විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම දේශපාලන භේදයකින් තොරව අගය කළ යුතුය. ජනතාවගේ වෛරයට හා විවේචනයට ලක්වූ එම වරප්‍රසාද තබාගැනීම වෙනුවෙන් විපක්ෂයවත් පෙනී නොසිටියේ ජනතා විරෝධය ඔවුන් හොඳින්ම දන්නා නිසා බව තේරුම් ගත හැකිය. ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත් නොවූයේ නම් මෙවැනි වරප්‍රසාද ඉවත් කිරීම සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබිණ.
එලෙසම මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් වටා වැඩී පෝෂණය වූ මජර සමාජ ක්‍රමය වෙනස් කිරීමත් ඉතා ඉක්මනින්ම සිදුවිය යුත්තකි.
මජර දේශපාලනයේ ආරම්භය ලෙස බොහෝ දෙනා 1977 ජේආර් ජයවර්ධන රජයට ඇඟිල්ල දිගු කළත් සැබැවින්ම මජර දේශපාලන ක්‍රමයක් ආරම්භ වූයේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව සමයේය. එය ජේආර් ජයවර්ධන විසින් උපාධි ලබාදී බල මුළු ගන්වා සිංහාසනාරූඨ කරන ලදී. එහෙත් ජේආර් එවැනි සමාජ ක්‍රමයකට පාඩම් ඉගෙන ගත්තේ සමගි පෙරමුණේ ඇතැම් ඇමැතිවරුන්ගේ ක්‍රියාකාරීත්වය තුළිනි. මන්ත්‍රීගේ නියෝගයෙන් රැකියා ලැයිස්තුව හැදුණු ක්‍රමය ආරම්භ කළේ 1956 බලයට පත්වූ ප්‍රගතිශීලි යැයි කියන බණ්ඩාරනායක රජය විසිනි. එම රජයේ පංචමහා බලවේගයට අයත් වූ මන්ත්‍රීවරුන් ගණනාවක්ම නම් දරා සිටියේ තානායාමේදී කාන්තාවන්ට රැකියා ලබාදෙන පුද්ගලයන් හැටියටය. ජේආර්ගේ ආණ්ඩුව මෙම ක්‍රමය තවත් වැඩිදියුණු කරමින් තමන්ගේම මන්ත්‍රීවරයා පළාතේ අධිරාජයා බවට පත් කළේය. අද වනතුරුම පැවත එන්නේ එකී මජර දේශපාලන සංස්කෘතියෙන් බිහිවූ රාජ්‍ය පාලන ක්‍රමයකි. හැත්තෑ හතේදී පාරට දැමූ පෞද්ගලික බස්රථ ව්‍යාපාරයට සිදුවූයේ සෑම උප නගරයකම ඉන්නා කප්පම්කාරයන්ගේ අතේ මුදලක් මිට මොළවා තම ගමන යන්නටය.
වයඹ පළාතෙන් කොළඹ යන බස් රථයකට මෙවැනි කප්පම් දෙන්නටම දිනකට සෑහෙන ගණනක් වැය විය. චන්ද්‍රිකා යුගය, මහින්ද රාජපක්ෂ යුගය, රනිල් වික්‍රමසිංහ යුගය යන සියලු පාලන කාල තුළ මෙම බස් කප්පම් ක්‍රියාත්මක විය. ජන අරගලයෙන් උපන් රජයක් බලයට පත්වූ පසු මෙවැනි කප්පම් නතර වනු ඇතැයි බලාපොරොත්තු වුවද නිල් කොළ බස් කප්පම් වෙනුවට අද රතු බස් කප්පමක් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකිය. මේ සියල්ල මන්ත්‍රී සැමට අයත් වරදාන ලැයිස්තුවේ කොටසක් බව සටහන් කළ යුතුය.
මන්ත්‍රීවරුන්ට ලැබුණු දීමනාව වැටුපක් බවට පරිවර්තනය වූයේ 1976 න් පසුවය. එතෙක් මන්ත්‍රීවරුන්ට ලැබුණු දීමනාව පැමිණීමේ දීමනාවක් විය. ඔවුන්ට තැපැල් ගාස්තු, දුරකථන ගාස්තු කාර්ය මණ්ඩල වියදම් වැනි කිසිම අමතර මුදලක් ද ගෙවනු නොලැබුණි. රජයේ ගබඩාවෙන් අඩු මිලට මෝටර් රථයක් මිලදී ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලැබී තිබිණ. මෙම මෝටර් රථ ද එකල විදේශ දූත මණ්ඩල සහ තානාපති කාර්යාල සඳහා ඒ ඒ රටින් ගෙන්වනු ලදුව ටික කාලයක් භාවිත කිරීමෙන් පසු රජයට විකුණන ලද වාහන විය. මේ පිළිබඳව 1972 වර්ෂයේ පුවත්පත් වාර්තාවක මෙසේ සඳහන් වේ.
