රට ගොඩගන්න අදින්න වෙන බර


දිට්වා සුළිකුණාටුව හමා ගොස් මසකට ආසන්න කාලයක් ගතව ඇත. එම සුළිකුණාටුව නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට අදාළ ආර්ථික පිරිවැය පිළිබඳ ඇස්තමේන්තු මේ වනවිට ඉදිරිපත් ව තිබේ.  ආපදාවට අදාළව සමස්ත පිරිවැය ඇ.ඩොලර් බිලියන 6-7ත් අතර වෙතැයි රජය විසින් අනුමාන කරන ලදී. තවත් විවිධ පාර්ශ්ව විසින් ආපදාවට අදාළ ආර්ථික පිරිවැය ඇ. ඩොලර් බිලියන 2-3ත් අතර වෙතැයි අනුමාන කර තිබේ. කෙසේ වෙතත්, පසුගිය සතියේ ලෝක බැංකුව විසින් ආපදාවට අදාළ සෘජු පිරිවැය පිළිබඳ තක්සේරුවක් ඉදිරිපත් කරන ලදී. එසේම, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ද ආපදාව නිසා අහිමි වූ රැකියා සහ ඉපැයීම් පිළිබඳ තක්සේරුවක් ද ඉදිරිපත් කර ඇත. මෙම ලිපියේ අරමුණ වන්නේ ඉහතින් සඳහන් කළ ලෝක බැංකු සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ආපදා හානි ගණනය කිරීම් මත පදනම් වූ ආපදාව නිසා ආර්ථිකයට සිදුව ඇති ආර්ථික බලපෑම පිළිබද සාකච්ඡා කිරීම වේ. 

ආපදාවේ සෘජු පිරිවැය 

ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද "Cyclone Ditwah 2025: Sri Lanka" වාර්තාවට අනුව දිට්වා සුළිකුණාටුවේ සෘජු ආර්ථික පිරිවැය ඇ.ඩොලර් බිලියන 4.1ක් පමණ වේ. එම අගය ආසන්න වශයෙන් රු. බිලියන 1,250කි (රු. කෝටි මිලියන 1.2ක් පමණ වේ). මුළු පිරිවැයෙන් සීයට42ක් (ඇ.ඩො. බිලියන 1.7) විනාශ වූ සහ හානියට පත් යටිතල පහසුකම් වන අතර හානියට පත් නිවාස සහ ඒ ආශ්‍රිත වත්කම්වලට අදාළ පිරිවැය සමස්ත ඍජු පිරිවැයෙන් සීයට24කි. (ඇ.ඩො. බිලියන 1කට ආසන්න අගයකි). විනාශ වූ සහ හානියට පත් යටිතල පහසුකම් අතර මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම්, වාරිමාර්ග, සන්නිවේදන ජාලය සහ ජලප්‍රවාහනය ඇතුළත් වේ. කෘෂිකර්මාන්තයට ඇති වූ හානියට අදාළ පිරිවැය ඇ.ඩො. මිලියන 814ක් (මුළු පිරිවැයෙන් සීයට20) පමණ වන අතර ඒ අතරින් වඩාත්ම හානියට පත්ව ඇත්තේ වී ගොවිතැන ආශ්‍රිත කටයුතු වේ. නිවාස-නොවන ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිතව පැවති වත්කම්වලට වූ හානිය ඇ.ඩො. මිලියන 562 කි. නිවාස-නොවන ගොඩනැගිලි අතර පාසල්, රෝහල්, ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්ත ආශ්‍රිත ගොඩනැගිලි ඇතුළත් වේ. ඒ අනුව, දිට්වා සුළිකුණාටුව නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රධානතම කොටස වන්නේ ආර්ථිකයේ කොඳුනාරටිය බඳු වූ යටිතල පහසුකම් වේ. මෙම යටිතල පහසුකම්වලින් කොටසක් යටත් විජිත සමයේ ඇතිකළ ඒවා වන අතර තවත් කොටසක් පසුගිය වකවානුවේ විවිධ විදේශ ණය යෝජනා ක්‍රම යටතේ ගොඩනංවන ලද ඒවා වේ. ඉහත ඇස්තමේන්තුවට අනුව පෙනීයන තවත් වැදගත්ම කරුණක් වන්නේ මුළු පිරිවැයෙන් වැඩි පංගුවක් පොදු දේපළට අදාළව සිදුව ඇති බවයි. දිට්වා සුළිකුණාටුව රටේ දිස්ත්‍රික්ක 25ට බලපෑ අතර ඒ අතරින් ඉහළම ආර්ථික හානිය වාර්තා වන්නේ මහනුවර, පුත්තලම, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලිනි. සමස්ත සෘජු පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස මහනුවර, පුත්තලම, කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට වූ හානිය පිළිවෙළින් සීයට17, සීයට12 සහ සීයට9 වේ. ජාත්‍යන්තර කම්කර සංවිධානය "ILO" විසින් දිට්වා ආපදාවේ ආර්ථික බලපෑම පිළිබඳව කරනු ලැබූ අධ්‍යයනයේ දී පෙන්වා දී ඇති කරුණක් වන්නේ ආපදාව හේතුවෙන් ලක්ෂ 4ක පමණ පිරිසකගේ රැකියා අහිමිව පවතින බවයි. එසේ රැකියා අහිමිවීම හේතුවෙන් මසකට ඇ.ඩොලර් මිලියන 48ක පමණ ඉපැයීම් ප්‍රමාණයක් එම පුද්ගලයන්ට අහිමිවන බව පෙන්වා දී ඇත. දිට්වා සුළිකුණාටුවෙන් රටේ සමස්ත නිෂ්පාදනයෙන් සීයට16 (ආසන්න වශයෙන් ඇ. ඩොලර් බිලියන 16ක්) ක ප්‍රමාණයකට බලපෑම් එල්ලව පවතින බව එම අධ්‍යයනය වැඩිදුරටත් පෙන්වා දී ඇත. කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුව ආපදාව නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර 13,698ක ප්‍රමාණයක් ඇත. ඉන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් ක්ෂුද්‍ර ව්‍යාපාර වන අතර 5,000ක් පමණ සුළු පරිමාණ ව්‍යවසාය වේ. ඉතිරියෙන් 3,000ක් පමණ මධ්‍ය-පරිමාණ ව්‍යවසායන් වන අතර මහා-පරිමාණ ව්‍යවසායන් 437ක් ද ආපදාව හේතුවෙන් බලපෑමට ලක් ව ඇත.

