මේ වෙලාවේ පක්ෂයක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ශක්තිමත් කළ යුතුයි


නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

ප්‍රසන්න රණතුංග 

  • 22 සම්මත වුනා කියල බැසිල් රාජපක්ෂ මහත්තයට දේශපාලනය කරන්න බාධාවක් නෑ 

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ දේශපාලන අන්ත පරාජයක් යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ කියති. එහෙයින්ම පොහොට්ටුවේ ඇතැම් නායකයන් අලියා පිටේ නගින බවට ද රාවයකි. මේ ඒ ගැන විමසමින් නාගරික සංවර්ධන හා නිවාස ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි.   

?ජනපති රනිල්ගේ දෑත් ඔබ ශක්තිමත් කරන්නේ පොහොට්ටුවේ ඉඳගෙන ද? අලියා පිටේ නැගල ද?   


පිළිතුර:- මම පැහැදිලිවම මේක ගැන ප්‍රකාශයක් කළා. අලියා පිටේ නගින්නම ඕන නෑ රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න. පක්ෂයක් හැටියට රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තය අගමැති වෙලා හිටපු වෙලාවේ එතුමා අයින් වුණාම එකඟතාවයෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කළේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයින් වෙනකොට ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කළෙත් පක්ෂය මැදිහත් වෙලා. එහෙම නම් අපේ ලොකු වගකීමක් තියෙනවා මේ රට ආර්ථික සමාජයීය සහ දේශපාලනික වශයෙන් වැටිලා තියෙන වෙලාවේ එතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න.   


?විපක්ෂය නම් කියන්නේ රනිල්ටත් වැඩපිළිවෙළක් නෑ කියලයි ?   


පිළිතුර:- දැන් බලන්න? එතුමා මේ රටේ ඉන්ධන පෝලිම් ටික නවත්වල තියෙනවා. ගෑස් ප්‍රශ්නය විසඳලා තියෙනවා. ආර්ථික වශයෙන් වැටිලා තියෙන රට ගොඩගන්න යම් වැඩ පිළිවෙලක් දකින්න දෙයක් කරලා තියෙනවා. අපේ මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් මේ වෙලාවේ පක්ෂයක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ශක්තිමත් කළ යුතුයි කියලා.   


?ජනපති රනිල් ඔය කරපු ටික ඇයි රාජපක්ෂලාට කරගන්න බැරි වුණේ ?   


පිළිතුර:- ඒක එතුමන්ලගේ වැරැද්දක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිත් ගත්ත තීරණ නිසා මේ ආර්ථික අර්බුදය හැදුණා නොවේ. අනුර කුමාර දිසානායක දේශපාලනික ප්‍රතිවාදියෙක් වුණත් එතුමා පාර්ලිමේන්තුවේ දී කිව්වේ මේක කෙටි කාලයකින් වෙච්ච දෙයක් නොවෙයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ වෙච්ච දෙයක ප්‍රතිඵලයක් කියලා.   


?රට වැටුණට පස්සේ මොනවා කිව්වත් වැඩක් නෑ ?   


පිළිතුර:- මම මේක කලිනුත් කියලා තියෙනවා. දේශපාලකයො අවුරුදු පහෙන් පහට මාරු වෙනවා. හැබැයි මේ රටේ නිලධාරීන් දිගටම ඉන්නවා. මුදල් අමාත්‍යාංශයෙ නිලධාරින් මාරු වෙන්නේ නෑ. අනික් අමාත්‍යාංශවලත් එහෙමයි. එහෙම නම් මේවට වගකියන්න ඔවුන්ටත් වගකීමක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එනකොට අපි දැනගෙන හිටියා ඉදිරියේ දී මේ රටේ විදේශ ණය ගෙවන්න යනකොට රටේ ආර්ථික අර්බුදයක් ඇතිවෙනවා. ඒකට දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනෑ කියලා.   


?හැදිල්ල කොහොම වුණත් පොහොර ප්‍රශ්නයෙන් තිබුණ ආර්ථිකයත් විනාශ වුණා?   