කුණු කොල්ලෙට කාර්.... මැති ඇමැතියනට පමණයි....’ 4 ශ්‍රී බෙන්ස් රියක් රුපියල් 18700 ටද පර්ජෝ 404 රියක් රුපියල් 4800 කටද පර්ජෝ 403 රියක් රුපියල් 2800 ක් වැනි අඩු මිලකද ලබා ගැනීමේ වාසනාව ඇමැති හා උප ඇමැතීන් කිහිප දෙනකුට ලැබී තිබේ. අධිකරණ ඇමැති, මුදල් ඇමැති ඇතුළු 16 දෙනකු මෙවැනි අඩු මුදලට වාහන මිලදී ගෙන ඇත. මෙම වාහන වැඩිමිලට පිටස්තරයන්ට විකිණීමට තිබූ වාහන වේ’ යැයි ද එහි සඳහන් විය.
එකල එය දූෂණයක් ලෙස සඳහන් කර තිබුණේ සැපයීම් දෙපාර්තමේන්තුව සතු මෙම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා විශාල මුදලක් රජයට ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිකර මැති ඇමැතිවරුන් අතර බෙදාගත් නිසාය.
සැප සොයා දේශපාලනයට පැමිණි යුගයක් අතීතයේ නොවීය. එයට හේතුවූයේ දේශපාලනයට පැමිණියේ සැප තිබූ පංතිය වීමය. සැප නොතිබූ පංතිය දේශපාලනයේ රජවූයේ 1956 දීය. පොදුජන යුගයක් ලෙස නම්වූ මෙහිදී මැති සබයට ආ බොහෝ දෙනා ගැමි භාෂාවෙන් කියන ‘අල්ලේ සීනි කා තේ බිවූ’ පිරිසකි. කවි කොළකරුවන්. සිංහල වෙද මහත්වරුන් වැනි 56 පෙරැළියෙන් උපන් මහජන නියෝජිතයන්ට සැප ලැබුණේ මන්ත්‍රී වුණාට පසුවය.
1970 වන විට පාර්ලිමේන්තු වරම් ලැබූ බොහෝ දෙනා උපන් ගෙයිදී සැප ලැබූ අය නොවූහ. ආණ්ඩු මාරුවේදී ධනවතුන්ගේ පක්ෂය ලෙස සැලකුණු එජාපය මන්ත්‍රී ආසන හතට බැස්සේය. වාමාංශිකයන්. වෘත්තීය සමිති නායකයන් හා පනස්හයේ දරුවන්ගේම දිගුවක් ලෙස ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තු ආ බොහෝ දෙනාට සැප පහසුකම් ලැබුණේ මන්ත්‍රී දිවියේදීය. එකල අල්ලස හා දූෂණය පිළිබඳව පුවත්පත් පිටු ගණන් පිරී ගියේ තුනෙන් දෙකක බලයක් සහිතව ආ සමගි පෙරමුණට පාලන බලය ලැබුණු පසුවය. මන්ත්‍රීවරුන්ගේ වත්කම් පනත සම්මත කිරීමට සිදුවූයේත් සමග පෙරමුණු රජය සමයේදීය.
1977 ජේආර්ගේ හයෙන් පහක ජයග්‍රහණයත් සමග මන්ත්‍රීවරයා යන පුද්ගලයා එතෙක් මෙරට නොසිටි වෙනස්ම ආරේ පුද්ගලයකු බවට පත්විය. දාමරිකයන් මන්ත්‍රී වුණේත් මන්ත්‍රීවරුන් දාමරිකයන් වූයේත් ජේආර්ට ලැබුණු හයෙන් පහක බලයෙන් පොල් කෝම්බත් පාර්ලිමේන්තුවට සේන්දු වූ නිසාය. මත්පැන් පානය නිසාම අකාලයේ මියගිය මන්ත්‍රීවරුන් සිටියේත් ජේආර්ගේ පාලනයේය. පිස්තෝලය සාක්කුවේ ඔබාගෙන ගමන් බිමන් ගිය මන්ත්‍රීවරුන් සිටියේත් ජේආර්ගේ පාලනයේය. මැති ඇමැතිවරුන්ට දීමනා, නිල රථ, නිල ආරක්ෂකයන්, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට වසර පහකින් විශ්‍රාම වැටුප් ආදිය හිමිවූයේත් ජේආර්ගේ පාලන සමයේදීය.
