මට හුඟ දෙනෙක් කීවා ගිහිල්ලා රට භාරගන්න කියලා


හිටපු ජනාධිපතිනි 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

  • සිවිල් සංවිධාන නායකයන් කිව්වා දේශපාලන නායකයන් එනවා නම් ඇවිත් ඉඳගන්නේවත් නෑ කියලා. ඒ තරමටම පාර්ලිමේන්තුවේ ඉන්න අය එපා වෙලා තියෙන්නේ
  • රාජපක්ෂලා හොරකම් කරපු හින්දා. තව අර්බුද තියෙනවා. ජනවර්ග අර්බුද. ජන වර්ග අර්බුද 56 ඉඳලාම තිබුණා. ඒවා රාජපක්ෂලා උග්‍ර කළා. ඒවා විකුණලා බලයට ආවේ
  • මම නම් අර ගෑනි වගේ ඔය ගොල්ලන්ගේ වැඩට ඇඟිලි ගහන්න එන්නෙ නෑ කියලා මහින්ද කියලා තියෙනවා
  • මේ රටේ තියෙන දේශපාලන ක්‍රමය වෙනස් කරන්නේ නැතිව දෙවියන් වහන්සේ ආවත් මේ රට හදන්න බෑ

 හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රට පුරා ඇවිලී යන ජන සටන් යට සිටින්නීද? හිටපු ජනාධිපතිනිය මේ මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් හිටපු ජනාධිපතිනිය සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රරටේ අලුත් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් විද්වතුන් සිවිල් ක්‍රියාකාරිකයන් අප්‍රේල් මුල් සතියේදී ඔබ හමුවුණා. ඒ හමුවේ ප්‍රගතිය කොහොමද?


පිළිතුර:- ඒ හමුවට ප්‍රධාන හේතුව මට හුඟ දෙනෙක් කිව්වා රටේ ඉන්න ජ්‍යෙෂ්‍ඨ නායකයෙක් හැටියට රටට මේ මොහොතට මොනවා හරි කරන්න කියලා. මොනවා හරි කරන්න නොවෙයි ගිහිල්ලා රට බාර ගන්නත් කියලා කිව්වා.  


ප්‍රඔබේ ප්‍රතිචාරය වුණේ  


පිළිතුර:- මම නම් ඒක කරන්න යන්නේ නැහැ. නමුත් අහක බලාගෙන ඉන්නත් බෑ. මේ ප්‍රශ්නයට විසඳුම් මොනවද කියලා සොයන්න සිවිල් සමාජ නායකයන්ට ආරාධනා කළා. අනිත් පැත්තේ දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කළා. ඒ දෙක වෙන වෙනම තිබ්බේ.  


ප්‍රඒකට හේතුවක් තිබුණද?  


පිළිතුර:- ඔව්. සිවිල් සංවිධාන නායකයන් කිව්වා දේශපාලන නායකයන් එනවා නම් ඇවිත් ඉඳගන්නේවත් නෑ කියලා. ඒ තරමටම පාර්ලිමේන්තුවේ ඉන්න අය එපා වෙලා තියෙන්නේ මේ රටටම. අපි හුඟාක් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවෙන් පස්සේ මම මගේ අදහසුත් දාලා යෝජනාවලියක් හැදුවා.  


ප්‍රඒ යෝජනාවලියේ අරමුණ?  


පිළිතුර:- අරමුණ තමයි පාරට බැහැලා ඉන්න තරුණ ළමයි. ඒ වගේම ඔවුන්ට සහය දෙන්න වැඩිහිටියන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය කියන්නේ මේ 225ම එපා කියලයි.  


ප්‍රඒ සටන් පාඨය සාධාරණයි කියලා ඔබ හිතනවාද?  


