පාර්ලිමේන්තුව අබලන් ගොඩනැගිල්ලක් ලෙස නම් කරයි


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය,මෙන්ම ගෝල්ෆේස්හී පිහිටි පැරණි පාර්ලිමේන්තුව හෙවත් වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොළඹ 07 කුරුඳුවත්තේ පිහිටි නිදහස් චතුරශ්‍රය යන ගොඩනැගිලි අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නම් කර ඇත. ඉන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවද නාගරික සංවර්ධන අධිකාරිය අවධාරණය කර තිබෙන බව පසුගිය සතියේ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහ විය.

පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ලේ වහලේ වැසි ජලය කාන්දු වීම නිසා ගොඩනැගිල්ලේ බිත්ති සහ කණුවල ඉරිතැළීම් ගණනාවක් නිරීක්ෂණය වී ඇති අතර සිවිලිමට ද දැඩි හානි සිදුව ඇති බවත් එමෙන්ම  දිරාපත්ව ගිය ජල නළ පද්ධතිය හේතුවෙනුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට යම් හානිදායක තත්ත්වයක් තිබෙන බවත් පසුගිය වසරේ සිදු කරනු ලැබූ ඉදිකිරීම් තක්සේරු වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. එමෙන්ම  පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතුළතින් දිවෙන වැහි පීලී පද්ධතියට ද දැඩි ලෙස හානි සිදුවීම නිසා එය ද යළිි ප්‍රතිස්ථාපනය කිරීමට සිදුව ඇති බව ඉදිකිරීම් තක්සේරු වාර්තාවේ පෙන්වා දී තිබේ.  

මෙම පද්ධතිය තඹ යොදාගෙන නිර්මාණය කිරීම නිසා වැඩිම මුදලක් වැයවෙනු ඇති බව ද කථානායකවරයාට භාරදී ඇති ඇස්තමේන්තුවේ සඳහන් ය. ඒ අනුව  මෙම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කඩිනම් ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු බව නාගරික සංවර්ධන අධිකාරිය  තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර මෙම සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා  රුපියල් බිලියන 10ක පමණ මුදලක් වැය වෙන බවට දළ ඇස්තමේන්තු වාර්තාවක්ද ඉදිරිපත් කර ඇති බව ද කතානායක කාර්යාලය පවසයි.  එමෙන්ම යල් පැනගිය විදුලි පද්ධතිය, ජලනළ පද්ධතිය මෙන්ම තාක්ෂණික කටයුතුද වර්ථමානයට ගැළපෙන අයුරින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවටද එම තක්සේරු වාර්තාව මගින් නාගරික සංවර්ධන අධිකාරිය අවධාරණය කර තිබේ.

එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ බිත්ති ,කණු සහ සිවිලිම යන  ස්ථාන අලුත්වැඩියාවට අමතරව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහල ප්‍රතිසංස්කරණය කිරීමට මෙම ඇස්තමේන්තු මුදලින් රුපියල් බිලියන 5ක මුදලක් වැය වෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.මේ වෙන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉංජිනේරුමය දායකත්වය ලබාදීම සඳහා රාජ්‍ය ආයතනයක් වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (Central Engineering Consultancy Bureau) වෙත භාරදී ඇත. එම කාර්යාංශයේ සැලසුම් අංශය සඳහන් කරන්නේ, සාමාන්‍යයෙන්  ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වසර 50ක ආයු කාලයක් තක්සේරු කෙරුනද, මෙම පාර්ලිමේන්තුව ඉදිකර දැනට වසර 43ක් බවත්, එහි පවතින අබලන් සහ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට පාර්ලිමේන්තුවේ තාක්ෂණික කමිටුව වෙත දැනුම් දී ඇති බවත්ය.

නමුත් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා USAID සහ MAX PLANE  රාජ්‍ය නොවන සංවිධාන විසින් මූල්‍යය දායකත්වය ලබා දෙන බවට එකඟතාව පළ කර තිබුණද, ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් USAID අරමුදල් ලබාදීම අත්හිටුවීම නිසා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම මූල්‍ය ගැටලු සහගත තත්ත්වයක් පවතින බව ද වාර්තාව.  එම නිසා සම්පූර්ණ ගොඩනැගිල්ලේම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පවතින මූල්‍ය අර්බුදය නිසා ඒ පිළිබඳ තාමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර  මූලික අදියරය වශයෙන් ගොඩනැගිල්ලේ වහළ දිරාපත්ව අවදානම් තත්ත්වයක ඇති නිසා එහි ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුව තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසියේ  ශ්‍රම දායකත්වය ලබාදීමට දැනටම එකඟතාව පළ කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තුව වසා දමා සිදු කිරීමට නොහැකි නිසා කොටස් වශයෙන් එහි ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකිරීමට දැනට සැලසුම්කර ඇත. 1982 වර්ෂයේ පාර්ලිමේන්තුව ඉදිකිරීමෙන් පසු අවස්ථා කිහිපයදීම  ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇති අතර, මෙය ඉදිකිරීමෙන් පසු සිදු කරන පළමු විශාලතම ප්‍රතිසංස්කරණ කටයුත්ත මෙය වෙයි. 

එමෙන්ම  මේ සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති  අධ්‍යක්ෂ තුෂාරි තිලකරත්න සඳහන් කළේ, මේ වෙනවිට  පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහල, වැසිකිළි පද්ධතිය, පුස්තකාලය,ආරක්ෂක කුටි,විදුලි පද්ධතිය,ජල නළ පද්ධතිය මෙන්ම සේවක විවේකාගාරය කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවයි.මෙම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සැලසුම් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින්ද යම් මුදලක් පාර්ලිමේන්තුවෙන් අයකරන බව එම අධිකාරියේ බස්නාහිර පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ තුෂාරි තිලකරත්න  වැඩිදුරටත් සඳහන් කළාය.

ගෙවී ගිය දශක කිහිපයක කාලය තුළ සිදු කළ යුතුව තිබූ නමුත්, අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් තිබෙන බව ද කතානායක මාධ්‍ය අංශය පවසයි, කවර දේශපාලන ධාරාවක් යටතේ වුවද රටේ ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කෙරෙන කේද්‍රස්ථානය වෙන පාර්ලිමේන්තුව නිරන්තරයෙන්ම ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණෙන ස්ථානයක් ද වෙන නිසා මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කාලානුරූපීව සිදු කිරීමේ අවශ්‍යතාව කිසි ලෙසකින්වත් බැහැර කළ නොහැකිය. 

නදීශා අතුකෝරළ