පවතින අර්බුදයෙන් ගොඩ එන්න මහ මැතිවරණයකට යා යුතුයි


ජවිපෙ මධ්‍යම කාරක සභික

වසන්ත සමරසිංහ

 

පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අනිවාර්යයෙන්ම මහ මැතිවරණයකට යා යුතු බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධිකාරක මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.  


මේ සම්බන්ධයෙන් අපි වසන්ත සමරසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.  


?දැන් ඔබ වෘත්තීය සමිති නායකයෙක් හැටියට අරගලයක නිරත වෙනවා. මොකක්ද මේ අරගලයේ අලුත්ම තත්ත්වය?  


මේ රටේ සියලු කර්මාන්තවල නිරත ජනතාව මේ අරගලයට සම්බන්ධ වෙනවා. ගොවීන්, රාජ්‍ය සේවකයන්, ගුරුවරුන්, කම්කරුවන්, තරුණ තරුණියන්, ධීවරයන්, ආගමික නායකයන් වගේ 85%කට වැඩි පිරිසක් පවතින සමාජ ක්‍රමවේදය වෙනස් කරන්න කියලා පෙළගැසී සිටිනවා. දරුවන්ට අධ්‍යාපනය කරගන්න බැරි, ධීවරයන්ට මුහුදට යන්න බැරි, ගොවියන්ට කුඹුරට බසින්න බැරි තත්ත්වයක් දැන් උද්ගත වෙලා තිබෙන්නේ. මේ තත්ත්වය නැති කරන්න තමයි මේ අරගලයේ අපි නිරත වෙන්නේ. මේ අරගලය මර්දනය කරන්න තමයි රජය දැන් සියලු කටයුතු කරගෙන යන්නේ.  


මේ නිසා වෘත්තීය සමිති සන්ධානය හැටියටත්, මේ රටේ අරගලකරුවන්, වෘත්තීයවේදීන් යන සියලු අංශ සමග අපි සාකච්ඡා කරගෙන යනවා, සැබෑ ජනමතය නියෝජනය වන මහා මැතිවරණයක් ඉල්ලා සටන් වදින්න. ඒ මහා මැතිවරණයකින් තෝරාගන්නා ආණ්ඩුවකින් තමයි ජනතා විශ්වාසය අපි අපේක්ෂා කරන්නේ. රාජපක්ෂ රෙජිමය පරාජය කරලා සැබෑ ජනමතයක් වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ. ජනතාව අපේක්ෂා කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේක්ෂකයන් පත්කර ගැනීමට තමයි අපි මේ අරගලය දියත් කරන්නේ. අපි දිගින් දිගටම ඉල්ලා සිටින්නේ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න. ජනතාව කැමති අපේක්ෂකයෙක් තෝරා පත්කර ගන්න කියන එක තමයි අපේ මූලික ඉලක්කය වී තිබෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නව පාර්ලිමේන්තුවක් පිහිටුවා ගන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ මහා මැතිවරණයක් තියන්න. එතැනදී ජනතාව තමන්ගේ පාලකයන් තෝරා ගනියි. අපේ මේ අරගලය කේන්ද්‍ර වෙමින් තිබෙන්නේ ඒ දිසාවට.  


?දැන් මැතිවරණයකට යන්න කියලා ඔබලා බල කරනවා. මේ අාර්ථික අර්බුදය හමුවේ කොහොමද මැතිවරණයකට අවශ්‍ය මුදල් සොයාගන්නේ?  


මේ ​මොහොතේ මැතිවරණයකට යාම ඉතාම ප්‍රායෝගිකයි. මොකද මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් පවා කියලා තිබෙනවා මේ පාලනය කරන සියලු දෙනාට ජනමතයක් නැහැ කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එළවලා තිබෙනවා. ඒ ගෝඨාභයටයි, රාජපක්ෂ පරපුරටයි ජනමතයක් නැහැ කියලා ඔප්පු වෙලා තිබෙනවා. එහෙනම් නව ජනවරමකට ඉඩ දෙන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණයක් පවත්වනවා නම් ලෝකයේ උදව් කරන ආයතන තිබෙනවා. අපිටත් ඒ දේට සහය දෙන්න පුළුවන්. අපි රාජ්‍ය සේවකයන්ටත් යෝජනා කරලා තිබෙනවා දීමනා, අතිකාල දීමනා නොලබා මැතිවරණයකට සහාය ලබාදෙන්න කියලා. අපි ඒ යෝජනා සම්මත කරගෙනත් තිබෙනවා. ඒ නිසා සියලු දෙනා මැතිවරණයක් පැවැත් විය යුතු තැනකයි සිටින්නේ. කෝටි 1200න් කෝටි 600කටත් වඩා අඩුවෙන් වියදම් අඩු කරන්නටත් ලෝකයේ වෙනත් රටවල්වලින් උදව් ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට යන්න ලෝකයේ වෙනත් රටවල් උදව් කරනවා. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයනුත් උදව් කරනවා. රට අතහැරලා ගිය ලාංකිකයනුත් උදව් කරනවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා සියලු දෙනා මේ පීඩනය කරන්නේ වික්‍රමසිංහ, රාජපක්ෂ ආණ්ඩුව ඉවත් වෙන්න කියලා. රටේ මැතිවරණයකට යන වියදමට වඩා රාජපක්ෂ පවුල මුදල් විනාශ කරලා තිබෙනවා. ඒ නිසා මේ වෙලේ මැතිවරණයකට යන මුදල වියදමක් නොවෙයි. 

 

සටහන : 
නිශාන්ත කුමාර බණ්ඩාර