
“ගහන බව දැනන් හිටියා - මෙහෙම ගහයි කියලා දැනන් හිටියේ නෑ”
2019 අප්‍රේල්21 දා සිදු වූ පාස්කු ප්‍රහාරය ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ කටින් පැන්නේ එලෙසය.
එය සිදුවී වසර හයක් ඉක්ම ගොස් ඇති පසුබිමක - ඉකුත් ආසන්න සිකුරාදාවක එවැනිම ඛේදවාචකයකට රටෙන් ජනයාගෙන් අති බහුතරයක් මුහුණ දුන්නේ, “වහින බව දැනන් හිටියත් - මෙහෙම වහින බවක් දන්නේ නෑ” පදනමින් ද යන්න උභතෝකෝටිකයක් වී තිබේ. කාලගුණය අවනිශ්චිතය. එහෙත් දැන් දැන් ලෝකයේ බොහෝ රටවල් කාලගුණයට මූලිකත්වය දෙන්නේ ජාතික ආරක්ෂාවේම කොටසක් වශයෙන් ගනිමිනි. නූතනයේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සෑම රටක්ම පාහේ විශේෂ අවධානයක් දක්වන්නේ එම කරුණ මානවයාට දැඩි ලෙස බලපාන කරුණක් වන නිසාය.
අනාවැකියක් ලෙස නොකියූ අනාවැකිය
පසුගිය නොවැම්බර් 12 දා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් ඉදිරි සති කිහිපයේ වර්ධනය වෙන කාළගුණ තත්ත්වය ගැන කීවේය. ඔහු මෙහිදී අවදානම ඇති ප්‍රදේශ ද දැනුවත් කළේය. මෙය කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල නිවේදනයක් නොවූ බව සියලු දෙනාම මතක තබා ගත යුතුය. එහෙත් එය නොසලකා හැරිය යුතු පුරෝකථනයක්ද නොවේ.
ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින ආපදා කළමනකාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ද එම වැඩසටහනට සහභාගී විය. එහිදී එවැනි අනතුරක් සිදුවුව හොත් එහිලා එම ආයතනයේ සැලසුම කෙබඳු දැයි එම වැඩසටහනේ දී විමසීමක් සිදු කෙරුණි.
“අපදාවක් අවම කරගන්න සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. ඒක සාමූහික ප්‍රයත්නයක්. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, ඒ වගේම මහජනතාව සුදානම් වෙන්න ඕන” යැයි එහිදී හෙතෙම ප්‍රකාශ කළේය.
දෙවැනි අනාවැකිය
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනක තොරතුරු ප්‍රවේශයක් ලෙස සටහන් කළේ - මෙවැනි අනතුරක් අදාල කාලයේ දී සිදුවිය හැකි යැයි අදාල නිලධාරීන් යම් ආකාරයකින් දැනුවත් වී සිටි බව සනාථ කිරීම සඳහාය. එසේ නොමැති නම් ඒ අවදානම සම්බන්ධයෙන් නිලධාරීන් යම් අවබෝධයක සිටි බව සහතික කිරීම සඳහාය.
මෙවැනි තත්ත්වයක් මත වර්ෂාව කෙමෙන් කෙමෙන් වර්ධනය වූ අතර එය අධික වර්ෂාපතනයක් දක්වා වර්ධනය වුණේ නොවැම්බර් 25 දාය. එදින උදෑසන10ට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් “දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින්න!” යන සිරස්තලයෙන් කහ පැහැති ඇම්බර් නිවේදනයක් නිකුත් කර තිබුණේ 26 දා උදෑසන 10 වන තෙක් ය. එහි දී සඳහන් කර සිටියේ, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය එදින උදෑසන වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින හෙයින් - නැගෙනහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණ පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත්, මි.මී100ට වැඩි වර්ෂාපතනයක් පතිත වෙන බව කීවේය. ඊට අමතරව අනෙකුත් දිස්ත්‍රික්ක වලට මි.මී.75ට වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව එහි සඳහන් විය. එසේම නොවැම්බර් 25ත් 29 ත් අතර පවතින කාලගුණික තත්ත්වය ගැන විමසිලිමත් වෙන ලෙස එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේය.
එම වාර්තාවට පසුව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් උදෑසන9ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කාලගුණ අනාවැකි සහ ගෝලීය කාලගුණික පුරෝකථන මත උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව, හා බස්නාහිර පළාත්වල මි.මී. 200කට වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බැවින්, නොවැම්බර් 25 සිට නොවැම්බර් 30 දක්වා වූ දිනයන් තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය. ඒ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සුරියබණ්ඩාර විසිනි.
