මේ ආණ්ඩුව පිළිගැනීම පිලිබඳ ප්‍රශ්නයක් තියනවා


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ඉරාන් වික්‍රමරත්න 

 

ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතාව තවමත් නොනිවී දැල්වෙයි. පක්ෂ හැටියට ජාතික ආණ්ඩුවකට නොගියත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් තනි තනිව ආණ්ඩුවට යනු ඇති බවට අමතර කතාබහකි. සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධවය.   


?රටේ දේශපාලනය ගැන මේ මොහොතේ ඔබේ හැඟීම? 

 
අද පවතින තත්ත්වය මීට ප්‍රථමයෙන් අපි අත්දැකලා නෑ. නීත්‍යානුකූල ජනාධිපති කෙනෙක් රටේ හිටියා. නමුත් ඔහුට පිළිගැනීමක් නැති වුණා. එයා ගියා. පාර්ලිමේන්තුව තියෙනවා. ඒක නීත්‍යානුකූලයි. නමුත් ඒකේ සංයුතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ පාර්ලිමේන්තුව ජනතාව පිළිගන්නවද කියන ප්‍රශ්නය තියෙනවා. අද අපි මුහුණදෙන ලොකුම ගැටලුව ඒකයි. රටේ දේශපාලන හා ආර්ථික අර්බුදයක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ දේශපාලනය හා ආර්ථික අර්බුදය අපට විසඳාගන්න පුළුවන් කියලා. ඒ සඳහා පවතින ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති කළ යුතුයි.   


?ජනාධිපති රනිල් ජාතික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ඒ විශ්වාසය ඇති කරන්න. නමුත් සජබෙ පස්ස ගහනවා?   


ඔව්. මම කිව්වා වගේ ජාතික ආණ්ඩුවක් කියල ඔක්කොම එකතු කළා කියලා හරියන්නේ නෑ. ඒ නිසයි මම කිව්වේ මේ ආණ්ඩුවේ පිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. තව පැත්තකින් බැලුවොත් සජබෙ හැටියට අපටත් ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථාව තිබුණා කියලා සමහරු වාද විවාද කළා. අපි ඒක ඒ වෙලාවේ කළේ නැත්තෙත් ජනතාවගේ අදහසයි පාර්ලිමේන්තුවේ අදහසයි අතර පරතරයක් තියෙන නිසයි. අපි ආණ්ඩු බලය අතට ගත්තත් අවශ්‍ය වෙනස්කිරීම් කරන්න බෑ.   


?ඇයි දැන් ජාතික ආණ්ඩුවකට සහාය නොදෙන්නේ?   


එහෙම නෑ. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න අපි ලෑස්තියි. අපි ඇමැතිකම් ගන්නේ නෑ.   


?ඇමැතිකම් නොගෙන කොහොමද ජාතික ආණ්ඩුවක් හදන්නේ?   


එතැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒවා අපේ විපක්ෂනායකතුමා කෙළින්ම ජනාධිපතිතුමාට කියලා තියෙන්නේ. පළමුවැනි දේ තමයි අරගලයේ හිටපු මිනිස්සු අත්අඩංගුවට ගැනීම. මෙතැනදී අත්අඩංගුවට ගන්නේ සාමකාමීව විරෝධය පාපු අය. ඒ අය නීති විරෝධී වැඩි කරපු අය නොවෙයි. නමුත් ඒ අය අත්අඩංගුවට ගන්නවා. ඒ මර්දනයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරනවා. ඒක කරන්නම බෑ. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා ඉන්නකොට ඔය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතුයි කියන මතයේ අපි තදින්ම හිටියා. ඒ මතය අපි ඉදිරිපත් කරනකොට ඒකට විරුද්ධ වෙච්ච අය තමයි අද ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. අද මර්දනය සඳහා ඒ පනත පාවිච්චි කරනවා. ඒක අපට පිළිගන්නම බෑ. ඒක වැරැදියි.   


?ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගේනවා කියලා ඇමැති විජයදාස රාජපක්ෂ කියනවා?   
ඔව්. ඔව්. එහෙම කියනවා. ගොඩක් හොඳයි එහෙම ගේනවා නම්. ඔය කතාව අපි මීට ඉස්සරත් අහලා තියෙනවනේ. ඒ නිසා මේ පාර හරි ගේනවා නම් හොඳයි. අනිත් එක මිනිසුන්ට කිසිම විශ්වාසයකුත් නෑනේ ඇත්ත කතාව. අර අන්තරේ කැඳවුම්කරුවාවත් අරගෙන තියෙනවා. හේතුඵලවාදයට අනුව බැලුවොත් අරගලකරුවන්ට එරෙහිව පාවිච්චි කරන නීතිය අනික් අයට එරෙහිවත් පාවිච්චි කරන්න ඕනෑ. මැයි 9 වැනිදා මේගොල්ලෝ අරලියගහ මන්දිරයට ගියා. එතැන එක එක කතා පැවැත්වුවා. ඒ කතා අහලා තමයි පොලු අරගෙන ගෝල්ෆේස් ගියේ. ගිහින් සාමකාමී අරගලකරුවන්ට ගැහුවා. එහෙම නම් ඒ මාරයන්ටත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනැ. අපි කියන්නේ මර්දනීය නීති කාටවත් එරෙහිව පාවිච්චි කරන්න හොඳ නෑ.  


?ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණා. මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරයෙක් මහ පාරේ මරලා දැම්මා. මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු නැද්ද?  


අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කාටවත් කිසිම අයිතියක් නෑ කාගෙවත් පෞද්ගලික නිවාසවලට හානි කරන්න. නීතිය කඩකරපු අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපි කියන්නේ අහිංසක අරගලකරුවන් මර්දනය කරන්න එපා කියලයි.  


නීතිය කඩ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. ඒකට රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකට අපි එකඟයි. ඒ වගේම අපි කියන්නේ 20 වැනි සංශෝධනය අහෝසි කරන්න කියලයි. ඕක බල බලා ඉන්න දෙයක් නොවෙයි. සැප්තැම්බර් මාසෙදිම 20 වැනි සංශෝධනය අහෝසි කරන්න. ඇයි ඒව හංගගෙන ඉන්නේ. ඒකේ තියෙන සමහර දේවල් මේගොල්ලන්ට අලුත් එකට දාගන්න ඕනැ. එහෙම කරන්න එපා. 20 වැනි සංශෝධනය අනිවාර්යයෙන්ම අහෝසි කරලා දාන්න ඕනෑ. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු ආවෙත් 20 වැනි සංශෝධනය හරහානේ. ඔය විදියට හංගලා වැඩ කරන්න එපා. ඔහොම කරලා තමයි වරද්දගෙන තියෙන්නේ.  


?ජාතික ආණ්ඩුවට යන්න ඔය කොන්දේසි ඉටුවිය යුතුයි?  