රාජ්‍ය මැදහත්වීම

රජය විසින් 2025 වර්ෂයට අදාළව රු. බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර ඊට අමතරව තවත් රු. බිලියන 20ක පමණ මුදලක් එම වර්ෂයටම අදාළ අයවැය මගින් ආපදා සහන සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කරන ලදී. ආපදා ප්‍රතිසාධනයට තවත් රු. බිලියන 500 ක මුදලක් සඳහා 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කරනු ලැබූ පරිපූරක ඇස්තමේන්තුවකට ද රජය පසුගිය දා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්තේය. ඒ අනුව, එම මුදල් ආපදා සහන සහ ගොඩනැංවීම් සඳහා ඉදිරියේ දී භාවිත කිරීමට අපේක්ෂා කරන  අතර ලබාදෙන සහන මේ වනවිටත් ගැසට් මගින් නිවේදනය කර ඇත. 2026 මූල්‍ය වර්ෂයට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව මගින් රු. බිලියන 250ක මුදලක් විනාශයට සහ හානියට පත් යටිතල පහසුකම් ගොඩනැංවීම සඳහා වෙන්කෙරිණ. තවත් රු. බිලියන 150ක මුදලක් ජීවනෝපාය සහ සහ බිඳවැටුණු ජනජීවිතය ගොඩනැංවීම සඳහා භාවිත කිරීමට නියමිතය. එසේම, විනාශ වූ නිවාස ගොඩනැංවීම සඳහා රු. බිලියන 100ක් වෙන්කරන ලදී. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පහළ පොලී අනුපාත යටතේ ණය ලබාදීමට ද යෝජනා වී ඇත. 

 දිට්වා සුළිකුණාටුව ඉතා ඉහළ සෘජු සහ වක්‍ර පිරිවැයක් ආර්ථිකයට එක්කොට හමාරය. එහි බලපෑම සෑම අංශයකට අදාළවම කෙටිකාලීනව සහ මැදිකාලීනව දැනෙනු ඇත. ආර්ථික අර්බුදය සහ ආපදාව හේතුවෙන් බිඳවැටී ඇති ආර්ථිකය සහ ජන ජීවිතය ගොඩනැංවීම සඳහා මෙන්ම ණය ආපසු ගෙවීමේ ශක්‍යතාව ඇති කිරීම සඳහා ආර්ථිකය යථාවත් කළ යුතු වේ.

