පුංචි ආණ්ඩු අමාරුවේ දැමූ ජන්ද ක්‍රමය


පළාත් පාලන මැතිවරණයක් අවසන් වුවද එම ආයතනවල බලය පිහිටුවීම සඳහා කිසිදු පළාත් පාලන මැතිවරණයක දී නොතිබූ අස්ථිරභාවයක් ඇතිවී තිබේ. එයට හේතුව වී ඇත්තේ ඡන්ද ගණන් කිරීමේ දී වැඩි ඡන්ද ලබා ගත් කණ්ඩායමට මන්ත්‍රී ආසන වෙන්වීමේදී සභාවේ බහුතර මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් නොලැබීමය. මෙම අස්ථිරභාවයට හේතුව වන්නේ මැතිවරණ ක්‍රමයේ වැරැද්ද මිස අන් දෙයක් නොවේ. 

මේ හේතුවෙන් වඩාත් දුෂ්කරතාවට පත්ව ඇත්තේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ආණ්ඩු පක්ෂය ය. එහෙත් ඔවුන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යව නැති හෙයින් බලය පිහිටුවීම සඳහා විපක්ෂය ද උත්සාහ දරමින් සිටී. 

වර්තමාන ඡන්ද ක්‍රමයේ ඊළඟ වැරැද්ද වන්නේ මන්ත්‍රීවරුන්ට එකතු වී බහුතරය පෙන්වා සභාවේ බලය ඇති පක්ෂය පෙරළා බලය ලබාගැනීමට ඇති හැකියාවය. මෙම බහුතරයක් නොමැති සභාවලදී සභාව රැස්වන පළමු දිනයේ පත්වන නිලධාරීන් පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී සිදු කළ හැකි අතර එසේ පත්වන සභාපතිවරයා වසර දෙකක ධුර කාලයක් ගතකළ පසු ඉදිරිපත් කරන අයවැය යෝජනාව එකපිට දෙවරක් පරාජය කිරීමෙන්ද මන්ත්‍රීවරුන්ට ඡන්ද විමසීමක් මගින් සභාවේ බලය වෙනත් අයකුට පැවරිය හැකිය. එහෙත් 1978 සිට 2018 දක්වාම ක්‍රියාත්මක වූ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ සභාවේ බලය වරින්වර මේ ලෙස පෙරළා දැමීමට ප්‍රතිපාදන තිබුණේ නැත. එම ඡන්ද ක්‍රමය මත මැතිවරණයෙන් ජයගත් පක්ෂයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රී බලය කෙතරම් වැඩි වුවද සභාව පෙරළා විපක්ෂයට බලය ලබාගැනීමට විධිවිධාන නොවීය. සභාවේ බලය ලැබුණේ වැඩියෙන් මන්ත්‍රීවරුන් සිටි පක්ෂයට පමණකි. ඒ නිසා ‘පුංචි ආණ්ඩු’ ලෙස හැඳින්වෙන මෙම පළාත් පාලන ආයතනවලට මන්ත්‍රීවරුන්ගේ මතය වෙනස් වන වාරයක් පාසා පෙරළා දැමීමේ අවදානමකට ලක් නොවී වසර හතරක කාලයක් අදාළ ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමේ අවස්ථාව ලැබී තිබුණි. 2018 පැවැත්වූ වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ වූ පළමු මැතිවරණයෙන් පසු නගර සභා සහ ප්‍රාදේශීය සභා විශාල සංඛ්‍යාවක පාලනය වරින් වර පෙරළා දමමින් හා අයවැය පරාජය කර සභාවේ පාලනය පෙරළා දමමින් ජාතික ධනය ද මහජනතාව ලබාදුන් ජනවරම ද හෑල්ලු කළ අවස්ථාව ඉතා විශාල ප්‍රමාණයක් දැකගත හැකි විය. 