පිළිතුර:- නෑ. ඒක අසාධාරණයි. ඒ 225 තුළ ඉන්නවා යම්කිසි සුළු ප්‍රමාණයක් හරි හොඳ මිනිස්සු. ඒ කියන විදිහට කරන්නත් බෑ. මේ ව්‍යවස්ථාව ඇතුළෙමනේ මේක කරන්න වෙන්නේ. මේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට තේරීපත්වුණ මන්ත්‍රීවරුන්ට පමණයි කැබිනට් එකක් හදන්න වෙන්නේ. ආණ්‍ඩුවක් නම් ඒක ස්ථාවර සැලසුමක් විය යුතුයි. එහෙම නැත්නම් අපට ලෝකයාගෙන් ආධාර ලැබෙන්නේ නැහැ. හැමෝම කියන්නේ රාජපක්ෂලා ඔක්කොම ඉල්ලා අස්වෙලා අන්තර්වාර ආණ්‍ඩුවක් හදන්න ඕනෑ කියලා. මේ රටේ ජනමත සමීක්ෂණ කරන පිළිගත්ත ප්‍රධාන ආයතන දෙකකින් කරපු සමීක්ෂණවලින් සියයට 90 ක්ම කියන්නේ ජනතාව මත පළ කරලා තියෙන්නේ රාජපක්ෂලා යන්න ඕනෑ කියලා.  


ප්‍රඑහෙම යන්න කිව්වම යයිද?  


පිළිතුර:- ඔව්! මම හිතන්නේ නෑ. එහෙම ලජ්ජාවක් නෑනේ. බලයට පුදුම කෑදරකමක්නේ තියෙන්නේ.  


ප්‍රඅපි හිතමු ගියා කියලා. එතකොට මොනවගේ ආණ්‍ඩුවක්ද හැදෙන්නේ.  


පිළිතුර:- රටේ තත්ත්වය ඉතාම භයානකයි. ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් හිඟා කාලා ගත්ත සල්ලි ටික තව සුමානයකින් විතර ඉවර වෙනවා. එතකොට මොකක්ද කරන්නේ. ඒ නිසා අන්තර්වාර ආණ්‍ඩුවක් හදන්න වෙනවා. එතැනදි මම හිතුවේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවලින් හොඳම එක්කෙනා එක්කෙනා අරගෙන හොරු හා මිනීමරලා කියලා චෝදනා නැති වැඩ කරන්න පුළුවන් 10 ක් 12 ක් ඉන්නවා ඒ අයගෙන් ආණ්‍ඩුව හදන්න ඕනෑ.  


ප්‍රඑතකොට ජනාධිපතිවරයා.  


පිළිතුර:- ජනතාව කියන්නේ එයාට අස් වෙන්න කියලා. ඒ නිසා හැමෝටම පිළිගන්න පුළුවන් කෙනෙක්. නමුත් මට නම් එහෙම කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න බවක් පේන්නේ නෑ. නමුත් එළියේ ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් තෝරාගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන වැඩිම වුණොත් මාස හයකට ඔහු ජනාධිපති කරනවා.  


ප්‍රඑතැනදි ප්‍රධාන ඉලක්කය වෙන්නේ.  


පිළිතුර:- ආර්ථිකය හදන්න ඕනෑ. ඒක කරන්න ඕනෑ. කොහොමද කියල අපි දන්නවා. ප්‍රශ්න ඇති වුණෙත් කොහොමද කියලත් අපි දන්නවනේ.  


ප්‍රඔබ දන්න හේතුව?  


පිළිතුර:- රාජපක්ෂලාගේ හොරකම්නේ. වෙන මොනවද? දූෂණය පටන් ගන්නේ ටෙන්ඩර්වලින්. ඒකට සම්පූර්ණ වැඩපිළිවෙළක් මම හදලා තියෙනවා. මම ජනාධිපති කාලේ කරපු වැඩ සටහන් තවත් වර්ධනය කරලා ඒ වැඩ සටහන මම හදලා තියෙන්නේ. මගේ ඒ වැඩ සටහන 2005 දී ආපු ගමන් රාජපක්ෂලා විසි කළා. ආර්ථිකය හදලා දූෂණය මැඩ පවත්වලා අධ්‍යාපනය වහාම දියුණු කරන්න ඕනෑ. ඔය කාරණා ටික හරියට කරලා විදේශ ප්‍රතිපත්තියක් හදලා මාස හයක් ගියොත් ඇති. හුඟ දෙනෙක් ඒක බොහොම හොඳයි කියලා පිළිගත්තා. ඒ වැඩපිළිවෙළ ඇතුළේ නිකම් කැබිනට් එකක් නොවෙයි තියෙන්නේ. මොකද හැමෝම කියන්නේ කැබිනට් එකේ ඉන්නේ හොරු කියලනේ. මමත් විශ්වාස කරනවා අවුරුදු 50 ක් විතර රටේ දේශපාලනයේ අත්දැකීම් මට තියෙනවා. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි හොරු නොවන්නේ.  


