාවේ යුද්ධය පටන් ගත්තේ පෙබරවාරියේ. රුසියාවට සම්බාධක දැම්මේ අප්‍රේල් මාසයේ. ගල්අඟුරු දෙන්න බෑ කියලා ස්වැක් ඒජ් ඒක කියලා තියෙනවා අගෝස්තු මාසයේදී. එහෙම තොරතුරු සියල්ල දැනගෙන තිබියදී. එහෙම නම් බ්ලැක් සෑන්ඩ් එකට තිබුණ ජූලි මාසයේදීම මේ ටෙන්ඩරය පටන් ගන්න දවසෙම ස්වැක් ඒජ් ගෙන්ම ඉල්ලන්න. බ්ලැක් සෑන්ඩ් එක එහෙම කළේ නෑ. එහෙම නොකර අනික් සමාගම්වල ප්‍රතිචාරය බලලා ඒ සමාගම්වල දුර්වලතා හඳුනාගෙන මේක කරලා තියෙනවා.   


?එහෙම වෙන්නේ කොහොමද? ටෙන්ඩර් පරිපාටිය අතිශයින්ම රහස්‍යයි?   


ඒක තමයි. ඇතුළෙන්ම තොරතුරු ගිය නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ අනුව 2006 ප්‍රසම්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම උල්ලංඝණය කරලා තියෙනවා කියලා විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා.   


?රුසියාවේ ගල්අඟුරු ලාභයි. එහෙම තිබියදී මේවා ගෙන්වන්න හැදුවේ සංයුක්ත දර්ශකයෙන්?   


ඔව්. රුසියාවේ ගල්අඟුරු ලාභයි. ඉස්සර ලාභ නෑ. නමුත් යුද්දෙන් පස්සේ ලාභයි. ලෝකයේ ගල් අඟුරුවලට දර්ශක තියෙනවා. අපි ඉන්දුනීසියාවෙන් ගල්අඟුරු ගත්තොත් ඒක ගන්න ඕනැ ඉන්දුනීසියානු දර්ශකයෙන්. ඕස්ට්‍රේලියාවෙන් ගන්නවා නම් ඒ දර්ශකයෙන්. දකුණු අප්‍රිකාවෙන් ගත්තොත් ඒ දර්ශකයෙන්. රුසියාවෙන් ගන්නවා නම් ආර්.සී.අයි. දර්ශකයෙන්. එතකොට මේ දර්ශක සියල්ල තිබියදී මේ බ්ලැක් සෑන්ඩ් සමාගම රුසියාවෙන් තමයි ගල්අඟුරු ගේන්නේ. එහෙම නම් පාවිච්චි කරන්න ඕනැ රුසියානු දර්ශකයෙන්. නමුත් පාවිච්චි කළේ මොකක්ද? සංයුක්ත දර්ශකයක්. ඒ දර්ශකයට අනුව ගල්අඟුරු ටෙන්ඩරය කීයද? ඩොලර් 288 යි. රුසියන් දර්ශකයට ගෙනාව නම් ඩොලර් 179 යි. එතකොට සෑම ගල්අඟුරු ටෙන්ඩරයකින්ම ආසන්නයෙන් ඩොලර් සීයක විතර වාසියක් බ්ලැක් සෑන්ඩ් සමාගමට ලැබිලා තියෙනවා. එතකොට විගණකාධිපතිතුමා අහනවා ‘අපි මේ ගොල්ලෝ එක්ක සාකච්ඡා කළේ නැත්තේ මේක අඩුකර ගන්න කියලා. මොකද ටොන් එකකට ඩොලර් සීයක් පාඩු වෙනවා කියන්නේ ටොන් ලක්ෂ 45 කට ඩොලර් මිලියන 450 ක් ගෙවන්න වෙනවා. ඩොලර් මිලියන 450 ක් නොවෙයි ඩොලර් මිලියන 5 ක් නැතිව තෙල් නැව් තාම පාවෙනවා. මේක අම්මගේ මළකඳ ගෙදර සාලයේ තියාගෙන බූරු ගහන පුත්තු වගේ වැඩක්. එහෙමත් නැත්නම් මිනිහෙක් මළාට පස්සේ ඒ මිනිහගේ දත ගලවනවා වගේ වැඩක්. ඒ තරම් පාදඩ ක්‍රියාවලියක් එතැන වුණේ.   