පිළිතුර:- ඒ තීරණය ඉතාම හොඳ තීරණයක්. නමුත් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රශ්න ඇතිවුණා. අපේ පළමු අයවැයේදීම දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගැන අපි කතා කළා. එතුමා බලයට ආපු ගමන් පිටරටින් බඩු ගෙන්වීම සීමා කළා. ඒවායිනුත් ප්‍රශ්න ඇති වුණා. නමුත් අපි දැනගෙන හිටියා රටේ ආර්ථික ප්‍රශ්න මතු වෙන්නේ ඩොලර් ප්‍රශ්නය නිසා කියලා. ඒ එක්කම කොවිඩ් වසංගතය නිසා තිබුණ සල්ලි ටිකත් නැති වුණා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නැති වුණා. අපේ රටට එන ඩොලර් නතර වුණාම අපේ සංචිත වියදම් වුණා. ඒ ප්‍රශ්නය තමයි මේකට බලපෑවේ. 83 කළු ජූලියෙන් අපේ රටේ වෙච්ච පසුබෑම 87 - 89 මේ රටේ ඇතිවෙච්ච භීෂණයේ දී ජාතික සම්පත් විශාල වශයෙන් විනාශ වුණා. අවුරුදු 30 ක යුද්ධය නිසා මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. මේ තත්ත්වය තුළ රට මේ මට්ටමින් හරි පවත්වාගෙන යන්න යම් යම් කාලවල ඒ ඒ ආණ්ඩු යම් යම් දේවල් කරලා තියෙනවා. අපේ රටේ විතරක් නොවෙයි. මම පහුගිය කාලේ ප්‍රංශයට ගියා. ඒ රටෙත් ඉන්ධන පෝලිම් තියෙනවා. ජර්මනියේ ප්‍රංශයේ බදු වැඩි කරලා තියෙනවා. හැබැයි ගෝඨාභය මහත්තය ඇවිත් බදු අයින් කළා. 

 
?ඒකත් ගජ මිතුරන්ට සහන දෙන්න?   


පිළිතුර:- නෑ ඒක එතුමා කළේ සද්භාවයෙන්. නමුත් කොවිඩ් එකත් එක්ක ව්‍යාපාර කඩා වැටෙනකොට ඒකේ වාසිය අපට නැති වුණා. ඒ විදියට වළක්වා ගන්න බැරි හේතු අවාසනාවන්ත ලෙස අපට බලපෑවා. කොහොම නමුත් ඒ අමාරුම අඩියෙන් රට ගොඩ අරගෙන තියෙනවා. ඒ නිසා තමයි ජනතාව බැණ බැණ හරි ආණ්ඩුවත් එක්ක එකට යන්නේ. ඒ නිසා රාජපක්ෂලාට දොස් කියන්න බෑ. ජේ.ආර්. ජයවර්ධනගෙ ඉඳලා හිටපු රාජ්‍ය නායකයෝ ඕකට වගකියන්න ඕනෑ. රාජ්‍ය නිලධාරීන් මේකට වග කියන්න ඕනෑ.   


?තාම තියෙන්නේ බාග කැබිනට් එකක්. කවද්ද කැබිනට් එක සම්පූර්ණ කරන්නේ?   


පිළිතුර:- මමත් කියන්නේ ඉක්මණින්ම සම්පූර්ණ කරන්න ඕනැ. ව්‍යවස්ථාවට අනුව ඒ පත් කරන්න පුළුවන් සීමාව තුළ කැබිනට් එක සම්පූර්ණ කරන්න ඕනෑ. මොකද හුඟාක් දේවල් වෙනස් කරන්න ගියාම අපට තුනෙන් දෙකක බලයක් තිබුණු පක්ෂයක් හැටියට යම් යම් අයට වෙච්ච අසාධාරණකම්වලට පක්ෂය ඇතුළේ කල්ලි ගැහෙන්න පටන් ගත්තා. ඒකෙන් ආණ්ඩුව දුර්වල වුණා. විපක්ෂයත් ඒක හොඳට පාවිච්චි කළා. ඒ නිසා මේ වෙලාවෙදී ඉක්මනින්ම කැබිනට් එක පත් කරලා වගකීම් පවරලා වැඩ ටික කරගෙන යන්න ඕනැ කියලා.   


