ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව


ශ්‍රී ලංකාව පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප මත යැයි කියනු ලැබේ. ලෝකයට ප්‍රජාතන්ත්‍රවදය උත්පාදනය වූයේ ග්‍රීක පෞර රාජ්‍යයේ ඇතැන්ස් හා ස්පාටා නගර තුළය. පාලනය ක්‍රියාවට නැංවීම සඳහා සියලු දෙනාටම එකහා සමාන අයිතිවාසිකම් තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුතය. එම පාලනය ක්‍රියාත්මක වන්නේ ජනතාව විසින් තෝරා පත්කර ගන්නා නියෝජිතයන් මගින්. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ලෙස එය හැඳින්වේ.

එහෙත් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නොව එහි විකෘතියක් බව බොහෝ කලක සිට ජනතාවගේ විවේචනයට ලක්ව ඇත්තේ සෑම විටම පවතින රජය තමාගේ සගයන් සහ පාක්ෂිකයන් අතහැර විපක්ෂ ක්‍රියාකාරීන්ට පමණක් නඩු පැවරීම් කටයුතු කරන නිසාය. එහිදී ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති සමානාත්මතා සංකල්පය උල්ලංඝනය වේ. එවැනි ක්‍රමයක් ගෝත්‍රික ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව ලෙස හඳුන්වා දීම ඉතා නිවැරදිය. ගෝත්‍රික සමාජයේ දී සමානාත්මතාවක් නොතිබූ අතර ගෝත්‍රයේ ප්‍රධානියාට වුවමනා දේ පමණක් සිදුවේ. ලංකාවේ ආණ්ඩු ද තමාගේ විරුද්ධවාදියා පමණක් බන්ධනාගාර බසයට නැංවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව ලෙස සැලකිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුවේ දී ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවර නිරූපණය වන්නේ ඒ ඒ පාලකයාගේ හැඩරුව අනුවය. ජේආර්ගේ සමයේ ප්‍රජාතන්ත්‍රවාදය ජේආර්ගේ මුහුණුවර ගත්තේය. ප්‍රේමදාස සමයේ ඔහුගේ මුහුණුවර ගත්තේය. චන්ද්‍රිකා සමයේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නිරූපණය වූයේ ඇගේ මුහුණුවරය. මහින්ද රාජපක්ෂ සමයේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මහින්දගේ මුහුණුවර ලැබීය. ගෝඨාභය හා රනිල් සමයේ ඒ ඒ ජනාධිපතිවරුන්ට අනන්‍ය වූ මුහුණක් ප්‍රජාතන්ත්‍රවාදයට තිබිණි. අද ඇත්තේ අනුරගේ මුහුණය. ගෝත්‍රික සමාජයේ පාලකයාගේ රුචිය එරට නීතිය වූවා සේම ගෝත්‍රික ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ද පාලකයාගේ රුචිය එරට නීතිය වෙයි.

මෙදා අනුර දිසානායක සමග ජනාධිපතිවරණයට තරග වැදුණු රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරෙද්දී එදා මහින්ද රාජපක්ෂ සමග ජනාධිපතිවරණයට තරග වැදුණු ජෙනරාල් සරත් පොන්සේකා සිරගත කෙරුණි. සතුරු රජු සිරගත කර රට පාලනය කිරීම ගෝත්‍රික සමාජයේ රජවරුන්ගේ සිරිත වූ සේම තමන්ගේ දේශපාලන විරුද්ධවාදියා සිරගත කිරීම ගෝත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයේ ද සිරිතකි. හැත්තෑ එකේ කැරැල්ලේදී රජ වෙස්ගත් බණ්ඩාරනායක මැතිනිය තමාගේ පස මිතුරු ජේආර්ගේ පුත් රවි ජයවර්ධන සිරගත කළේ ඔහු ජවිපෙට කිසිදු සබඳතාවක් නොතිබියදීය. එකම වුවමනාව වූයේ විපක්ෂනායක පියාට රිදවීම පමණකි.

මැතිනියගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව එබඳු විය. ඉන් හය වසරකට පසු එම විපක්ෂනායක පියාය රජ වූ පසු තම විරුද්ධවාදිනියගේ ප්‍රජා අයිතිය අහිමිම කර දැමුවේද ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව නිසාය.

ජනාධිපති ප්‍රේමදාස එම උත්තරීතර පුටුවට නැග ටික කාලයකින්ම පක්ෂයේ තමාට තරගයක් දෙන්නට සිටි ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක සමග විරසකයක් හදා ගත්තේද ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව නිසාය. ඔවුන් පක්ෂයෙන් දොට්ට දැමුවේ රජපුටුවේ අනුහස් අනුවය. ගෝත්‍රික ප්‍රජාතන්ත්‍රවාදය ඉන් පසුව ආ සියලු ජනාධිපතිවරුන් යටතේ ද මෙරට වැසියාට අත් දකින්නට හැකි විය. පසමිතුරු දේශපාලකයා පසමිතුරකු වන්නේ මැතිවරණ දිනයේ පමණක්ය යන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මෙරටට තවමත් පැමිණ නැති බව ජනතාව අත්දුටු පාඩමය.

බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර හතකට තහනම් වූණේ රාජ්‍ය ඉඩම් තමන්ගේ නමට ලියා ගත්තාට නොව තමාගේ ඉඩම් රජයට පවරා දෙනවිට ඉතා සුළු ඉඩම් ප්‍රමාණයක් ඥාතියකුට පැවරුවා යන චෝදනාවටය. අක්කර දහස් ගණනක් තිබූ ඉඩම් හිමියන්ගේ ඉඩම් හිමිකාරීත්වය අක්කර විසිපහකට සීමා කර ඉතිරි ඉඩම් රජයට පවරා ගන්නා නීතිය ගෙන ආවේ ඇය අගමැතිව සිටි ආණ්ඩුවෙනි. නීතිය සම්මත වී ක්‍රියාත්මක වීමට පෙර හැකි අයට ඉඩම් විකුණා ගැනීමේ අයිතිය ද තිබිණි. අක්කර 1350 ක් එම නීතිය යටතේ ඇයට අහිමි විය. ඒ සියල්ල රජයේ ඉඩම් බවට පත් විය. තමාගේ ඉඩම් රජයට පවරා ගන්නට නීති සම්මත කළ හිටපු අගමැතිනියට ප්‍රජා අයිතිය අහිමිව දේශපාලන භූමියෙන් පිටමං වන්නට සිදු වූයේ ඉතා කුඩා ඉඩම් කොටසක් නිසාය.

බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට රජය ගෙන ආ නීතිය පිළිබඳ විවාදය දිනයේ එවකට විපක්ෂනායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් පැවසුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීම මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට නිගා කිරීමක් මෙන්ම මෙම දඬුවම දේශපාලන මිනීමැරුමක් බවත්ය. ‘ධර්මිෂ්ඨ කම ගැන කතා කරන අය දේශපාලනඥකුගෙන් පළිගත යුත්තේ  මේ අන්දමට නොවේ.’ යැයි ද අමිර්තලිංගම් පැවසීය.

තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන තීන්දුව ලබාදෙන පාර්ලිමේන්තු යෝජනාව සම්මත කිරීමට පෙර බණ්ඩාරනායක මැතිනිය එයට එරෙහිව අධිකරණයේ පිහිට පැතුවාය. එහෙත් අධිකරණය එම නඩුව විභාග කරන්නට පෙර එජාප රජයය තමන්ට තිබූ හයෙන් පහක අධික තර බලයෙන් උසාවි තීන්දුව එන්නට පෙර පාර්ලිමේන්තුවේ දී නඩු අසා හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කෙරිණ. ජේආර්ගේ රජය පාර්ලිමේන්තුවේ දී නඩු ඇසුවේ තමා විසින්ම විධායක ජනාධිපති  පුටුවක් ස්ථාපිත කර එයට නැග සිටි ජනාධිපති ජයවර්ධන විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් මගිනි. එම කොමිෂමෙන් ලබා දුන් තීන්දුව පාර්ලිමේන්තුවේ දි වැඩි ඡන්දයෙන් සම්මත කිරීමෙන් ඇයට සත් වසරකට පාර්ලිමේන්තුවේ දොර වැසුණි. එම තීන්දුවෙන් පස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිනිය ඉදිරිපත් කළ නඩුවේ තීන්දුව ලබා දෙමින් කියා සිටියේ ජනාධිපතිවරයා පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව නීත්‍යානුකූලව ස්ථාපිත වී නොමැති බවය. එම තීන්දුව ලබා දුන්නේ අගවිනිසුරු නෙවිල් සමරකෝන් ප්‍රමුඛ විනිසුරු මඩුල්ලකි. ජේආර්ගේ රජය අගවිනිසුරු නෙවිල් සමරකෝන් සමග අමනාපයක් ඇතිකර ගැනීමේ පළමු අවස්ථාව වූයේ එම තීන්දුවය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන විට මැතිනිය පාර්ලිමේන්තුවෙන් නෙරපා තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුවට මෑත කාලීන හොඳම උදාහරණයක් වන්නේ මැතිනිය පාර්ලිමේන්තුවෙන් පලවා හළ එම තීන්දුවය.

ලංකාවේ එජාප හිතවාදීන් මැතිනිය පාර්ලිමේන්තුවෙන් නෙරපුවාට අත්පුඩි ගසද්දී එංගලන්තයේ ෆිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත කීවේ ජේආර් රජය බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට ගත් තීන්දුව ආණ්ඩුව මුහුණ පා තිබෙන ආර්ථික ගැටලුවලින් ජනතා අවධානය අන් අතකට යොමු කිරීම අරමුණු කරගත්තක් බවය.

අවුරුද්දකට මාසයක් අඩු අනුර දිසානායක රජයත් ජනතා ප්‍රශ්න වෙන අතකට යොමු කිරීම අරමුණු කර හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව කියන පිරිසක් ද මෙරට සිටින බව අමතක නොකළ යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය ගෝත්‍රික හැඩයක් ගන්නා බව අප කියන්නේ ද එවැනි මත ඇති නිසාය.

අද හිටපු ජනාධිපතිවරයා සිරගත කිරීමෙන් අනුර දිසානායකගේ මාලිමා ආණ්ඩුව දේශපාලන ප්‍රීතියක් ලබා ගන්නට උත්සාහ කරන ආකාරයෙන්ම රනිල් ද ඇමැතිවරයකු වූ ජේආර්ගේ ආණ්ඩුව 1982 දී තමන්ගේ තවත් දේශපාලන විරුද්ධවාදියකු වූ ජනප්‍රිය නළු විජය කුමාරතුංග සිරගත කරමින් දේශපාලන ප්‍රීතියක් භූක්ති වින්දේය.

‘නැක්සලයිට්’ චෝදනා එල්ල කරමින් විජය කුමාරතුංග ඇතුළු පිරිසක් සිරගත කරමින් ජේආර් රජය ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව පෙන්නුම් කළේය. විජය අත්අඩංගුවට ගැනීමට හේතු වශයෙන් රජය කියා සිටියේ විපක්ෂ අපේක්ෂක කොබ්බෑකඩුව ජනාධිපතිවරණයෙන් ජයගත්තේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට පහර දීමටත් ජයවර්ධන ජනාධිපතිවරයා මරා දැමීමවත් නැක්සලයිට් කණ්ඩායම සැලැස්මක් සකස් කර තිබූ බවය. විජය කුමාරතුංග ෆීලික්ස් පෙරේරා, රත්නසිරි වික්‍රමනායක ඇතුළු ගෝත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයේ හැඩරුව දශක ගණනාවක් ගියත් වෙනස් වන්නේ නැත.

