රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම රජයේ වගකීමක්


(ඩයනා උදයංගනී)

රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ පරම වගකීමක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එම මැතිවරණ ක්‍රමය අනාගතවාදී මෙන්ම දේශපාලනය එපා වී සිටින නූතන පරම්පරාවන් ආකර්ෂණීය වන ක්‍රමයක් ලෙස සකස් කළ යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කඹුරුපිටිය සහ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් අමතමිනි.

දැනට පවතින අවිධිමත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ කමිටුව ඉතා ප්‍රායෝගික හා තාර්කික මැතිවරණ ක්‍රමවේදයක් නිර්මාණය කළ බවත්, එය රටට හොඳින් ගැළපෙන බවත් ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පවත්නා මැතිවරණ ක්‍රමයේ පවතින එකම සාධනීය ලක්‍ෂණය වන සුළුතරයේ අයිතීන් තහවුරු කෙරෙන සමානුපාතික ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් තවදුරටත් ආරක්‍ෂා කරගත යුතු බවද හෙතෙම පැවසීය.

මහජන නියෝජිතයා චෞරයකු, තක්කඩියකු බවට මතයක් ඇතිවීමට හේතුව ද මනාප ක්‍රමය බව කී ඇමතිවරයා එය වෙනස් කිරීම අත්‍යාවශ්‍ය බව ද කීවේය.

එබැවින් අනාගතයට ගැළපෙන රටක්, ව්‍යවස්ථාවක් හා මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීමට සියලු දෙනා කැපවිය යුතු බව ද ඇමතිවරයා පැවසීය.