ආපදා ප්‍රතිසාධනය සඳහා අරමුදල් සපයා ගැනීම කළ යුතුව ඇත. 2024 වර්ෂයේ සිට පවත්වාගෙන යනු ලබන රාජ්‍ය මූල්‍ය සංචිතයෙන් කොටසක් මේ සඳහා භාවිත කිරීමට රජය තීරණය කොට ඇතැයි ප්‍රකාශිතය. එසේ වියදම් කිරීම හේතුවෙන් රජයේ ප්‍රාථමික වියදම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතෙන් නියම කර ඇති සීයට13 (දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස) සීමාව ඉක්මවා යයි. විශේෂයෙන්ම, ආපදා තත්ත්වයක දී එම සීමාව ඉක්මවා යාමට අවශ්‍ය විධිවිධාන එම පනතෙහි පවතී. දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ. ඩොලර් මිලියන 200ක පමණ මුදලක් රජය ලබාගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇති අතර ඉන්දියානු රජය ද ඇ. ඩොලර් මිලියන 450ක මුදලක් ලබාදීමට කැමැත්ත පළකර ඇත. එම මුදලින් ඇ. ඩොලර් මිලියන 350ක මුදලක් සහන ණයක් ලෙස ලබාදීමට නියමිතය. ඊට අමතරව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකු විසින් දැනටමත් යෝජිත මූල්‍ය පහසුකම් යටතේ යම් මුදල් ප්‍රමාණයක් ආපදා ප්‍රතිසාධන කටයුතුවලට වෙන් කිරීමට තීරණය කොට ඇති බව කියවේ. ඊට අමතරව, රජය විසින් පිහිටුවනු ලැබූ "Re-building Sri Lanka" ගිණුමට ද රු. බිලියන 4කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව කියැවේ. 

ආර්ථික බලපෑම

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ආර්ථිකයට ඇති වූ සෘජු පිරිවැයට අමතරව සැලකිය යුතු මට්ටමක වක්‍ර පිරිවැයක් ද ආර්ථිකයට එක්කර ඇති බව ලෝක බැංකු අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත. එම වක්‍ර පිරිවැය, සෘජු පිරිවැය හා සමාන හෝ ඊට වඩා ඉහළ අගයක් ගන්නා බැව් කියවේ. ඒ අනුව සමස්ත පිරිවැය රජය මගින් මුලින් සඳහන් කළ ඇ. ඩොලර් මිලියන 6-7ක හෝ ඊට වඩා වැඩිවීමට ඇති ඉඩකඩ වැඩි වේ. එවැනි ඉහළ පිරිවැයක් ආර්ථිකයට ඇති වීම මෙන්ම යළි ගොඩනැංවීමට අදාළ පිරිවැය දැරීම ආර්ථිකය ආකාර කීපයකින් බලපෑම් එල්ල කළ හැකි වේ. පළමුව, දළ දේශීය නිමැවුමේ වර්ධන වේගය ඉදිරි කාර්තු දෙකක පමණ කාලය තුළ පහළ යා හැකිය. "ILO" මගින් පෙන්වා දී ඇති පරිදි දළ දේශීය නිමවුමේ සීයට16ක් වැනි කොටසක් මෙම ස්වාභාවික ආපදාවේ බලපෑමට ලක්ව ඇති බවයි. ඒ අනුව, ආර්ථිකයේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනේම නිෂ්පාදන කටයුතු බිඳවැටීමක් ඇති වේ. ආපදා ප්‍රතිසාධනයට අදාළව කරන වියදම් හේතුවෙන් ආර්ථික කටයුතු යම් මට්ටමකින් යළි ගොඩනැංවෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. දෙවනුව, රාජ්‍ය මූල්‍යය මත දැඩි තෙරපුමක් ආපදා ප්‍රතිසාධන වියදම් හේතුවෙන් සිදුවනු ඇත. ඉහත ගණනය කිරීම් අනුව, ආපදා ප්‍රතිසාධනය සහ ඉදිරි ආපදා මගින් ඇතිවිය හැකි හානි අවම කිරීම උදෙසා ඇ. ඩොලර් බිලියන 8-10ක වියදමක් ඉදිරි වසර 3-4 කාලයෙහි දැරිය යුතු වේ. 2026 වර්ෂයට අදාළව දැනට පවත්වාගෙන යනු ලබන රාජ්‍ය මූල්‍ය සංචිත භාවිත කළ ද ඉදිරි වර්ෂවලදී ආපදා ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා එක්කෝ වෙනත් වියදම් කප්පාදුවකට යා යුතුය. නොඑසේ නම් ඉහළ අයවැය හිඟයක් පවත්වාගත යුතුව ඇත. තුන්වනුව, ආපදා ප්‍රතිසාධනය සඳහා විදේශ ණය ලබාගැනීමට සිදුවීම හේතුවෙන් විදේශ ණය බර ඉහළ යා හැකි වේ. ආපදාව අපනයන ඉපැයීම්වලට, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට අහිතකරව බලපා ඇති අතර ඊට අමතරව අනෙකුත්  අපනයනයන් සඳහා ද යම් බලපෑමක් එල්ලව ඇතැයි කියවේ. එසේ අපනයන ආදායම් පහළ යන අතරවාරයේ ආපදාවට අදාළ ප්‍රතිසාධන කටයුතු නිසා සහ ආපදාවෙන් කෘෂිඅංශයට ඇති වූ හානිය හේතුවෙන් ආනයන වියදම් ඉහළ යනු ඇත. සමස්තයේ බලපෑම හේතුවෙන් ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතය මත දැඩි පීඩනයක් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතී. මේ නිසාම රජයේ ආපදා ප්‍රතිසාධන වියදම් මූලිකව ම රඳාපවතින්නේ විදේශ විනිමය ගලා ඒම් මත වේ. ඒ සඳහා රජයට විදේශ ණය මත රඳා සිටීමට සිදුවනු ඇත. දැනටමත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ. ඩොලර් 200ක මුදලක් ඉල්ලා ඇති අතර ඊට අමතරව ඉන්දියාවෙන් ද ණය ලබාගැනීමට අපේක්ෂා කරයි. සිව්වනුව, වශයෙන් 2028 වර්ෂයේ සිට ආරම්භ කළ යුතු විදේශ ණය ගෙවීමේ හැකියාවට ද මෙම ආපදාව අහිතකරව බලපෑමට වැඩි ඉඩකඩක් පවතී.  අවසාන වශයෙන්, දැනටමත් ජනගහනයෙන් සීයට25ක් පමණ වන දුප්පත්කම තවදුරටත් ඉහළ යෑමට ඇති ඉඩකඩ ඉහළය. ලක්ෂ 4ට පමණ රැකියා අහිමිවීම මගින් සහ වක්‍රකාරව ආදායම් අවස්ථාවන් අහිමිවීමේ ප්‍රතිපලයක් ලෙස දුප්පත්කම ඉහළ යනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස රජයේ සහනාධාර මත මැදිකාලීනව අමතර තෙරපුමක් ඇති වීමට වඩා වැඩි ඉඩකඩක් පවතී.

