බේරාගන්නේ රන්වලද ආණ්ඩුවේ හොඳනමද


ජනාධිපති අනුර කුමාර දිසානායක එම තනතුරට පත්වූ පසු ප්‍රකට කර ඇත්තේ සැර පරුෂ නොවන එමෙන්ම කාටත් සවන් දෙන ජනාධිපතිවරයකුගේ භූමිකාවය. පාලකයකු ලෙස ඔහු මේ වනවිට වෙනත් කිසිදු ජනාධිපතිවරයකුට වඩා සරලය. විධායක ජනාධිපති ධුරයට හිමි අවම ආඥාධිකාරී බව පවා ඔහුගෙන් නොපෙන්වනසුලු ය. ආණ්ඩුකරණයේ දී රටට හිමිවී ඇති මෙම ප්‍රතිලාභය තමන්ගේ පක්‍ෂයට හා මන්ත්‍රී සගයන්ටද හිමිවී ඇති බවක් පෙනී යයි. රටේ විවිධාකාර සමාජ ස්තරවලින් පත්වී සිටින මන්ත්‍රී සගයන් ජනාධිපතිවරයාගේ මෙම සැර පරුෂ නොවන ආඥාධිකාරී නොවන ප්‍රතිරූපය අවභාවිත කරමින් සිටින්නේ ද යන සැකයක් මේ දිනවල ජනතාව තුළ සියුම් ලෙස මතුවෙමින් ඇත්තේ විශේෂයෙන්ම රන්වල මන්ත්‍රීවරයාගේ මෑතකාලීන ක්‍රියාපරිපාටිය නිසාය. 
ඉතාම සුපිරිසිදු පරමාදර්ශී ආණ්ඩුකරණයක යෙදෙන බව ප්‍රතිඥා දෙමින් බලයට ආ ජාතික ජන බලවේග ආණ්ඩුවේ එම පරමාදර්ශී බවට පළමු කළු පැල්ලම එකතු කිරීමට රන්වල මන්ත්‍රීවරයා සමත්වූයේ කථානායක තනතුරට පත්වී ඉතාම කෙටි කාලයක් තුළ එම තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතුවූ සිදුවීම නිසාය. ඔහු මැතිවරණ සමයේ සිට ප්‍රසිද්ධ කරමින් සිටි අධ්‍යාපන සුදුසුකම වසරක් ගෙවී ගියත් මේ වනතුරුත් තහවුරු කර රටට පෙන්වීමට ඔහු අපොහොසත් විය. එමගින් උපහාසයට ලක්වූයේ ආණ්ඩුවේ පරමාදර්ශී බව මිස රන්වලගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. ආණ්ඩුවට වසරක් පිරෙද්දීම දෙවැනි කළු පැල්ලමක් එකතු කිරීමට ඔහු දායක වූයේ මෑත සිදුවූ රිය අනතුර නිසාය. රිය අනතුරේ වැරදිකරු කවරකුදැයි මේ වනතුරුත් තහවුරුවක් නොමැතිමුත් රන්වල හේතුවෙන් ආණ්ඩුව දැඩි අපහසුතාවට පත්ව සිටින බව පැහැදිලිය. පොලිස්පතිවරයාම ප්‍රකාශ කළේ මෙම සිද්ධියේදී සපුගස්කන්ද පොලිසිය රාජකාරිය පැහැරහැර ඇති බවය. චම්පික රණවක හිටපු ඇමැතිවරයාට එරෙහිව රිය අනතුරු සිදුවීමක දී දැඩි හඬක් නැඟූ ජවිපෙට එල්ලවූ පාරාවළල්ලක් ලෙස රන්වල සම්බන්ධ රිය අනතුර මතුවී පැමිණියේය. 

ආණ්ඩුවේ පරමාදර්ශීභාවයට එල්ලවූ දැඩි පහරක් ලෙස මෙම සිදුවීම් දෙකම සමාජ මාධ්‍ය තුළ සුවිශාල විවේචනවලට තුඩු දුන්නේය. තමන්ගේම මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධ සිදුවීම්වල දී ජනාධිපතිවරයා ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද යන මතයක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ අතර එවැනි මතයක් ජනතාව තුළ තහවුරු වීමට ඉඩදීම පැවැති ආණ්ඩුවල පාලන තන්ත්‍රයට එරෙහිව සුජාතභාවයක් රටට පෙන්නුම් කළ ජාතික ජනබලවේග ආණ්ඩුවකට තරම් නොවන බව සටහන් කළ යුතුය.

