මහජන නැගිටීම් ඇතිවීම සාදාරණයි


උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති 

සුරේන් රාඝවන් 

රටේ අලු‍ත් දේශපාලන තත්ත්වය පිළිබඳ හා සරසවි සිසු මර්දනය සම්බන්ධයෙන් නැගෙන චෝදනාවන්ට අදාළව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් මහතා සමඟ කළ සාකච්ඡාවකි. 


ප්‍රශ්නය- මෙහෙම ගිහින් රටට මොකක් වෙයිද? 


පිළිතුර- කොවිඩ් ශාරීරික දෙයක් වුණාට සමාජයීය, ආර්ථික හා රාජ්‍යකරණය දක්වා පැතිරිලා ගියා. ඒකත් එක්කම ගෝලීය ප්‍රාග්ධනයේ හැසිරීම ලොකු විදියට බලපෑවා. තුන්වැනි කාරණය ගත්තොත් දැනට ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් පහම අර්බුදකාරී තත්ත්වයක තිබෙන්නේ. වෙනිසියුලාවේ තියෙන තත්ත්වය, ඉරාණය අර්බුදයක තියෙන්නේ. ඉරාකය හා ලිබියාව කියන රටවල් දෙකම නිසි පාලනයක් නැති තත්ත්වයක තියෙන්නේ. රුසියාව යුක්රේනය සමඟ යුද්ධයක. අපේ ආර්ථිකය බොරතෙල් මත යැපෙන ගෝලීය ආර්ථිකය තුළ දෙවැනි කොරෝනාවක් බවට පත්වෙලා. අතිශයින්ම දුර්වල ආර්ථිකයක් තියෙන අපේ වගේ රටකට මේ තත්ත්වය තදින්ම බලපාලා තියෙනවා. මේ තුළ ජන ජීවිතය අවුල් වෙනවා. එම අවුල්වීම තුළ මහජන නැගිටීම් ඇතිවීම සාධාරණයි. අපේ රට අතිශය දරුණු ආර්ථික අර්බුදයකට ගිහින් තියෙනවා.

 
ප්‍රශ්නය-  මගේ ප්‍රශ්නය වුණේ රට මෙතැනින් කොතැනටද කියලයි? 


පිළිතුර- ඔව්. මේ තත්ත්වය කළමනාකරණය කරගන්න නම් මේ ප්‍රශ්නය මතු වුණේ 1948 ඉඳලා අපේ ආර්ථිකය නිවැරැදිව හසුරුවා ගැනීමට අසමත් වූ නිසයි. ඒකට හේතුව ආර්ථිකයට වඩා වාර්ගික දේශපාලනික බලය ලබා ගැනීමේ තරගවල අපේ ප්‍රභූ පන්තිය නියැලීමයි. පක්ෂ වශයෙන් බෙදී තිබීම ඒකීය රාජ්‍යයක් තුළ සමගියෙන් ගමන් කිරීම වෙනුවට බලය ලබා ගැනීමේ දේශපාලනය ඉදිරියට ආවා. දිගින් දිගටම අපි දකින්නේ ආර්ථික වර්ධනය තුළ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවට තමන් බලයට එන්නේ කොහොමදැයි කියලා සියලු‍ම පක්ෂ ප්‍රභූ පැලැන්තිය කල්පනා කරනවා. ඒකට විරුද්ධ 71, 87 - 89 අවුරුදුවල කැරලි මතු වුණා. උතුරේ කැරැලි ඇතිවුණා. මේ මොහොතේ බෙදුම්වාදී සටනක් තිබුණේ නැති වුණාට නැවතත් අර සමාජ පද්ධතියේ කඩා වැටීම නිසා ඔවුන් පුරවැසියන් හැටියට රාජ්‍යකරණයෙන් ඉල්ලා සිටිනවා ‘කරුණාකර අපට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න’ කියලා. ජනතාව අවුරුදු පහකට වරක් ආණ්ඩුවක් පිහිටුවනවා. අද අපේ රටේ මිලියන 8ක් පමණ සේවකයන් ඉන්නවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයෙ. ඒකෙන් මිලියන හතරාමාරක් පමණ ගොවීන් සහ ධීවරයන්. ඒ අය කවදාවත් ආණ්ඩුවෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. ඔවුන් කියන්නේ ඔවුන්ගේ වෘත්තිය ව්‍යාපාර කරගෙන යන්න සුබදායී තීන්දු ගන්න කියලයි. නමුත් ඒ තීරණ ගන්න බෑ මේ මොහොතේදී මොකද ඒ ඔක්කොම ආර්ථිකයට ගැට ගැහිල තියෙන්නේ. අද රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවාගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ. 


