මහින්ද මහත්තයට වචනයක් අහන්න දෙන්න බැරි නිසා මම බිල ගෙව්වා


ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත

මිනිසුන්ගේ ලයිට් බිල් මට ගෙවන්න බෑනේ. ලංකාවේ සියලුම දෙනා යුද්ධයට පපුව තියන්න ගියෙත් නෑ. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියන නායකයා

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගෙවුණු සතියේ මුළු රටේම අවධානය දිනාගැනීමට සමත් විය. ඒ නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන විදුලි බිලක් ගෙවීම සම්බන්ධයෙනි. ඒ ඇයි? සනත් නිශාන්ත මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධයෙනි. 


?ඔබ නාමල් රාජපක්ෂගේ ලයිට් බිලක් ගෙව්වා. මොකක්ද මේ බැඳීම?


පිළිතුර- නාමල් මහත්තයාට අයිති ලයිට් බිලක් නොවෙයි ඒක.


?එහෙනම් කාටද අයිති?


පිළිතුර- ඇත්තටම ඒක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා දාපු විදුලි පහන් වෙනුවෙන් ඇති ලයිට් බිලක්. ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශයේ ඉල්ලීම පරිදි හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියා තමයි ඉල්ලලා තියෙන්නේ. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් සහභාගිවෙන නිසා මේ අවස්ථාවට විදුලි පහන් සපයන්න කියලා.


එතකොට ඒ සඳහා තමයි විදුලිය සැපයීම කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ලියුම් හුවමාරු වෙලා තියෙනවා. එවෙලේ හිටපු විදුලිබල ඇමැති කියන්න ඇති විදුලිය සැපයුම දෙන්න කියලා. එහෙම දුන්නට පස්සේ ගෙවීමට අදාළ ලියුම් දෙපැත්තට හුවමාරු වුණා මිසක් කවුරුවත් මේක ඇඟට ගත්තේ නෑ.


?නාමල් රාජපක්ෂ ගේ ‘වෙඩින් එකට නේ ලයිට්’ ගත්තේ?


පිළිතුර- නමුත් නාමල් මහත්තයගේ හෝ මහින්ද මහත්තයගේ හෝ නමට නැති නිසා ඒක ඔවුන්ට අදාළ නෑ. මහින්ද මහත්තයාගේ ආරක්ෂක ප්‍රධානියා හිතන්න ඇති මේක ජනාධිපති ආරක්ෂක අංශයෙන් ගෙවනවා කියලා. මේක ඔහොම ගිහිල්ලා විදුලි බල මණ්ඩලයෙන්වත් කාටවත් ලියුම් යවලා නෑ.


?මෙච්චර ලොකු බිලක් තිබියදීත් ලයිට් කපලත් නෑ ?


පිළිතුර- ඔව්, සමහර අය කියනවා දුප්පත් මනුස්සයෙකුගේ රුපියල් තුන් හාර දහසක බිලක් නොගෙව්වොත් ලයිට් කපනවා කියලා. ඔව් කපනවා තමයි. හැබැයි මේ ලයිට් බිල ඇවිත් තියෙන්නේ මහින්ද මහත්තයාගේ කාල්ටන් ගෙදරටවත්, වීරකැටියේ ගෙදරටවත් නොවෙයි. මේක තාවකාලිකව යොදපු ආරක්ෂක විදුලි පහන්. ඒ බිල තමයි මේ.


?එතකොට මේ බිල ගෙවන්න ඕනැ කවුද?


පිළිතුර- ඇත්තටම මේ බිල ගෙවන්න ඕනෑ ජනාධිපති ආරක්ෂක අංශයෙන්.


?එහෙමනම් දුවගෙන ගිහින් ඔබ ගෙව්වේ?


පිළිතුර- මේ බිල අරගෙන සමාජ මාධ්‍ය ජාල හා සමාජය තුළ ප්‍රශ්නයක් ඇති කළා මහින්ද මහත්තයා ණයයි කියලා. මේ මනුස්සයා තිස් අවුරුද්දක් තිබුණ යුද්ධය අවසන් කරපු නායකයා. මේ රට වේගයෙන්ම සංවර්ධනය කරපු නායකයා. ඔබට මට හෘදය සාක්ෂියක් තියෙන මිනිස්සු හැටියට හිතලා බලන්න. මහින්ද මහත්තයා 2005 දි රට බාර ගන්නකොට රටේ තුනෙන් එකක් කොටින්ගේ අතේ තිබුණේ. පළාත් දෙකක් පුරන්වෙලා තිබුණේ. විදුලිය නැතිව, පානීය ජලය නැතිව, මං මාවත් නැතිව විනාශ වෙච්ච පළාත් දෙකක් තිබුණේ. මුහුදෙන් තුනෙන් එකක් කොටින්ගේ අතේ තිබුණේ.