මෙම ඡන්ද ක්‍රමයට පියවරු දෙදෙනෙකි. ඒ බැසිල් රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධනය. පළාත් පාලන ආයතනවල පැවැති අඩුපාඩු හේතුවෙන් අලුත් ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව ගැන දේශපාලන පක්ෂ මෙන්ම විද්වතුන් ද අදහස් පළ කර තිබිණි. මහින්ද රාජපක්ෂ රජය යටතේ අලුත් ඡන්ද ක්‍රමයක් සකස් කළේ ඒ වුවමනාව අනුවය. පැරණි ඡන්ද ක්‍රමය වෙනුවට 2012 වසරේ සම්මත කළ පනත අනුව මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ කොට්ඨාස සීමා නිර්ණය සිදුවී නොතිබූ නිසාය. රාජපක්ෂ රජය 2015 බිඳ වැටුණු පසු අලුතෙන් පත්වූ යහපාලන රජය පනතට තවත් සංශෝධන ගෙන ආවේය. 

2017 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එවකට පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා විසිනි. කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර ඡන්දය නොදී වැළකී සිටි මන්ත්‍රීවරුන් ගණන 44කි. වැළකී සිටි මන්ත්‍රීවරුන් අයත් වූයේ එවකට මහින්ද රාජපක්ෂ යටතේ සිටි එ්කාබද්ධ විපක්ෂයටය. පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් බවට පත්වූයේ මෙම ඒකාබද්ධ විපක්ෂය ය. 

පනත සම්මත වූ පසු එවකට විපක්ෂ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ එම පනත අනුව තරුණ නියෝජනය අහෝසිවී ඇති හෙයින් පනතට සංශෝධනයක් අවශ්‍ය බවය. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ අලහප්පෙරුමට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය. 

‘ගිය පාර්ලිමේන්තු සතියේදී පළාත් පාලන පනත සංශෝධනය කළා. මේ කියන ප්‍රශ්න මතු වුණා. අපි විවාද කර බහුතරයක් ඡන්දයදී අනුමත කළ නිසා සම්මත වුණා. අපිට සමහර විට එන වසරේ ඡන්දය තියන්න වෙයි. තව සංශෝධනය ගේනවා නම් ඡන්දය කල් යන්න පුළුවන්. මේ ප්‍රශ්නය කාරක සභා අවස්ථාවේදී වාද කළා. මූළික අයිතිවාසිකම් නැති වෙනවා කීවා. සභාව ගත් තීන්දුව අනුව පනත සම්මත කළා. මෙහි අඩුපාඩු තිබෙන්න පුළුවන්. මේවා ආපහු වෙනස් කරන්න අවශ්‍ය නම් පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන්න ඕනෑ’.  එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. 

මෙම පනත දඩිබිඩි පනතකි. බැසිල්ලාගේ වුවමනාවට හදා තිබූ පනත දුර්වලතාවලින් යුක්ත වූ අතර එම ආණ්ඩුව වෙනස් වී අලුතෙන් ආ ආණ්ඩුවට අවශ්‍ය වුණේ එතෙක් කල් ගොස් තිබූ පළාත් පාලන ඡන්දය ඉක්මනින් පැවැත්වීමටය. ඒ අස්සේ මූලික අයිතිවාසිකම් අහිමි වන බව පෙන්වා උසාවි ගිය පිරිසක්ද සිටි හෙයින් අඩුපාඩු ගැන කාටත් පෙනුනේ නැත. වැරදි තිබියදීම පනත සම්මත වී 2018දී ඒ යටතේ පළමු මැතිවරණය පැවැත්වීය. යහපාලන රජය පරාජය කරමින් බලය දිනා ගත්තේ ඒකාබද්ධ විපක්ෂය අලුතෙන් පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. 

මේ වනවිට මතුවී ඇත්තේ එදා පැරණි පනත නොසලකා අලුතෙන්ම සකසන ලද පනතට ආවේණික ‘උත්පත්ති’ දෝෂ ටිකය. පළාත් පාලන ආයතන සියය ඉක්මවූ සංඛ්‍යාවක පැහැදිලි බහුතරයක් නොතිබීම මෙම පනතට අනුව ආසන වෙන් කිරීමේ ඇති දුර්වලතාව ය. 