ප්‍රශ්නය-  ඔබේ පඩිය ලැබුණද? 


පිළිතුර- ඇත්තටම මගේ පඩිය තාම ලැබිලා නෑ. මන් දන්නෑ මොකක්ද හේතුව කියලා. මගේ මන්ත්‍රී පඩිය තාම ලැබුණෙ නෑ. 


ප්‍රශ්නය-  මෙච්චර ප්‍රශ්න තිබියදීත් රාජ්‍ය ඇමැතිධුර දෙනවා. කැබිනට් ඇමැතිකම් දෙන්න යනවා. මේවා ජනතාව ඉවසයිද? 


පිළිතුර- ඔබේ ප්‍රශ්නයෙ කොටස් දෙකක් තියෙනවා. මිනිස්සු ඉවසයිද කියන එක දෙවැනි කොටස. පළමුවැනි කොටසේ තියෙන්නේ ඇමැතිකම් දීමට යන වියදම. කවුරුවත් තාම ගණන් හදලා නෑ. අපේ කැබිනට් මණ්ඩලයට රාජ්‍ය ඇමැතිවරුන්ට කොච්චර මිලියන ගානක් යනවද කියලා. මමත් හදලා නෑ. මම කැමැතියි කවුරුහරි ඒක කියනවා නම්. මේ අර්බුදයෙන් ගොඩඑන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි විසඳුම් සඳහා පොදු සම්මුතියක් ඇති කර ගැනීම. බලයේ ඉන්න පක්ෂය කියනවා අපට විසඳුමක් තියෙනවා මේක තමයි විසඳුම කියලා. විපක්ෂයෙ එක කණ්ඩායමක් කියනවා නෑ අපි ඕකට එකඟ නෑ. අපි බලයට ආවම ක්‍රියාත්මක කරන්න අපි ළඟ සාධනීය වැඩපිළිවෙළක් තියෙනවා කියලා. මේ විසංවාදය ඇති වෙන්නේ පොදු යහපත් විසඳුමක් ලබා ගැනීමට තිබෙන කාලය පරක්කුවීම. මේ කඩා වැටීමේ වේගය තවත් වැඩිවීම. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව තුළ මහජන සභාව පිහිටුවන්නේ. 


ප්‍රශ්නය- නමුත් ඒකට සජබේ ශ්‍රීලනිපය වගේම ස්වාධීන වූ මන්ත්‍රීවරුන් එන්නේ නෑ. 


පිළිතුර- ඒක තමයි මෙතැන තියෙන ප්‍රශ්නය. එවැනි පොදු සම්මුතියක් අවශ්‍යම කාලයක් මේ. මේ වගේ අර්බුදයක් තියෙන වෙලාවක එකතුවීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක සම්ප්‍රදාය. ලෝක යුද්ධයේදී මේක සිද්ධ වුණා. ඇමෙරිකාවෙත් සිදුවෙලා තියෙනවා. දැන් ආර්ථිකය ගොඩගන්න එකතුවෙන්න කියන කාරණය තුළ සම්මුතිවාදයක් අපේ රටේ ඇති වෙන්නේ නෑ. පක්ෂ පක්ෂ අතර ප්‍රශ්න තියෙනවා. එතැනදි රජය තීරණයක් ගන්නවා එකතු වෙන්න පුළුවන් කණ්ඩායම් එකතු කරගන්න. ඒ එකතු කර ගැනීම තුළ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ වගකීමක් දෙයි කියලා. 


