මේ ආණ්ඩුවේ ඇමැතිලා දැන් ජ්වත් වෙන්නේ සිහින ලෝකවල


සමගි ජන බලවේගයේ, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මිත්‍රාල් ප්‍රනාන්දු

රටේ දේශපාලන තත්ත්වය හා විපක්ෂයේ කාර්යභාරය විමසමින් සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු සමග කළ සාකච්ඡාවකි.

ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පළමු වරටයි. ඔබ කොහොමද දේශපාලනය දකින්නේ.

පාර්ලිමේන්තුවට ආවේ පළමු වරට වුණත් මම දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනයේ ඉන්නවා. මම පළාත් සභාවෙත් හිටියා. දේශපාලනය ගැන මිනිසුන්ගේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච අවදියක, දක්ෂිණාංශික කඳවුර තීරණාත්මක අභියෝගයකට ලක් වෙච්ච මොහොතක මහ ජනතාවගේ වරමෙන් මම පාර්ලිමේන්තුවට ආවේ. මේ ආණ්ඩුව ආවේ සිස්ටම් චේන්ජ් කරනවා කියලනේ. අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපි සිස්ටම් චේන්ජ් එක මනිනවා නම් ඒක ඒ අයගේ වැඩක්. නමුත් දේශපාලනය තුළ ගුණාත්මක භාවයක් සිදු වුණා ද කියන එක තරුණ දේශපාලනඥයෙක් හැටියට මට සැකයි.

මාලිමා ආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දුවක් තමයි හොරුන්ට, දූෂිතයන්ට දඬුවම් කරනවා කියන එක. ඒක ජනතාවගේ බලාපොරොත්තුවක්.

ඔව් ඒක හරි. 2015 දී ආපු යහපාලන ආණ්ඩුවෙත් ලොකු පොරොන්දුවක් ඕක. එෆ්.සී.අයි.ඩී. වැනි ආයතන පිහිටෙව්වා. ඒ හරහා ඒ පොරොන්දුවේ යම් කොටසක් ඉෂ්ට වුණා. ඒ විදියට දූෂිතයන් අත්අඩංගුවට ගන්නවා. ඒක විය යුතු දෙයක්. නමුත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්න. නැති නඩු පටවලා සතියට කිහිප දෙනෙක් ඇතුළට දාන්න හදනව ද කියන සැකය අපිට තියෙනවා. දූෂිතයන්ට, හොරුන්ට දඬුවම් කරනවානම් අපිත් කැමතියි. අපි ඒකට අත් දෙකම උස්සලා සහයෝගය පළ කරනවා.

ජනතාව ජීවත් වෙන්නේ අමාරුවේ. බඩු මිල වැඩියි. විපක්ෂය මේ ගැන කතා නොකරන තරම්?

මෙච්චර කාලයකට ඔය ගැන කතා කරලා තියෙන්නේ සමගි ජන බලවේය හැටියට අපියි. සමහර දේවල් ඒ සම්පූර්ණ චිත්‍රයම ජනතාවට නොපෙනෙනවා වෙන්න පුළුවන්. විදුලි බිල වැඩි කිරීම ගැන වැඩිම විරෝධයක් ගෙනත් ඔතැනින් ඒක නතර කරගත්තේ අපි. වැට් එකත් එහෙමයි. පාර්ලිමේන්තුවේ දී මුදල් කමිටුවේ දී අපි මේ ගැන කතා කළා. වී මිල සම්බන්ධයෙන්, තෙල් මිල සම්බන්ධයෙන් අදත් කතා කරනවා. ජනතාවට ඒක පේන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රමාණයට හරි බදු බර අඩු කරගෙන, එහෙම නැත්නම් වැඩි වෙන්න ඉඩ නොදී ඉන්නේ අපි. එහෙම නොවුණහම ආර්ථික කළමනාකරණයෙන් අසමත්, අදක්ෂ මේ ආණ්ඩුව කොහෙට ගිහින් නතර වෙයිද කියල කියන්න බෑ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ ගොදුරක් බවට පත් වෙලා. ඔහුගේ ආණ්ඩු විරෝධී මාත්‍රාවෙන් පෙන්නුම් කරන්නේ එයයි. මේ ගැන ඔබේ අදහස?

මට නම් එහෙම දෙයක් පේන්න නෑ. විපක්ෂ නායකතුමා අද බ්‍රහස්පතින්දා උදේ පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට විශාල ප්‍රහාරයක් එල්ල කළා. ගොවි ගැටලුව සම්බන්ධයෙන්. විපක්ෂ නායකතුමා ආණ්ඩුවේ ගොදුරක් බවට පත් වෙලා නම් ආණ්ඩුවට විශාල හිසරදයක් වෙලා තියෙන ගොවි ගැටලුව සම්බන්ධයෙන් එතුමා හැමදාම කට අරින්නේ නෑනෙ. ජනතාවගේ ප්‍රශ්න ගැන එතුමා හැමදාම හඬ අවදි කරනවා. ගොදුරක් වෙලා තියෙන්නේ ආණ්ඩුව. ඒ ජනතාවගේ.

