මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි


ජනපති කිරිබත් කන වතුකම්කරුවන් හමුවෙයි

වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයෙන් එක් කම්කරුවකුට රුපියල් දෙසීයක මුදලක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා සම්මත කෙරුණි. තවත් රුපියල් දෙසීයක් වතුහිමියන්ගෙන් ලබා දේ. ඒ අනුව රුපියල් 1350 ක් වූ වතුකම්කරු දිනක වැටුප රුපියල් 1750 දක්වා වැඩි වී එහි පළමු වැටුප වතු කම්කරුවන් අතට ලැබුණේ පසුගිය අඟහරුවාදාය. කිරිබත් කමින් රතිඤ්ඤා පත්තු කරමින් වතු ජනතාව ඒ පිළිබඳ සතුට පළ කළහ. ඉකුත් 11 වැනිදා ජනාධිපතිවරයා වතු ජනතාව මුණ ගැසීමට ගියේ ඔවුන්ගේ වැටුප වැඩිවීමේ සතුට භුක්ති විඳිමින් සිටියදීය. ඔවුන් ජනාධිපතිවරයා පිළිගත්තේ මහත් සතුටිනි. එක් කාන්තාවක් දණ නවා ජනාධිපතිවරයාට වඳින්නට උත්සාහ කළ අතර ජනාධිපතිවරයා වහා ඇගේ උරහිසින් අල්ලා නැගිටුවමින් ‘එහෙම ඕනෑ නෑ.’ යනුවෙන් කියා සිටියේ මහත් ළෙන්ගතු කමිනි.

‘කිසිම ජනාධිපති කෙනෙක් අපිව බලන්න මෙහෙම ඇවිත් නෑ. ඔබතුමා විතරයි අපිව බලන්න ආවෙ. ඒ ගැන ගොඩක් ස්තූතියි සර්.’ තවත් කම්කරු කාන්තාවක් කියා සිටියාය.

ඉන්දියාවට ගිය ටිල්වින් ආපසු එයි

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ආරාධනයකට අනුව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ දූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර ඉකුත් 12 වැනිදා ඔවුහු යළි දිවයිනට පැමිණියහ.

එම සංචාරය අතරතුර ටිල්වින් සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් අතර හමුවක් ද සිදුවිය. ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති ශ්‍රී භූපේන්ද්‍ර රජිනිකාන්ත් පටෙල් සහ කේරළ මහ ඇමැති ජින්නරායි විජයන් ද හමුවූ ජවිපෙ මහ ලේකම්වරයා ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසක් ද හමුවී සාකච්ඡා කළේය.

1987 – 89 සමයේ දැඩි ඉන්දීය විරෝධයක සිටි ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඉන්දියාව සමග දැඩි මිත්‍රත්වයක් පවත්වා ගෙන යයි. ජවිපෙ ප්‍රතිපත්තිය වී ඇත්තේ ඉන්දියාව සමග මිත්‍රත්වය පවත්වා ගන්නා අතරතුර ඉන්දියාවේ දේශපාලන සතුරකු වන චීනය සමගද මිත්‍රත්වය පවත්වාගැනීමටය. ජනාධිපති අනුර කුමාර දිසානායකද ඉදිරි කාලයේ ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය.

ජනපති මහනුවරදී ආධාර බෙදයි

දිට්වා සුළි කුණාටුවෙන් වූ හානිය දැන් අමතක කර දමා ඇතැයි ඇතැමුන් චෝදනා කළ ද ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව විපතට පත්ව නිවාස අහිමි වූ සහ ව්‍යාපාර කටයුතු අඩපණ වූ ජනතාවට ආධාර ලබාදීමේ කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යමින් සිටියි. ඒ අනුව ජනාධිපතිවරයා මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූ ජනතාවට නව නිවාස ඉදිකර ගැනීම සඳහා ආධාර ලබා දීමේ වැඩසටහන් දෙකකට පසුගියදා ගලගෙදර සහ කුණ්ඩසාලේ දී සම්බන්ධ විය. එහි දී ආධාර ලැබූ ජනතාව ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ප්‍රසංශා කළේ දැඩි භක්තියකින් සහ ආදරයකිනි