මහින්ද රාජපක්ෂ රජය 2012 වර්ෂයේ හඳුන්වා දුන් නව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනතින් ගමට මන්ත්‍රීවරයෙක් ලැබෙන සේ ගම් කීපයක් එකතු කර කොට්ඨාස ක්‍රමයක්ද පක්ෂයට වැටෙන ඡන්දවලින් පත්වන සමානුපාතික ලැයිස්තුවක්ද හඳුන්වා දුන්නේය. රාජපක්ෂ රජය කොට්ඨාස ක්‍රමයෙන් මන්ත්‍රීවරුන් සියයට හැත්තෑවක්ද සමානුපාතික ලැයිස්තුවෙන් සියයට තිහක්ද පත්වන ලෙස පනත සම්මත කළද ඒ යටතේ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් ලැබුණේ නැත. 2015 දී යහපාලන රජය පත්වූ පසු කොට්ඨාස ක්‍රමයෙන් පත්වන මන්ත්‍රීවරුන් ප්‍රමාණය සියයට හැටක් ලෙසද සමානුපාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරුන් ප්‍රමාණය සියයට හතළිහක් ලෙසද වන ලෙස පනතට සංශෝධන  ගෙනැවිත් 2017 දී එම සංශෝධන පනත සම්මත කළේය. යහපාලන රජය ගෙන ආ තවත් සංශෝධනයක් වූයේ කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමයි. සෑම සභාවකම මන්ත්‍රී සංඛ්‍යාවෙන් හතරෙන් එකක් හෙවත් සියයට විසි පහක් කාන්තාවන් විය යුතු බවට එම සංශෝධනයෙන් නීති පැනවිණි. 

2012 සිට 2017 දක්වා රාජපක්ෂ රජය සහ යහපාලන රජය ගෙන ආ සංශෝධන විශාල ප්‍රමාණයක් මගින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය විශාල වෙනස්කම් ගණනාවකට ලක් කෙරිණි. කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් මගින් ඡන්ද විමසීම පැවැත්වීම සභිකයන්ගෙන් සියයට විසි පහක අනිවාර්ය කාන්තා නියෝජනය, ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්දය ගණන් කිරීම හා මනාප ක්‍රමය අහෝසි කිරීම එම වෙනස්කම් අතර වේ. 

මෙම ඡන්ද ක්‍රමයෙන් ප්‍රධාන දුර්වලකම එම ආණ්ඩු දෙකටම නිවැරදිව හසුවී තිබුණේ නැත. එම දුර්වලතාව වන්නේ පක්ෂ ගණනාවක් තරග කරන මෙවැනි මැතිවරණයකදී මන්ත්‍රී ආසන බෙදීම අනුව ජයග්‍රාහකයාට බහුතරය හිමිකර දීම සඳහා වැඩපිළිවෙළක් නොමැතිවීමය. 

ජයග්‍රාහකයාට ලබාදුන් බෝනස් ආසන දෙක නව ඡන්ද ක්‍රමයෙන් ඉවත් කිරීම මෙම අස්ථාවරභාවයට හේතුවයි. 

 

පැරණි මැතිවරණ ක්‍රමයේදී එවැනි දුර්වලතාවක් තිබුණේ නැත. 1978 පළාත් පාලන මැතිවරණ පනත අනුව සෑම සභාවකම ඡන්ද විමසීමෙන් පසුව නිකුත් කරන ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින පක්ෂයට සභාවේ පාලන බලය හිමිවිය. එම ඡන්ද ක්‍රමය අනුව වැඩියෙන් ඡන්ද ලබාගන්නා පක්ෂයට මන්ත්‍රී ආසන බෙදීමේදී බෝනස් හෙවත් ප්‍රසාද ආසන දෙකක් වෙන් කෙරිණි. මේ නිසා සභාවේ බහුතරය පෙන්වීමට ජයග්‍රාහී පක්ෂයට බාධාවක් නොවීය. මෙම ක්‍රමය පළාත් සභා මැතිවරණ ක්‍රමයේද පවතින අතර එමගින් සභාවේ බහුතරය නිරතුරුවම ජයග්‍රාහී පක්ෂයට හිමි වේ. එකල රට පාලනය කළ දේශපාලකයන් සහ පනත් කෙටුම්පත් කළ නිලධාරීන් එම බෝනස් ආසන දෙක ලබා දුන්නේ සභාවේ ජයග්‍රාහකයාට විපක්ෂයේ බාධාවකින් තොරව සභාවේ පාලනය පිහිටුවා ගැනීමට ඉඩ ලබාදීම සඳහාය. 1989 අංක 24 දරන පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 23 -(3) (ඈ) ඡේදයෙහි එම බෝනස් ආසන දෙක ඉතා නිරවුල්ව සඳහන් කර ඇත්තේ මේ ආකාරයටය. වැඩිම ඡන්ද සංඛ්‍යාව ලැබූ පක්ෂය හෝ කණ්ඩායම ආසන බෙදීමෙන් පසු සභිකයන් ලෙස තෝරා පත්කර ගනු ලැබීමට එය හිමිකම් ලබන අපේක්ෂකයන් සංඛ්‍යාවට අමතරව තවත් අපේක්ෂකයන් දෙදෙනකු සභිකයන් ලෙස තෝරා පත්කර ගනු ලැබීමට හිමිකම් ලබන්නේය. 