?කැබිනට් එක පත් කරන්න දැනට තියෙන බාධාව මොකක්ද?   


පිළිතුර:- මම දන්නේ නෑ. ඒක ජනාධිපතිතුමත් අගමැතිතුමත් තීන්දු කළ යුතු දෙයක්. ඒක සමහර විට ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දේශපාලන තීන්දුවක් වෙන්න පුළුවන්.   


?පොහොට්ටුවෙන් එවපු ලිස්ට් එකේ තියෙන නම්  දෙකකට ජනපති රනිල් අකමැති නිසා තමයි වැඩේ සිද්ධ නොවෙන්නේ ?   


පිළිතුර:- සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. මම දන්නේ නෑ ඒක මට අදාළම නැති දෙයක්නේ.   


?22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම වළක්වා ගන්න බැසිල් පාර්ශ්වය විශාල මහන්සියක් ගත්තා. නමුත් වැඩේ ගැස්සිලා ගියා?   


පිළිතුර:- මොකක්ද මේ බැසිල් පාර්ශ්වය කියන්නේ? මම ඔබට ඉතාම වගකීමෙන් කියනවා 22 කියන්නේ 19 නැවත ගෙන ඒමනේ. කවුද මුලින්ම පාර්ලිමේන්තුවේ දී 19 නැවත ගේන්න ඕනැ කියලා කිව්වා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා හැටියට කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා කාලේ තමයි ඒක මුලින්ම කැබිනට් එකට ගෙනාවේ. මේක ඉදිරිපත් කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ජනාධිපති කාලේ විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා මේක වළක්වන්න පොහොට්ටුවට වුවමනාවක් තිබුණා නම් මේ ක්‍රියාවලිය සිද්ධ වුණේ බැසිල් මේ මාතෘකාවට ගේන්නේ මේක ජනප්‍රිය කතාවක් නිසානේ.   


?ඔබ කොහොම කිව්වත් බැසිල් රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය නිසා 22 පරාජය කරන්න පොහොට්ටුවේ සමහරුන්ට ලොකු වුවමනාවක් තිබුණා?   


පිළිතුර:- නෑ. මම බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් පෞද්ගලිකව ඇහුවා එතුමා මට කිව්වා ‘ප්‍රසන්න, සමහරු මතයක් හදන්න හදනවා මගේ ද්විත්ව පුරවැසි භාවය හින්දා මේක කඩාකප්පල්කරන්න හදනවා කියලා. මම දේශපාලනය කරනවද? නැද්ද? කියලා තාම තීරණය කරලත් නෑ. පොදුජන පෙරමුණ පක්ෂයත් ඔයගොල්ලන්ගේ අතට අරගෙන කරගෙන යන්න ඕනැ. ඒ නිසා මං ගැන හිතලා තීරණ ගන්න එපා. රටට හොඳ වෙන තීරණයක් ගන්න කියලා එතුමා මට කිව්වා. ‘මං ගැන හිතලා තීන්දු ගන්න එපා. රට ගැන හිතලා තීන්දු ගන්න කියලා’ එතුමා මට කිව්වා.   


?පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් දිගින් දිගටම කියන්නේ 22 ගෙනාවේ පුද්ගලයකු ඉලක්ක කරගෙන බවයි ? 

 
පිළිතුර:- ඇත්තටම සමහර පක්ෂවලට ඔය ප්‍රශ්නය තිබුණා. මාධ්‍යවේදීන්ටත් ඔය ප්‍රශ්නය තියෙනවා. අපිත් එක්ක හිටපු අපේම පක්ෂවල සමහර නායකයන් හිතුවා ‘අපි 20 ට විරුද්ධ වෙනවා’ කියලා. එහෙම විරුද්ධ වුණා නම් ඔය ඡන්දය ගේන වෙලාවේ ඒක පේන්න තිබුණානේ. සරත් වීරසේකර මන්ත්‍රීතුමා 19 ටත් විරුද්ධ වුණ කෙනෙක්. ඒ වගේම එයා මේකටත් විරුද්ධ වුණා. ඒ අයට තමන්ගේ ස්ථාවරය අනුව කටයුතු කරන්න අවස්ථාව තිබුණා.   