ප්‍රඒක වළක්වන්නේ කොහොමද?  


පිළිතුර:- මම ඒකට යෝජනා කරලා තියෙනවා කැබිනට් එකත් එක්ක සමගාමීව වැඩ කරන්න කවුන්සිලයක්. ඒකේ ප්‍රධාන අරමුණ එකේ එක දේශපාලනඥයෙක්වත් නෑ. අර මම ආරාධනා කරපු සිවිල් සමාජ නායකයන් වෘත්තියවේදින්ගේ වගේම බුද්ධිමතුන්ගේ සංවිධානවලින් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඒවායින් නියෝජිතයෝ ඒ​ගොල්ලෝම තෝරලා එවන්න ඕනෑ. මේ ක්‍රමය අවුරුදු 20 කට වැඩියෙන් ප්‍රංශයේ ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවට ගේන සියලුම අණපනත් වැඩපිළිවෙලවල් මේ කවුන්සිලයට යවන්න ඕනෑ. ඒ අයගේ අනුමැතිය ලැබුණට පස්සේ තමයි ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රංශයේ ඒක හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රංශය ප්‍රජාතන්ත්‍රවාදී නිසා. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී නමට විතරයි. ඒ සිස්ටම් එක මම දැම්මේ ඒක සියයට 40 ක් අවුරුදු 30 ට අඩු තරුණයන් වෙන්න ඕනෑ. සියයට 40 ක් කාන්තාවෝ ඉන්න ඕනෑ. එතකොට ඒ තරුණ අයටත් ඒගොල්ලන්ගේ සහාය ඇතිව ආණ්ඩුව ගෙනියනවා කියන විශ්වාසය ඇති වෙනවා. මේ තරුණයන් එක්ක මම සාකච්ඡා කරනවා. ඒ අය මගෙත් එක්ක සාකච්ඡා කරන්න බෑ කියන්නේ නෑ.  


ප්‍රගෝඨා ගෝ හෝම් කියන හඬයි අරගල බිමෙන් මතු වෙන්නේ. ඇත්තටම ඒක උත්තරයක්ද?  


පිළිතුර:- ඔව්. හැබැයි අර මම කියපු විදියෙ පැහැදිලි වැඩපිළිවෙළක් ඇතුළේ ආණ්‍ඩුවක් පත්වෙන්න ඕනෑ. හොරකම් නොකරන ආණ්‍ඩුවක්. ගෝඨාභය විතරක් නෙවෙයි සියලු රාජපක්ෂවරුන් යා යුතුයි. අවුරුදු පහළොවක්ම මේ රට කෑවේ ඔය රාජපක්ෂ පවුලයි. හැබැයි මේ රටේ තියෙන දේශපාලන ක්‍රමය වෙනස් කරන්නේ නැතිව දෙවියන් වහන්සේ ආවත් මේ රට හදන්න බෑ.  


ප්‍රනිදහසින් පස්සේ රට පාලනය කළ සියලුම ආණ්‍ඩු මේ අර්බුදයට වගකිව යුතුයි. ඔබේ පංගුව බාරගන්න ඔබ සුදානම්ද?  


පිළිතුර:- නිදහසෙන් පස්සෙ රට පාලනය කරපු හැමෝම නොවෙයි. නමුත් දැන් මේ තියෙන ආර්ථික අර්බුදය නම් තනිකරම රාජපක්ෂලාගේ වරදින්.  


ප්‍රඔබ එහෙම කියන්නේ?  


