මේ පාලකයො එලවන්න මිනිස්සු පාරට බහින්න ඕනෑ නැද්ද ?


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

සුනිල් හඳුන්නෙත්තිගෙනි

  • ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කරනව අත්‍යවශ්‍ය නොවන සැත්කම් කරන්න එපා කියලා. මුන් මොන පාලකයොද කියල කියන්න තවත් උදාහරණ ඕනැද? නිකං ඉන්න බැරුවට සැත්කම් කරන්න මිනිස්සුන්ට පිස්සු නෑනේ.
  • සැත්කමක් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. මේ පාලකයෝ ඉතුරු කරපු රට තමයි මේ. ඡන්දය ප්‍රමාද වන දවසක් දවසක් ගානේ රනිල් ඇතුළු ආණ්ඩුවට ජනතාවගේ තියෙන පිළිකුල වැඩිවෙනවා විතරයි.  

 

උණුසුම් වන පාරේ සටන් හා මැතිවරණය ඇතුළු දේශපාලන මාතෘකා කීපයක් පිළිබඳව මේ අදහස් දැක්වීම ජ.වි.පෙ. හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙනි.  


?එන්.පී.පී. පාරේ සටන්වලින් එක ජීවිතයකුත් අහිමි වුණා.  


මේක ඝාතනයක්. මේක මේ පාලකයින්ගේ මර්දනයේ ප්‍රතිඵලයක්. පාරේ සටනට මිනිස්සු කැඳවන තැනට වැඩ කෙරුවේ රනිල් වික්‍රමසිංහ. ඡන්දේ හකුලනකොට ඡන්දෙ ඉල්ලල මිනිසුන්ට පාරට බහින්න වුණා. මුළු රටම පළාත් පාලන මැතිවරණය තියන බව දැනගෙන ඒකට සූදානම් වෙද්දි තමා පාර්ලිමේන්තුවට ඇවිත් රනිල් ඉතාම පීචං පිස්සු කතාවක් කිව්වේ ඡන්දෙ තියන්නේ නෑ කියලා. සල්ලි තිබුණත් ඡන්දෙයක් නෑ කියලා එයා කියන්නේ. එතකොට එයාගේ යූ.එන්.පී. යත් ඡන්දෙට ඇප මුදල් තැන්පත් කරලා ඡන්දෙට ලෑස්තිවෙලා.  


රනිල්ගේ මේ වගේ විකාර සහගත හැසිරීමත් එන්න තමයි මිනිස්සුන්ට පාරට බැහැල ඡන්දෙ ඉල්ලලා සටන් කරන්න වුණේ. මේ පාලකයො ජනතාවට දෙන පීඩනයට එරෙහිව තමයි අද ජනතාව පාරට බැහැල තියෙන්නේ. එහෙම නැතුව නිකං ඉන්න බැරුව ඇඟේ අමාරුවට ජනතාව පාරට බැහැලා නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කයිවාරු ගහන රනිල් ජනතාවගේ ඡන්ද අයිතියට වැට බඳින​ කොට අපිට ගෙවල්වලට වෙලා ඉන්න කියල ද කියන්නේ? අද ජනතාව පාරට බැහැලා ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීම්. එහෙම පාරට බැහැපු මිනිස්සුන්ට තමයි රනිල්ලා කඳුළු ගෑස් ගහල ජීවිත බිලිගන්නේ. රනිල්ලට මේවා නුපුරුදු සෙල්ලම් නෙවෙයි.  


මේ ඝාතනයේ සම්පූර්ණ වගකීම රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව බාරගන්න ඕනැ.  


?ඔබ කිව්වට මරණයේ වගකීම රනිල් ඇතුළු ආණ්ඩුව බාරගන්න ඕනැ කියලා අපි දැක්කෙ නෑ ඔවුන් අඩුම තරමෙ තිගැස්සෙනවවත් මෙයින්?  