?22 ට ඡන්දය දීම ඔබත් වර්ජනය කළා. ඔබ ලංකාවේ හිටියෙත් නෑ. 22 පරදවන්න බෑ කියාල දැනුණම ඔබ රටෙන් ගියා. ඔබ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක?   


පිළිතුර:- ඒකත් ඔය විපක්ෂය කියන කතාවක්නේ. ඔය ඡන්ද විමසීම කරන්න තිබුණේ මීට සති තුනකට කලින්. එතකොට මම ලංකාවේ හිටියේ. හැබැයි පක්ෂ නායක රැස්වීමේ දී මේක කල් දැම්මා. මම පෞද්ගලික විදේශ සංචාරයක් යොදාගෙන හිටියේ. මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පක්ෂයේ ලේකම්තුමාටත් කියලා මේ ගමන යනවා කියලා කිව්වා. මොකද මේ ගමන යන්නේ මගේ පෞද්ගලික වියදමෙන්. මම නොගියා නම් මට විශාල පාඩුවක් වෙනවා. ඒත් මගේ ඡන්දය තීරණාත්මකයි නම් ඒ පාඩුව දරාගෙන මම ඉන්නවා. එහෙම තත්ත්වයක් නැති නිසා මම ගියා. මම අභියෝග ඉදිරියේ පැනලා යන කෙනෙක් නොවෙයි. ඔයිට වැඩිය අභියෝග මම බාර අරගෙන තියෙනවා.   


?පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් එහෙනම් ඇයි ඡන්දය නොදී මග ඇරියේ ?   


පිළිතුර:- අපේ මන්ත්‍රීවරු පිරිසක් විදේශගත වෙලා හිටියේ. තව සමහරු අසනීප වෙලා හිටියේ. සහන් ප්‍රදීප් මන්ත්‍රීතුමා ඩෙංගු වැලඳීලා අදටත් රෝහල්ගත වෙලා ඉන්නේ. ඒ විදියට තමයි අඩු වුණේ. මම ඔබට අවධාරණයෙන් කියනවා 22 ට විරුද්ධ වෙන්න අපේ පක්ෂයට කිසිම හේතුවක් නෑ.   


?දැන් 22 සම්මතයිනේ. බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය අයින් කර නොගත්තොත් ඔහුට ආපහු පාර්ලිමේන්තු එන්න වෙන්නේ නෑ.   


පිළිතුර:- ඔව්. එතුමාට පාර්ලිමේන්තුවට එන්න බෑ. නමුත් එතුමට ලංකාවට ඇවිත් පක්ෂයේ වැඩ කරන්න බාධාවක් නෑ. එතුමා හොඳ සංවිධායකවරයෙක්. සමහරු කියනවා මේ ආර්ථික අර්බුදය එතුමා නිසා ආවා කියලා. නෑ. එතුමා පාර්ලිමේන්තුවට ආවේ ඔක්තෝබර් මාසයේ. දැන් සමහරු කියයි ‘ප්‍රසන්න රණතුංග බැසිල්වාදියෙක්’ කියලා. මම මිනිහෙක් වැටුණම ඒ මිනිහව අතහරින මිනිහෙක් නොවෙයි. මම අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. අදටත් සියලු රාජපක්ෂවරුන් වෙනුවෙන් කවුරු ගැහුවත් මම පෙනී ඉන්නවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමාට කවුරු බැන්නත් හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ අන්තිම කාලේ එතුමත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුණේ නෑ. යම් යම් ප්‍රශ්න නිසා. නමුත් මම අදටත් කියනවා බැසිල් රාජපක්ෂ මහත්තයාට බැරිවෙන්නේ පාර්ලිමේන්තුවට එන්න විතරයි. හැබැයි එතුමාට දේශපාලනය කරන්න බැරිකමක් නෑ.   
?පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියන පීඨයේ පිටුපස මහින්ද ගෝඨාභය හා බැසිල්ගේ ඡායාරූප තිබුණා. නමුත් දැන් තියෙන්නේ මහින්ද රාජපක්ෂ පින්තූරය විතරයි. ඒ කියන්නේ ගෝඨාභය නෑ, බැසිල් පොහොට්ටුවෙන් නෙරපලා ද?   