පිළිතුර:- රාජපක්ෂලා හොරකම් කරපු හින්දා. තව අර්බුද තියෙනවා. ජනවර්ග අර්බුද. ජන වර්ග අර්බුද 56 ඉඳලාම තිබුණා. ඒවා රාජපක්ෂලා උග්‍ර කළා. ඒවා විකුණලා බලයට ආවේ. රටේ තියෙන සෑම දුර්වලකමක්ම පාවිච්චි කරලා තමයි රාජපක්ෂලා හැදුණේ. නරක යටපත් කරලා හොඳ ඉස්මතු කරන්න ඕනෑ. මම කළේ ඒකයි. මම සාර්ථක වුණෙත් ඒ නිසයි. මේගොල්ලො නරක පැත්ත අරගෙන ඒ නරක මේ අයගේ වාසියට යොදා ගත්තා. දැන් තියෙන ආර්ථික ආර්බුදයට නම් රාජපක්ෂලා තනිකරම වගකියන්න ඕන.  


ප්‍රරාජපක්ෂලානම් කියන්නේ ඒක හුදු සටන් පාඨයක් විතරයි කියලා.  


පිළිතුර:- එහෙම කියන්නේ කොහොමද. 2005 ඉඳලා කරපු හොරකම් නිසා තමයි රටට මෙහෙම වුණේ. 2005 දෙවැනි කැබිනට් මණ්‍ඩලයේදි මහින්ද කියලා තියෙනවා. මම නම් අර ගෑනි වගේ ඔය ගොල්ලෝ කරන වැඩවලට ඇඟිලි ගහන්න එන්නේ නෑ කියලා.  


ප්‍රඅර ගෑනි කිව්වේ?  


පිළිතුර:- අර ගෑනි කිව්වේ මම. එහෙම කියලා ඕනෑ තරම් හොරකම් කරපල්ලා හැබැයි අහුවෙන්න කරන්න එපා කියලත් කියලා තියෙනවා. මට ඇමැතිවරු තුන්දෙනෙක් ලන්ඩන්වලට කෝල් කරලා කිව්වා. මැඩම් මුන් ටික ඔක්කොම හොරකම් කරන්න පටන් ගන්නවා. දැන් අපිටත් හොරකම් කරන්න කිව්වා. ඔබතුමිය අපට තදින් හිටියා. හැම දෙයක්ම ඇඟිලි ගහගහ බැලුවා. දැන් ඉතින් අපි ඔබතුමියට කියලා සමාව අරගෙන හොරකම් කරන්න පටන් ගන්නවා කියලා.  


ප්‍රඒ ඇමැතිවරු මේ ආණ්‍ඩුවෙත් ඉන්නවද  


පිළිතුර:- සමහරු ඉන්නවා. සමහරු මැරිලා. අන්න ඒ වාගේ හොරකම් කරලා හොරකම් කරලා අද මාව හමුවෙන්න ආවා බැංකුවක තරුණයෙක්. එයා මගෙන් අහනවා. ඇයි මේගොල්ලෝ පාරවල් විතරක් හදන්නේ කියලා. උත්තරය තමයි වැඩියෙන් හොරකම් කරන්න පුළුවන් පාරවල් වලින්. ලංකාවේ පාරවල් මහින්ද රාජපක්ෂගේ කාලේ හැදුවේ ඇ​ෙමරිකාවේ හදන පාරවල් වලට වැඩිය නව ගුණයකින් කොස්ට් එකෙන්. ඇ​ෙමරිකාවෙ තමයි වැඩිම එක්පෙන්සිව් රට. එක කොම්පැණියක් තියෙනවා අපි හිතමු මිලියනයෙන් හදන්න පුළුවන් පාරට මිලියන තුනක් කියලා දානවා. පාර හදන කොම්පැණියට පොඩි වැඩි ගාණක් දීලා අනිත් ටික රාජපක්ෂලා සාක්කුවට දාගන්නවා.  


ප්‍රහොරකම් කරපු එක ඩොලරයක් තියෙනව නම් ගේන්න කියලා අගමැති මහින්ද රාජපක්ෂ අභියෝග කළා.  