?පැරැණි ටෙන්ඩරයට අනුව තව ගල්අඟුරු නැව් කීපයක් එන්න තිබුණ කියලා කියනවා?   


ඔව්. වැදගත්ම කාරණය තමයි ඒක. නැව් 21 ක් විතර එන්න තිබුණා. ඒක නිසා බලශක්ති ඇමැතිවරයා කරන ඔය බයගැන්විල්ල ගල්අඟුරු නැතිවෙනවා මේ ටෙන්ඩරය දුන්නේ නැත්නම් කියන එක නොමග යැවීමක්. මොකද ගල්අඟුරු නැව් 21 ක් තියෙනවා එන්න. මේ බ්ලැක්සෑන්ඩ් එක ටෙන්ඩරයෙන් ඉවත් වුණා. උසාවියේ නඩුවක් දාපු නිසා නොවෙයි ඕමල්පෙ සෝභිත හාමුදුරුවෝ. ඒ නඩුව සම්බන්ධයෙන් තවම කිසිම ​ තීන්දුවක් නෑ. රට අඳුරේ තියනවා කියලා රට බියවද්දලා තමයි මේ ජාවාරම් කරන්නේ. මේ බ්ලැක් සෑන්ඩ් එක රටින් යන්නේ ඇයි? ඔවුන්ට ඩොලර් මිලියන 37 ක් තිබුණේ නෑ ඔවුන්ගේ සැපයුම් කොන්ත්‍රාත්තුවට ලබා දෙන්න. ඔවුන් ඒකට රාජ්‍ය බැංකුවකට ලොකු බලපෑමක් කළා. නමුත් ඒක හරි ගියේ නෑ. ඇත්ත කතාව ඒකයි. ඩොලර් මිලියන 1500 ක බිස්නස් එකක් කරන්න එනවා. ‘අපට සල්ලි එපා මාස හයකින් ගෙවන්න’ කියලත් කියනවා. ඒත් අතේ මිලියන 37 ක් නෑ. අපට පේනවා මේක මොකක්ද කියලා. මේක පැහැදිලි මුදල් විශුද්ධිකරණයක්. බැරිවෙලාවත් මේ ඩීල් එක කළා නම් මුළු ලංකාවෙම සියලුම වාණිජ සබඳතා ඩොලර් සබඳතා තහනම් වෙන්න තිබුණා. මේ ඔක්කොම වෙලා මේ ගොල්ලෝ එළියටත් ගිහිල්ලා විගණකාධිපතිතුමාගේ වාර්තාව එළියට ආවට පස්සෙ බ්ලැක් සෑන්ඩ් එකට නැව් හයක් ගේන්න බලශක්ති අමාත්‍යාංශය අවසර දෙනවා.  

 

?සමාගම සමඟ ලංකාවේ සබඳතා තියෙන්නේ කාටද?  


මම ඒක දන්නේ නෑ. මුලින්ම හොයාගන්න ඕනැ කවුද


නාමධාරියා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා? පිටිපස්සේ බලගතු දේශපාලන ක්‍රියාවලියක් තියෙනවා. ඒක විගණකාධිපතිතුමත් කියලා තියෙනවා. එතුමා කියනවා මේ ටෙන්ඩර් කමිටුවේ ලොකු පක්ෂග්‍රාහිත්වයක් තිබුණ වගේම අභ්‍යන්තර තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තියෙනවා කියලා.  


?ලංකාවට ගෙන්වන්නේ බාල ඉන්ධන බවටත් ලොකු චෝදනාවක් තියෙනවා?  