වර්තමානයේ ක්‍රියාත්මක වන ඡන්ද ක්‍රමයේ එවැනි බෝනස් ආසන දෙකක් ජයග්‍රාහී පක්ෂයට හිමි වන්නේ නැත. අවුල් ජාලයක් බවට පත්වී කිසිවකුටත් බහුතරයක් නැතිව ජයගත් මෙන්ම පරාජය වූ පක්ෂද බහුතරය පෙන්වීම සඳහා සටන් වැදී සිටින්නේ වර්තමාන ඡන්ද ක්‍රමයෙන් ජයග්‍රාහී පක්ෂයට නිසි ලෙස මන්ත්‍රී ආසන බෙදා නොදුන් නිසාය. 

පැරදුණු අය ලැයිස්තුවෙන් මන්ත්‍රී වෙන්න පොරයක් 

පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන පක්ෂ නායකයන්, මන්ත්‍රීවරුන් සහ පක්ෂ ලේකම්වරුන් මේ දිනවල ගතකරන්නේ අවිවේකී ජීවිතයකි. ඇතැම් පක්ෂ නායකයන් තම ජංගම දුරකථන අක්‍රිය කර ඇත්තේ මැතිවරණයට තරග කර පරාජය වූ අපේක්ෂකයන් පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ඉල්ලා කරදර කරන නිසාය. මේ නිසා පක්ෂ තුළද අර්බුද ඇතිවී තිබෙන්නේ ඒ ඒ ආසන සංවිධායකවරුන් තමන්ට ඉතා හිතවත් අපේක්ෂකයන්ට ලැයිස්තු මන්ත්‍රීධුර ලබා දෙන්නැයි බලපෑම් කරන නිසාය. 

මෙවර විපක්ෂයට මන්ත්‍රීධුර ලැබී ඇත්තේ කොට්ඨාස ජයග්‍රහණය කිරීමෙන්  නොව පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙනි. 

පක්ෂයක තරග කරන ලැයිස්තුවට ඇතුළත් වන්නේ ජනප්‍රිය පුද්ගලයන් වුවත් ලැයිස්තුවට ජනප්‍රිය නොවන අයද ඇතුළත් වෙති. මේ නිසා තමන් පක්ෂයට කළ සේවක කළ වියදම්, පක්ෂයට ලබාදුන් මනාප ලැබුණු ප්‍රතිශතය ආදිය පවසමින් පැරදුණු අපේක්ෂකයන් විශාල පිරිසක් විපක්ෂයේ පක්ෂ නායකයන්ට ආයාචනා කරමින් සිටිති. සජබ මූලස්ථානයට ආ එක් අපේක්ෂකයකු එහි සිටි අයට තම කමිසය ගලවා වෙඩි වැදුණු සලකුණක් පෙන්වා කීවේ ‘පක්ෂය නිසා වෙඩි කෑ තමාට මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බව’ ය. ‘අපි පරණ මිනිස්සු. අපි අමාරු කාලෙ හිටිය මිනිස්සු’. එසේ කියමින් පක්ෂ මූලස්ථානවලට එන අපේක්ෂකයන්ද සිටින අතර තවත් සමහරු ප්‍රදේශයේ ආගමික නායකයන් ලවාද තවත් සමහරුන් ලැයිස්තුවේ සෙසු අපේක්ෂකයන්ගේ අකමැත්තක් නැති බවටද ලිපි ගෙන එමින්ද මන්ත්‍රී ධුරය ඉල්ලා සිටිති. මේ නිසා පක්ෂ නායකයන් මේ දිනවල සිටින්නේ දුරකථනය අක්‍රිය කර බාහිර ලෝකයෙන් හුදකලා වෙමිනි. 