පිළිතුර:- නෑ මම දන්නේ නෑ. ඔබ කියනකම් මම ඒක දැනගෙන හිටියේ නෑ. මම ඒක හොයලා බලන්න ඕනැ. හැබැයි මම දන්න විදියට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. එක වෙලාවක කියනවා ගෝඨාභයයි බැසිලුයි තිරෙන් පිටිපස්සේ ඉඳගෙන ආණ්ඩුව හසුරුවනවා කියලා. තව වෙලාවක අහනවා ඒ දෙන්නම අයින් කරලද කියලා. ඔය අරගලකාරයෝ කියන ඒවා වැඩිය ගණන් ගන්න හොඳ නෑ. එතැන තිබුණේ සාමකාමී අරගලයක්. ඒ අරගලයෙ තිබුණේ ‘සිස්ටම් චේන්ජ්’ එකක් වෙනුවෙන්. හැබැයි දැන් ඉන්න අරගලකාරයො කරන්නේ ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක්. මේ දෙකේ වෙනසක් තියෙනවා. සිස්ටම් චේන්ජ් කරන්න තමයි රනිල් වික්‍රමසිංහ ගෙනාවේ. අලුත් ආර්ථික කමිටු පිහිටුවලා තරුණයන්ට ඉදිරියට එන්න අවස්ථාව දීලා එතුමා වෙනසක් කළා. ගෝඨාභය මහත්තයත් මේ රටේ වෙනසක් කරන්න හැදුවා. කාබනික පොහොර ව්‍යාපෘතිය ගත්තොත් ඒක හොඳයි. ක්‍රියාත්මක කිරීමයි වැරදි. ඒකට උපදෙස් දීපු අයත් ඉන්නවා. දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි දේශපාලන පක්ෂවල හිඟන කාලකන්නි නායකයන්ගේ ආණ්ඩු පෙරැළීමේ කුමන්ත්‍රණයක්. ඉස්සෙල්ලා කිව්වා ‘ගෝඨා ගෝ හෝම්’ කියලා. ‘මයිනා ගෝ හෝම්’ කිව්වා. දැන් කියනවා. ‘රනිල් ගෝ හෝම්’ කියලා. උන්ගේ එකෙක් එනකම් එන එකාට යන්න කියනවා. මේ රටේ ලක්ෂ 222 ක ජනගහනයෙන් ලක්ෂයක් දෙකක් අරගල කළාට මුළු රටපුරාම ඒ ලක්ෂ දෙකේ මතය ද මේ රටේ ස්ථාපිත වෙන්න ඕනෑ. 

 
?දැන් අරගලයට බය නෑ වගේ?   