1977 මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටුකර ගැනීමම දුෂ්කර වීම මත හයෙන් පහේ බලය තවත් වසර හයකට දිගුකර ගැනීම සඳහා පැවැත් වූ ජනමත විචාරණයේ දී විපක්ෂයේ එකමුතුවක් ඇතිවීම ජේආර් රජයට ප්‍රශ්නයක් විය. විපක්ෂය මෙල්ල කිරීමේ අවශ්‍යතාව රජයට තදින්ම දැනුණේ විපක්ෂයේ තමාගේ හිතවතා වූ අනුර බණ්ඩාරනායක අබිබවා යමින් තරුණ ජනප්‍රිය නළු විජය කුමාරතුංග නැඟ ඒම නිසාය. විජයවාදී හිතවතුන් විශාල පිරිසක් මෙම චෝදනා යටතේ සිරගත කෙරිණි. ‘හරියට මිනීමරුවෙක් අල්ලගෙන යනවා වගේ විජයට අරගෙන ගියේ. මාංචු දාගෙන විජය ජීප් එකට අරගෙන යනකොට අපේ අම්මත් දුවගෙන ආවා. අම්මව දැකලා විජය පාර මැද්දේම අම්මට දණ ගහලා වැඳලයි ජීප් එකට නැග්ගේ....’ පසුකාලීනව චන්ද්‍රිකා කියා සිටියාය.

විජය මාස දෙකක් සිර භාරයේ තබා ගැනුණි. ඒ අතරතුර පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයකින් දිගු කර ගන්නා ජනමත විචාරණය පවත්වා රජය එය ජය ගත්තේය. ඉන් පසු විජය ඇතුළු පිරිස නිදහස් කෙරිණි. රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිය ද ඔවුන්ට නඩු පැවරුණේ නැත. රජයට වුවමනා වූයේ විජය වැනි ‘කරදරකාරයන්’ පැත්තකට කර තමන්ම වුවමනා ආකාරයට ජනමත විචාරණය ජයගන්නටය. ඉන්පසු විජය නඩු නොමැතිවම නිදහස් කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව එබඳුය. ග්‍රීසියේ උපන් ප්‍රජාතන්ත්‍රවාදයේ එවැනි ගෝත්‍රික හැඩරුව නැතත් ලංකාව වැනි දූපතකට පැමිණෙන විට ප්‍රජාතන්ත්‍රවාදය පැමිණ ඇත්තේ ගෝත්‍රික හැඩරුවද ගත දවටා ගෙනය. තමන්ට ඡන්දය දුන් ජනතාව සතුට කිරීමට විරුද්ධවාදීන් සිරගත කරන එවැනි ගෝත්‍රික හැඩරුව ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද තිබිණි.

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී හිටපු අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි දෙවරක්ම සිරගත කෙරුණේ ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රික හැඩරුව අනුවය. එහෙත් නූතන ඉන්දියාව තමන්ගේ රටේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයෙන් එවැනි ගෝත්‍රික හැඩරුව හළා දමන්නට සමත්ව ඇත්තේය.

විරුද්ධවාදියකුට නඩු පැවරීමෙන් හෝ සිරගත කිරීමෙන් ආණ්ඩුවක් බලාපොරොත්තු වන්නේ එම පුද්ගලයා මෙල්ල කර ගැනීමය. වර්තමානය වන විට ආණ්ඩුවට වැඩියෙන්ම දෝෂාරෝපණය කරන හා විවේචනය කරන දේශපාලකයන් සියලු දෙනාම පාහේ කුමක් හෝ නඩු කටයුත්තකට පැටලී සිටින බව දැකගත හැකිය. එය එක් පාර්ශ්වයකට පෙනෙනු ඇත්තේ විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමක් හැටියටය. එලෙසම අනෙක් පාර්ශ්වයකට පෙනෙනු ඇත්තේ දූෂිතයන්ට දඬුවම් කිරීමක් හැටියටය. ඒ කුමක් වුවත් ගින්නක් නැතුව දුමක් නොනගී යන පැරණි පිරුළ සිහියට නඟා ගනීනම් මෙම මතවාද ශ්‍රවණය කළ යුතු බවද කිව යුතුය.

