ලංකාවේ පොලිසිය ආරම්භයේ පටන්ම ප්‍රජාපීඩක පොලිසියකි. එය එසේ නොවන්නේ නම් ඒ ඉතා කෙටි කාලයකට පමණකි. පොලිසිය ආරම්භ කළ සමයේ ජනතාවගේ හිස මත හෙලූ පොලිස් බැටන් පොල්ල ඉන් සියවසක් ඇවෑමෙන් අදද ජනතාවගේ හිස මතට පතිත වෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඉකුත්දා කියා සිටියේ ඉකුත් පස් වසර තුළ අත්අඩංගුවේදී හතළිස් නව දෙනකු මියගොස් ඇති බවය. පොලිසිය සමග ගැටුම්වලදී තවත් තිස් දෙනකු මරණයට පත්ව ඇත.
ඒ අනුව මහජන ජීවිත ආරක්ෂාව සහ පොලීසිය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීමේ අරමුණින් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරන බව ද මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කරයි.
පොලිසිය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීමට සිදුවී ඇත්තේ ජනතාවට පොලිසිය ගැන විශ්වාසයක් නොමැති නිසාය. එක් ආණ්ඩුවක් බලයේ රැඳී සිටින විට ඇතැමුන් ගැන සිදු නොවන පොලිස් පරීක්ෂණ අත්අඩංගුවට ගැනීම් එම ආණ්ඩුව වෙනස් වී වෙනත් ආණ්ඩුවක් බලයට පැමිණි විගසම වහ වහා ආරම්භ වෙයි. කලින් ආණ්ඩුවේදී ගරු සැලකිලි දක්වා සැලියුට් ආචාරයක්ද පුද කෙරෙන ප්‍රභූ පංතියේ මෙම ඇතැමුන්ට පොලිස් කූඩුවේ කූරු ගණින්නට ඉඩහසර උදාවෙයි. එම ආණ්ඩුව බලයෙන් ඇදවැටී යළිත් පැරණි ආණ්ඩුවම බලයට පත්වූ පසු පෙර දා සිරගත කළ මැති ඇමැතිවරුන් වැඩි කල් නොයාම නිදහස ලබන්නේය. පොලිසිය එන එන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පදයට නටන රූකඩයක්ය යන මතය ජනතාව තුළ තහවුරු වන්නේ පොලිසියේ මෙම හැසිරීම නිසාය. කලක් රාජපක්ෂවරුන්ගේ අතකොළුවක් ලෙස නාමකරණය වූ පොලිසිය, සහෝදරවරුන්ගේ අතකොළුවක් ලෙස නාමකරණය වන දිනයද වැඩි ඈතක නැත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපයද මේ දිනවල පාර්ලිමේන්තුව මගින් පත් කළ කමිටුවකින් විමසා බලන අතර, විෂමාචාරය ඔහුට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවය. එම පාර්ලිමේන්තු කමිටුවෙන් වරදකරු වුවහොත් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ඔහු තනතුරෙන් නෙරපා හැරීමට පාර්ලිමේන්තුවට බලය තිබේ. ඉකුත් සතියේ එම පරීක්ෂණ කමිටු වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ද ප්‍රතික්ෂේප කළේය. චෝදනා විසි තුනකින් සමන්විත චෝදනා පත්‍රයක් පොලිස්පතිවරයාට එරෙහිව නැගී ඇත.
පොලිසිය සැබැවින්ම සේවය කළ යුත්තේ කාටද?