ඒ විතරක් නොවෙයි. අපි සඳහන් කරලා තියෙනවා. උසාවියෙන් වැරැදි කාරයො කරපු අයත් ඉන්නවා මේ ආණ්ඩුවේ. හොරු සෑහෙන පිරිසක් ඉන්නවා. පිරිසිදු පාලනයක් ඇති කරනවා නම් ඒ වගේ අයවත් අයින් කරන්න ඕනැ. ඒ වගේම අල්ලස දූෂණය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුමයි. අල්ලස, දූෂණය තදින්ම තියෙනවා. මම දිගින් දිගටම කියලා තියෙනවා ‘අපේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතුයි’ කියලා. එහෙම කළාම අපට විරුද්ධව චෝදනාවක් ආවම විගණකාධිපතිට ඒක විගණනය කරන්න පුළුවන්. එච්චරයි ඉල්ලන්නේ. ඒක කළ යුතුයි. ගිය සතියෙ දවසක විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා මට කිව්වා ‘ඒක ගේනවා’ කියලා. හුඟාක් හොඳයි. මම කියන්නේ සැප්තැම්බර් මාසෙදිම ඒක ගේන්න ඕනැ කියලා. අපට අල්ලස් දූෂණ විරෝධී කොමිෂන් සභාව තියෙනවා. ඒකට නව නීති 2019 දී හැදුවා ඒක ස්වාධීන කරන්න. ඒ කොමිෂන් සභාවට අවුරුදු 28 යි. ඒ කාලය පුරාවට දේශපාලනඥයෙක් හෝ කිසිම නිලධාරියකුට එරෙහිව තීන්දුවක් දීලා නෑ. දැන් නීතිය හදලා තියෙන්නේ. ඒකත් සැප්තැම්බර් මාසෙදිම ගේන්න පුළුවන්. ඊට අමතරව ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවිය යුතුයි. අපට නඩු නීතිපතිට දෙන්න බෑ. ඒකට දීලා දශක ගණනාවක් බලාගෙන ඉන්න වෙනවා. මෙච්චර කාලයකට මේවා කරලා නෑ. දැන් මේවා කරලා පෙන්වන්න ඕනැ. එහෙම නම් අපිටත් එකට එකතු වෙලා මේ ගමන යන්න පුළුවන්. මලයාසියාවේ හිටපු රාජ්‍ය නායකයා අවුරුදු 12 කට හිරේ ඇරියා. එතකොට බලන්න ඒ ජනතාවට ඇතිවන විශ්වාසය. ඒ රටේ ක්‍රමය ගැන අධිකරණය ගැන ඒ රටේ ජනතාවට තියෙන විශ්වාසය තහවුරු වෙනවා. ලංකාවේ එහෙම තත්ත්වයක් හිතන්නවත් බෑ. මේවා කරන්න ලෑස්තිනම් අපිත් ලෑස්තියි අලුත් ගමනක් යන්න. අපිටත් පුළුවන් කැබිනට් මණ්ඩලයෙ ඇවිත් වාඩිවෙන්න.  


?රට තියෙන්නේ බරපතළ ආර්ථික අර්බුදයක. ජනතාව ඉල්ලන්නේ ක්ෂණික විසඳුම්. එහෙම තත්ත්වයක් තුළ ඔවැනි කොන්දේසි දැම්මම?  


පොඩ්ඩක්වත් එහෙම නෙවෙයි. ඔය ගැටේටනම් කවුරුවත් අහුවෙන්න එපා. ආර්ථික අර්බුද ඇතිවෙලා තියෙන්නේ හොර බොරු වංචාව නිසා. වැරැදි ප්‍රතිපත්ති නිසා. මේ තියෙන අර්බුදය ප්ලාස්ටරයකින් වහලා හරියන්නේ නෑ. ශල්‍යකර්මයක් කරන්න ඕනෑ තැනට ශල්‍යකර්මය කරන්න ඕනැ. බොරුවට ‘ටටා’ කියලා එක මේසයක් වටේ වාඩිවෙලා කතා කරලා හරියන්නේ නෑ. හොරු ඔක්කොම වාඩිවුණාම හොරකම නැතිවෙන්නේ නෑනේ. දැන් අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. අයි.එම්.එෆ්. එකෙන් කියන්නෙත් මේවා කරන්න කියලයි. ඒගොල්ලන්ගේ කොන්දේසිත් මේවම තමයි. ආයි ඒකෙ දෙකක් නෑ. අපි මේ කරන්න හදන්නේ ආයෙත් පොඩි ප්ලාස්ටර් එකක් අලවාගෙන ප්‍රශ්නෙන් බේරිලා යන්න. එහෙම ගිහින් බෑ. එහෙම යන්නත් බෑ. ඒ නිසා මේ කොන්දේසි ඉටුකළ යුතුමයි. ඊට අමතරව අපි අයවැය පරතරය අඩුකළ යුතුයි. ඒ සඳහා ආදායම වැඩිකර ගන්න ඕනැ.  