එහෙත් මේ බොහෝ දේට හේතු සාධක තිබිණ. මන්ත්‍රීවරුන්ට දැඩි ආරක්ෂාවක් මෙන්ම දැඩි ලෙස ආරක්ෂක විධිවිධාන ඇති වෙඩි නොවදින වාහන අවශ්‍ය වූයේ උතුරේත් දකුණේත් පැතිර ගිය ත්‍රස්තවාදය නිසාය. ජනාධිපති ජයවර්ධන මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් අවශ්‍ය වූයේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග ජවිපෙන් නැග ආ සන්නද්ධ අරගලය නිසාය. 1987 නොවැම්බරයේ පුවත්පත්වල පළවූයේ ජනාධිපතිවරයාට වෙඩි නොවදින බෙන්ස් රථයක් ඇණවුම්කර ඇති බවය. ඒ වනතුරුත් එවැනි රථයක් තිබුණද එය සාමාන්‍ය භාවිතයටවත් නුසුදුසු රථයක් බවද ජනාධිපති වසර ගණනාවකින් එම රථය පාවිච්චි නොකළ බවද එහි දැක්විණ. එයට හේතු වූයේ එතෙක් කාලයකට ජනාධිපතිවරයාට ජීවිත තර්ජනයක් නොතිබීමය. එමෙන්ම මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස සන්නද්ධ වීමට සිදුවූයේත් දැඩි ආරක්ෂාවක් අවශ්‍ය වූයේත් 1987 භීෂණ සමයේ එල්ල වූ ජීවිත තර්ජන නිසාය. පොලිස් ආරක්ෂකයකු සමග ගිය තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ සූරියවැවදී ජවිපෙ තුවක්කුකරුවන් අතින් වෙඩි කා මියගිය පසු සියලු මන්ත්‍රීන්ට ආරක්ෂාව සැලසීමට රජයට සිදුවිය. එය ද එතෙක් දෙදෙනකු වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව සිව්දෙනකු ලෙසය. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළ ජූලි මාසයෙන් පසු දකුණු පළාතේ මන්ත්‍රී නිවාස කිහිපයකටම ප්‍රචණ්ඩ පිරිස්වලින් තර්ජනය එල්ල විය. මේ නිසා මන්ත්‍රී නිවාසවලටද ආරක්ෂාව සැපයිනි. එවැනි වැඩපිළිවෙළක් ජවිපෙ කැරැල්ලට පෙර තිබුණේ නැත. ඒ නිසා මන්ත්‍රීවරයා සන්නද්ධ වීම ඔහුගේ පමණක් තීන්දුවක් නොවන බවත් සමාජයෙන් මතුවූ තර්ජන හේතුවෙන් ගනු ලැබූ පියවරක් බවත් අද බොහෝ දෙනාට අමතකව ඇත.
මෙහිදී රට තුළ බහුලව පැතිර පවතින මතයක් වන්නේ 1977 දී හයෙන් පහක ජනවරමකින් බලයට ආ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමයක්ද හඳුන්වා දුන් බවය. ජේ.ආර්. විධායක ජනාධිපති ධුරය ඇතිකළ පසු රටේ ඇතිවූ දේශපාලන තත්ත්වය මත ජේආර්ට දෝෂාරෝපණය කළ අය මෙම මතයද ජනගත කළහ. එහෙත් එය වැරදි මතයකි. මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය සම්මත කර ක්‍රියාත්මක කළේ ජේආර්ට පෙර පැවැති සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු රජයෙනි. ජේආර් බලයට ආවේ 1977 ජූලි මාසයේය. එහෙත් මෙම පනත 1976 වසරේ දෙසැම්බර් 21 වැනිදා එකල පාර්ලිමේන්තුව වූ ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කළේ එවක ජාතික රාජ්‍ය සභාවේ සිටි සියලු පක්ෂවල එකඟතාවෙනි. පනත කෙටුම්පත් කළේ මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. එහෙත් 1976 මුල භාගයේ සම සමාජ පක්ෂය රජයෙන් ඉවත්ව යාමෙන් පසු මුදල් ඇමැති වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මෙම පනත ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කළේය. පනත විවාද කිරීමේ අවස්ථාව වූ දෙවැනි වර කියවීම සිදුකළේ කේ.බී. රත්නායක ඇමැතිවරයාය.