ඈත අතීතයේ පොලිසියේ කාර්යභාරය මිනිසුන් ඉටුකරගන්නේ තමන් විසින්ම එක් පුද්ගලයකු පත්කර ගැනීමෙනි. ඉන්පසුව රාජ සමයේ රජු විසින් ගම්මුලාදෑනියා නමින් පුද්ගලයකු පත් කළ අතර, ඔහුග් කාර්යභාරය පසුව ‘‘ගම් සභාව’’ නම් ආයතනයකට සාමූහිකව පැවරුණි. ඉන්පසුව විදානේ නම් වූ පුද්ගලයා ආරක්ෂාව හා පාලනය බාරව කටයුතු කළ අතර, ඔහු ගම්වැසියන්ගෙන්ද කරුණු විමසා බලා සිය රාජකාරිය කරගෙන ගියේය. ලන්දේසි සමයේ ‘‘පොලිස් විදානේ’’ නමැති අයෙක් වර්තමාන පොලිසියේ රාජකාරිය සිදු කළේය. මෙතෙක් කල් නීතිය හා සාමය රැකීම සඳහා මහජනතාවටද හවුල් විය හැකිව තිබූ ක්‍රමය වෙනස් කළ බ්‍රිතාන්‍ය පාලකයෝ වර්ෂ 1833දී මුදලට වැඩ කරන නිලධාරියකු මේ සඳහා පත් කළහ. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වූයේ මෙරට ජනතාව මර්දනය කර පාලනය කිරීමය. එම පිළිවෙත් සමග පාලකයන්ගේ ඕනෑ එපාකම්වලට ඉඩ සැලසුණු ඔවුන්ගේ රැකවරණය පිණිසම සේවය කළ පොලිස් නිලධාරියාගේ බිහිවීම සිදුවිය.
එංගලන්තයේ අපරාධ අඩු කිරීම සඳහා ‘‘මෙට්‍රොපොලිටන්’’ පොලිසිය ආරම්භ වූයේ 1829 වසරේදීය. එමගින් නිල ඇඳුමකින් යුත් ආරක්ෂකයන් පිරිසක් ලන්ඩන් නගරයේ ඉතා කුඩා ප්‍රදේශයක රඳවා තබා එය සාර්ථක වූ පසු නගරය පුරාම මෙම ආරක්ෂකයන් යෙදවීය. නූතන පොලිස් සේවයේ ආරම්භය මෙයයි. 1832දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් නෝටන්ද තම මව් රටේ ආකාරයට පොලිස් සේවයක් මෙරට ගොඩනැංවීමට අවසර ලබාගත්තේය. ඒ අනුව වැටුප් සහිත පොලිස් බළකායක් පිහිටුවීමට අවසර ලැබිණි. මෙම බළකාය සඳහා පිරිස් වැඩිපුර බඳවා ගත්තේ බ්‍රිතාන්‍යයට යටත් ඉන්දියාවේ සහ මැලේසියාවේ ප්‍රදේශවලිනි.
ඉංග්‍රීසි ආණ්ඩුව මෙරට පැලපදියම් වූ පසු ලන්දේසි යුගයේ පටන් පැවත ආ ගම්බද පොලිස් විදානේ තනතුර දිගටම පවත්වාගෙන ගියේය. මෙම තනතුර ගැමියන්ගේ නුරුස්නාවට භාජනය වූ තනතුරක් වූ බව 1871 ජනවාරි 14 වැනිදා ලක්රිවි කරණ පුවත්පතේ පළවූ මෙම සටහනෙන් පෙනෙයි. ‘‘පොලිස්කාරයන්ව ගම්වල තබාගන්නට ආණ්ඩුවේ කල්පනාවක් තිබෙන බව සැලයි. මෙයින් අවැඩක්ම මිස වැඩක් වේ යැයි නොසිතම්හ. පොලිස් කොන්ස්තපල් කියන වැඩය ගම්වල සිංහල මිනිසුන් නුරුස්නා වැඩකි. මේ වැඩේට වැදගත් පවුල්වල යුතු අයුතුකම් දන්නා කිසිවෙක් බැඳෙන්නේ නැත. දැනට මේ වැඩේට බැඳී සිටින්නේ බොහෝ සෙයින් රැකී රක්ෂාවක් නොමැති චණ්ඩි සහ අස්ගොව්වොත් පිටරටවලින් එන නාවිකයොත් යනාදී අධමයෝය. මෙහෙම අය ගම්වලට ඇරීමෙන් ගම්වැසියන්ට වෙන්නේ නපුරයි’’ එසේ කියන්නේ 1871 වර්ෂයේ මෙරට පළවූ පුවත්පතකි. පොලිස් සේවය ආරම්භයේ පටන්ම ජනතාවගේ පිළිකුලට ලක්වූ ආකාරය එයින් පෙනෙයි. අදද පොලිසිය එම තත්ත්වයෙන් මිදී තිබේද? පාරවල් අද්දර රැකසිට වාහන නවතා දඩ ලියන රාලහාමිලා ගැන ජනතාව කියන කතා පාලකයන්ට ඇසී නැද්ද?