දේශපාලන සදාචාරය අතින් ජනතාවගේ විරෝධයට බඳුන්වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය තුළ ද මෙවැනිම ආකාරයේ මන්ත්‍රී විනය පිළිබඳ ප්‍රශ්න මතුවූ අවස්ථාවල එම මන්ත්‍රීවරුන් නෙරපා හැරීමට ජයවර්ධන ජනාධිපතිවරයා පියවර ගත්තේය. 

එජාපයේ පානදුර මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ද ජයවර්ධන ජනාධිපතිවරයා තීරණය කළේ පක්‍ෂයේ අභ්‍යන්තර විනය උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි. එජාපයේ වුවමනාව මත එවකට විපක්‍ෂනායක අමිර්තලිංගමට එරෙහිව විශ්වාසභංග යෝජනාව රජය වෙනුවෙන් ඉදිරිපත් කළේද දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. ඉන්පසුව අත්තනගල්ල මන්ත්‍රීවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කර පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට රජය කටයුතු කළ අවස්ථාවේ නොබියව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ තීන්දුවට එරෙහිව කතා කිරීම නිසා දොස්තර නෙවිල් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ජේ.ආර්. තීරණය කළේය. ඒ අනුව 1981 දෙසැම්බර 23 වැනිදා පානදුර එජාප මන්ත්‍රීගේ බෙල්ල කැපීමේ පාර්ලිමේන්තු විවාදය එජාප රජය විසින්ම පවත්වා ඔහු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරිණි. 

ජේ.ආර්. ගේ ආණ්ඩුව පක්‍ෂ විනය කඩ කළ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඊළඟට ගෙදර යැව්වේ 1987 ගෙන ආ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවීම නිසාය. හක්මන එජාප මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සහ කඹුරුපිටිය එජාප මන්ත්‍රී චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන පක්‍ෂයෙන් නෙරපා හැරිණි. ඒ සමඟම ඔවුන්ගේ මන්ත්‍රී ධුර ද අහිමි විය. ජේ.ආර්. ට ඉතා හිතවත්ව සිටි සිරිල් මැතිව් ඇමැතිවරයා ද ඔහුගේ ඇමැති තනතුරුවලින් ඉවත් කළේ පක්‍ෂ විනය ගැන පක්‍ෂයෙන් හා වෙනත් චෝදනා ගැන සමාජයෙන් ආ විරෝධතා මැදය. මේ දිනවල නිතර කතාබහට ලක්වන පොදු දේපොළ පනත ද මන්ත්‍රී විනය හා දූෂණ නැවැත්වීමට ජයවර්ධන ජනාධිපතිවරයා ගත් පියවරකි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හයෙන් පහක බලයක් ලැබ රටේ පාලනය ගෙන යාමේ දී රට තුළ මෙන්ම ආණ්ඩු පක්‍ෂ තුළින් ද විවිධ ප්‍රශ්න මතුවිය. උතුරේ ත්‍රස්තවාදීන් මෙන්ම දකුණේ විවිධ දේශපාලන කණ්ඩායම් රාජ්‍ය දේපොළවලට පහරදීම, ගිනි තැබීම සිදුවිය. හයෙන් පහක අතිවිශාල පාර්ලිමේන්තු බලයක් තිබූ ආණ්ඩුව තුළම යම් යම් මන්ත්‍රීවරුන්ට විෂමාචාර චෝදනා රාජ්‍ය දේපොළ අයථා පරිහරණයට පත්කර ගැනීම ආදී චෝදනා එල්ල විය. මේ කණ්ඩායම් දෙකම පාලනය කිරීම සඳහා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1982 වසරේදී පොදු දේපොළ විෂයයෙහිලා සිදු කරන වැරදිවලට දඬුවම් දීමේ අරමුණින් විශේෂ පනතක් ගෙන ආවේය. 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි ලා සිදු කරන වැරදි පිළිබඳ පනත ලෙස මෙම පනත නම් කර ඇත. පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව කතානායක අත්සනින් පනත නීතියක් බවට පත්වූයේ 1982 මාර්තු මත 25 වැනිදාය. 