කෙසේ වෙතත් එදිනම සවස3.45ට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ - මි.මී150ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය.
ජාත්‍යන්තර මාධ්‍යය
නොවැම්බර්25 දා එංගලන්තයේ බී.බී.සී. සේවයේ කාලගුණ වාර්තාවේ ආසියාවට අදාල කොටස ඉදිරිපත් කළේ - මාධ්‍යවේදී ‘බෙන් රිච් ‘විසිනි. ඔහු එම වාර්තාව ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාව ඇතුළු බෙංගාල බොක්ක ප්‍රදේශයට ඇඟිල්ල දිගුකරමින් කීවේ - මේ පීඩන අවපාතය යටතේ අධික වර්ෂාපතනයක් ලැබිය හැකි බවත්, එය මී.මී. 300, 400හෝ 500 දක්වා වැඩිවිය හැකි බවත්, ය. මේ නිසා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
අපගේ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව 25දා වන විට මි.මී.150 අධික වර්ෂාපතනයක් ලැබෙන බවට අවධාරණය කරන විට බී.බී.සී. ය කීවේ එය මි.මී.300, 400 හෝ 500 ඉක්මවන බවය. කෙසේ වෙතත් ප්‍රකාශිත පරිදි වර්ෂාව26 සහ 27දෙදින අනුක්‍රමයෙන් වැඩි විය.
“වහින බව දැනන් හිටියත් - මෙහෙම වහින බව දැනන් හිටියේ නෑ.” යන අදහස මතු වෙන්නේ මේ මොහොතේය. වැස්ස එන්න එන්න වැඩිවීමත් සමග - මහනුවර, බදුල්ල ආදී ප්‍රදේශවල නායයාම් ඉහළ යන්න පටන් ගත්තේ, කිසිවෙකුත් නොසිතූ මොහොතකය. ”මහවැලි ගඟ උතුරන බව දැන හිටිය ද මේ තරම් උතුරන බවක් දැනන් හිටියේ නෑ” යන්න ජනතාවද කියන කතාවයි. ක්‍රම ක්‍රමයෙන් පස්කඳු කඩා වැටෙමින් පහළට රූරා හැලෙන නිමේෂයක මහවැලි ගංගාව ඉහළට එසවී ආවේ බලාසිටිය දීමය. සාමාන්‍යයෙන් වර්ෂාව වැඩිවීමත් සමග ගොඩනැගෙන තර්කය නම් “වැසි වැස්සොත් - ගඟ පිරෙයි”යන්න ය. එහෙත් පුදුමය නම් එම කාරණාව බලධාරීන් දැන සිටියේ නැද්ද යන්නය. සැබවින්ම එසේ දැන සිටියා නම්, කිසිදා ගංවතුරකට යට නොවන ගැටඹේ පන්සල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා උද්භිද උද්‍යානය ඊට ගොදුරු වෙන්නේ නැත. ඊටත් වඩා දරුණුම ඛේදවාචකය සිදුවූයේ ගම්පොළ නගරයටය.
“වහින බව දැනන් හිටියත් - මෙහෙම වහින බව දැනන් හිටියේ නෑ.” යන අදහස මතු වෙන්නේ මේ මොහොතේය. වැස්ස එන්න එන්න වැඩිවීමත් සමග - මහනුවර, බදුල්ල ආදී ප්‍රදේශවල නායයාම් ඉහළ යන්න පටන් ගත්තේ, කිසිවෙකුත් නොසිතූ මොහොතකය. “මහවැලි ගඟ උතුරන බව දැන හිටිය ද මේ තරම් උතුරන බවක් දැනන් හිටියේ නෑ” යන්න ජනතාවද කියන කතාවයි.
පසුගියදා පාර්ලිමේන්තුවේ නැගී සිටි සමගි ජන බලවේගයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ආණ්ඩුව ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයේම පළු ඇරියේ ගම්පොළ නගරයේ ඛේදවාචකය මතක් කරමිනි. ඔහු කීවේ කොත්මලේ ජලාශයේ වාන් දොරටු නිසි ආකාරයෙන් විවෘත කළා නම් - ගම්පොළ නගරය විනාශ නොවන බවය. ඔබ අද එහි ගියහොත් එම නගරය විශාලාව මෙන් විනාශ වී ඇති අයුරු දැකගත හැකි වෙනු ඇත. කබීර් හෂීම් මන්ත්‍රීවරයා කීවේ ගම්පොළ පුද්ගලයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවේ කෑ ගැසුවේ තමන්ගේ ජනතාව බේරා ගැනීමට තිබූ බව නැවත නැවත මතක් කරමිනි. අවදානම් නිවේදනයක් හෝ නිකුත් නොකළේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය.