“අපේ ගෙවල් තිබුණේ අධි අවධානම් කලාපයක. ඒත් කිසිම ආණ්ඩුවක් අපිට ඒ තැන්වලින් ඉවත් කරන්න මෙච්චර කාලයකට කටයුතු කළේ නෑ. ඒ නිසා මහ වැස්සේ අපේ ගෙවල් නායට කඩා වැටුණා. මෙතනින් එහාට අපිට මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරිව හිටියේ. ජනාධිපතිතුමා කිව්වා ගේ හදාගන්න ලක්ෂ පනහක් දෙනවා කියලා. අපි ඒත් විශ්වාස කළේ නෑ. එහෙම කතා ඕනෑ තරම් කියනවනේ. ඒත් අද ජනාධිපතිතුමා අපිට ලක්ෂ විස්සක් දුන්නා. ඉතිරි ලක්ෂ තිහ ගේ හදාගන්න පටන් ගත්තම දෙනවා කීවා...’ එක් කාන්තාවක කීවේ එම උත්සවයේ දී ජනපති අතින් ආධාර ලබා ගැනීමෙන් පසුවය.

මෙම උත්සවවල දී ප්‍රතිලාභ ලැබූ බොහෝ දෙනා ජනාධිපතිවරයාගේත් රජයේත් කටයුතු අගය කරනු දක්නට ලැබිණි.

යුරෝපා දූත පිරිස සහ සජිත්ගේ සාකච්ඡාව

දිට්වා  සුළි කුණාටුවෙන් පසු ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්විණි. යුරෝපා සංගමයේ ආසියා ශාන්තිකර කලාපීය නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව වූ පාවෙලා පැම්පලෝනි සහ මෙරට නේවාසික නියෝජිත කාමන් මොරේනෝ මහත්මිය ඇතුළු දූත පිරිසක් සමග සජිත්ගේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට ඇමරිකා ඩොලර් බිලියන හතක ආර්ථික හානියක් සිදුවී ඇති බව කී විපක්ෂනායකවරයා රට නැවත ගොඩ නැගීම සඳහා යුරෝපා සංගමයේ සහාය ඉල්ලා සිටියේය. මෙරට යළි ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් සඳහා අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙස ද විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

සජබ සංවත්සරයට කතරගම පිංකම්

සමගි ජනබලවේගය පක්ෂයේ හයවැනි සංවත්සරය වෙනුවෙන් ඉකුත් සති අන්තයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු නායකයන් ගත කළේ කතරගම පුද බිම කිරි වෙහෙර ඇතුළු ආගමික ස්ථානවලය. පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් ආශීර්වාද පතා සජබ දිස්ත්‍රික් සංවිධානය විසින් මහ දේවාලය, කිරි වෙහෙර, වැඩහිටි කන්ද ඇතුළු ප්‍රධාන ආගමික ස්ථානවල පැවැති කප්රුක් පූජා ඇතුළු සියලු පිංකම්වලට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි විය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන විපක්ෂයෙනුත් යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කපා හැරීම සඳහා රජය ගෙන ආ පනත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද අනුමත වූ අතර එම පනත එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ පිළිබඳ විවාදයට සැලසුම් සහගතව මුහුණ දිය යුතු බව විපක්ෂය තීන්දු කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය බලයට පත් වූ පසු හිටපු ජනාධිපතිවරුන්ගේ මැතිඇමැතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සොයා බලා වාර්තා කිරීම පිණිස චිත්‍රසිරි කොමිෂන් සභාව පත් කළේය. එම කොමිසමේ නිර්දේශ මත හිටපු ජනපති නිල නිවාස අහිමි කිරීමට රජය තීන්දු කළ අතර මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත ගෙන ආවේ ද චිත්‍රසිරි කොමිසමේ නිර්දේශ අනුවය. විපක්ෂයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉකුත් බදාදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොඩවැදුණේ එම කොමිෂන් වාර්තාවේ පිටපතක් ලබා දෙන්නැයි. තොරතුරු පනත යටතේ අයැදුම් කරමිනි. එම වාර්තාව භාර දී ඇත්තේ දෙදහස් විසිහතර වර්ෂයේ දෙසැම්බර් මාසයේය. දැනට වසරක් ඉකුත් වී ඇති මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට රජය පියවර ගෙන නැති අතර දයාසිරි කියන්නේ ලබන සතියේ පාර්ලිමේන්තු විවාදයට පෙර තමන්ට එම වාර්තාවේ පිටපතක් අවශ්‍ය බවය. ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු පැමිණ තමාගේ අයැදුම් පත්‍රය ගෙන ගිය බවත් විවාදයට පෙර වාර්තාව ලැබේ දැයි බලා සිටින බවත් දයාසිරි පවසයි.

