පොහොර සහනාධාර නිසිකලට නොලැබීමෙන් වී වගාව අනතුරේ


2025/26 මහකන්නය ගොවීහු මහත් දුෂ්කරතා මැද අස්වැද්දූව ද - නිසි කලට පොහොර සහනාධාරය සහ වන්දි මුදල් ගෙවීම් සිදු නොවුණු නිසා මෙම කන්නයේ සියයට 20-30 අතර ප්‍රමාණයකින් අස්වැනු අඩුවිය හැකි බැව් කියැවේ. 

මේ සඳහා බලපාන තවත් කරුණු ගණනාවක් ඇතත්, මෙහි මූලික වගකීම රජය වෙත යොමුවීම නොවැළැක්විය හැකිය. 

විශේෂයෙන් දිට්වා සුළිකුණාටුව නිසා ඇති වූ තත්ත්වය යටතේ පාංශු ඛාදනයක් වීමෙන් පසේ පෝෂක තත්ත්වය හීනවීමෙන් ගොයම කහපාට වී අස්වැන්න අඩුවීම සිදුවේ. එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් අඩංගු නිර්දේශිත පොහොර  ගොයමට නිශ්චිත කාලසීමාව තුළ ලබාදිය යුතුය. පොහොර සහනාධාරය  කලට වේලාවට ලබා නොදීම නිසා ගොවීන් ගොයමට පොහොර නොයෙදීම නිසා මෙම තත්ත්වය උග්‍ර අතට හැරී තිබේ.

නිර්දේශිත ආකාරයට පොහොර යෙදීම මගින් හෙක්ටයාරයකට වී මෙට්‍රික්ටොන් 4.5 ක අස්වැන්නක් ලබා ගත හැකි අතර ඉතා සරු ප්‍රදේශවල මෙට්‍රික්ටොන් 5.6 ක අස්වැන්නක් ලබාගත හැක. දිවයිනේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට වී මෙට්‍රික්ටොන් 4.5 කි. 

මෙම පසුබිම මත ජූනි, ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් මාස සඳහා සහල් ආනයනය කිරීමට සිදුවීමේ බරපතළ තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ  සම්බන්ධව අදාළ බලධාරීන්ට පූර්ව දැණුම් දීම් කොපමණ සිදුකර ඇතත්, එහිලා කිසිදු ක්‍රියාමාර්ග ගැනීමක් තබා - අවධානයට ලක් කෙරුණු බවක් හෝ පෙනෙන්නට නොවූ බැව් ගොවීහු කියති.  

ගොයම් කහවීම කරුණු 05 ක් අනුව සිදුවන අතර – නයිට්‍රජන් ඌනතාව, පොටෑසියම් ඌනතාව, වටපණු හානි, බැක්ටීරියා කොළ අංගමාරය සහ පැල මැක්කාගේ හානිය යනු ඒවාය. මෙවර සිදුවී ඇති කහවීම නිරීක්ෂණය කළ අදාල ප්‍රවීණතාව ඇති අය කියන පරිදි නයිට්‍රජන් සහා පොටෑසියම් ඌනතාව නිසා මෙම තත්ත්වය හටගෙන තිබේ. මීට අමතර වශයෙන් වටපණු හානිය නිසා ද මෙම තත්ත්වය ඇතිවී ඇති අතර, සමතුලිත පොහොර යෙදීම නිසා ශාකය හොඳින් වැඩීම සමග වටපණු හානිය අවම කර ගත හැකිවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙවත් මඩ පොහොර හෙක්ටයාරයක් සඳහා කිලෝග්‍රෑම් 55 ක් ද, යූරියා කිලෝග්‍රෑම් 225 ක් ද, මියුරිසේට් ඔෆ්පොටෑෂ් කිලෝග්‍රෑම් 60 ක් ද, වශයෙන් නිර්දේශ කෙරේ. මෙය විවිධ දේශගුණික කලාප අනුව සුළු වශයෙන් වෙනස් වේ. මීට අමතර වශයෙන් කාබනික පොහොර ද යම් ප්‍රමාණයක් පසට එකතු කළ යුතුය. කාබනික පොහොර සෑම කන්නයකට ක්ෂේත්‍රයකට එකතු කළ හැක. පිදුරු ගිනි නොතබා ක්ෂේත්‍රයට එකතු කිරීමට ගොවීන් පියවර ගත යුතුය. එවිට දිරියෙන් යුත් ගොයමක් ඇති වී වැඩි අස්වැන්නක් ලබා දේ.

සාමාන්‍යයෙන් ජාතික වී නිෂ්පාදනයට සියයට65 ක දායකත්වයක් ලබා දෙන්නේ මහකන්නයෙනි. ඉතිරි සියයට 35 ලබා දෙන්නේ යල කන්නයෙනි. 

මහකන්නයේ හෙක්ටයාර ලක්ෂ 8 - 8 1/2 ක අතර ප්‍රමාණයක් වී වගා කෙරේ. සෑම වර්ෂයකට මහා කන්නයට මේ නිසා ප්‍රමුඛස්ථානයක් ලැබේ. වී වගාව සඳහා මහකන්නයකට පොහොර මෙට්‍රික්ටොන් 185,000 ප්‍රමාණයක් අවශ්‍ය කෙරේ. මෙම ප්‍රමාණය කන්නය පටන් ගැනීමට මසකට පෙර ලංකාවේ ගබඩා කර තැබිය යුතුය. එවිට වගාව ආරම්භයේ දීම ගොවිනට ඒවා මිලදී ගැනීමට හැකි අතර, වගාවට මුලසිටම නිර්දේශිත සමතුලිත ලෙස පොහොර යෙදිය හැක. රජයක වගකීම වන්නේ මෙම අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමය. පොහොර සහනාධාරය ලබා දෙනවා කියා හුදෙක් ඇඟ බේරා ගැනීමේ අරමුණෙන් පමණක් හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් ලබාදීමෙන් පමණක් සාර්ථක ප්‍රතිඵල අත්කරගත නොහැකි අතර, අවශ්‍ය වේලාවට ප්‍රමාණවත් තරමින් පොහොර ලබා දීමට ක්‍රියා කිරීමෙන් වැඩි ඵලදායීතාවක් අත්කරගත හැකි වෙනු නිසැකය.

කේ. බී. ගුණරත්න
හිටපු කෘෂිකර්ම අධ්‍යක්‍ෂක