ඔව් මෙහෙමයි. අපේ රටේ පිරිපහදුව පවත්වාගෙන යාම ආණ්ඩුවටයි ඛනිජ තෙල් සංස්ථාවටයි ඉතාම හොඳයි කියලා 2020 න් පස්සේ ඉතිහාසයේ පළමු වතාවට පිරිපහදුව වහලා දැම්මා. එමගින් මහා ආර්ථික විනාශයකට මග පෑදුවා. මොකද පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඩීසල්, පෙට්‍රල් සහ දැවිතෙල් පිටින් ආනයනය කරන එක ලාභයි. මෙවර සිද්ධ වුණේ ගෙනාව බොරතෙල් ප්‍රමාණයක් උරාල්කෝ කියලා. ඒ බොරතෙල්. මම ලිපියක් ලිව්වා 8 වැනි මාසෙ 24 වැනිදා ඇමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් මේ බොරතෙල්වල ප්‍රශ්න කිහිපයක් තියෙනවා කියලා.  


?මොනවද ඒ ප්‍රශ්න?  


ඒක තමයි මේ බොරතෙල්වල ප්‍රතිඵලදායක බව. ඒ කියන්නේ මේ බොරතෙල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් පැට්‍රල් ඩීසල් භූමිතෙල් නැප්තා වගේ ප්‍රමාණය ඉතා අඩුයි මීට කලින් පාවිච්චි කරපු මර්බල් එකත් එක්ක බලනකොට. දැවිතෙල් ප්‍රමාණය වැඩියි. අපට දැවිතෙල් අවශ්‍යයි. ඒවා දෙන්න පුළුවන් විදුලිබල මණ්ඩලයේ බලාගාරවලට පමණයි. විදුලිබල මණ්ඩලයේ බලාගාරවලට අවශ්‍ය වන ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවන නිසා අපට අවශ්‍ය දැවිතෙල් නොවෙයි පැට්‍රල් ඩීසල් භූමිතෙල් හා නැප්තා. ඒ වගේම මේවායේ ඔක්ටේන් සංයුතිය සහ සල්ෆර් සංයුතියේ ප්‍රශ්නයක් තියෙනවා. ඔක්ටේන් සංයුතිය අඩු වුණොත් මොකද වෙන්නේ.  


?ඒක සාමාන්‍යයෙන් පිරිපහදුවේදී සිද්ධ වෙන දෙයක්?  


මෙහෙමයි අපට ඔක්ටේන් සංයුතිය 92 එන්නේ නෑ. 80 හෝ 89 හරි තමයි එන්නේ. එතකොට අපි 95 සමග මිශ්‍ර කරලා 92 ගන්නවා. ඒකට වැඩි වියදමක් යනවා. ඩීසල් ගත්තත් එහෙමයි. අතීතයේදී මේ ප්‍රශ්නය විසඳාගෙන තිබුණා. වැදගත්ම දේ සල්ෆර් එකේ ප්‍රතිශතය වැඩියි. ඒක වැඩිනම් ඒවා අපේ විදුලි බලාගාරවලට යොදවන්න බෑ. මෙතැන දැනට ගොඩගැහිලා තියෙන දැවි තෙල් තොගය අපේ බලාගාරවලට දමන්න බෑ. මොකද සල්ෆර් ප්‍රමාණය වැඩි නිසා. එතකොට ඒකට දැවිතෙල් ද‌ාන්න වෙනවා. ඒක අතිරේක ආර්ථික පාඩුවක්. මේක ගෙනාවේ රුසියාවෙන්. මේකේ මිල ගණන් ඩොලර් 30 ක් 35 ක් අඩුයි බ්‍රිතාන්‍ය දර්ශකයට වඩා. බ්‍රිතාන්‍ය දර්ශකයට තමයි ගෙව්වේ. විශාල ප්‍රශ්නයක් මෙතැන තියෙන බව පේනවා. මේකත් අර මැරුණු මිනිහගේ දත ගලවනවා වගේ වැඩක්.  


?පහුගිය සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන නෑ?  


අනිවාර්යයෙන්ම මේ සිදුවීම්වලින් පේන්නේ ඒකයි.

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්