ප්‍රශ්නය- වගකීමක් කියන්නේ ඉතින් ඇමැතිකමක් තමයි. 


පිළිතුර- ඔය ප්‍රශ්නයට මම මගෙන් කියන්නම්. මම කිව්වා මම අනිවාර්යයෙන්ම මගේ දායකත්වය මම ලබාදෙනවා. රජය කඩා වැටෙන්න දෙන්න බෑ. මම කැමැතියි අධ්‍යාපනවේදියෙක් හැටියට මම ලබාගත්ත දැනුමෙන් ඒකට සම්බන්ධ වෙන්න’ කියලා. එතකොට තමයි කිව්වේ නෑ ඔයා වගකීමක් බාර ගන්නේ නැත්නම් ඔයාගේ දැනුම නිල වශයෙන් අපට ලබාගන්න වෙන්නේ නෑ. එළියේ ඉඳගෙන පත්තරවලට ලිපි ලියලා වැඩක් නෑ. ඔයා ඇතුළට එන්න ඕනෑ. ඇතුළට ඇවිල්ලා තීරණ ගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තියෙනවා. විශ්වවිද්‍යාල 17ක් තියෙනවා. තව උසස් අධ්‍යාපන ආයතන 19ක් තියෙනවා. ඒවායේ ක්‍රියාවලිය වෙනස් කළ යුතුයි. ඒක එළියෙ ඉඳන් කරන්න බෑ. එළියෙ ඉඳන් කරන දේ නිත්‍යානුකූල නෑ. ඒ ක්‍රියාවලියට තමයි මම ඇතුළු වුණේ. මම දේශපාලනඥයෙක් නොවෙයි. මම අධ්‍යාපනඥයෙක්. සමහරු කියනවා මම පින් මන්ත්‍රී කියලා. ඒක පාවිච්චි කළාට කමක් නෑ. බහුතරය එහෙම නෑ. බොහෝ දෙනෙක් මැතිවරණයෙන් දිනලා ආවේ. ඒ ඡන්ද දායකයා ඉල්ලන දේ ලබාදිය යුතුයි. පාර සෑදීමේ සිට රැකියාවක් සොයාදීම දක්වා විශාල පරාශයක් තියෙනවා. ඒ අය මොකද කරන්නේ. ඒකටත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. 


ප්‍රශ්නය-  ඔය පැරැණි ක්‍රමය ජනතාව ඉවසයිද? 


පිළිතුර- මම හිතන්නේ නෑ ජනතාව කියයි කියලා මන්ත්‍රීවරුන්ට පඩිගන්න එපා කියලා. ඇමැතිවරුන්ට පඩිගන්න එපා කියලා. පුරවැසියන්ගේ ඉල්ලීම ගන්න පඩියට හරියට වැඩ කරන්න කියලයි. ගන්න පඩියට වඩා වැඩ කරන්න කියලයි. අඩුම තරමින් ගන්න පඩියටවත් දූෂණයෙන් තොරව වැඩ කරන්න කියලයි. ශ්‍රී ලංකාවේ බහුතරයක් බෞද්ධයන් දන්නවා ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානේ දුන්නොත් තමයි බණ අහන්න පුළුවන් කියලා. නගරයේ මතයක් තියෙනවා ‘අපිත් යුරෝපයෙ වගේ බයිසිකලයෙන් යන්න ඕනෑ’ කියලා යුරෝපයේ දේශපාලනඥයා බයිසිකලයෙන් ගියත් එයා කෝටිපතියෙක්. ඉන්දියාවේ ඇම්බැසඩර් කාර් එකක යන ඇමැතිවරයා හොයලා බැලු‍වොත් එයා කෝටි ප්‍රකෝටිපතියෙක්. මම හිත්නනේ නෑ අපි පටු විදියට හිතන්න ඕනෑ කියලා. සිංගප්පූරුව වගේ රටක වැඩියෙන්ම පඩි ලබන්නේ රාජ්‍ය සේවකයන් හා දේශපාලනඥයන්. ඒකෙන් මොකද්ද වුණේ? සිංගප්පූරුවේ යහපත් රාජ්‍ය සේවයක් ඇතිවීමයි. අපිත් ඒ තත්ත්වයට යන්න ඕනෑ. ජනතාව කියන්නේ අපි ප්‍රශ්න තියෙන රටක ජීවත් වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ පඩි අරගෙන රටේ ප්‍රශ්න විසඳන්න. මට අනික් අය ගැන කියන්න බෑ. මට වයින් ස්ටෝර්ස් නෑ. පෙට්‍රල් ෂෙඩ් නෑ. මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. ඒ නිසා මට මේ දේශපාලනය පිරිසුදුව කරගෙන යන්න පුළුවන් කියලා මම හිතනවා. 