මේ මනුස්සයා යුද්ධය අවසන් කරලා මේ පළාත් දෙකත් සංවර්ධනය කරලා රටේ අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් හදලා, මංමාවත් හදලා මුළු රටම එක් මිටට සංවර්ධනය කරපු නායකයා. ලෝකයේ බලගතුයි කියන රටවල් කතා කරලා කිව්වා ‘මේ යුද්ධය ඔයාලට දිනන්න බෑ. කතා කරලා බේරාගන්න කියලා. හැබැයි හිතුවක්කාර තීන්දුවක් අරන් මේ මනුස්සයා යුද්දෙ අවසන් කළා. එහෙම කරපු මේ මනුස්සයා කවදා හරි මැරෙන දවසට මේ රටට ණය නැති මනුස්සයෙක් විදියට මැරෙන්න ඕනෑ. ඒ ගෞරවාන්විත ජීවිත සමුගැනීම මේ මනුස්සයාට අහිමි වෙනවා, මේ විදියට දෙපැත්තට ඇද ඇද හිටියොත්. මහින්ද මහත්තයාට, නාමල් මහත්තයාට බිලක් ඇවිල්ලා නෑ. ආරක්ෂක අංශ ප්‍රධානීන් දෙපැත්තට ලියුම් හුවමාරු කර කර ඉඳලා. සමාජ මාධ්‍ය ජාලාවල මේ බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ මේ මනුස්සයාව හොරෙක් කරන්න හදනවා. එහෙම කරන්න දෙන්න පුළුවන්කමක් නෑ. මොකද මහින්ද මහත්තයා හොරෙක් නොවෙයි. ඒක මම හොඳටම දන්නවා. එයා මේ රටට වැඩ කළ අවංක නායකයෙක්. ඒ මනුස්සයාට වචනයක් අහන්න දෙන්න බැරි නිසා තමයි මම මැදිහත් වෙලා බිල ගෙව්වේ. 


?ඔබට ඔච්චර සල්ලියක්?


පිළිතුර- මම ගෙව්වේ මගේ පෞද්ගලික ව්‍යාපාර ගිණුමකින්. ව්‍යාපාරයේ නම ‘රෝයල් කෝ ඇක්වා කල්චර් ප්‍රයිවට් ලිමිටඩ්’. මහජන බැංකුවේ වෙන්නප්පුව ශාඛාව. අත්සන් කළේ මම. ඒ සමාගමේ හිමිකරු හැටියට.


මේකේ මුදල් හම්බ කරලා තියෙන්නේ අපි බදු ගෙවන රටට ඩොලර් උත්පාදනය කරන ව්‍යාපාරිකයෙක් හැටියට. එක පැත්තකින් අභිජනනාගාර  හිමිකරුවෙක් හැටියට හා ඉස්සන් ගොවිපළවල්වලින් එන ආදායමෙන් තමයි මේ බිල ගෙව්වේ. ඕනෑම කෙනකුට මේවා හොයලා බලන්න පුළුවන්.


?දවස් හතක් මඟුල් කෑවත් ඔය තරම් ලක්ෂ ගණනක බිලක් එන්නේ කොහොමද?


පිළිතුර- මේ බිල ගැන නාමල් රාජපක්ෂ මහත්තයා ඔබට කතා කරන්න පැයකට කලින් කතා කළා. එතුමා මේක ගැන හොයලා බැලුවම මේකේ ඇත්තම බිල තියෙන්න ඕනැ රුපියල් පනස් හත් දහසක් කියලා තමයි පේන්නේ. නමුත් මේ ලේඛනවල මොකක් හරි වැරැද්දක් තියෙනවා. ඒ නිසා ඒ ගැන හොයලා බලමු කියලා නාමල් මන්ත්‍රීතුමා කිව්වා.


?බැරිවෙලාවත් ඒ ගාණ නම් තියෙන්නේ?


පිළිතුර- ඒ ගාණනම් තියෙන්නේ මම මෙතැන ගෙවලා තියෙනවා. ඉන්න මම හරිම ගාණ කියන්නම් රුපියල් විසිහය ලක්ෂ අසූ දෙදාස් දෙසීය හතළිස් හයයි ශත පනස් හතක්. ඔය ගාන ගෙවලා තියෙනවා. බිල හරියටම හැදුවම මම වැඩිපුර ගෙවලා තියෙනවා නම් විදුලි බල මණ්ඩලය මගේ සමාගමට ඒ වැඩිපුර ගාණ ආපහු දෙයි.


?ජනතාවගේ ලයිට් බිලත් වැඩියි. ජනතාව ඉන්නේ කරන්ට් වැදිලා වගෙයි?