‘‘අපිට ආරංචි නම් එම වාර්තාවේ තියෙනවලු අවුරුදු දහයක් හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප දෙන්න කියලා.

දේශපාලන අංශ අතර මතුවූ ප්‍රශ්නයක් වූයේ තමන්ට සහයෝගය ලබාදුන් මන්ත්‍රීවරියක රැකගැනීමටවත් රජයට ශක්තියක්  නොමැති ද යන කරුණ ගැනය. නගර සභාවේ බලය තහවුරු කර ගැනීම සඳහා මාලිමා රජය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කළ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගෙන් මාධ්‍ය විමසූවිට නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේ මේ තීන්දුවට එරෙහිව රිට් නියෝගයක් ලබාගැනීමට රජය පසුදාම පියවර ගන්නා බවය.

 

ඒක ගැන කිසිවක් අපි දන්නෙ නෑ..... මට මේ ළඟ දී හිටපු නියෝජ්‍ය ඇමැති කෙනෙකුගේ බිරිඳ කතා කළා. අනේ මල්ලි අපි ජීවත් වෙන්නේ ඔය විශ්‍රාම වැටුපෙන්. විශ්‍රාම වැටුප ඇපයට තියල අපි බැංකු ණයකුත් අරගෙන තියෙනවා. ඕක අහෝසි කළොත් අපිට ණය ගෙවන්න බැරි වෙනවා... මේ ගැන මොනව හරි කරන්න කියලයි එතුමිය මට කීවේ. ඒ වගේ ගණනාවක්ම අසරණ වෙලා ඉන්නවා... විශ්‍රාම වැටුපෙන් ජීවත් වූ අය...’’ දයාසිරි තමා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය ගමන ගැන විමසූ මන්ත්‍රීවරයකු කියා සිටියේය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දයාසිරි ප්‍රමුඛ විපක්ෂය බලාපොරොත්තුව ඉන්නේ වසර 10ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි යෝජනාවක් ගෙන ඒමටය.

මාලිමාවට සහය දුන් බුහාරා මන්ත්‍රීනියගේ ඉරණම

කොළඹ නගර සභාවේ පළමු අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජනබලවේග පාලනයට සහාය ලබා දුන් මොහොමඩ් බුහාරා පාතිමා සොහාරා මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කළ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ මහනගර සභා තේරීම් භාර නිලධාරිනියගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත්ව තිබේ.

තම පක්ෂය විසින් ලබාදුන් උපදෙස්වලට පටහැණිව මන්ත්‍රීවරිය විපක්ෂයට සහයෝගය නොදී පාලක පක්ෂයට සහයෝගය ලබාදුන් හෙයින් ඇගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙයට පෙර ප්‍රකාශ කළේය. ඒ පිළිබඳ නීතිමය රාමුව අනුව යමින් එම මන්ත්‍රීවරියගේ ධුරය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය ඉකුත් බ්‍රහස්පතින්දා වන විට නිකුත් වූයේ නගර සභා තේරීම් භාර නිලධාරිනියගේ අත්සනිනි.