කළ යුතුදේ

දිට්වා සුළිකුණාටුව මගින් අපට නැවත නැවතත් මතක් කර සිටින්නේ අභ්‍යන්තර සහ බාහිර කම්පනයන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති කරගත යුතු බවයි. ඒ සඳහා ප්‍රමාණවත් රාජ්‍ය මූල්‍ය සහ විදේශ සංචිත පවත්වාගෙනයාම වැදගත්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ 2024 වර්ෂයේ සිට පවත්වාගෙන එනු ලැබූ රාජ්‍ය මූල්‍ය සංචිත හේතුවෙන් යම්තාක් දුරකට අමතර ණය ගැනීම් හෝ බදු පැනවීම්වලින් තොරව ආපදා ප්‍රතිසාධනය සඳහා මුදල් සොයාගැනීමට හැකිව පවතී. දිට්වා සුළිකුණාටුව ඉතා ඉහළ සෘජු සහ වක්‍ර පිරිවැයක් ආර්ථිකයට එක්කොට හමාරය. එහි බලපෑම සෑම අංශයකට අදාළවම කෙටිකාලීනව සහ මැදිකාලීනව දැනෙනු ඇත. ආර්ථික අර්බුදය සහ ආපදාව හේතුවෙන් බිඳවැටී ඇති ආර්ථිකය සහ ජන ජීවිතය ගොඩනැංවීම සඳහා මෙන්ම ණය ආපසු ගෙවීමේ ශක්‍යතාව ඇති කිරීම සඳහා ආර්ථිකය යථාවත් කළ යුතු වේ. එහෙත් එසේ කිරීමට යාමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් සපුරාගත යුතුව ඇති ඉලක්ක කඩකිරීමේ හැකියාවක් නොමැත. වෙනත් වචනවලින් කිව හොත් ආපදාව ප්‍රතිසාධනය සිදුකිරීමේ දී රජයට ක්‍රියාත්මක වීමට සිදුව ඇත්තේ දැඩි සීමා මායිම් තුළ වේ. විදේශ ණය ලබාගැනීම්, බදු සහන ලබාදීම් මෙන්ම සහනාධාර ලබාදීම් සෙමෙන් සිදුවන්නක් වීමට ඇති ඉඩකඩ වැඩිය. දේශගුණික විපර්යාස මගින් සිදුවන ආපදා හානි අවම කිරීම සඳහා රටක් ලෙස අප ආයෝජනය කිරීම දැන්වත් ආරම්භ කළ යුතුව ඇත.