පිළිතුර- මිනිසුන්ගේ ලයිට් බිල් මට ගෙවන්න බෑනේ. ලංකාවේ සියලුම දෙනා යුද්ධයට පපුව තියන්න ගියෙත් නෑ. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියන නායකයා. මහින්ද රාජපක්ෂ කියන නායකයයි, ලංකාවේ සාමාන්‍ය පුරවැසියයි අතර ලොකු වෙනසක් තියෙනවා. කාටහරි හිතෙනවා නම් මහින්ද මහත්තයයි සාමාන්‍ය පුරවැසියයි එක්කෙනෙක් කියලා ඒක වැරැදියි. එහෙම එකක් නෑ. 


මහින්ද මහත්තයා කියන්නේ සුවිශේෂීම නායකයෙක්. ඒ නායකයාගේ බිල තමයි මම ගෙවලා තියෙන්නේ. එහෙම ගෙවන්න හේතුව මම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නවානම්, මම දිස්ත්‍රික් නායකයෙක් වෙලා ඉන්නවා නම්, ජලසම්පාදන රාජ්‍ය ඇමැතිවෙලා ඉන්නවා නම්, හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නවා නම් ඒ මහින්ද රාජපක්ෂ කියන නායකයාගේ දැවැන්ත සහයෝගයෙන්. මම ඉටුකළේ පෙරළා මගේ යුතුකම.


?ජූලි 9 වැනිදා ඔබේ නිවෙසත් ඔබේ සහෝදරයාගේ නිවෙසත් ගිනි තියලා විනාශ කළා. ඔබ ඒකට වන්දි මුදල් ලබාගත්තා?


පිළිතුර- නෑ. තාම ශත පහක්වත් ලැබී නෑ. වන්දි ලැබෙනවා නම් මම ගන්නවා. මොකද මම දහදිය මහන්සියෙන් හම්බ කරපුවා අරගලකාරයෝ විනාශ කළා නම් ඒකට අරගලකාරයෝ වන්දි ගෙවන්න ඕනෑ! ආරක්ෂක හමුදාව බලාගෙන හිටියානම් ගෙවල් ගිනි තියනකම් ආරක්ෂක හමුදාවත් වග කියන්න ඕනෑ අපේ ගෙවල් ගිනි තියපු එකට. මගේ ගේ ගිනි තියන වෙලාවේ පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරින් 25ක් 30ක් විතර හිටියා. එයාල උඩට වෙඩිල්ලක්වත් තියන්නේ නැතිව ගෙවල් ගිනි තියනකම් බලාගෙන හිටියානම් අපේ දේපොළ රටේ දේපොළ රටේ පුරවැසියකුට යම් අසාධාරණයක් වුණොත් ඒකට රජයෙන් ගෙවනවා. මටවත් මගේ සහෝදරයටවත් තාම වන්දි ලැබුණේ නෑ. නමුත් මට ලැබුණොත් මම ඒක ගන්නවා.


?නමුත් ඔබට රක්ෂණයෙන් මුදල් ලැබුණා?


පිළිතුර- ඒක මට නොවෙයි බැංකුවටයි ලැබුණේ. ණය ගන්නකොට දාපු රක්ෂණයට අනුව ඒ මුදල බැංකුවටයි යන්නේ.


?ඔබට රටේ ජනතාවගේ ලයිට් බිල ගෙවන්න බෑ. නමුත් ලයිට් බිල වැඩි කිරීමට එරෙහිව ජනතාව වෙනුවෙන් ඔබට කතා කරන්න පුළුවන්.


පිළිතුර- ලයිට් බිල අඩු කරන්න කතා කරන්න පුළුවන්. නමුත් කතා කළා කියලා ලයිට් බිල අඩු කරන්න බෑ. මොකද රටක ආදායම් මාර්ග අවහිර කළාම. රටට විදේශ විනිමය එන සංචාරක කර්මාන්තය කඩා වැටුණාම, විදේශ විනිමය එන සකල විධි කර්මාන්ත කඩා වැටුණාම, කර්මාන්තශාලා ඇතුළේ බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ ඔවුන්ගේ දේශපාලන වෘත්තිය සමිති විසින් කර්මාන්තශාලා ඇතුළේ ප්‍රශ්න හදලා සංහිඳියාවන් නිෂ්පාදනයන් වැට්ටුවම රට ඇතුළේ සන්නද්ධ ක්‍රියා කරලා විනාශ කළාම කොහොමද විදුලිබිල අඩු කරන්නේ? ඒ නිසා මේ ආර්ථික පීඩනයට වගකිව යුත්තේ ඔය බංකොලොත් දේශපාලන පක්ෂයි.

 

 

සාකච්ඡා කළේ 
■ ප්‍රසන්න සංජීව
තෙන්නකෝන්