සෑම රජයක්ම තමාට පක්ෂව සිටින අයට කුමන චෝදනා තිබුණත් ඔවුන් ආරක්ෂා කරන අතර තමන්ට එරෙහි වුවත් සහ විරුද්ධවාදීන් ලැබෙන පළමු මොහොතේම සිරගත කරන්නට පැකිළෙන්නේ නැත. එහෙත් නඩු ඔප්පු කරගන්නට නොහැකිව මේ සියලු දෙනාම පාහේ නිදහස් වූයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනතාවට තහවරු කරමිනි.

නඩු නොපැවරුවද රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම ඇතැම් දේශපාලකයන්ට දැඩි දඬුවමකට සමාන වන්නේ කුමාර සැප විඳ ඇති ඔවුන්ට බන්ධනාගාර වාට්ටු හෙවත් ශාලාවල බිම නිදා ගැනීම සහ වැසිකිළි පහසුකම් පොදු පරිහරණයට අයත් නිසාය.

මෙරට දේශපාලකයන් බලය ලබාගැනීම සඳහා විපක්ෂයේදී පෙන්නුම් කරන කැපවීම හා ප්‍රජාතන්ත්‍රවාදී මතවාදය බලය ලබා ගැනීමෙන් පසුව පෙන්නුම් කරන්නේ නැත. විපක්ෂයේදී ප්‍රජාතන්ත්‍රවාදියා ආණ්ඩුකරණයේදී ඒකාධිපතියා බවට පත්වන්නේය. නීතියේ දෙවඟනගේ ආරක්ෂාව හා ස්වාධීනත්වය වෙනුවෙන් විපක්ෂයේදී පෙනී සිටින ඔහු බලය ලබාගත් පසු නීතියේ දෙවඟන දූෂණය කිරීමට තැත් කරන්නේය. 1970 න් පසු බලයට පත්වූ සෑම නායකයකුටම ඉහළ අධිකරණවලට තමාට හිතවත් විනිසුරුවරුන් පත් කිරීමට වුවමනා විය. නෙවිල් සමරකෝන්. සරත් නන්ද සිල්වා, ශිරාණි බණ්ඩාරනායක එම පදවිවලට පත්වූ අවස්ථාවල නීතියේ ස්වාධීනත්වය කෙලෙසීම ගැන විපක්ෂයේ දැඩි චෝදනා නැඟුණි. ඒ සෑම විටකම රාජ්‍ය නායකයන් එම පදවිවලට පත්කිරීම් සාධාරණ බව හඬ ගා කියා සිටිය ද එම අගවිනිසුරුවරුන්ම පැවැති පාලනයට එරෙහිව යද්දී ඔවුන් ඉවත්කිරීම සඳහා දෝෂාභියෝග සම්මත කරන්නට පෙලඹුණේ ද එම පාලකයන්මය. ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට නීතිය මෙවලමක් කරගන්නේ ඒ ආකාරයටය. එසේ වූ විට පාලකයන්ට ඇවැසි ලෙස නඩු තීන්දු ලැබෙන බවට ජනතාව විශ්වාස කිරීම සාධාරණය. ගෝත්‍රවාදී නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටවල නීතියේ ආධිපත්‍යය ගැන එවැනි සැක සංකා පහළවන්නේ නැත.

ප්‍රේමකීර්ති රණතුංග