කෙසේ වුවද මෙයට ඌණ පූර්ණයක් සපයමින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල ද මහනුවර නගරයේ යටවීම ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් බණ කිව්වේය. කිරිඇල්ල කතා කරන්නේ කටෙන් දැයි ප්‍රශ්නයක් එන්නේ මේ වෙලාවටය. හන්තානට කතා කළහැකි වී නම්, එයට සිදුවු පාරිසරික හානිය ගැන බණ කියන හැම දෙනාගේම කැරැට්ටුව ද සමග කියනු ඇත. එපමණක් නොව අද අසරණ වූ ජනතාවට ආධාර එකතු කරන ඇතැම් පූජ්‍ය පක්ෂයේ පිරිස් විසින් කඳුවලට සිදුකළ විනාශය ගැන කන්දට කෑ ගසා කියන්න හැකි නම් - ඔය කඳුවල අඳෝනාව පමණක් නොව, එම කඳු ගිලගත් අහිංසක මිනිස්සුන්ගේ අඳෝනාව ද රෑට හීනෙන් ඇහෙනු ඇත. ඒ නිසා මේ ව්‍යසනය වූ අවස්ථාවේ ශුද්ධවන්තයන් වෙන්න හදන අයට කියන්නට ඇත්තේ, තමුන් පරිසරයට කළ හානියේ පව බත් පැකට් එකක් බෙදීමෙන් අකාමකා ගත හැකිද හෘද සාක්ෂියෙන් විමසා බලන්නැයි කියාය.
කෙසේ වෙතත් මහනුවර, මාතලේ, බදුල්ල, බණ්ඩාරවෙල, කුරුණෑගල ආදී ප්‍රදේශ විශාල වශයෙන් නාය යන්න වූයේ බලා සිටියදී මය. එපමණක් නොව, අනෙකුත් ප්‍රදේශ ගංවතුරට ගොදුරු වූයේ ද හැම දෙනාම බලා සිටියදීම ය. එවැනි තත්ත්වයක් මත බලධාරීන් සිදු කළේ කුමක් ද?
බලධාරීන්ගේ වැඩ
අධික ලෙස වර්ෂාපතනය පතිත වීමට පටන් ගත් මොහොතේ සිට ජනතාවට අනතුරු ඇති බවට නිවේදන නිකුත් කරමින් කීවේ අදාල ප්‍රදේශ වලින් ආරක්ෂිත තැනකට යන ලෙසය. හෙණ ගහන වැසි මැද, නාය යන පාරවල් ඔස්සේ ආරක්ෂිත තැන්වලට යන්නැයි අනතුරට පෙර ජනයාට කීවත්, කිසිම දවසක යන්නේ නැත. ඊට හේතුව පරණ අත්දැකීම් නිසාය.“දැන් පායයි.”, “දැන් නවතී.” වගේ අදහස් මැද ඔවුන් සිරවී සිටීමයි. ඒ නිසාම ඔවුන් නිවාසයෙන් පිටතට රැගෙන යා යුත්තේ බලධාරීන් ගේ මැදිහත්වීම මතය. කන්ද නාය ගිය පසු උස්සගෙන රැගෙන යනවාට වඩා, ගංවතුර ගැලූ පසු බේරාගන්නවාට වඩා, මහවැසි මැද ජනතාව පුළුවන් තරම් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවන ක්‍රමයක් අදටත් අපේ රටේ නැත. එසේ තියෙනවා නම් තිබෙන්නේ, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ වර්ෂයකට වතාවක් සිදුකරන පුහුණුව නිසාය. එසේ නොමැතිව යම් කාලගුණික විපර්යාසයක් මත වර්ෂාව, ගංවතුර, නායයාම් සිදුවන බවට අනතුරු අඟවන විට එම ප්‍රදේශයේ සදහන් ආරක්ෂිත ස්ථානයක් සඳහා ජනතාව යොමු කරන ආකාරයේ වැඩ පිළිවෙළක් අදටත් නැත. ඒ පිළිවෙළ නොමැති වීම නිසා ජනතාව අමාරුවේ වැටුණු පසුව ඔවුන්ව බේරා ගන්න විඳින දුක වේදනාව ආණ්ඩුව හෝ රාජ්‍ය නිලධාරීන් මාධ්‍යයේ පෙන්නුවාට වැඩක් නැත.