මෙවැනි පනතක් ගෙන ඒමට ජනාධිපති ජයවර්ධනට සිදුවූ එක් හේතුවක් වන්නේ තමාගේ රජයේම ඇතැම් මන්ත්‍රීවරුන් අයථා ලෙස මුදල් හම්බකිරීම නැවැත්වීමය. ඇතැම් මන්ත්‍රීවරයකු ගැන විශේෂ ජනාධිපති කොමිෂමකින්ද කරුණු විභාග කළේය. 

පොතුවිල් එජාප මන්ත්‍රී ඇම්.ඒ.එම්. ජලාල්දීන් පිළිබඳව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී තිබිණි. ඒ අනුව එජාප මන්ත්‍රීවරයාට එරෙහිව පරීක්‍ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති කොමිසමට නියම කළේය. ජේ.ජී.ටී.ජී. වීරරත්න (සභාපති), ඇස්. සර්වානන්දන් සහ කේ.සී. ද අල්විස් යන විනිශ්චයකාරවරුන් යටතේ එම ජනාධිපති කොමිසම ක්‍රියාත්මක විය. පොතුවිල් එජාප මන්ත්‍රී ජලාල්දීන් ගොවියකුට ට්‍රැක්ටර් සංස්ථාවෙන් රුපියල් 72000 කට ලබාගත හැකිව තිබූ ට්‍රැක්ටරයක් අඩු මිලට ලබාදීම සඳහා එම ගොවියාගෙන් රුපියල් දස දහසක් ලබාගත් බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුනිල් ද සිල්වා පෙන්වා දුන්නේය. එම ගොවියා වූ ඉසා ලෙබ්බේ නමැත්තා මන්ත්‍රීවරයා මුදල් ගත් හැටි මෙසේ හෙළිදරව් කළේය. 

“මන්ත්‍රීවරයාගේ මාර්ගයෙන් ලාබයට ට්‍රැක්ටර් ගත් අය මා දන්නවා. මා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයෙක්. මන්ත්‍රීවරයාගෙන් බලපත්‍රයක් ලබාගත හැකිනම් ට්‍රැක්ටරයක් සඳහා වැයවන මුදලින් රුපියල් විසිදහසක් පමණ ඉතිරි කර ගැනීමට පුළුවන් බව මන්ත්‍රීවරයා මා සමග කීවා. ඒ සඳහා රුපියල් 15000 ක් ඉල්ලුවා. මා සතුව තිබුණේ දස දහසක් පමණයි. මා එය මන්ත්‍රීවරයාට දුන්නා...”

මෙයට අමතරව තම පුත්‍රයාට රැකියාවක් ලබාගැනීමට ජලාල්දීන් මන්ත්‍රීවරයාට තමා රුපියල් 2000 ක් ලබාදුන් බවත් එම රැකියාව මේ වනතුරුත් නොලැබුණු බවත් එම සාක්‍ෂිකරු පැවසීය. 

මෙහිදී කොමිසම එජාප මන්ත්‍රී දොස්තර ජලාල්දීන්ගෙන්ද ප්‍රශ්න කළේය. “තමාගේ මාමාගෙන් මිලදී ගත් නිවෙසට ගෙවැදීමේ උත්සවයේ දී ඡන්දදායකයන් විසින් ගෙන ආ ඔරලෝසු ආදී තෑගි තමා බාර ගත්තා නේද?” යැයි විනිසුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ මන්ත්‍රීවරයා පැවසුවේ, “බාරගත් බවත් භාර නොගෙන සිටියා නම් ඔවුන් තමා සමග අමනාප වන බවත්ය.” 

මෙවැනි අයථා ක්‍රියා හෙළිදරව් වීම නිසා ජයවර්ධන ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරයාට අල්ලස් පනත යටතේ දඬුවම් කළේය. 

එජාප රජය සමයේ ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය හෙබවූ එමෙන්ම එකල එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු ද වූ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පවසන්නේ ආණ්ඩුවේ නිලධාරීන් සහ දේශපාලනඥයන්ගේ අයථා ධනවත්වීම් පාලනය කිරීමට ජනාධිපති ජයවර්ධන මෙම පනත ගෙන ආ බවය. “ඒ කාලෙ රජයේ කොටස් හිමිකම තියෙන රාජ්‍ය සංස්ථා සහ පවරාගත් ආයතනවල විවිධ සොරකම් සහ අයථා මූල්‍ය පාලනය සිදුවුණා. මේ සොරකම්වල උසාවි කටයුතුවලදී පොලිසිය විවිධ ආකාරයට අර්ථ නිරූපණය කළා. ඒ කාලෙ එක පනතකින් නැතිනම් නීතියකින් වැරදි කාරයා උසාවි ගෙන යන්න අපහසු තැන් තිබුණා. මේ නිසා පොදු දේපොළ මෙන්ම මේවය කියන අර්ථ දැක්වීම පොලිසියටත් අදාළ නීති නිලධාරීන්ටත් ලබාදෙන්න තමයි පොදු දේපොළ පනත ගෙන ආවේ. 