පිළිතුර:- ඕවා ඔක්කොම හංඟාගෙනනේ ඉන්නේ. පිළිපීනයේ මාකෝස් ජනාධිපතිවරයා මේ වගේ දෙයක් ජනතාවට කරලා පන්නලා අවුරුදු හතළිහක් විතර කිට්ටුයි. තාමත් එයා හොරකම් කරපු ඒවායින් හොයාගෙන තියෙන්නේ ටිකයි. අර තිරුකුමාර නඩේසන් කියන මිනිහා අහුවුණේ පැන්​ඩෝරා කේස් එක. ඒ එයාගේ නමට හදිසියේ සල්ලි දාපු නිසයි. ඒක අහුවුණේ. යහපාලන ආණ්‍ඩුව ආපු වෙලාවෙ අනිත් ඒවා ඔක්කොම දාලා තියෙන්නේ අනුන්ගේ නම්වලට.  


ප්‍රඔබ වගකීමෙන්ද කියන්නේ?  


පිළිතුර:- නැතුව. ඕක්ස්ෂොප් කොම්පැණි හදලා තියෙන්නේ බිස්නස්කාරයන්ටයි දේශපාලනඥයන්ටයි හොර සල්ලි හංගන්න. ඒක කරන ක්‍රමය මම හොයා ගත්තා. කාට හරි කීයක් හරි දෙනවා. එතකොට එයා එයාගේ නම දෙනවා. එංගලන්තයෙ ඉන්නවා සුද්දෝ වෙන රස්සාවක් කරන්නේ නෑ. ඒ අයගේ නම් මේ වගේ කොම්පැණිවලට දෙනවා. ආණ්‍ඩුවේ තවුසන් ඩොලර් ටූ හන්ඩ්‍රඩ් තවුසන් ඩොලර් ගණන අනුව වන් මිලියන් ලැබෙනවා. එයාගේ නමින් තමයි දාන්නෙ. හැබැයි එයා ගිවිසුමක් අත්සන් කරනවා. ඒක තියෙන්නේ සල්ලිවල ඇත්ත අයිතිකාරයාගේ නමට. එතකොට අර මිනිහට සල්ලි ටික අරන් දුවන්න බෑ. මේක දන්නේ හොරයි. නම දුන්න මනුස්සයයි බැංකුවයි විතරයි. ඇයි හිටපු ගමන් අපට කිසිම සම්බන්ධයක් නැති සී​ෂෙල්ස්වල ලංකා බැංකුවේ බ්‍රාන්ච් එකක් ඇරියේ. ඒ අර මම කියපු වර්ගයේ සමාගම් හැම රටකම දාන්න බෑ. රටවල් කිහිපයක විතරයි තියෙන්නේ. ෂී ෂෙල්ස්වල පුළුවන්. ඒ නිසා එයා ලංකා බැංකුවේ බ්‍රාන්ච් එකක් ඇරලා එයාගේ ළඟම ඥාතියෙක් ඒකේ මැනේජර් කරලා යැව්වා.  


ප්‍ර2015 දී යහපාලන ආණ්‍ඩුව ආවා ඉතින් හොයන්න තිබුණනේ?  


පිළිතුර:- මේක ඇත්ත. බොරුනම් නඩු දාන්න පුළුවන්. යහපාලන ආණ්‍ඩුව ආපු වෙලාවේ පරීක්ෂණ පටන් ගත්තනේ. අපි ජනතාවට පොරොන්දු වුණානේ හොරු අල්ලනවා කියලා. ඒ නිසා අපි පට පට ගාලා පරීක්ෂණ පටන් ගත්තා. මම දන්නවා මාස කිහිපයක් යනකොට අහුවුණා ඩුබායිවල මස්ෂෙක් බෑන්ක් එකේ නාමල්ගේ දෙවැනි නමට වන් තවුසන් මිලියන් ඩොලර්ස් තිබුණා.  


ප්‍රඅල්ලන්න තිබුණනේ?  