ඝාතකයො තමන් කරපු ඝාතනයක් සම්බන්ධයෙන් තිගැස්සෙන්නෙ නෑ තමයි. මෙයාල මිනිස් ජීවිතයක වටිනාකමක් අඳුනන අය නොවෙයි. මිනිස් ජීවිතවල වටිනාකම දන්නව නම් රටේ දරුවො බඩගින්නෙ මැරෙද්දි බොරු වියදම් කරල පෙරහැරවල් කරයිද? රටේ මිනිස්සු ගැන කැක්කුමක් නැති නිසා තමයි මෙයාලා තමන්ගේ යාළු මිතුරු කල්ලිය එකතු කරගෙන රටේ සල්ලි වියදම් කර කර බාල් නටන්නේ. මෙයාලට එක ජීවිතයක් නෙවෙයි තව ජීවිත කීයක් පාරේ අහිමි වුණත් ගාණක් නෑ. රට හොම්බෙන් යන වෙලාවක මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් නිදහසක් නැති වෙලාවක වෙඩි ගහල උජාරුවට නිදහස් දිනය සමරන්න පුළුවන් අයට කොහෙද මිනිස්සු ගැන හැඟීමක්. ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කරනව අත්‍යවශ්‍ය නොවන සැත්කම් කරන්න එපා කියලා. මුන් මොන පාලකයොද කියල කියන්න තවත් උදාහරණ ඕනැද? නිකං ඉන්න බැරුවට සැත්කම් කරන්න මිනිස්සුන්ට පිස්සු නෑනේ. සැත්කමක් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. මේ පාලකයෝ ඉතුරු කරපු රට තමයි මේ. මිනිස්සු පාරට බහින්න ඕනෑ නැද්ද මේ පාලකයෝ එලවන්න? ඡන්දය ප්‍රමාද වන දවසක් දවසක් ගානේ රනිල් ඇතුළු ආණ්ඩුවට ජනතාවගේ තියෙන පිළිකුල වැඩිවෙනවා විතරයි.  


?ඒ මියගිය සහෝදරයාට කොහොමද ඔබලා යම් සාධාරණයක් කරන්නේ?  


මේ ඝාතනය පිළිබඳ සිදුවිය යුතු නීතිමය පියවර සඳහා අපි කටයුතු කරනවා. ඒ පවුලේ අයට හෝ නීතියේ පිහිටක් අපි බලාපොරොත්තු වෙනවා.  


මේ පාලකයො එහෙම නැතිවුණොත් ඒකත් පූර්වාදර්ශයට අරගෙන මිනිස්සු පාරේ ඝාතනය වෙන්න දෙයි. මීට වඩා එදා අපේ සාමකාමී පාගමනට ගහල තියෙන්නේ කල් ඉකුත් වෙච්ච කඳුළු ගෑස්. ඒවයි අංක මකලා. අපි මේක පොලිස් නිලධාරින්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් විදියට ලඝු කරන්නේ නෑ. ඔවුන් කරන්නේ උඩින් එන නියෝගයක් පිළිපදින එකනේ. මේ නියෝග නිකුත් කරපු පාලකයින්ට එරෙහිව අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරනවා.  


? ආණ්ඩුව පැත්තෙන් ඔබලට චෝදනා කරනව ඒ මරණය ඔබල ඡන්දෙ වෙනුවෙන් මාර්කට් කරනවා කියලා.  


