යාපන මුහුදෙන් තලපතුන් ඉල්ලන තලපතිගේ දේශපාලන රංගනය


තලපති විජේ මේ දිනවල වඩාත් උණුසුම් මාතෘකාවයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද ඔහු ගැන කතා කරන්නේ දේශපාලන වේදිකාවේ ඔහු දැමූ “ඇක්ෂන් කෑලි“ ටිකක් නිසාවෙනි.  විජේටත් කච්චතිව් උණ වැලඳී තිබේ. එය වරින්වර ඉන්දීය දේශපාලනඥයන්ට, විශේෂයෙන්ම තමිල්නාඩු දේශපාලනඥයන්ට කාලෙන් කාලෙට වැලඳෙන උණකි. තමන්ට දේශපාලන වේදිකාවේ අවධානයක් දිනාගැනීමට අවශ්‍ය වූ විට ඔවුන්ගේ ජනප්‍රිය මෙහෙයුමක් වන්නේ ලංකාවට දෙහි කැපීම හා කච්චතිව් දූපත යළි ඉල්ලා සිටීමයි. ඉන්දීය මාධ්‍ය හොල්ලමින් කච්චතිව් ආපසු ඉන්දියාවට පවරාගන්නා ලෙසට විජේ කළ දැනුම්දීමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කච්චතිව් ශ්‍රී ලංකාවේ කොටසක් බව සිහිපත් කරදීමට කටයුතු කළේය. 

තලපති ඉල්ලන්නේ කච්චතිව් පමණක් නොවේ. ලංකාවට අයත් මුහුදුතීරයේ ඉන්දීය ධීවරයන්ට පමණක් මසුන් මැරීමේ අයිතිය ඉල්ලා සිටී. ඒ අනුව ඔහුගේ සිහිනය සැබෑ වුව හොත් තලපති නිසා අපේ උතුරේ දෙමළ ජාතික ධීවර ප්‍රජාවට යාපනය අවට මුහුදෙන් තලපතෙකු තියා හාල්මැස්සෙක්වත් අල්ලා ගැනීමට ඉඩ නොලැබෙනු ඇත. එයද සිහිපත් කළ යුතුය. උතුරේ ජනතාවගේ ධීවර අයිතීන් රැකෙන්නේ රජය හා ආරක්ෂක හමුදාවල ක්‍රියාකාරීත්වය නිසාය. අපේ රටේ දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුළු හලන තලපතිලා සැබැවින්ම අපේ දෙමළ ප්‍රජාවට සලකන්නේ කෙසේද යන්න ගැන කදිම උදාහරණයක් ලැබෙන්නේ තලපති යාපන ධීවරයාගේ බඩට ගැසීමට කරන යෝජනාවෙනි. තමිල්නාඩු දේශපාලනය එසේය. ඔවුන්ගේ වාසනාවකට දේශපාලන වේදිකාවේ පතුරැ ගැසීමට ශ්‍රී ලංකාව නමින් රටක් තමිල්නාඩුවට කිලෝමීටර් 30ක් පමණ නුදුරින් පිහිටා ඇත. බැරිවෙලාවත් ශ්‍රී ලංකාව එතන නොමැතිව මාලදිවයින පිහිටා තිබුණේ නම් ඔවුන්ට අත්වන ඉරණම ඉතා බරපතළ වෙන්නේ එය ශ්‍රී ලංකාවට වඩා ප්‍රමාණයෙන්, ආර්ථිකයෙන්, දේශපාලන ශක්තියෙන් හා රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් කුඩා නිසාය. 