ඒ කාලෙ ආණ්ඩුවෙ මැති ඇමැතිවරුන් ගණනාවකටම දූෂණ චෝදනා එල්ලවී තිබුණා. ඒ අයට ජයවර්ධන ජනාධිපතිතුමා බුරුලක් දුන්නේ නෑ. ඒ කාලෙ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට බයේ හිටියෙ. “ලොක්ක මේව දන්නවද දන්නෙ නෑ.” වගේ අදහස් ඔවුන්ගෙන් පළවුණා. පොතුවිල් මන්ත්‍රී අල්ලස් ගත්ත බවට වාර්තා වුණා. ජයවර්ධන ජනාධිපතිතුමා අල්ලස් කොමිසමට පැවරුවා මෙයා ගැන පරීක්‍ෂණයක් කරන්න. එයින් ඔහු වැරදිකරු වුණාම දඬුවම් කළා. පිඟන් සංස්ථාවෙ අධ්‍යක්‍ෂවරයෙකු වූ සිරිනාල් ද මෙල්ටත් ඒ වගේ චෝදනා මතු වුණාම ඔහුව එම තනතුරෙන් අයින් කළා. උතුරේ ත්‍රස්තවාදීන් රජයේ දේපොළවලට හානි කරන්න ගත්තා. මේ හැම දේටම දඬුවම් දෙන්න පුළුවන් විදිහට තමයි පොදු දේපොළ ආරක්‍ෂා කරන පනත ගෙනාවේ...” ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සඳහන් කරයි. 

මැති ඇමැතිවරුන් තම නිල රථ අවභාවිත කිරීම, අමාත්‍යාංශයට අයත් වාහන කිහිපයක්ම ඇමැතිවරුන් පාවිච්චි කිරීම ආදිය එකල සමාජයෙන් දැඩි විවේචනයට ලක්වී තිබිණ. මේ නිසා පොදු දේපොළ අයථා පාවිච්චිය ගැන නිවැරදි තොරතුරු ලබාදෙන සේවයන්ට මුදලින් ත්‍යාග පිරිනැමීමට ද කැබිනට් මණ්ඩලය තීන්දු කළේ මෙම විෂමාචාර නැවැත්වීම අසීරු වූ නිසාය. 

1982  පෙබරවාරි මාසයේ පොදුජන ජීවිතයේ පාරිශුද්ධභාවය රැකදීම සඳහා ආණ්ඩුව තීන්දු තීරණ ගණනාවක් ගත්තේය. ඒ අනුව සංස්ථාවල සිදුවන සොරකම්, දූෂණ වංචා පොදු දේපොළ අයථා පරිහරණය ආදිය අල්ලාදෙන සේවකයන්ට රුපියල් 3000 සිට 10000 දක්වා තෑගි ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කළේය. විශේෂයෙන්ම පොදු දේපොළ අයථා පරිහරණය වැඩි වී ඇති බව ඇමැති මණ්ඩලය සාකච්ඡා කළ බව එවක කැබිනට් ප්‍රකාශ වූ රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් නිවේදනය කළේය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් යළි ප්‍රකාශ කරමින් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ දෙන ලද නිල රිය ගෙදර පාවිච්චියටවත් නොගත යුතුය යන්න රජයේ ස්ථාවරය බවය. ඒ අනුව පොදු දේපොළ ආරක්‍ෂා කිරීමේ නීතියක් ගෙන එන බව ද රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහතා කියා සිටියේය. 

1982 අංක 12 දරන පොදු දේපොළ පනත මාර්තුවේදී සම්මත්වූයේ ඒ අනුව ය. 