මේ සමගම දේශපාලන අංශ අතර මතුවූ ප්‍රශ්නයක් වූයේ තමන්ට සහයෝගය ලබාදුන් මන්ත්‍රීවරියක රැකගැනීමටවත් රජයට ශක්තියක්  නොමැති ද යන කරුණ ගැනය. නගර සභාවේ බලය තහවුරු කර ගැනීම සඳහා මාලිමා රජය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කළ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගෙන් මාධ්‍ය විමසූවිට නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේ මේ තීන්දුවට එරෙහිව රිට් නියෝගයක් ලබාගැනීමට රජය පසුදාම පියවර ගන්නා බවය.

“ඔය සිද්ධිය ගැන වැරදියට තේරුම් ගනිමිනුයි ඔය ගැසට්ටුව ගහල තියෙන්නෙ. මෙම මන්ත්‍රීවරිය දවස් හතක් ඇතුළත අදාළ කරුණු ඉදිරිපත් කළා. හත්වැනි දවස වැරදියට සටහන් කරලයි මේ ගැසට්ටුව ඇවිත් තියෙන්නෙ. අපි දිස්ත්‍රික් උසාවියෙන් තහනම් නියෝගයක් අරගෙන තියෙනවා. ඒකවත් නොතකා තමයි ඔය ගැසට් එක ඇවිත්  තියෙන්නේ. අපි වහාම රිට් නියෝගයක් ඉල්ලා උසාවි යනවා. නියෝජ්‍ය ඇමැති වටගල කියා සිටියේය.

සාම සාකච්ඡා ගැන ජී.එල්. ගෙන් පොතක්

මහාචාර්ය ජීඑල් පීරිස් ඉකුත් සටන් විරාම සාකච්ඡා පිළිබඳව ලියූ විමර්ශනාත්මක ග්‍රන්ථයක් දොරට වැඩුම ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්විණි. ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය දයාන් ජයතිලක සහ කොළඹ සරසවියේ ආචාර්ය පවිත්‍රා ජයවර්ධන එම ග්‍රන්ථය පිළිබඳව අදහස් දැක්වූහ. පොත පිළිබඳ කටයුතු මෙහෙයවූයේ ශිරාල් ලක්තිලකගේ ‘වන්වෙක්ස්ට්’ ආයතනය මගිනි. අමුණුගම සහ දයාන් ජයතිලක යන දෙදෙනාම කතා කළේ සාම සාකච්ඡා  පැවැත්වීම වැරදි බවය. එමගින් ත්‍රස්තවාදීන්ට වාසියක් වන බවත් හමුදාවට අවාසි වන බවත් ඒ දෙදෙනාම තම දෙසුම්වල දී කියා සිටියහ.

හිටපු යුදහමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ආචාර්ය බොනිපස් පෙරේරා ද දොස්තර රාජිත සේනාරත්න ද එහිදී කතාබහක යෙදී සිටියේ යුද සහ සටන් විරාම සමය ගැනය. ඉන්පසු ආචාර්ය අමුණුගම ද තේ විවේකයේ දී දොස්තර රාජිත සමග කතා කළ අතර රාජිත කීවේ ඔබ කළ ප්‍රකාශයට මා එකඟ නෑ කියාය. හමුදාව දුර්වලවීමක් නොව එල්ටීටීඊය දුර්වලවීම සාම සාකච්ඡා නිසා සිදුවූ බවද දොස්තර රාජිත කීවේය.