?මේ මොහොතේ ඒක කරන්න පුළුවන්ද?  


ඇයි බැරි? ඒක කරන්න පුළුවන්. මංගල සමරවීර මැතිතුමාගෙ පළමු ගුණානුස්මරණය යෙදුණේ මේ සතියේ. එතුමා මොකක්ද කළේ. අයවැය පරතරය අඩු කරන්න එතුමා ගෙනාවා ආදායම් බදු පනතක්. අපි ඒක සම්මත කරගත්තා. ඒක අවුරුද්දකින් රටේ ආදායම සියයට 44 කින් ඉහළ ගියා. බදු ගෙවන්න ඕනෑ අය ඉන්නවනේ. පනත ගේනකොට බදු ගෙවන අය හිටියෙ නව ලක්ෂ අසූදාහයි. අන්තිමට මොකක්ද වුණේ. එක අවුරුද්දකින් ඒ ප්‍රමාණය ලක්ෂ 15 කින් වැඩි වුණා. ප්‍රාථමික ඉතිරියක් තිබුණෙ 1952 - 1955 ඒ වගේම 1972 දී විතරයි. හැබැයි 2017 - 2018 දි ප්‍රාථමික ඉතිරියක් ඇතිවුණා. අය වැය පරතරය 5 යි දශම 3 කට ගේන්න පුළුවන් වුණා. එහෙම වෙලා තියෙන්නේ ස්වල්ප වතාවයි. ඒ අනුව ඒ වගේ ප්‍රතිසංස්කරණ කළ යුතුමයි. එහෙම වුණොත් තමයි අයි.එම්.එෆ්. එකෙන් අපට සහයෝගය ලැබෙන්නේ. අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන්න යන්නේ ලොකු මුදලක් නොවෙයි. නමුත් අයි.එම්.එෆ්. එකත් එක්ක අපි ගිවිසුමකට ඇවිල්ලා අපි හරියට මූල්‍ය පාලනය කළොත් ‘රේටින්’ ඉහළ යනවා. එතකොට අපිට නැවත වෙළඳපොළට එකතු වෙන්න පුළුවන්.  


?ජාතික ආණ්ඩුවට සජබෙ නොගියත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හරි ආණ්ඩුවට යයි?  


මමනම් හිතන්නේ ඒකට ඉඩකඩ බොහොම අඩුයි. මොකද දැන් සම්පූර්ණයෙන්ම පැහැදිලියි අපි තනි තනි මන්ත්‍රීවරු හැටියට ගියොත් මොකක්ද රටේ මතය ‘සල්ලිවලට ගත්තා. සල්ලිවලට ගියා. තනතුරුවලට ගියා’. එහෙමනේ කියන්නේ. රටක් වෙනස් කරන්න බෑ පුද්ගලයන් ඔහොම අරගෙන. ඒක කරන්නම බැරි වැඩක්නේ. ඒ ප්‍රතිපත්තිමය තීන්දුයි ගත යුත්තේ. පක්ෂ හැටියට ප්‍රතිපත්ති හදාගෙන හරි මාර්ගයේ යන්න ඕනැ. ඔය මජර දේශපාලනයෙන් අපි අයින්​​ෙවන්න ඕනැ. ක්‍රම විධි වෙනස් කරන්න ඕනැ. ‘සිස්ටම් චේන්ජ්’ කියලා කිව්වේ ඒකනේ. මේක අමාරු දුෂ්කර ගමනක්. නමුත් නොවරදින ගමනක්. හදිසිවෙලා වැරැදි තීරණ නොගත යුතුයි. 

 
?ඔබටත් ලොකු ඇමැති ධුරයක් වෙන් කරලා කියලා ලොකු කතාවක් තියෙනවා?  


මං ගැන කියලා වැඩක් නෑ. මාව අඳුරන අය මාව අඳුරනවා. හැබැයි ආණ්ඩුවට අපි උපරිමයෙන් උදව් කරනවා. ආණ්ඩුව හරි තීරණ ගත්තොත්.

 

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්