මෙවැනි සිදුවීමකින් පසුව අවතැන් වූ බහුතර ජනතාවට අපේක්ෂාවන් කීපයක් ඇත. තමන් බලයට පත්කළ පාලකයන් තමන්ගේ දුකේ දී ඇස් ඉදිරියේ දැකීම, කෑම වේලක් ලැබීම, ඒවාට නිදසුන්ය. ඒ මනෝභාවය මේ වෙන විට අපේ රටේ සංස්කෘතියේ කොටසක්ව ඇත. පාලිත තෙවරප්පෙරුමලා වීරයන් වූයේ ඒ නිසාය. වර්තමාන ආණ්ඩුවෙන් වීරයන් අවශ්‍ය නැත. වැඩ කරන්නන් අවශ්‍යය. එහෙත් කනගාටුව නම් ඇතැම් ස්ථාන වෙත ආහාර වේලක් ලැබීම පවා කලට වේලාවට නොවීමය. එපමණක් නොව ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් පවා දැක ගැනීමට හැකි වුණේ නැත. පසුගිය කාලයේ මෙවැනි විපතක් සිදුවුහොත් ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රාදේශීය දේශපාලනඥයන් සමග එක්ව මුදල් වියදම් කර ආපදා ලක් වූ ජනතාවට ක්ෂණිකව ආහාර පාන ලබා දෙන්නේ, වැඩ පිළිවෙළ ආණ්ඩුවෙන් දැනුම් දීමටත් පෙරය. එහෙත් වර්තමාන ආණ්ඩුව මුදල් සම්බන්ධයෙන් ගත් දැඩි තීන්දු තීරණ නිසා දෝ ප්‍රාදේශීය ලේකම්වරු මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු පවා ආණ්ඩුවෙන් නියෝග ලැබෙන තෙක් සන්සුන්ව සිටියේ - “වැඩි හොඳ කරන්න ගොස් අමාරුවේ වැටෙන්න ඕනෑ නැති නිසා” විය යුතුය. විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් පවා ඒ මොහොතේ ආණ්ඩුවෙන් ක්ෂණිකව දැක්විය යුතු ප්‍රතික්‍රියාව කවරක් ද යන්න පිළිබඳ අවබෝධයක නොසිටි නිසා අපාදාවට ලක්වූ ජනතාව අන්ත අසරණ වූහ. මේ නිසාම බහුතර ජනතාවගේ චෝදනාව වූයේ - “ආණ්ඩුවේ එකෙක් දැක්කේ නෑ” යන්නය. මේ තත්ත්වය නිසා ජනාධිපතිවරයාට සිදු වූයේ අදාළ චක්‍රලේඛ වෙනස් කරන්නටය.
විශේෂයෙන් සඳහන් කළයුතු කරුණ නම් - විපක්ෂයේ පිරිස් ලහි ලහියේ දේශපාලන අරමුණු මත හෝ ජනතාවට උපරිමයෙන් තමන්ගේ සහාය දුන්නත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව කෙසේ හෝ මග හැරුණු බවය. මේ නිසා ජාමේ බේරා ගන්න වූයේ ජනාධිපතිවරයාට මැදිහත්වය. ඇතැම් මන්ත්‍රීවරු ගිය තැන මොකක් හෝ ලෙඩක් දා ගන්නා විට ජනාධිපතිවරයාට ඒවාට ද මැදිහත් වී බේරා ගැනීමට සිදු වී යැයි දැන ගන්නට ඇත.
සුළං දැඩිවන බවත්, ඒවා කුණාටුවක් වන බවත්, වර්ෂාව ලැබෙන බවත්, ඒ, වැස්ස වැඩි වන බවත් බලධාරීන් දැන සිටියා නම්, මි.මී. 300, 400 ක වැස්සක් එන බව ලෝකයේ අනෙක් රටවල් කීවා නම්, ඒවාට කඩිනම් ක්‍රියා මාර්ග නොගත් අයවලුන් සම්බන්ධයෙන් කවර පටිපාටියක් අනුගමනය කරන්නේ ද?
මහ වැස්සෙන් ජලය පිරෙන විට ජලාශ වාන් දමන බවත්, ඒ නිසාම නිසි වෙලාවට වතුර බැහැර කළ යුතු බවත්, දන්නා බලධාරීන් එහිලා කඩිනම් ක්‍රියා මාර්ග නොගෙන ඇත්නම් එබඳු අයවලුන් සම්බන්ධයෙන් කවර පටිපාටියක් අනුගමනට කරන්නේ ද?
ආපදා කළමනාකරණ කමිටුව මාස තුනකට එක් වරක් හෝ කැඳවිය යුතු යැයි නීතියෙන්ම නියම කර ඇති පසුබිමක වත්මන් ආණ්ඩුකරණය යටතේ අදාල කමිටුව කී වතාවක් කැඳවූවා ද ? එසේ කැඳවා නැත්නම් අදාල අයවලුන් සම්බන්ධයෙන් කවර පටිපාටියක් අනුගමනය කරන්නේ ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යය.
ගයාන් ගාල්ලගේ