නාමල්ගේ “ලෝටස් මූමන්ට්”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ සංකල්පයක් ලෙස එම පක්ෂයට අනුබද්ධව ආරම්භ කර ඇති ‘‘ලෝටස් මූමන්ට්’’ සංවිධානයේ නායකයන් පත් කිරීම ඉකුත් සතියේ පැවැත්වුණේ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේය. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම එක් තරුණ නියෝජිතයකු ලෙස එහිදී පත්කර ගැනීම සිදුවිය. එහිදී කතා කළ නාමල් කීවේ තම බාප්පා ඇතුළු පසුගිය නායකයන් තිදෙනාගේම ආණ්ඩු අසාර්ථක බවය.

‘‘සිස්ටම් චේන්ජ් කරන්න කියල ආපු ආණ්ඩු තුනක් අසාර්ථක වුණා. දෙදහස් පහළොවේ  මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව අසාර්ථක වුණා. ඊට පස්සේ ගෝඨාභය මහත්තයා ආවෙත් එහෙමයි. එයත් අසාර්ථක වුණා. ඊට පස්සේ අනුර දිසානායක ආවා. සිස්ටම් චේන්ජ් කරන්න. දැන් එයත් අසාර්ථක බවයි පෙනෙන්නේ. මේ ආණ්ඩු තුනම අසාර්ථකයි. සිස්ටම් චේන්ජ් කරන්න නෙමෙයි ඕනෑ. තියෙන සිස්ටම් එක අප්ඩේට් කරන්නයි ඕනෑ. රාජ්‍ය සේවයේ කොච්චර වැඩ කළත් දක්ෂතා තියෙන අය ඒ තනතුරේම ඉඳල විශ්‍රාම යනවා. එහෙම අයට උඩට එන්න මාර්ග නෑ. අන්න ඒ ක්‍රමය අප්ඩේට් වෙන්නයි ඕනෑ. නාමල් රාජපක්ෂ එහි දී කියා සිටියේය.

ඊට පසුදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ගණනාවක්ම අධිකරණයට ගියේ හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු තවත් නඩු කටයුත්තක් වෙනුවෙන් උසාවි ගෙන ආ නිසාය. ශාන්ත බණ්ඩාර, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් දැනටත් රිමාන්ඩ් බාරයේ සිටින ජොන්ස්ටන් වෙනුවෙන් අධිකරණ භූමියට ගොස් සිටියහ. මේ දවස්වල දේශපාලකයො ඉන්නෙ තැන් දෙකක විතරයි. එකක් පාර්ලිමේන්තුව, අනික් තැන අධිකරණය...’’ ශාන්ත කියද්දී ඉන්දික අනුරුද්ධ මහ හඬින් සිනාසුණේය.

රනිල්ගෙන් ඉන්දියාවට හීන් සැරයක් 

ඉන්දියාවෙන් වැඩම කරවන ලද දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට රනිල් ගියේ ඉකුත් බදාදා උදේ වරුවේය.

එහිදී ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන ස්ථානයේ සිටි ඉන්දීය නිලධාරිනියගෙන් රනිල් ඉතිහාස කරුණු විමසා සිටි අතර අදාළ පුරාවිද්‍යා භූමියේ ධාතූන් වහන්සේ තිබූ මංජුසාවේ තවත් යම් යම් දෑ හමු වීදැයි විමසීය. එහිදී ඉන්දීය නිලධාරිනිය පැවසූයේ එහි සිල්ක් තිබූ බවයි.

”‍ඉතින් ඒ කාලේ ඉඳන් ඔයගොල්ලො චීනය එක්ක ගනුදෙනු කරලා නේ, දැන් අපට කෑ ගහන්නේ”‍ යැයි රනිල් වික්‍රමසිංහ % සිනාමුසුව පැවසීය.

රනිල් වික්‍රමසිංහ කියූ කාරණයට ඉන්දීය නිලධාරිනිය සිනහවකින් පිළිතුරු දුන්නාය. චීන තානාපති කාර්යාලය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කර තිබූ චීන අලු‍ත් අවුරුදු පිළිගැනීමේ උත්සවය සඳහා සභාපති වජිර ගියේ නායක රනිල් නියෝජනය කරමිනි.