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදීමේ යෝජනාව ජාතික රාජ්‍ය සභාවේදී සම්මත වූයේ 1976 දෙසැම්බර් 21 වැනිදාය. පනත දෙවැනිවර කියවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ එවක පාර්ලිමේන්තු කටයුතු ක්‍රීඩා හා ප්‍රවාහන ඇමැති කේ.බී. රත්නායක මන්ත්‍රීවරුන් වශයෙන් අවුරුදු ගණනාවක් මහජන සේවයේ යෙදීමෙන් තමන්ගේ ධනයත් ශ්‍රමයත් වැයකර තම වතුපිටි පවා විකුණා ආර්ථික අතින් අමාරුවට පත්වූ මන්ත්‍රීවරුන් ගැන දන්නා නිසා මෙවැනි පනතක් ඉදිරිපත් කළ බව කීවේය. විශේෂයෙන්ම 1956 ට පසුව ජාතික රාජ්‍ය සභාවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ආර්ථික අතින් සතුටුදායක අයයැයි කිව නොහැකි බවද ඇමැතිවරයා පැවසුවේය.
සමගි පෙරමුණු රජය බලයට පත්වූවාට පසුව මන්ත්‍රීවරුන්ට තිබූ අපහසුතා කීපයක්ම නැතිකර දුන් බවත් මන්ත්‍රීවරුන්ට ලේකම්වරුන් ලබා දෙන්නටත් දීමනා ගෙවීමවත් විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට රජයේ ගබඩාවෙන් සාධාරණ මිලකට වාහන මිලදී ගැනීමට පහසුකම් සලසාදීම ගැනත් පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා ලෙස තමා සතුටු වන බවද කේ.බී. රත්නායක පැවසුවේය. මන්ත්‍රීවරුන්ගේ සැප පහසුව ගැන බැලූ රජය සමගි පෙරමුණු රජය බවද රත්නායක ඇමැතිවරයා කියා සිටියේය.
මෙදා මන්ත්‍රීවරුන්ගේ වැටුප් පිළිබඳව සැබෑ සංඛ්‍යාලේඛන එළියට ආවේ ජගත් විතාන මන්ත්‍රීවරයා ඉකුත් කාලයේ පාර්ලිමේන්තුවෙන් ලැබුණු තම මාසික වැටුප් පත්‍රිකාව සමාජ මාධ්‍යයෙන් පළ කිරීමත් සමගය. විපක්ෂ මන්ත්‍රීවරයකු වන ඔහුගේ මාසික වේතනය රුපියල් තුන්ලක්ෂ හතළිස් දහස ඉක්මවයි. රුපියල් පනස් හතරදහසක් වන මාසික වේතනයට කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද දුරකථන දීමනාව ලෙස රුපියල් පනස් පන් දහසක්ද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් පහළොස් දහසක්ද ඉන්ධන දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් පහළොස් දහසක්ද හිමි වෙයි.
මැති ඇමැති සැප හා වරප්‍රසාද ලැබෙන්නේ වැටුපෙන් පමණක් නොවේ. මෙරට ඇතිකර තිබෙන දේශපාලන ක්‍රමය අනුව ඉකුත් කාලයක් පුරාම ඉන්ධන පිරවුම්හල් ලබා දුන්නේ දේශපාලන හිතවත්කම් අනුවය. පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත්‍රය ලැබෙන්නේ මන්ත්‍රීවරයාගේ අනුමැතිය යටතේය. මේ සියල්ල සඳහා අදාළ ව්‍යාපාරිකයා පළාතේ මන්ත්‍රීවරයාට අත දිග හැර වියදම් කරයි. එවැනි බොහෝ වාසි ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී ලැබෙන්නේ මන්ත්‍රීවරයාගේ අනුමැතිය යටතේ ඔහුගේ හිතවතුන්ටය. මැති ඇමැති සැප අවසන් කිරීම සඳහා මේ සියල්ලද ස්වාධීන ක්‍රමෝපායයකට ලබාදීම අවශ්‍යය.