පිළිතුර:- එෆ්.සී.අයි.ඩී. එකෙන් ගියා. ඒක දැක්කා. පින්තූර ගත්තා. උසාවි දාන්න විදිහක් නෑ ඔරිජිනල් එක නැත්නම්. දැන් මම කියන්නම් මංගල සමරවීර විදේශ ඇමැති හැටියට ගියා. නමුත් බැංකුව දුන්නේ නෑ. එ් නාමල්ට තියෙන විශේෂ ආදරයකට නොවෙයි. දුන්නා නම් ඒ සල්ලි ඔක්කොම අරගෙන පනිනවා. එතකොට බැංකුව කඩාගෙන වැටෙනවා. ඒක තම නමින්ම දාගන්නේ මෝඩකමට කියලා ඒ ගොල්ලන්ටම හිතුණ. ඒ නිසා තමයි සීෂෙල්ස් වගේ රටවල්වලට පැන්නේ. මම දැක්කා අනුර කුමාර දූෂණ ෆයිල් වගයක් ඉදිරිපත් කළා. ඒවා ගොඩාක් ඇත්ත බව මම දන්නවා. මොකද ඒවායේ පරීක්ෂණ වාර්තා මා ළඟ තියෙන නිසා. ඩොලර් මිලියන 1 ක් යන වැඩකට ඩොලර් මිලියන 3 ක් ගන්නවා නම් රටේ සල්ලි ඉතිරි වෙයිද? නොරොච්චෝලේ මම හදපු එකක්. දකුණු අධිවේගී මාර්ගය මම පටන් අරගෙන භාගයක් ඉවර කරපු එකක්. නෙළුම් පොකුණ මම මුල්ගල තියපු එකක්. හම්බන්තොට වරාය පටන් ගත්තේ මම. අපි නොරොච්චෝලේ ගමු. අපි ඒක අත්සන් කළේ ඩොලර් මිලියන 280 කට. මහින්ද බලයට ආවට පස්සේ කොම්පැනියට එන්න කිව්වා. මගේ කමිෂන් එක සියයට 50 යි. ඒ නිසා මට ඩොලර් මිලියන 140 ක් ඕනෑ කියලා කිව්වා. චීන කොම්පැණිය වෙව්ලන්න පටන් ගත්තා. අපි ගෙනාවේ හොඳම චීන සමාගමක්. මම ඒ අයට කිව්වේ ඔයගොල්ලෝ කාටහරි කොමිස් දීලා තිබුණොත් මම ඔයගොල්ලන්ව පන්නනවා කිලා. එහෙම තමයි මම ආර්ථිකය දියුණු කළේ. මගේ කාලේ තමයි නිදහසින් පස්සේ ආර්ථිකය වැඩියෙන්ම දියුණු වුණේ. ජේ.ආර්ගේ විවෘත ආර්ථික කාලයෙත් ටිකක් දියුණු වුණා. එතකොට අර චීන සමාගම දෙන්න බෑ කිව්වා. එහෙනම් යන්න කිව්වලු. මේ ගොල්ලෝ අඬාගෙන ගිහින් චීන තානාපතිට කිව්වා චීන තානාපති මගේ ගෙදරට ඇවිත් අර සාලේ ඉඳගෙන මට කිව්වේ ව්‍යාපෘති හයක් තිබුණා. ඒ හයම නැති වුණා. ඊට පස්සෙ පී.බී. ජයසුන්දර චීනයට යවල තුට්ටු දෙකේ පාරෙන් අහුලා ගත්ත චීන්නු ටිකක් ආවේ. මම ​ඩොලර් මිලියන 280 ට අත්සන් කරපු ව්‍යාපෘතිය ඩොලර් මිලියන 510 යි. ඩොලර් මිලියන 230 ක් වැඩියි. මෙහෙම තමයි රට විනාශ කළේ.  


ප්‍රඔබ කිව්වා වැඩිම ආර්ථික සංවර්ධන වේගයක් ඇති වුණේ ඔබේ කාලයේ කියලා.  


පිළිතුර:- මම යුද්ධයකුත් කර කර තමයි රටේ ආර්ථිකය හැදුවේ. මම ගෙනාව යුද අවි ඉතාම නවීන මෙන්ම මිල අධික ඒවා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාත් ඒක කියනවා. මම ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. අපි දේශීය නිෂ්පාදිතය තුන් ගුණයකින් වැඩි කළා. පළමු අවුරුදු අටේදි.  


ප්‍රනමුත් ලංකා ඉතිහාසයෙ පළමුවරට ආර්ථික ඍණ වුණෙත් ඔබ් කාලයෙදි.  