ඒ ඝාතනය ගැන රටට කියන්නෙ නැතුව ආණ්ඩුව කියන්නේ කාටත් හොරෙන් භූමදානය කරන්න කියලද? අපි මේ ඝාතනය ගැන දිගින් දිගටම රටට කියනවා. මරණයක් මාර්කට් කරල ඡන්ද ගන්න ඕනෑකමක් අපිට නෑ. අපිට බලය දෙන්න ජනතාව දැන් තීරණය කරල ඉවරයි. ඒක තමයි රනිල් ඇතුළු ආණ්ඩුව ඡන්දෙ නොතියන්නේ. ඒක රනිල්ම පාර්ලිමේන්තුවේදී කිව්වනේ. ජේ.වී.පී. එකට එන රැල්ල නවත්වන්න ඕන නිසා සජබෙ කට්ටිය ඡන්දෙ කල්දාන්න කියල රනිල්ගෙන් ඉල්ලුව කියලා එයාම කිව්වනේ. ඡන්දෙ තියන්නේ නෑ කියලා කෑ ගහලා රනිල් කරන්නේ එතකොට මේ ස.ජ.බෙ. ඉල්ලීම නේද? එතකොට කවුද ඩීල්කාරයො?  

 

  • චණ්ඩි පාට් දාගෙන කයිවාරු ගහපු නායකයො මීට කලිනුත් අපි දැක්කනේ. මොකද වුණේ එයාලට. බලයෙන් පහ වුණේ උන්හිටිතැනුත් නැතුව. පස්සෙ දොරෙන් පැනලා යන්න වුණේ ඔය වගේ පම්පෝරි ගහපු නායකයන්ට තමයි.
  •  ආණ්ඩුව කියනව නම් සැලෙන්නෙ නෑ කියලා අපේ විරෝධතාවන්ට ඒ අය සැලෙනකම් අපි ඒක කරනවා. හොඳටම බයවෙලා දඟලන මිනිහා කොහොමත් කියවන්නේ මං බය නෑ කියල තමයි.


?ඒගොල්ලො තව කියන දෙයක් තමයි ජේ.වී.පී. එක මේවට පුදුම වියදමක් කරනව බස් දාලා සෙනග අදිනවා. ඒ සල්ලි කන්න බොන්න නැති මිනිස්සුන්ට දෙන්න පුළුවන්නෙ කියලා.  


ඒක ඉතාම වැදගත් කතාවක්. ජනතාවට මේ තරම් කන්න බොන්න නැතුව තියෙද්දිත් අතින් වියදම් කරගෙන අපිත් එක්ක එන්නෙ ඇයි කියලා ආණ්ඩුව හොයලා බලන්න. බස් හොයාගෙන වියදම් කරගෙන එන්නේ ගෙවල්වල බුදියගෙන ඉන්න බැරුවටද? වෙන දේකට නෙවෙයි ඒ එන්නේ මේ ජනපීඩක පාලකයෝ රොත්ත එළවන්නයි ඒ එන්නේ. ආණ්ඩුව මේකෙන් ගන්න ඕනැ පණිවිඩේ තමයි ඒගොල්ලන්ට එරෙහිව මේ තරම් විශාල විරෝධයක් රට තුළ තියෙනවා කියන එක.  


? මැතිවරණ ගැන හැමෝම කතා කෙරුවත් මැතිවරණ ගැන මැතිවරණ කොමිසම ක්‍රියා කරන හැටි ගැන මොකද හිතෙන්නේ?  


ලොක්කො කියන පදේට නටන නිලධාරියෝ හැම තැනම ඉන්නවා. අපි ඒ අයට මතක් කරනවා ජනතාවගේ මුදලින් පඩි ලබන ඒ අය තමන්ගේ රාජකාරී වගකීම ගැන කල්පනා කළොත් හොඳයි කියලා. මේ ගොල්ලො කවුරුත් එකට එකතුවෙලා තමයි මේ වැඩේ කරන්නේ කියල දැන් පේනව නේද? ඒක එහෙමයි කියල නොතේරෙන්න තරම් බබ්බු නෙවෙයි අපි. එහෙම නටපු කට්ටිය මීට කලිනුත් හිටියා. හැබැයි ඒ අයට මොකද වුණේ. පූජිතලා, හේමසිරිලට මොකද වුණේ කියලා මේ තමන්ගේ රාජකාරි වගකීම පැහැර හරින නිලධාරීන් මතක් කර ගත්තොත් හොඳයි. ඒ ගොල්ල තමුන්ගෙ දරුවන්ට කන්න බොන්න දෙන්නෙ ජනතාවගේ මුදලින් කියන එක ඒ අයට අමතක වෙලා.  