මේ සියලු සැප කේන්ද්‍රගතව ඇත්තේ රටේ මුල් පුටුව සමගය.
අපගේ වැටහීම නම් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කිසිම ජනාධිපතිවරයකු කැමැති නොවන බවය. එයට හේතුව නම් විශ්‍රාම ගිය පසු එම ධුරය දැරූ කාලයට අදාළ නඩු හබවලින් ගැලවීමේ වුවමනාවය. ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව ඔහු විශ්‍රාම ගිය පසු කිසිවකුත් නඩු පැවරුවේ නැති වුවත් පසුකාලීන ජනාධිපතිවරුන්ට එවැනි නඩු කිහිපයකට ලක්වන්නට සිදුවිය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන් එක් අයෙකි. ඔහු එම ධුරය දැරූ සමයේ විධායක ජනාධිපතිධුරය යම් සංශෝධනයකට ලක්කළ අතර ජනාධිපතිවරුන්ට නඩු කටයුතුවලින් බේරීමට ඇති මුක්තියද ඉවත් කෙරිණි. සිරිසේන ජනාධිපතිවරයා තමාට ද හානිකර විය හැකි මුක්තිය අහිමි කරන සංශෝධනයට නිර්භවය ඉදිරිපත් වීම ගැන අපගේ ගෞරවයද ඔහුට පුදකළ යුතුය. එහෙත් ඉන්පසුව ආ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කළ ව්‍යවස්ථා සංශෝධන මගින් ඉවත් කළ මුක්තිය ඇතුළු සංශෝධන යළි සක්‍රිය කරමින් ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ඒ අනුව මුක්තිය නැතිව ගියේ හිටපු ජනාධිපති සිරිසේනට පමණය. පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු ගණනාවකට ඔහු වගඋත්තරකරුවකු කර නඩු පැවරීම ඔහු විශ්‍රාම ගිය පසු සිදුවිය.
සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ බොහොමයක් වත්මන් රජය මෙන් අතිවිශාල බහුතරයකින් බලයට පත්වන අනාගත රජයකින් ජනතා අත්පොළසන් මැද අත්හිටුවා පැරණි වරප්‍රසාද යළි පිහිටුවීමේ අවදානමක් මතුවිය හැකි බවද අපගේ සිහියට ගත යුතුය. එයට හේතුව වන්නේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ මහපාරට බැස අරගල කළ විරෝධතා ව්‍යාපාරයකින් පසු බලයට ආ රජයක් විසින් සිදුකරන ප්‍රතිසංස්කරණ වීමය. ඡන්ද දායකයන්ගෙන් අඩක්ම විරුද්ධ පක්ෂය සමග සිටින බවද අප අමතක නොකළ යුතුය. සිදුවිය යුත්තේ කල් පවත්නා ප්‍රතිසංස්කරණ මිස තවත් ජනරැල්ලකින් පසු බලයට එන රජයක් මගින් යළිත් වෙනස් කරන ප්‍රතිසංස්කරණ නොවේ. උදාහරණයක් ලෙස ගන්නේ නම් 2015 දී මෙවැනිම ජනරැල්ලකින් බලයට ආ යහපාලන රජය විධායක ජනාධිපති ධුරයේ බලතල යම් සංඛ්‍යාවක් අහෝසි කළ ද එම රජය පෙරළා දමමින් 2019 දී බලයට ආ රජය මගින් එම බලතල යළි පිහිටුවා පූර්ණ විධායක බලැති ජනාධිපති ධුරය යළි පිහිට වූ ආකාරය අපට හොඳින්ම මතකය. ඒ නිසා මෙම රජය සිහි තබාගත යුත්තේ පාරට බැස ආණ්ඩු පෙරළුෑ ජනරැල්ලට අවශ්‍ය ලෙස යම් යම් තනතුරුවල වරප්‍රසාද සීමා කළද අනාගත රජයක් ජනතා කරපිටින් බලයට පැමිණ මෙම වරප්‍රසාද යළි පිහිටුවීමේ ඉඩක් ඇති විය හැකි බවය. ඒ නිසා සියලු ජනතාවගේ සහයෝගයෙන් මෙම ප්‍රතිසංස්කරණ සිදුවන්නේ නම් එය කල් පවත්නා විසඳුමක් වනු ඇති බවට සැකයක් නැත.
ප්‍රේමකීර්ති රණතුංග