මෙරට ස්ථාපිත කළ පොලීසිය සඳහා මුලින්ම ලාංකිකයන් බඳවා ගත්තේ නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙහිදී කළේ පොලිස් සුපිරින්ටැන්ඩන්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් බ්‍රිතාන්‍යයෙන්ම ගෙන්වා ගැනීමය. උප පරීක්ෂකවරුන් සඳහා මෙරට සිටි මිශ්‍ර ලන්දේසි ජාතිකයන් වූ බර්ගර්වරුන් බඳවා ගත් අතර, කොස්තාපල් තනතුර සඳහා බඳවා ගත්තේ බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාති මැලේ ජනයාය. මෙසේ පිහිටුවන ලද පොලිසිය මෙරට නිදහස අපේක්ෂා කළ ජනතාවට මර්දනයම ගෙන ආවේය. 1915 සිංහල මරක්කල කෝලාහලය සිදුවූ අවස්ථාවේ එකල ටවුන්ගාඩ් හෙවත් නගරාරක්ෂක හමුදාවේ සේවය කළ එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස්ට වෙඩි තබා මරා දැමුවේ ඔහු ලාංකික සිංහලයන්ට පක්ෂපාති වූ නිසා නොව, තම පොලිසියේ නිලධාරියකු තම අණ නොපිළිපැදීම යන චෝදනාව මතය. 1920දී පමණ පොලිසියේ මධ්‍යම ශ්‍රේණිවලට සිංහලයන්ද බඳවා ගනු ලැබූවද ඒ තැන ලැබුණේ බ්‍රිතාන්‍ය යටත්විජිතයට පක්ෂපාතී උසස් සිංහල ප්‍රභූ පවුල්වල දරුවන්ට මිස සාමාන්‍ය පවුල්වල දරුවන්ට නොවේ.
සුදු ජාතිකයන්ගේ ගර්භාෂයෙන් උපන් ශ්‍රී ලංකා පොලිසිය තවමත් තම පීතෘවරයා ලබාදුන් මාර්ගෝපදේශයම අනුගමනය කරමින් සිටින්නේය. පාලකයන් රකිමින් පාලිතයන්ට පහර දෙනු යන සුදුජාතික හාම්පුතුන්ගේ වචන මාලාවම නිතිපතා කියමින් සිටින්නේය.
සුදු ජාතික හාම්පුතුන්ට එරෙහිව සටන් කළ සිංහලයකු වූ උතුවන්කන්දේ සරදියෙල් අල්ලන්නට ගොස් සරදියෙල්ගෙන් වෙඩි කෑ මැලේ ජාතික ‘‘සාජන්ට් සභාත්’’ මිය ගිය දිනය තම පොලිස් වීර දිනය ලෙස අදටත් සමරමින් සිටින පොලිසියකින් මෙයටත් වඩා ස්වාධීනත්වයක් බලාපොරොත්තු විය හැකිද? සුදු ජාතිකයන්ට හිරිහැරයක් වෙමින් සිටි සරදියෙල් හොරකු, මිනීමරුවකු ලෙස නම් කළේ යටත් විජිත පොලිසියෙනි. ඉංග්‍රීසින්ට හිසරදයක් වූ සෑම සිංහලයාම එක්කෝ සිරගෙට හෝ එක්කෝ පරලොව යවන්නට විවිධ හේතු සාධක සටහන් කළේත් එම යටත්විජිත පොලිසියමය. බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගේ වතු බංගලාවලට කඩාපැන සොරකම් කරන දේ දුප්පත් ලාංකිකයන්ට බෙදාදුන් සරදියෙල් සහ ඔහුගේ සගයා වූ මුස්ලිම් ජාතික මම්මලේ මරික්කාර් වර්තමාන ඇසින් බැලූ විට