විපක්ෂයේ කාර්යභාරය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් ද?

අනිවාර්‌යයෙන්ම තෘප්තිමත්. විපක්ෂයට දීලා තියෙන්නේ සීමිත මන්ත්‍රීධුර සංඛ්‍යාවක්. ඒක මේ රටේ ජනතාවගේ කැමැත්ත. එතකොට ඒ මන්ත්‍රී ධුර සංඛ්‍යාවට සමානුපාතිකව අපි අපිට කරන්න පුළුවන් සීයට සීයක් කරනවා. අපි දැක්කා කතානායකවරයා කුමාර ජයකොඩි ඇමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාව. ඒ නිසාම කුමාර ජයකොඩි ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඒ වගේම මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ඇමැතිවරයාට එරෙහිවත් අපි විශ්වාසභංගයක් ගේනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කියලා ආණ්ඩුව කියනවා. ඒ ගැන අපි අවදියෙන් ඉන්නේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යා​මේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපි එක මතයක ඉඳගෙන කටයුතු කරනවා. විපක්ෂයක් හැටියට අපෙන් ඉෂ්ට වෙන්න ඕන කාර්යභාරය අපි අවශ්‍ය ප්‍රමාණයෙන් ඉෂ්ට කරනවා.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර එකමුතුවක් ඇති විය යුතුයි කියලා කාලයක් තිස්සේ කතා වෙනවා. ඔබ ඉන්නේ මොන මතයෙ ද? එකතු විය යුතුද නැද්ද?

මම ඉන්නේ මේ පක්ෂ දෙක එකතු විය යුතුයි කියන මතයේ. මොකද ජනතාව ඉන්නෙත් ඒ මතයෙ. ජනතාව එක වෙලාවක හිටියා ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා වෙනම බලවේගයක් නිර්මාණය කළ යුතුයි කියන මතයේ. අපි ජනතාවගේ ඒ මතයක් සමග හිටගත්තෙ. දැන් මේ පක්ෂ දෙකේම ඉන්න පාක්ෂිකයෝ ජනතාව ඉන්නේ පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවට මුහුණ දිය යුතුයි කියලා. මම ඉන්නෙත් ඒ මතයෙම තමයි.

පක්ෂ දෙක එකතු වෙනවා කියන්නෙ සජබ එජාපයට යනව ද? එජාපය සජබෙට එනව ද? 

එහෙම එකක් නොවෙයි. අපි පක්ෂ හැටියට දැන් කණ්ඩායම් දෙකක්. නමුත් අපේ මව් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. කවුරුවත් කොහේවත් යනවා කියන එක නොවෙයි අපි පොදු ලකුණක් වෙන්න පුළුවන්. ඒක තමා තීරණය කරලා නෑ. නමුත් අපි දෙගොල්ලෝ එකතු වෙලා එකමුතුව මුහුණ දෙනවා කියන එක තමයි මෙතැනදී වෙන්නේ. එහෙම නැතිව එක පක්ෂ කාර්යාලයක් වහලා දාලා අනෙක් පක්ෂ කාර්යාලයට යනවා කියන එක නොවෙයි.

විශ්‍රාම යා​මේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපි එක මතයක ඉඳගෙන කටයුතු කරනවා. විපක්ෂයක් හැටියට අපෙන් ඉෂ්ට වෙන්න ඕන කාර්යභාරය අපි අවශ්‍ය ප්‍රමාණයෙන් ඉෂ්ට කරනවා.

ආණ්ඩුව නම් කියන්නේ හොරු අල්ලනකොට හොරා හොරා එකතු වෙනවා කියලයි.

ආණ්ඩුව කාටක් කොයිදේටත් එහෙමනේ කියන්නේ. අපි බන්ධනාගාරය ගැන කතා කළාම බන්ධනාගාරයෙ නැතිවෙච්ච ජීවිත ගැන කතා කළාම ආණ්ඩුව කෙළින්ම බන්ධනාගාර නිලධාරීන්ගේ පැත්ත අරගෙන අපිව දැම්මා පාතාලය පැත්තට. අපි කතා කළේ සියලුම දෙනාගේ ජීවිත ගැන. ජීවිතයක් කියන්නේ ජීවිතයක්.