ප්‍රශ්නය-  ඔබ ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ. පක්ෂයෙ තීරණයට එරෙහිව ගිහින් ඔබ ඇමැතිකම් ගත්තා. මන්ත්‍රි ධුරය දුන්න පක්ෂයට ඔබ කළේ අසාධාරණයක් නොවේ කියලා ඔබ හිතනවද? 


පිළිතුර- මට තියෙන ප්‍රශ්නය ඇමැතිකම් ගන්නවද පක්ෂයෙ ඉන්නවද කියන එක නොවෙයි. රටේ ආර්ථිකය හා අධ්‍යාපනය තමයි ලොකුම ප්‍රශ්නය. ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි ජාතිවාදී නොවී මැද මාවතේ යාම. අපේ පක්ෂයේ දේශපාලක බල මණ්ඩලයේ අවසරයකින් තොරව ලේකම්තුමා රහසේම ගිහින් කුමන්ත්‍රණයක් කළා. මම දිගින් දිගටම කිව්වා පක්ෂ 11 තියෙන අදහස්. ඒ අය ජාතික හා ජාත්‍යන්තරය දකින හැටි. ඒ නිසා මම ස්වාධීන වෙන්න ඕනැ කියලා කිව්වා. මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් රාජ්‍ය ඇමැති ධුරයක් බාර ගත්තා. ඒ බාරගත්තේ මේ රට අසමත් රටක් නොවීමටයි. මේ රට කඩා වැටිලා අරාබි වසන්තයක් වගේ දෙයක් වෙලා ලිබියාව වගේ රටක් බවට පත්වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසයි ඒ වගකීම බාර ගත්තේ. අපේ රට පොහොසත් රටක් බවට ඉදිරියේදී පත් වුණත් අධ්‍යාපනය කඩා වැටුණොත් මුකුත් කරන්න බෑ. ඒ නිසා මේ වගකීම බාරගන්න කියලා කියපු නිසයි ඒ වෙලාවේ වගකීම බාරගත්තේ. ඒ ආණ්ඩුව කඩා වැටුණා. ජනාධිපතිතුමා රටින් පිට වුණා. අලු‍ත් ජනාධිපතිවරයෙක් පත්වුණා. රටේ අලු‍ත් තත්ත්වයක් ඇති වුණා. ඒ අවස්ථාවේ තමයි මම මේ වගකීම භාර ගත්තේ. 


ප්‍රශ්නය- නවක වදය ඉස්සරහට දාගෙන ඔබ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න ලෑස්ති වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. 


පිළිතුර- ඔබේ ඔය වචන ගැන මට ලොකු ගැටලු‍වක් තියෙනවා. ඔබ කොහොමද කියන්නේ නවකවද පනත මර්දනයක් කියලා. 


ප්‍රශ්නය-  මම කිව්වේ ඔබට එහෙම චෝදනාවක් තියෙනවා කියලයි? 


පිළිතුර- ඔබතුමා විවෘත නැතිව ඔය ප්‍රශ්නය අහන්නේ. ඔබතුමාගේ වචන බලන්න. ඔබ කියනවා නවක වදය ඉස්සරහට දාගෙන ශිෂ්‍යයන් මර්දනය කරනවා කියලා. ඔබ තීරණය කරලා ඉවරයිනේ. 