ඒ අතරම විපක්ෂයට බහුතරය ලැබී ඇති ආයතනවල කොට්ඨාස ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ මොන විදිහකින් හෝ බලය පිහිටුවන ලෙසය. මේ සියලු තත්ත්වයන් උදාවී ඇත්තේ මේ වනවිට ‘මන්ත්‍රී ධුරය’ සමාජයේ ඉහළ වටිනාකමක් හිමි කරගෙන ඇති නිසාය. 

පැරණි ක්‍රමය අනුව පැවැත්වූ 2006 පළාත් පාලන මැතිවරණයේ ප්‍රාදේශීය සභා කිහිපයක ප්‍රතිඵල අනුව එකල මෙවැනි අර්බුද ඇතිවූයේ නැති බව පෙනී යයි. මහරගම නගර සභාවේ පාලනය හිමිවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන හිමිවූයේ 9ක් පමණි. එක්සත් ජාතික පක්ෂයට 7ක්ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන 5ක්ද ජාතික හෙළ උරුමයට එක් ආසනයක්ද හිමිවිය. ඒ අනුව ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂයට ආසන 4ක් වැඩි වුවත් එකල නීතිය අනුව එය හිමිවූයේ ආසන වැඩියෙන් ලබාගත් පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සංධානයටය. 

කඩුවෙල ප්‍රාදේශීය සභාව සඳහා ද එජනිසය ආසන 10ක් ලබා පාලන බලය හිමිකර ගත්තේය. එජාපයට ආසන 7ක්ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 5ක්ද හෙළ උරුමයට ආසන 1ක්ද ලෙස මුළු විපක්ෂයට ආණ්ඩු පක්ෂයට වඩා ආසන 3ක් වැඩියෙන් තිබූ මුත් සභාවේ බලය ලැබුණේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 39% පමණක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සංවිධානයටය. එම මැතිවරණ ක්‍රමය අනුව වර්තමානයේ දී මෙන් සභාවේ බලය පිහිටුවීම සඳහා සියයට පනහක බහුතරයක් ලබා තිබිය යුතු බවට කඩඉමක් තිබුණේ නැත. 

වැඩියෙන්ම ඡන්ද ලබාගත් පක්ෂයට බෝනස් ආසන දෙකක් හිමිවන නිසා වර්තමානයේ මෙන්  ජයග්‍රාහකයා සහා පරාජිතයා එක සමාන ආසන ගන්නා පළාත් පාලන ආයතන බිහි වූයේද නැත. වර්තමාන ඡන්ද ක්‍රමය මත හෙල්ලෙන දතක් වැනි කිසිවකුටවත් බහුතරයක් නැති පළාත් පාලන ආයතන බිහිවීමඅ ඉතා පැහැදිලිවම දේශපාලන පක්ෂවල හෝ ඡන්දය දුන් ජනතාවගේ වරදක් නොව මැතිවරණ ක්‍රමයේ ඇති ආසන බෙදාදීමේ දුර්වලතාව වේ. එම වරද ඉතා ඉක්මනින්ම නිවැරදි කර පැරණි ක්‍රමය යටතේ තිබූ බෝනස් ආසන දෙක යළි ඇතුළත් නොකළහොත් මෙරට මැතිවරණ ක්‍රමය තව තවත් ජනතාවට එපාවීම වැළැක්විය නොහැකි වනු ඇත. 

ප්‍රේමකීර්ති රණතුංග