තලපතිගේ බල්ටි

තලපති විජේ යැයි කියුවද ඔහුගේ සැබෑ නම ජෝෂප් විජේ චන්ද්‍රසේකර්ය. 1974 දී උපන් ඔහු කුඩා කල සිටම දෙමළ සිනමාවෙහි ජයකෙහෙලි නැංවූ චරිතයකි.  ඔහුගේ පියා චන්ද්‍රසේකර් දෙමළ සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඒ නිසා 1984 දී සිනමාවට පිවිසි විජේ අද වනවිට ඉන්දිය රැපියල් කෝටි 420 ක වත්කමක් සහිත නළුවෙකි. රඟපෑම සඳහා වැඩිම මිලක් අයකරන නළුවෙකි.  දැනට ඔහු සැලකෙන්නේ දෙමළ සිනමාවේ බොක්ස් ඔෆිස් කිං ලෙසය. ඔහුට කලක් සුපිරි නළු අජිත් කුමාර්ගෙන් අභියෝගයක් තිබුණද අද වෙනවිට අජිත්ට වඩා ආදායම්ලාභී චිත්‍රපටකරණයෙන් ඉදිරියට ඒමට විජේ සමත්ව තිබේ. දැන් විජේ ඉන්නේ උපරිම ජනප්‍රිය තලයේය. අනෙකුත් බොහෝ දෙමළ නළුවන් මෙන්ම විජේද තම ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගනිමින් දේශපාලන ලෝකයට අවතිර්ණ වි තිබේ. පසුගිය වසරේ එළි දක්වනු ලැබූ විජේගේ තමිලංග වෙට්‍රි කළහම් හෙවත් ටී වී කේ පක්ෂය තමිල්නාඩු ජනතාවගේ ආකර්ෂණය දිනා ඇති බවක් පෙන්නුම් කරන්නේ එම පක්ෂය පවත්වන රුලිවලට එක්වන මහා ජනසම්භාරයෙනි. පක්ෂය දියත් කිරීම සඳහා පසුගිය වසරේ පැවති රැලියට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක් වූ අතර ඉකුත්දා මදුරෙයිහි පැවති රැලියට ද එවැනිම ජන සන්නිපාතයක් එක්ව තිබිණ. රැළි වලට පැමිණෙන ජනයාගෙන් ජන්දයේ ජය තීරණය කිරිම අපහසු වුවත් තමිල්නාඩුවේ ජනතා චර්යාව දෙස බැලීමේදී විජේ හට පැහැදිළි ජනප්‍රියත්වයක් ඇති බවක් පෙන්නුම් කරයි. ඒ මතින් බලයට පැමිණීමේ අභිලාෂයෙන් විජේ පෙළෙන බවක් පෙන්නුම් කරයි.

තමිල්නාඩු සිනමාව දේශපාලන නායක තෝතැන්නකි. එහි ජනප්‍රියතම හා ප්‍රබලතම මහඇමතිවරයා වූ එම් ජී ආර්. 1960 -1970 දශකවල සුපිරි තරැවකි. ඔහුගේ සමගාමී නිළිය වූයේ ජෙයලලිතාය. පසුව දෙදෙනා එකට බැඳී දේශපාලන ලෝකයටද පිවිසුණේ එම් ජී ආර් හෙවත් එම් ජී රාමචන්ද්‍රන්ගේ බිරිඳ වූ ජානකී රාමචන්ද්‍රන්ට පවා දේශපාලනයෙහි තැනක් ඉතුරැ නොකරමිනි. රාමචන්ද්‍රන්ගේ ඇවෑමෙන් ඔහුගේ සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ කළහම් පක්ෂය වැලඳගත්තේ ජානකී නොව ජෙයලලිතාය. ඒ අනුව ජෙයලලිතාටද මහඇමති වරම් හිමි විය. අනෙක් අතට එම් ජී ආර්ගේ ඒ අයි ඒ ඩීඑම් කේ පක්ෂයේ ප්‍රතිවාදී පාර්ශ්වය වූ ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් හෙවත් ඩී එම් කේ පක්ෂයේ නායකත්වය දැරුවේ ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තිරකතා රචකයෙකු වූ මුතුවෙල් කරුණානිධිය. මේ අනුව තමිල්නාඩු රිදී තිරය හා සිනමාව අතර ඇත්තේ නොබිඳෙන බැම්මකි.  විජේකාන්ත්, කමලහසන් ආදී නළුවෝද තමිල්නාඩු සිනමාවේ කැපී පෙනෙන චරිත වෙති. ශ්‍රී ලංකා විරෝධී රුල්ලට නායකත්වය දුන් සෙබස්තියන් සීමන් ඇතුළු සිනමා කරුවන් පිරිසක් දේශපාලන ලෝකයට ඉතා ශක්තිමත් ව අවතීර්ණ වූයේ ඔවුන් විසින් ගොඩනගාගෙන තිබූ ජනප්‍රියත්වය පදනම් කරනිමිනි.දේශපාලන ලෝකය රිදී තිරයෙන් විචිත්‍රවත් වෙද්දී ඔවුන්ගෙන් සිදුවූ ජනතා සේවය ගැන නම් ප්‍රශ්න පවතී. ඒ මන්ද යත් ඔවුන් පාලනය හෙබවුවද තමිල්නාඩුවේ ජනතාව මුහුණ දෙන ගැටලුවල නිමක් නොවීය.  තමිල්නාඩුව යනු විවිධ ජනවර්ගවලින් හා සම්පත් සඳහා අතිවිශාල තරගයක් පවතින කලාපයකි. මේ නිසා එහි දේශපාලනය හෙබවීම සෑම විටම අභියෝගයකි. ප්‍රශ්නය වන්නේ නිරන්තරයෙන් තමිල්නාඩු දේශපාලන පක්ෂ ඡන්දයක් නොපැවතියද දේශපාලන ලෝකය අතික්‍රමණය කිරීම සඳහා පශ්චාත් මැතිවරණ කාලය හෝ පූර්ව මැතිවරණ කාලය පවා විවිධ මාතෘකා යොදා ගනිමින් ජනතාව තමන් වෙත ආකර්ෂණය කොට තබා ගැනීමයි. තලපති විජේ දක්වා වූ දේශපාලන ප්‍රබලයන් උත්සුක වන්නේ ඒ සඳහාය. ඉදිරි ඡන්දයකදී තමිල්නාඩු වැසියන් තම පක්ෂය වෙත ග්‍රහණය කොට තබාගැනීම සඳහා මෙහෙයුම් දැන් ආරම්භ කොට තිබේ. තලපති විජේද රුල්ල නගින ආකාරය බලා ඔරුව දියත් කිරීමට පෙරමුණ ගෙන ඇත.