ජාතික සමගියේ සංකේතයකි. ඉංග්‍රීසින්ට එරෙහිව මෙම දෙජාතියම එක්වූ ජාතික අරගලයක් යම් හෙයකින්වත් පැන නගියිදෝ යන බිය මත සරදියෙල් මරා දමන්නට තීන්දු කළ යටත්විජිත පාලකයන්, මැලේසියාවෙන් ආනයනය කර පොලිසියට බඳවාගත් සාජන්ට් සභාත් පිටත්කර යවන්නේ සරදියෙල් මරා හෝ අල්ලා ගැනීමටය. සරදියෙල්ගේ වෙඩි පහරින් සාජන්ට් සභාත් මියගිය පසු ඔහු වෙනුවෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ලබාදුන් උපහාර උළෙල අදටත් කැත නැතිව ලබාදෙන ශ්‍රී ලංකා පොලිසිය වසර පහක් තුළ තම අත්අඩංගුවට පත්වූ හතළිස් පස් දෙනකු පරලොව යැවීම ගැන පුදුම විය යුතුද? ලාංකිකයකු මැරූ මැලේසියා ජාතිකයකුට තම ආරම්භක වීරයා ලෙස ආචාර පුදන පොලිසිය ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා සාමය රකින බවට විශ්වාස කළ හැකිද? සුදු ජාතිකයන්ගේ ආණ්ඩුව රකින්නට ජීවිතය පූජා කළ ‘සාජන්ට් සභාත්’’ ඝාතනය වූ දිනය පොලිස් වීර දිනය ලෙස සමරමින් සිටින පොලිසිය, තම වීර නාමාවලියේ දිවි පිදූ පළමු වීරයා ලෙස නම් කර අත්තේ ද ‘‘සාජන්ට් සභාත්’’ය.
පොලිසිය පිරිසිදු කරන්නේ නම් ඔවුන්ගේ පළමු වීරයා සමරන දිනය පවා වෙනස් කර අලුත් ශ්‍රී ලංකාවට ගැලපෙන පොලිසියක් නිර්මාණය කළ යුතුය.
1971 කැරැල්ලේදී එවකට ආරක්ෂාව භාර උප ඇමැතිවරයා ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුටුවේ වාඩිවී නියෝග දුන් බව ප්‍රචලිත කතාවකි. පොලිසිය දේශපාලනීකරණය වීමේ ආරම්භය වූයේ 71 කැරැල්ල මැඩපැවැත්වීම සඳහා ශ්‍රීලනිපය නීතිය අතටගෙන කටයුතු කළ අවස්ථාවය. 1970 - 1977 අතර සමගි පෙරමුණු රජය සමයේ විරුද්ධ පක්ෂයට එරෙහිව රජය පොලිසිය යොදවා විවිධ අනීතික කටයුතු සිදු කළේය. විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධන ජවිපෙට කිසිදු සබඳතාවක් නොතිබියදී 1971 කැරැල්ලට සම්බන්ධ බව පවසා එක් දිනයක් පොලිස් කූඩුවට රිංගවීය. 1977දී බලයට පත්වූ ජේ.ආර්. තමාට පක්ෂ පොලිස් රාජ්‍යයක් බිහි කරමින් දේශපාලන පක්ෂපාතී පොලිසියක් නිර්මාණය කිරීමට හේතු වූයේ නිරපරාදේ තම පුත්‍රයා එදා සිරගත කිරීමය. ශ්‍රීලනිපය ආරම්භ කළ දේ ජේ.ආර්. වඩාත් වැඩි දියුණු කරමින් පාවිච්චි කළේය. 1971 සිට වර්තමානය දක්වා සියලු පාලකයන් පොලිසිය තම පක්ෂයේ ශාඛාවක් බවට පත් කළේය.