1982 පෙබරවාරි මාසය වනවිට තමන්ගේම මන්ත්‍රීවරුන්ගේ දූෂණ වංචා ගණනාවක්ම අතට හසුකරගන්නට ජනාධිපතිවරයාට හැකියාව ලැබ  තිබිණ. ටෙන්ඩරයකින් තොරව සිය සගයකුට කොන්ත්‍රාත්තුවක් ලබාදීමෙන් රජයට පාඩු කරන ලදැයි කඹුරුපිටිය හිටපු එජාප මන්ත්‍රීවරයා එජාපය මගින් පත්කළ කමිටුවකින්ම වැරදිකරු කෙරිණි. ජනාධිපතිගේ සිංහල කතා දෙමළට පරිවර්තනය කළ භාෂා පරිවර්තකයා වූ සංස්ථා උපසභාපතිවරයකු වූ හුසේන් මවුලානා අනියම් බිරිය සමග සංස්ථා මෝටර් රථයකින් ගිය ගමනක් ගැන පරීක්‍ෂණයක් පවත්වා ඔහු අදාළ ධුර දෙකෙන්ම ඉවත් කෙරිණි. සමාජ සේවා ඇමැති අශෝක කරුණාරත්නට රජයෙන් ලබාදී ඇති නිල නිවසෙන් කොටසක් කුලියට දීමට ඇති බවට ඔබ්සවර් පත්‍රයේ ඔහු පළ කර තිබූ දැන්වීමක් ගැන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා විමසා තිබිණි. 

එකල රටේ ආහාර අවශ්‍යතාවෙන් හරි අඩක් පමණම ආවරණය කළේ සමුපකාර සමිති මගිනි. විවිධ සේවා සමුපකාර සමිතිය ඒ ඒ පාලක මණ්ඩල මගින් පාලනය වුවද සමුපකාර සමිති සැලකෙන්නේ රජය සතු වත්කමක් හැටියටය. 1982 ජනවාරි - පෙබරවාරි අතර කාලයේ සමුපකාර සමිති ගණනාවක රුපියල් කෝටි ගණනක වංචා දූෂණ වාර්තා විය. කොලොන්නාව සමුපකාර සමිතිය ගැන සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ද ආරම්භ කර තිබිණ. මෙම වංචනිකයන්ට දඬුවම් ලබාදීමේ දී එම ආයතන රජයට අයත් නොවන බවට සමුපකාර ප්‍රධානීන් පවසා ඇති බව ද වාර්තා විය. මේ නිසා නීති අංශවලට ප්‍රශ්න මතු වී තිබිණ. 

මේ සියලු දූෂණ හා වංචාවල ප්‍රතිඵලය වූයේ පොදු දේපොළ ආරක්‍ෂා කිරීමේ පනතය. 

එම පනත යටතේ පොදු දේපොළ යන්න අර්ථ දක්වා ඇත්තේ මේ ආකාරයටය. “පොදු දේපොළ” යන්නෙන් ආණ්ඩුවේ දේපොළ ද යම් දෙපාර්තමේන්තුවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමුපකාර සමිතියක හෝ සමුපකාර සංගමයක දේපොළ අදහස් වේ. 

ඒ අනුව අදාළ වැරදි සඳහා දඬුවම් නියම කර ඇත්තේ මේ ආකාරයටය. “පොදු දේපොළ විෂයයෙහි ලා අනර්ථය නමැති වරද සිදු කරන්නාවූ කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර වරදකරු කරනු ලැබූ විට අවුරුදු එකකට නොඅඩු එහෙත් අවුරුදු විස්ස නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම ද ඒ දේපොළට කළ අලාභයේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක දඩයකින් ද ඔහුට දඬුවම් කළ යුතුය.

සැකකරුට ඇපදීම, ඒ සඳහා අභියාචනා කිරීම ආදී සෙසු දණ්ඩ නීති සංග්‍රහයට අදාළ වන වගන්ති ගණනාවක් එම පනතේ අඩංගු වෙයි. වරද කළ දේපොළ විනාශයේ හෝ අයථා පරිහරණයේ ප්‍රමාණය අනුව ඇප නොදී එම නඩුව අසා අවසන් කරනතුරු රඳවා තබා ගැනීමේ බලය ද අධිකරණයට පවරා තිබේ. එම පනත අද දේශපාලකයන් ගණනාවකට එරෙහිව යොදවා ඇති ආකාරය දැකගත හැකිය. 

ප්‍රේමකීර්ති රණතුංග