ප්‍රශ්නය-  ඔබ ප්‍රශ්නය තේරුම් ගත්තේ නෑ. මම කිව්වේ එහෙම චෝදනාවක් තියෙනවා කියලයි. 


පිළිතුර- ඒ අර්ථ දැක්වීම සාධාරණයි කියලා මම හිතන්නේ නෑ. මගේ කතාව හරියට කියපුවම මම නොවෙයි නවකවද පනත ගෙනාවේ 1948දියි ගෙනාවේ. නවක වදය සම්බන්ධ ඒ පනත අපරාධ නීතිය යටතේ ගෙනැත් තියෙන්නේ. ඒ කාලේ හිටපු විශේෂඥයන් දැකලා තියෙන්නේ නවකවදය අපරාධයක් කියලයි. මම කියන්නේ අලු‍ත් නීති අවශ්‍ය නෑ. රටේ පුරවැසියන්ට අධ්‍යාපනය ලබන්න අයිතිය තියෙනවා. ඒ සියලු‍ දෙනාට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න ඕනෑ. දැන් වෙලා තියෙන්නේ සියයට 5ක් පමණ වන ප්‍රමාණයක් වැඩිහිටි සිසුන් කියන ලේබල් එක යටතේ අලු‍තෙන් එන දූ දරුවන්ට විශාල මානසික පීඩනයක් ඇති කරලා බරපතළ කායික පීඩනයක් ඇති කරනවා. අමානුෂික පීඩනයක් ඇති කරන්නේ. ඒක 21 වැනි සියවසේදී කොහොමටවත් පිළිගන්න බැරි දෙයක්. ඉතින් මට පුදුමයි මාධ්‍ය පෙනී ඉන්නේ අර සියයට පහ වෙනුවෙන්ද සියයට 95ක් වූ ඉගෙන ගන්න ආව දුප්පත් දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන්ද කියලා. 


ප්‍රශ්නය-  අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව රඳවාගෙන ඉන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙයි. 


පිළිතුර- ඒ ප්‍රශ්නයට මම උත්තර දෙන්න අවශ්‍ය නෑ. වසන්ත මුදලිගේ මට අරගලයෙ දවස්වල කීප වතාවක්ම හමුවුණා. සාකච්ඡා කළා. මුදලිගේගෙන් ඇහුවොත් ඔහු කියයි මොනවද කතා කළේ කියලා. වසන්ත මුදලිගේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ නවක වද පනත යටතේ නොවෙයි. රටේ නීති තියෙනවා. ඒ නීති යටතේ තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒකේ වරදක් තියෙනවා නම් නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. 


ප්‍රශ්නය- විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දේශපාලන පක්ෂයක සිරකරුවන් වෙලා කියලා සමහරු චෝදනා කරනවා. 


පිළිතුර- මං හිතන්නේ අපේ අත්දැකීමට අනුව සියයට 5ක් පමණ වන දේශපාලන ක්‍රියාධරයන් බහුතරයක් ශිෂ්‍යයන් කොටුකරගෙන ඉන්නවා. ශිෂ්‍ය දේශපාලනය පමණක් නොවෙයි ඊට පරිබාහිරව තියෙන පක්ෂ දේශපාලන ආධිපත්‍ය පතුරවන්න හදනවා කියන එක අවුරුදු 50ක් තිස්සේ මේ රටේ සිදුවෙනවා. දේශපාලන පක්ෂ කිහිපයක් තිබුණා. ඒක එකක් දෙකක් බවට පත්වුණා. මට ආරංචි හැටියට දැන් එක පක්ෂයයි තියෙන්නේ. තමන්ගේ මතය පිළිනොගන්නා අයට පහර දෙනවා. ඒක අප වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක නොවෙයි කොමියුනිස්ට් රටකවත් පිළිගත්ත දෙයක් නොවෙයි. 

 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්