පිළිතුර:- ඔයගොල්ලොත් දැක්කා අරගලයෙ හිටියෙ කුඩු කාරයෝ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මන්දිරයේ, අරලියගහ මන්දිරයේ තිබුණ වටිනා කියන දේවල් හොරකම් කළා. ගෝඨාභය මහත්තයා ජනාධිපති මන්දිරයෙ හිටියෙත් නෑ. එතුමා ආවේ මිරිහාන ගෙදරට ගැහුවට පස්සේ. ආරක්ෂක අංශ කිව්ව නිසයි එතුමා රජගෙදරට ගියේ. මේ කුඩ්ඩො, රාජ්‍ය ​නොවන සංවිධාන මේවට කොච්චර වියදම් කළා ද? ඒ සල්ලිවලට අහුවුණානේ හැමෝම. දැන් ඒවා මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ. ඒකනේ අරගලවලට දැන් මිනිසුන්ගෙ උනන්දුවක් නැත්තේ. විශ්වවිද්‍යාල ළමයි පාවිච්චි කළේ කවුද ? ඔය නායකයන්ගේ දරුවෝ පිටරට ඉගෙන ගන්නේ. ඒ දරුවෝ ඇවිල්ල අරගල කරන්නේ නෑ. අපේ විශ්වවිද්‍යාල දරුවන්ගේ ජීවිතත් කාලකන්නි කරලා රටත් කාලකන්නි කරන පිරිසක් තමයි මේවට නායකත්වය දෙන්නේ. මේක පිටිපස්සෙ ආගමික නායකයොත් ඉන්නවා. හාමුදුරුවො ඉන්නවා. ෆාදර්ල ඉන්නවා. ගෙවල් ගිනි තියන එක මරණ එක ප්‍රජාතන්ත්‍රවාදී ද? මගේ ගේ ගිනි තියන්න ආවේ මහාචාර්ය හාමුදුරුනමක්. ඒවායේ වීඩියෝ පට තියෙනවා. බස් එකේ රියැදුරු සාක්ෂි තියනවා. මගේ ගේ ගිනි තියන්න ඉස්සෙල්ලා පෙළපාලි ගියෙ ෆාදර්ලා තුන් දෙනෙක්. වීඩියෝ පට මං ගාව තියෙනවා. කවුද මේගොල්ලො පිටිපස්සෙ හිටියේ. කවුද වියදම් කළේ. රාජ්‍ය නොවන සංවිධානවලට යට වෙච්ච සමහර ආගමික නායකයෝ මේවායේ පිටිපස්සෙ ඉන්නවා. දැන් කියනවා ‘අපි ප්‍රචණ්ඩත්වයට නෑ’ කියලා. කාව ද මේ රවටන්න හදන්නේ.  


?අරගලය පදනම් කරගෙන ආණ්ඩුව විශාල මර්දනයක් මුදා හැරලා තියෙනවා?  


පිළිතුර:- ඕක තමයි සූත්‍රය. නීතිය ක්‍රියාත්මක කරන කොට මර්දනයලු. දැන් කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. මම නම් කියන්න යන්නේ නෑ. නම නොකීවත් ඔයගොල්ලො දන්නවා. ඒ අය මහපාරේ මරාදැමුණු මන්ත්‍රීවරයාගේ සිද්ධියට සම්බන්ධයි කියලා තොරතුරු තියෙනවා.  


?ඔබ කරන්නේ බරපතළ චෝදනාවක්? 

 
           පිළිතුර:- ඔව්. ඒ ගොල්ලෝ එතැනට ගිහින් මන්ත්‍රීතුමා මැරුවේ නෑ. නමුත් ඒ මිනිසුන්ව මෙහෙයව්වා නම් ඒකත් වැරදියි. රටේ ‘සිස්ටම් චේන්ජ්’ එකක් වෙන්න ඕනැ කියලා අපිත් පිළිගන්නවා. ඒක නොවෙයිනේ මේ කරන්න යන්නේ. මේ කරන්න යන්නේ ආණ්ඩු පෙරැළියක්. එහෙම ආණ්ඩු පෙරැළියකට එනවා නම් මහ පාරෙදී ඒකට මුහුණ දෙන්න අපි සූදානම්.  


?පොහොට්ටුව කෑලි කෑලිවලට කැඩිලා ගිහින් අනාගතයක් තියෙයි ද?  


පිළිතුර:- මම වගකීමෙන් කියනවා. හෙට මැතිවරණයකට ගියොත් මම කියන්නේ නෑ. 2019 දී 2020 දී ගත්ත ඡන්ද ගන්නවා කියලා. හැබැයි ඔය හැම පක්ෂයකටම වැඩිය එක මන්ත්‍රී ධුරයක් හරි අපි ගන්නවා. ඒක ස්ථීරයි.  

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්