ප්‍රථම රැළියට පැමිණි පිරිසෙන් කොටසක්

කච්චතිව් දූපත ඉන්දියාව මගින් ශ්‍රී ලංකාවට පවරා දෙනු ලබන්නේ 1974 වසරේ ඇතිකරගනු ලැබූ ද්විපාර්ශ්වික ගිවිසුමක් මගිනි. ඒ අනුව ද්විපාර්ශ්වික මුහුදු සීමාවද නිර්ණය කෙරණ. දිගු කලක් පැවති අර්බුදය අවසන් අවසන් වූයේ ශ්‍රී ලංකාවට වාසිදායක අයුරෙනි. ඒ අනුව යාපනය, මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවල කරදිය ධීවරයන්ට තම ජීවානෝපායයන් සදහා වැදගත් වූ තත්ත්වයකි. එහෙත් යුද්ධයෙන් පසුව සිදුවන ඉන්දිය ධීවර ආක්‍රමණ නිසා උතුරේ ධිවරයන් මුහුණ පාන ගැටලු එන්න එන්නම ඉහළ යද්දී ලංකාවේ දෙමළ අයිතිවාසිකම් ගැන දුක්වන දකුණු ඉන්දිය දේශපාලනඥයන් එම දෙමළ ජනතාවගේ මුහුදු ප්‍රදේශය හා ධීවර හිමිකම උලාකෑමට තමිල්නාඩු ධීවරයන් පොළඹවන්නේ අර කලින් සඳහන් කළ අයිතිවාසිකම් ගැන කිසිදු අවධානයක් නොදක්වන්නේ මෙරට උතුරු ප්‍රදේශවලින්  බොටම් ට්‍රෝලිං ක්‍රමය යටතේ මුහුදු පතුළ විනාශ කරමින් හා අපේ ධීවරයන් තිරසර බවින් යුතුව රකින උතුරු මුහුදු ප්‍රදේශය තවදුරටත් මත්ස්‍ය අභිජනනය හා කොරල් ව්‍යාප්තිය ආදී විවිධ යහ ප්‍රවණතාවන්ට ඉතා දැඩි ලෙස හානි කරමිනි. 

විජේගේ පැරණි ගීතය

තලපති විජේ දේශපාලනික වශයෙන් කොතරම් සාර්ථක වේද යන්න තවම සලකා බැලිමට කල් වේලා වැඩිය. එහෙත් විජේ දේශපාලනයට එන්නේ තමිල්නාඩු පාලන ක්ෂේත්‍රයෙහි විශාල රික්තයක් පවතින අවස්ථාවකයි.  අයි ඒ ඩී එම් කේ හා ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් යන පක්ෂ සමග සන්ධානගත නොවන බව විජේ සපථ කරන්නේ ඒ නිසාවෙනි. ඔහු අරඹා ඇති සූදුවෙන් වාසිය තමා අතට හැරෙමින් පවති. සුපිරි තාරකාව වන රජිනිකාන්ත් දේශපාලන ලෝකයෙහි ප්‍රබල භුමිකාවක් නිරෑපණය නොකරන තත්ත්වයක් යටතේය. ඔහු ඒ අනුව යෙදෙන්නේ සාර්ථක සූදුවක විය හැක. කෙසේ වෙතත් ප්‍රශ්නය වන්නේ ඡන්දය දිනීම සඳහා ලංකාව දඩමීමා කරගැනීමයි. එසේ කළ විවිධ දේශපාලනඥයන් අද වනවිටත් තිරයේ නැත. විජේගේ භූමිකාව දෙස තීරණාත්මකව බලා සිටිමු.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