පිළිතුර:- එක අවුරුද්දයි. ඒක වුණෙත් කොටි එයාර්පෝට් එකට ගහපු නිසා. රජයෙ සේවකයන්ගේ පඩි පස් ගුණයකින් වැඩි කළා. මම බලයට එනකොට ලෝකයේ රටවල් 200 ක් තියෙනවනේ. එයින් ලංකාව දුප්පත් රටවල් 25 න් එකක්. මම ගෙදර යනකොට අවුරුදු 11 යි හිටියෙ 175 ඉඳලා රට 72 ට නග්ගලා තිබුණේ. එහෙම කළේ හොරකම් නාස්තිය අවම කරලා.  


ප්‍රයහ පාලන අාණ්‍ඩුව කාලයේදි ඇයි හොරුන්ට දඬුවම් නොකළේ?  


පිළිතුර:- ආණ්‍ඩුව මගෙ නොවෙයිනේ. මම පැත්තකට වෙලා ඉන්නකොට වද කරලා වද කරලා මාව ඇදගෙන ආවේ. අවුරුදු 8 ක් මම පැත්තකට වෙලා හිටියා. නමුත් රටට වෙන ඇබැද්දිය දැකලා තමයි මම ආවේ. මම කිව්වා මම ඔයගොල්ලන්ව එකතු කරන්නම්, බලයට එන්න උදව් කරන්නම්. මට ලොකු තනතුරු ඔෆර් කළා. ජනාධිපති ධුරයට ඉල්ලන්නත් කිව්වා. රනිල් මෙතැනටම ඇවිත් කිව්වේ. මම බෑ කිව්වා. මම එහෙම බලයට කෑදර කෙනෙක් නොවෙයි. මම සංහිඳියාව ඇති කරන වැඩක් විතරයි කළේ. ඒ නිසා ඔබ අහන ප්‍රශ්නය මට වලංගු නෑ.  


ප්‍රමේ අර්බුදය ඇතුළේ ඔබත් යළි සක්‍රිය වෙලා?  


පිළිතුර:- සක්‍රිය දේශපාලනයට නම් මම එන්නේ නෑ. ආවොත් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මම දන්නවා. ඒත් මම එන්නේ නෑ.  


ප්‍රආණ්‍ඩුවට සම්බන්ධ පක්ෂ නායකයන් මන්ත්‍රීවරුන් ඔබට කතා කරනවා?  


පිළිතුර:- නෑනේ. ඒගොල්ලෝ මට බයයිනේ. මම ඉන්න තැනකටවත් එන්නේ නෑ. පැනලා දුවනවා. මම ඉන්නකම් හොරකම් කරන්න බෑ කියලා දන්නවනේ. මගේ නමට බයයි.  


ප්‍රඔබ මේ දවස්වල සමීපව ඇසුරු කරන දේශපාලනඥයන් කවුද?  


පිළිතුර:- ඒවා ඔයාට කියන්නේ නෑ පිස්සුද?  


ප්‍රමම බැලුවේ ඒ ලැයිස්තුවේ මෛත්‍රීපාල සිරිසේනත් ඉන්නවද කියලා?  


පිළිතුර:- ඒකට උත්තර නෑ.  


ප්‍රඔබේ පුත්‍රයා විමුක්ති කුමාරණතුංගට දේශපාලනයට එන්න පාර හැදීමයි ඔබ කරන්නේ?  


පිළිතුර:- කවුද එහෙම කියන්නේ?  


ප්‍රහැම තැනම කියවෙනවා.  


පිළිතුර:- නෑ. ඒක සම්පූර්ණයෙන්ම බොරු. මේ මඩ වළට මගෙ පුතාව ගෙනත් දාන්න. දාලා මක් කරන්නද. එයාට තනියෙන් කරන්න බෑනේ. කවදා හරි මේ රට හැදිලා රෙජිම් චේන්ජ් එකක් එන්න චාන්ස් එකක් තියෙනවා. අන්න එතකොට එයා ඇවිත් සම්බන්ධවෙයි. නායකත්වය ගන්න නෙවෙයි. එයාගේ ලොකු ආදරයක් මේ රටට තියෙනවා. අපේ ලේවල ඒ ගුණය තියෙනවනේ.

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්