ඒ වෙලාවේ රනිල්ට වෙනත් වැඩක් යෙදී තිබූ බැවින් වජිරට එහි යන ලෙස දැනුම් දී තිබිණ. චීන තානාපති ද දේශපාලනඥයෝ ද බොහොමයක් එහි වූහ.

ඇමති විජිත, හිටපු ජනාධිපති මහින්ද, හිටපු කථානායක මහින්ද යාපා, ජී.එල්, ගම්මන්පිල එහි සිටි කිහිප දෙනෙකි. වජිර මුලින්ම චීන තානාපති මුණ ගැසී තමන්ගේත් නායක රනිල්ගේත් සුභාශිංසන පිරිනැමීය.

උත්සවය අතරතුර දී වජිර - මහින්ද අසලටම ගොස් කතාබහ කළ අතර උත්සවයට පැමිණ සිටි පිරිසට මෙම කතාව කුතුහලයට තුඩු දුන්නේ ඒ අසලම ඇමති විජිත ද සිටි නිසාය. පසුව මෙම කතාවට ජී.එල්. සහ ගම්මන්පිලත් හවුල් වූහ. පැයකට වැඩි කාලයක් උත්සව සභාවේ මේ පිරිසත් සමග රැඳී සිටි වජිර එතැනින් නික්මුණේ වෙනත් කටයුත්තක් සඳහා සහභාගී වීමට තිබු නිසාය.

සජබ – එජාප සාකච්ඡා සියයට අනූවක්ම එකඟයි - සජිත්

සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීම පෙරේදා (සිකුරාදා) පැවැත්වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ද මන්ත්‍රීවරු ද එම හමුවට සහභාගී වූහ.

මාර්තු මාසයේ එළඹෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා උත්කර්ෂවත් උත්සවයක් පැවැත්වීමටත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ පුහුණු වැඩසටහන් අඛණ්ඩව පැවැත්වීමටත් එහිදී තීරණය විය.

සජබය සහ එජාපය එකට වැඩ කිරීමේ කටයුතු ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම කමිටුවට විස්තර කළේය. ‘‘අපි සහ එජාපය එකතු වී වැඩ කරන සාකච්ඡා මේ වෙන විට සියයට අනූවක් විතරම සාර්ථකයි. මම පාර්ශ්ව කීපයක් සමගම සාකච්ඡා කළා. කරුණුවලින් ගත්තොත් සියයට අනූවකට වඩා එකඟ වෙන්න අපිට හැකියාව ලැබුණා. තව විසඳාගත යුතු පොඩි කරුණු කීපයක් තියෙනවා. අපි දෙගොල්ලගෙම ආර්ථික ප්‍රතිපත්තිය, සමාජ ප්‍රතිපත්තිය එක සමානයි. මේ කරුණු තවදුරටත් එක සමාන තැනකට ගන්න සාකච්ඡා වෙනවා. අපිට එකතු වෙන්න පුළුවන්. ඒත් කඩිමුඩියේ නොවෙයි. වෙලාව ආවම පක්ෂ දෙක එකතුවෙනවා කියල නිවේදනය කරන්න පුළුවන්. මේ  සාකච්ඡාවල ප්‍රගතිය හොඳයි.’’ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා  සිටියේය.

මේ විසි වැනිදා බෞද්ධ මන්දිරයේ දී මහා භික්ෂු සත්‍යග්‍රහයක් පැවැත්වෙනවා. මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවො මටත් ආරාධනා කළා සහභාගීවෙන්න කියලා. මේ කටයුත්ත සංවිධානය වෙන්නේ දේශපාලන භේදයකින් තොරවයි. සජිත් ප්‍රේමදාස තවදුරටත් කියා සිටියේය. එම සත්‍යග්‍රහය ගැන විවිධ අදහස් එහිදී ප්‍රකාශ වුවද අවසානයේ කළමනාකරණ කමිටුව තීරණය කළේ එම කටයුත්තට සහාය ලබා දිය යුතු බවය.

රාජ දූත