ගොවින්ට කොහොමද අවලාද නැගුවේ. ගොවීන් තමන්ගේ ප්‍රශ්න කතා කළාම ඔවුන්ට කිව්වා කසිප්පුකාරයෝ කියලා. ආටිෆිෂල් කොවියෝ කියලා කිව්වා. නීතිඥ සංගමය එළියට ආවම ඔවුන්ට අවලාද නගනවා. ඒ නිසා ඔවුන්ට ‘හොරු’ කියන වචනය පාවිච්චි කරනවා හැරෙන්න වෙන වචනයක් පාවිච්චි කරන්න වෙන්නේ නෑ. හොරු හෝ හොරා නොවන කාට වුණත් ඔවුන්ගේ නොහැකියාව වසා ගන්න හොරු කියන ලේබලය අලවන්න තමයි ඔවුන් දන්නේ.

ආණ්ඩුවේ ආයු කාලය ගැන ඔබේ මැනීම කොහොම ද? මොකද ඔවුන් අවුරුදු 20ක් 30ක් ගැන කියනවා.

20ක් 30ක් නොවෙයි මම දැක්කා සමහර ඇමැතිවරු කියනවා ජීවිත කාලයටම වෙන ආණ්ඩුවක් එන්නේ නෑ කියලා. ඒ ඒ ඇමැතිවරු තම තමන්ගේ සිහින ලෝකවල ජීවත් වෙනවා. මේවා ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. ඒ නිසා ඒ අයට හිතෙන හිතෙන දේවල් කරන්න ඒ අයට පුළුවන්ද කියලා අපට බලාගන්න පුළුවන්. ඡන්ද නොතියා ඉන්නනම් ඒ අය බොහොම කැමැත්තෙන් ඇති.

පළාත් සභා ඡන්දයක් තියන පාටක් පේන්න නෑ. නමුත් ඡන්ද නොතියා හිටියොත් අපට බලාගන්න පුළුවන් ජනතාව ඉස්සරහට ඇවිත් ඒ ප්‍රශ්න විසඳන්න දවස වැඩි ඈතක නොවෙයි. නමුත් ඡන්ද නොතියා මේ රටවල් ඉදිරියට යන්න බෑ කියල අපි දන්නවා.

පළාත් සභා ඡන්දය ගන්න වැඩපිළිවෙළක් ඔබේ පක්ෂයට තියෙනව ද?

අපි මේ සම්බන්ධයෙන් තියෙන කමිටුවෙදී කතා කරනවා. භූමියේ මේ ගැන කතා කරලා ආණ්ඩුවට එල්ල කරන්න ඕන පීඩනට එල්ල කරනවා. පළාත් සභා මැතිවරණය කල් දාලා දැන් අවුරුදු 10ක් 15ක් විතර වෙනවා. ආණ්ඩු ගණනාවකින් ඒ කල් දැමීම කරලා තියෙනවා. හැබැයි මේ අය කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙනවා කියලයි. නමුත් අපට දැන් පේන්න තියෙන්නේ ඒකට කිසිම සූදානමක් නෑ කියලයි. කමිටුවක් නම් දාලා තියෙනවා. ඒකේ අරමුණක් කල් බැලීම කියලයි අපිට පේන්නේ. පළාත් සභා ඡන්දය ඉතාම ඉක්මනින්  තියනවානම් අපි ඒකට බොහොම කැමතියි. අපේ ඒ කැමැත්ත නිසාම තමයි පළාත් සබා ඡන්දය තියන්න ආණ්ඩුව අකමැති.

ඔබ පුත්තලම දිස්ත්‍රික්කය නියොජනය කරන්නේ. ඔබේ පළාතේ නගර සභා ප්‍රාදේශීය සභාවල ක්‍රියාකාරිත්වය ගැන ඔබට මොකද හිතෙන්නෙ?

පුත්තලම් දිස්ත්‍රික්කයත් මුළු ලංකාවෙම වගේ තමයි. ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනය කරන්න හිටපු අය තමයි ඒ ගොල්ලන්ගෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ. ඊළඟට ප්‍රාදේශීය සභාවලට නාම යෝජනා දෙන්න පිරිස හොයද්දී ඒකට සුදුසු පිරිසක් හොයා ගන්න බැරි වුණා, කියන එක තමයි මගේ මතය. ඒ නිසා තමයි ඒ ආයතනවලින් බලාපොරොත්තු වූ සේවාවන් සිදු නොවන්නේ. පුහුණුවනම් ටික කාලයක් යනකොට ලැබෙයි කියලා හිතමුකො. නමුත් දැනටමත් වංචා දූෂණ සම්බන්ධ තොරතුරු වාර්තා වෙනවා.

ඩෙංගු වසංගතය වැනි ප්‍රශ්නවල දී අපි හොඳටම දැක්කා පළාත් පාලන ආයතවල කාර්යක්ෂමතාව බිංදුවයි කියලා. අද මුළු රටම ​ඩෙංගු වසංගතයට යටත් වෙලා ඉන්නේ ඒ නිසයි.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්