පොලිසිය කොතරම් දුරට දේශපාලනයෙන් ඉවත්කර තැබිය යුතු දැයි තීරණය කළ යුත්තේ රජය කරවන උදවිය මිස ජනතාව නොවේ. රජයේ ප්‍රතිපත්තිය පොලිස් සේවයේ ඉහළ සිට පහළටම බලපායි. දේශපාලන පක්ෂපාතිත්වය මත පොලිස්පතිවරයා පත් කරන්නේ රජයේ නිර්දේශ මත නම් එම පොලිස්පතිවරයා දෙන නියෝග පවතින රජයට වාසිදායක වනු ඇත. ඉදින් පොලිසිය කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රිය පොලිසියක් කරන්නට තැත් කළත් ඉහළම අතු හැරෙන්නේ රජය දෙසට නම් සාධාරණයක් ඉටුවේ යැයි සිතිය හැකිද? මෙරට ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කර ඇතත්, පොලිස්පති තනතුර වැනි ඉහලම තනතුරු සඳහා පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් වුවත් ජනාධිපතිවරයා නිර්දේශ කර එවන නාමයෝජනාව එම සභාවේදී අනුමත වුවහොත් පොලිස්පතිවරයා ස්වේච්ඡාවෙන්ම තමා නාමයෝජනා කර යැවූ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පක්ෂපාතීවීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇත. ඒ අනුව බලන විට පොලිස්පතිවරයා පවතින රජයේ කීකරු ගෝලයකු නොවන බවට සහතිකයක් මෑත කාලීන ආණ්ඩුවලට සැපයිය හැකිද?
වඩා බලවත් වූ පොලිසිය මහජන මන්ත්‍රීවරුන්ට පවා පහරදීමට නිර්භය වූ බව 1940-60 පමණ ඉතිහාසය පිරික්සා බලන විට පෙනී යනු ඇත. පොලිසියෙන් එල්ලවූ තර්ජනයට මුහුණදීම සඳහා දේශපාලනඥයන් කළේ පොලිසිය තමා යටතට ගැනීමට උත්සාහ දැරීමය. පසුගිය කාලය වන විට මේ තත්වය වඩාත් වැඩිදියුණු වී දේශපාලකයාගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන සමහර පොලිස් නිලධාරීන් දැක ගත හැකි විය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ විෂමාචාරය සොයන කමිටුව ඔහුගේ පමණක් නොව පොලිස් සේවයේම විෂමාචාර සොයන්නේ නම් එය රටට කරන සේවයකි. අප එසේ කියන්නේ පොලිස් සේවයේ නිරතව සිටින සාමාන්‍ය රාලහාමිලා ගැන නොවේ. යටත් විජිත හාම්පුතුන්ගේ අඩිපාරේම යමින් රටේ පොදු සාමාන්‍ය වැසියාට හිරිහැර කරන පොලිස් සේවයේ නීති ගැනය. හිස් වැසුමක් නොමැතිව ගමේ පාරකවත් යතුරුපැදියක් පදින්නට ඉඩ නොදෙන පොලිසියට, තරගයට වෙඩි පත්තු කරන පාතාල ලෝකය පාලනය කරන්න බැරිවී තිබීම ගැනය. රථවාහන වැරදි පසුපසම දුවන පොලිසිය, දේශපාලකයන් දැක්ක දුටු තැන නිවට නියාලු වී සිටින ආකාරය ගැනය. එම හිරිහැර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා කළ බව කියන විෂමාචාරයන්ටත් වඩා ජනතාවට හිරිහැරයකි. පාර්ලිමේන්තු කමිටුවක් පත්කර හෝ සෙවිය යුත්තේ රටේ අපරාධ මැඩපැවැත්වීමට පොලිසිය ගත යුතු පියවර ගැනය. දිනපතා සිදුවන මිනීමැරුම් ඇතුළු අපරාධ මර්දනය කිරීම පොලීසියට නොහැකි වී තිබීම ගැනය. එසේ නොමැතිව පොහොට්ටු ආණ්ඩුවෙන් පත් කළ පොලිස්පති නෙරපා දමා මාලිමාවට හිතැති පොලිස්පතිවරයකු පත්කර ගත්තාට අපරාධ අඩුවන්නේ නැත.
ප්‍රේමකීර්ති රණතුංග