?වෘත්තිකයෝ දැන් දිගින් දිගටම පාරට බැහැලා. හැබැයි ආණ්ඩුව කියන්නේ ඒවට නම් සැලෙන්නේ නෑ කියලා.  


එහෙම චණ්ඩි පාට් දාගෙන කයිවාරු ගහපු නායකයො මීට කලිනුත් අපි දැක්කනේ. මොකද වුණේ එයාලට. බලයෙන් පහ වුණේ උන්හිටිතැනුත් නැතුව. පස්සෙ දොරෙන් පැනලා යන්න වුණේ ඔය වගේ පම්පෝරි ගහපු නායකයන්ට තමයි. ආණ්ඩුව කියනව නම් සැලෙන්නෙ නෑ කියලා අපේ විරෝධතාවන්ට ඒ අය සැලෙනකම් අපි ඒක කරනවා. හොඳටම බයවෙලා දඟලන මිනිහා කොහොමත් කියවන්නේ මං බය නෑ කියල තමයි. මේ ජනතා විරෝධය මේ පාලකයෝ අවතක්සේරු කරනව නම් අපි හැප්පිලා බලමු. මහජන බලය හෑල්ලු කරපු කිසිම නායකයෙකුට යහතින් ඉන්න හම්බවෙලා නෑ.  


?එන්.පී.පී. එක ඊළඟට කොළඹදී පාරට බහින්නෙ කවද්ද?  


අපි දැනට එහෙම දිනයක් තීරණය කරල නෑ. මැතිවරණ කොමිසමේ තීරණය දිහාත් බලාගෙන ඉන්නවා අපි. දරාගන්න බැරි බදු බර ගැන ආණ්ඩුව ගන්න තීරණය දිහා බලාගෙන ඉන්නවා. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන අපි තීරණය කරනවා ඊළඟට පාරට බහින්නෙ කවද්ද කියලා.  


?මහ මැතිවරණයෙන් මාතරට එපා කියපු සුනිල් හදුන්නෙත්ති නගරාධිපති විදියට මාතර මිනිස්සු තෝරා ගනියිද?  


මහ මැතිවරණය තිබුණෙ අදට වඩා වෙනස් තත්ත්වයක් යටතේ. අද අපිට ගොඩක් ප්‍රතිචාර දක්වන, උනන්දුවෙන් අපේ මැතිවරණ ව්‍යාපාරයට හවුල් වෙන බොහෝ දෙනෙක් කියන්නේ එදා ඔවුන් ගත්තු තීරණය ගැන පසුතැවෙනවා කියලා ඒ අය පොහොට්ටුවට ඡන්දෙ දීපු අය. එයාලම කියන්නේ ඒ පාලකයෝ තමුන්ව රැවැට්ටුවා කියලා. අද තත්ත්වය වෙනස්. මාලිමාව ජයග්‍රහණය කරවන්න ඔවුන් අද කැපවෙලා වැඩ කරනවා. මාතර ජනතාව වගේම රටේම ජනතාව තීරණය කරලා ඉවරයි මාලිමාව දිනවන්න. ඒක නිසාම තමයි ආණ්ඩුව මේ ඡන්දෙ තියන්න බය. ආණ්ඩුව බයවෙලා ඉන්නේ ඡන්දෙට නෙවෙයි ඡන්ද ප්‍රතිඵලයට. ජනතාවගෙ මේ උද්යෝගය රඳවා තබා ගැනීමේ දේශපාලන ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. අපිට ඒක පුළුවන්. ආණ්ඩුව ඡන්දය ප්‍රමාද කරන්න කරන්න ජනතාව අපි වටා එකතු වෙනවා. ඒක රනිල්ටවත් ආණ්ඩුවටවත් නතර කරන්න බෑ.

 

 

සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි