
ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට පත්වෙමින්, විදේශ ආදායම් මාර්ග තුළින් සිය ආර්ථිකය නැංවීමට කටයුතු කරමින් සිටින පසුබිමක, සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ තහවුරු නොකළ පාරිසරික සහ තිරසාර බව පිළිබඳ ප්‍රකාශ කිරීම් තහනම් කෙරෙන යුරෝපා සංගමයේ ‘පාරිභෝගික බලගැන්වීමේ හා හරිත පරිවර්තන උපදෙස් මාලාව‘ (EmpCo) බලාත්මක වීමේ අවසන් දිනය ලෙස 2026 සැප්තැම්බර් 27 වැනි දිනට යෙදුණු ලෝක සංචාරක දිනය සටහන් විය.
එම රෙගුලාසිවලට අනුව, සිය වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවලදී පාරිසරික හිමිකම් පෑම් සිදුකරන සංචාරක ව්‍යාපාර, යුරෝපා සංගමයේ EmpCo නියෝගය යටතේ වඩාත් තදබල ලෙස එම කරුණු සත්‍යාපනය කළ යුතුය. 2024/825 දරන යුරෝපා සංගම් නියෝගය මඟින් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව සිදුකරන ”පරිසර හිතකාමී” (eco-friendly) හෝ ”කාබන් උදාසීන” (carbon neutral) වැනි අපැහැදිලි හෝ තහවුරු නොකළ පාරිසරික ප්‍රකාශ කිරීම් තහනම් කෙරෙන අතර, ඕනෑම තිරසාරභාවය පිළිබඳ ලේබලයක් පිළිගත් සහතික කිරීමේ ක්‍රමවේදයක් හෝ රාජ්‍ය අධිකාරියක් මඟින් ස්ථාපිත කරන ලද ක්‍රමවේදයක් මත පදනම් විය යුතු බවට නියම කරයි.
සිය පාරිසරික සුදුසුකම් ප්‍රවර්ධනය කරන හෝටල්, සංචාරක සංවිධායකයන් සහ සංචාරක ගමනාන්තයන් සඳහා මෙහි අර්ථය වන්නේ, ඔවුන්ගේ ප්‍රචාරණ ද්‍රව්‍යවල අඩංගු සෑම ප්‍රකාශයක් සඳහාමEU Eco-label සහතිකයක්, පිළිගත් තිරසාර සහතිකයක් හෝ ලේඛනගත කළ කාර්යසාධන දත්ත වැනි පැහැදිලි හා තහවුරු කළ හැකි සාක්ෂි තිබිය යුතු බවයි. මෙම නීති යුරෝපා සංගමය පුරා සියලුම ක්ෂේත්‍ර සඳහා බලපාන නමුත්, තිරසාර බව පිළිබඳ ප්‍රකාශ කිරීම් බහුලව සිදුකෙරෙන (සහ නියාමකයන්ට අනුව බොහෝ විට මතභේදයට ලක්වන) සංචාරක හා නවාතැන් ප්‍රවර්ධන ක්ෂේත්‍රයට මෙය වඩාත් අදාළ වේ.
මෙම පසුබිම තුළ, තිරසාර සංචාරක ව්‍යාපාරය, හෝටල් මෙහෙයුම්, පාරිසරික විද්‍යාව සහ සංචාරක කළමනාකරණය යන ක්ෂේත්‍ර නියෝජනය කරන බහු-විෂයානුබද්ධ අධ්‍යාපනික හා වෘත්තීය පසුබිමක් සහිත අධ්‍යයන ක්ෂේත්‍රයේ මෙන්ම සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයකු, තිරසාරභාවය පිළිබඳ විශේෂඥයකු, විගණකවරයකු, කථිකාචාර්යවරයකු සහ උපදේශකයකු වන කසුන් විතානගේ සමඟ සාකච්ඡා කළෙමු.
ඔහු දැනට Control Union Sri Lanka ආයතනයේ සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ කළමනාකරු / ප්‍රධාන විගණකවරයා ලෙස සේවය කරමින්, සංචාරක හා ආගන්තුක සත්කාර සහතික කිරීමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම, තිරසාරභාවය පිළිබඳ විගණන පැවැත්වීම, වෘත්තීය පුහුණු වැඩසටහන් සකස් කිරීම සහ කර්මාන්ත හා අධ්‍යයන සංසදයන්හි එකී ආයතනය නියෝජනය කිරීම සිදුකරයි. ඔහු ගෝලීය තිරසාර සංචාරක කවුන්සිලයේ තිරසාර සංචාරක ව්‍යාපාරය පිළිබඳ වෘත්තීය සහතිකය සහ ISO 14001 ප්‍රධාන විගණක සුදුසුකම ලබා ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංචාරක ආර්ථික විද්‍යාව සහ හෝටල් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක්ද , ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ස්වාභාවික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක්ද ලබා ඇති කසුන් විතානගේ, සංචාරක කළමනාකරණ දැනුම පාරිසරික හා ජෛව විද්‍යාත්මක පදනම සමඟ මනාව සංකලනය කරයි.
තිරසාර සංචාරක ව්‍යාපාරය සහ ඊට අදාළ නියාමනයන් පිළිබඳ සිය බහුල අත්දැකීම් ඇසුරින්, සංචාරක ව්‍යාපාරය ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගැනීමට සැලසුම් කරන රටකට, තිරසාර ආගන්තුක සත්කාර ව්‍යාපාර නියාමනය කිරීම සහ සහතික කිරීම කොතරම් වැදගත්ද යන්න කසුන් විතානගේ මෙහිදී අවධාරණය කරයි.
ඔබ සේවය කරන Control Union ආයතනය සහ සංචාරක ක්ෂේත්‍රය අතර ඇති සම්බන්ධය කුමක්ද?
Control Union ආයතනය ගැන බැලුවොත්, එහි ප්‍රධාන සේවාවන් අපි හඳුන්වන්නේ TIC (Testing, Inspection and Certification) එනම් පරීක්ෂණ, පරීක්ෂා කිරීම්/අධීක්ෂණ සහ සහතික කිරීම් ලෙසයි. පරීක්ෂණ යනු ප්‍රධාන වශයෙන් රසායනාගාර පරීක්ෂණයි. එය වෛද්‍ය රසායනාගාර සේවාවක් නොව, හැමෝම දන්නා අනෙකුත් පරීක්ෂණ සේවාවන්.
අපි පරීක්ෂණ සේවාවන් ලබා දෙනවා. පරීක්ෂා කිරීම්/අධීක්ෂණ යනු ප්‍රධාන වශයෙන් තොග වටිනාකම් තහවුරු කිරීම, අතිරේක වත්කම් සේවා වැනි දේ. පෙට්‍රෝලියම් ක්ෂේත්‍රයේ සිට බැංකු ක්ෂේත්‍රය දක්වා අපි මෙම ෂබිචැජඑසදබ සේවාවන් සපයනවා. සහතික කිරීම යනු සැවොම අසා ඇති දෙයක්. උදාහරණයක් ISO, HACCP, GMP වැනි සහතික කිරීම් තිබෙනවා.
සහතික කිරීම යනු අපේ ආයතනයේ ප්‍රධාන සේවාවක්. සංචාරක කර්මාන්තය සඳහා අපි මේ සියලුම සේවාවන් ලබා දෙනවා.
පරීක්ෂණ සේවා සංචාරක කර්මාන්තයට සම්බන්ධ වන්නේ කෙසේද යන්නට උදාහරණයක් ගතහොත්, හෝටලයක ජල තත්ත්ව පරීක්ෂණ, ආහාර සුරක්ෂිතතා පරීක්ෂණ, කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂණ පරීක්ෂණ වැනි දෑ සෑම වසරකම සිදුකළ යුතුව තිබෙනවා.
අපි ISO පද්ධති සහතිකකරණය මෙන්ම 14000 වැනි පාරිසරික සහතිකකරණයන් ලබා දෙනවා. නවතම අවශ්‍යතාව වන්නේ හරිත සහතිකකරණය (Green certification) හෙවත් තිරසාර සංචාරක සහතිකකරණයයි. එයද අප සතුව පවතිනවා.
එබැවින්, යම් ආයතනයකට තමන්ගේ මෙහෙයුම් තිරසාරයි කියා පැවසීමට අවශ්‍ය වූ විට, ”අපි තිරසාරයි” ලෙස නිකම්ම පැවසීමට දැන් හැකියාවක් නැහැ. එය ස්වාධීන තෙවැනි පාර්ශ්වයක් විසින් සත්‍යාපනය කළ යුතුව තිබෙනවා. එම විශේෂිත සත්‍යාපනය අපගේ සහතික කිරීමේ සේවාවන් යටතේ අඩංගු වෙනවා.
ඒ අනුව සංචාරක කර්මාන්තය සඳහා අපේ ආයතනය ප්‍රධාන සහතික කිරීමේ සේවා සපයන්නෙක්.
මුලින්ම නෙදර්ලන්තයේ ආරම්භ වූ Control Union ආයතනය වසර 100කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, එය 1994 දී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරුණා. එහි සංචාරක අංශය ආරම්භ කරන ලද්දේ 2024 වසරේදීයි.
සංචාරක ව්‍යාපාරය ප්‍රධාන විදේශ ආදායම් මාර්ගයක් ලෙස ඉලක්ක කරන රටකට තිරසාරභාවය සහතික කිරීම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ පමණක් නොවයි ගෝලීය වශයෙන් ගත්තද, සංචාරක කර්මාන්තය කියන්නේ වැඩිපුරම සම්පත් පරිභෝජනය කරන කර්මාන්තයක්. එමෙන්ම එය ආසන්න පරිසරයට විශාල බලපෑමක් එල්ල කරනවා. පරිසරය කියන්නේ පරිසර පද්ධතියට පමණක් නෙවෙයි, ප්‍රජාවට සහ සංස්කෘතියටත් අයත් වෙනවා.
මූලික වශයෙන් සංචාරක මෙහෙයුමක් දෙස බැලුවහොත්, එය විශාල සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඒවා ජලය, පිරිසිදු වාතය, විදුලිය සහ තවත් බොහෝ දේ විය හැකියි. එම නිසා එහි විශාල පරිභෝජනයක් තිබෙනවා. අනෙක් අතට, එය විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් පිටකරනවා. ඒවා එකතු වන කඩදාසි/ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය, අපජලය, ශබ්ද දූෂණය හෝ අධික ආලෝකය විය හැකියි.
එක් අතකින් සංචාරක කර්මාන්තය අධික ලෙස සම්පත් ලබාගන්නා අතර, අනෙක් අතින් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුදාහරිමින් ආසන්න පරිසර පද්ධතිවලට බලපෑම් එල්ල කරනවා.
අපි වනාන්තරයක්, ගංගාවක් හෝ වෙරළ තීරයක් වැනි දෙයක් ගැන සිතුවොත්, මේ සියලු පරිසර පද්ධති ඉතා සංවේදීයි. ඒ නිසා යම් ආයතනයක් හෝ ආගන්තුක සත්කාර මෙහෙයුමක් නිසි ලෙස සංවිධානය හෝ නියාමනය වී නොමැති නම්, මෙම සංවේදී පරිසරයන්ට සැමවිටම අහිතකර බලපෑමක් ඇති වෙනවා.
එමෙන්ම, ඔවුන් වටපිටාවේ මිනිසුන් හෝ ඔවුන්ගේ සංස්කෘතීන් සමඟ කටයුතු කිරීමේදී එය නිසි ලෙස නියාමනය නොවුණහොත්, එම සංස්කෘතීන්ට සහ මිනිසුන්ටද අහිතකර බලපෑම් ඇතිවිය හැකියි. මන්ද සංචාරක ව්‍යාපාරය හරහා විවිධ සංස්කෘතීන් සහ වෙනස් වෙනස් හැසිරීම් ඇති ආගන්තුක පුද්ගලයන් පැමිණෙනවා.
එවිට දේශීය සංස්කෘතීන්ට මෙම බාහිර සංස්කෘතීන්ගේ යම් යම් කොටස් අවශෝෂණය වී, මුල් සංස්කෘතීන් වෙනස් වීම්වලට ලක්විය හැකියි.
එමෙන්ම නීති විරෝධී දේවල්ද සිදු වෙනවා. උදාහරණයක් ලෙස පුරාවස්තු නීති විරෝධී ලෙස විකිණීම හෝ වනජීවී/ශාක කොටස් ලබාගැනීම. අපි කවුරුත් දන්නවා කොතලහිඹුටු වැනි ප්‍රසිද්ධ ඖෂධීය ශාක හෝ යම් සත්ව කොටස්. මේ සියලු නීති විරෝධී සහ හානිකර දේවල් සංචාරක මෙහෙයුම් සමඟ බද්ධ වී පවතිනවා.
එබැවින් සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන් ජලය, වාතය, මනරම් දර්ශන හෝ සංස්කෘතිය වැනි ස්වාභාවික සම්පත් මත පදනම්ව ක්‍රියාත්මක වන නිසා, අපි මේවා නියාමනය නොකළහොත් මෙම සියලු සම්පත් ක්ෂය වී හෝ විනාශ වී යනු ඇත.
එම ක්ෂය වීම හෝ විනාශය වැළැක්වීම සඳහා සංචාරක මෙහෙයුම්වලට තිරසාරභාවය අවශ්‍ය වෙනවා. මන්ද සංචාරක ක්ෂේත්‍රයේ තිරසාරභාවය ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ අපි ‘කුලුනු හතර‘ ලෙස හඳුන්වන කරුණු මතයි.
ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ තිරසාර සංචාරක සහතිකකරණයට සම්බන්ධ වීම සහ යුරෝපා සංගමයේ හරිත ප්‍රකාශ කිරීම් පිළිබඳ නියෝගයට (Green Claim Directive) බද්ධ වීම කොතරම් දුරට වැදගත්ද?
එය ඉතාමත් වැදගත්. මෙම නියෝගය පැමිණ ඇත්තේ අසත්‍ය හරිත ප්‍රකාශ කිරීම්වලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමටයි. ඒ කියන්නේ බොරුකාරයින්ගෙන් ආරක්ෂා වෙන්නයි. ඇතැම් පිරිස් තමන් තිරසාරයි, පරිසර හිතකාමීයි, ස්වාභාවික පරිසරයට හිතකාමීයි කියා පැවසුවත්, අපි එම ස්ථානවලට ගොස් බලන විට හෝ එම දේපළ සැබැවින්ම දකින විට ඒ සියලු ප්‍රකාශ අසත්‍ය බව පෙනී යනවා. සැබවින්ම තිරසාර ස්ථාන විශ්වාස කර ඒ සඳහා මුදල් ගෙවන පාරිභෝගිකයන් මෙලෙස රැවටීමට ලක්වන බව යුරෝපා සංගමය විශ්වාස කරනවා.
ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙම අසත්‍ය ප්‍රකාශවලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමටයි. Green Claim Directive සහEmpCo පිළිබඳ සාකච්ඡාව සහ ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ ඒ නිසයි. යමෙකු තමන් තිරසාරයි හෝ පරිසර හිතකාමීයි කියා පවසන්නේ නම්, එය නීත්‍යනුකූල තෙවැනි පාර්ශ්වයක සත්‍යාපනයක් මඟින් තහවුරු කළ යුතු බවEmpCo මඟින් තහවුරු කෙරෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වැඩි වශයෙන් බැක්පැකර්ස්ලා (Backpackers) බව සහ අපි ඉහළ පෙළේ (High-end) වෙළෙඳපොළවල් ඉලක්ක නොකරන බැවින්, සංචාරක ව්‍යාපාරයෙන් සැබෑ මූල්‍ය ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට නොලැබෙන බවට තර්කයක් තිබෙනවා. මෙයට තිරසාර සංචාරක ව්‍යාපාරය සහ සහතිකකරණය සමඟ යම් සම්බන්ධයක් තිබෙනවාද?
ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ ‘සංඛ්‍යාව‘ සහ ‘ප්‍රමාණය‘ ලෙස කරුණු දෙකක් තිබුණත්, ඒවා විවිධ ක්‍රමවලින් අර්ථ දැක්විය හැකියි. අපි දත්ත සමඟ කතා කළත්, Booking.com තිරසාර වාර්තාව යනු සංචාරක රටා අනාවැකි පළ කිරීම සඳහා ගෝලීය වශයෙන් පවතින නීත්‍යනුකූල දත්ත සමුදායයි. Booking.com 2025 තිරසාර වාර්තාවට අනුව, වගකීම්සහගත සංචාරකයන්ගේ හෝ තිරසාරභාවය අපේක්ෂා කරන සංචාරකයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙනවා. එම ප්‍රතිශතය 84%ක් පමණ වෙනවා. මිලියන 3ක් පමණ වන සංචාරකයන් දැන් තිරසාර නවාතැන්/ස්ථාන සොයමින් සිටිනවා.
තිරසාරභාවය කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස යනු වැඩිපුර මුදල් වියදම් කරන අයයි . තිරසාර ස්ථාන වෙත යාමට ඔවුන් වැඩිපුර මුදල් ගෙවීමට සූදානම්. මට නිවැරදිව මතක නම් පෙර වසරේ එය 78%ක් ලෙස සටහන් වුණා. මේ වසරේ එය 84%ක්. 2024 දී එය 68%ක් ලෙස පැවතුණා. එබැවින් එම වෙළෙඳපොළ තුළ නිතිපතා වර්ධනයක් තිබෙනවා.
දැන් අපි කර්මාන්තය දෙස බැලුවහොත්, සැමවිටම බාධා පමුණුවන සාධක තිබෙනවා. ලෝකයේ විවිධ ඇතිවන නොසන්සුන්තා, තෙල් මිල ඉහළ යාම වැනි දේ නිසා සංචාරය කළ යුතුද නැද්ද යන්න ගැන සංචාරකයන් දෙගිඩියාවෙන් පසුවෙනවා. එනිසා ගෝලීය වශයෙන් ඉල්ලුම අඩුවීමක් තිබුණද, මෙම විශේෂිත වෙළෙඳපොළ කොටස අඛණ්ඩව වර්ධනය වෙනවා. යමෙකුට සිය ව්‍යාපාරය වර්ධනය වන වෙළෙඳපොළකට යොමු කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා තෝරාගත හැකි හොඳම ස්ථානයක් වන්නේ මෙයයි.
යම් ව්‍යාපාරයක් තිරසාරභාවය ඉල්ලන මෙම වර්ධනය වන වෙළෙඳපොළ ඉලක්ක කරන්නේ නම්, එය අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවා. ගෝලීය සංචාරක ඉල්ලුමට අභියෝග, අවිනිශ්චිතතා සහ මූල්‍ය ගැටලු තිබෙන බව ඇත්තයි. ඒ සියලු සාධක මධ්‍යයේ වුවද මෙම තිරසර සංචාරක වෙළෙඳපොළ වර්ධනය වෙනවා. අනෙක් කරුණ නම්, ගෝලීය අවිනිශ්චිතතාව සහ වෙළෙඳපොළේ පවතින අහිතකර තත්ත්වයන් නිසා රට තුළ තරගකාරිත්වය වැඩි වී තිබීමයි.
මාලදිවයින, තායිලන්තය වැනි අපගේ සෙසු තරගකාරී රටවල් ගැන තත්ත්වය කුමක්ද? ඔවුන් මෙම සහතික ලබාගෙන තිබෙනවාද?
ඔව්, එහි ප්‍රවණතාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස සිංගප්පූරුව 2030 වන විට හෝටල්වලින් 70%ක් හෝ 75%ක් තිරසර ලෙස සහතික කළ යුතු බවට ඉලක්කයක් තබා තිබෙනවා. එනිසා සියලුම හෝටල් පාහේ දැන් තිරසර සංචාරක සහතිකකරණය වෙත යොමු වෙමින් පවතිනවා. තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් පවා මෙම ප්‍රවණතාව අනුගමනය කරනවා. මාලදිවයින සහ අනෙකුත් කලාපීය රටවල් සමඟ අපි කටයුතු කරන බැවින් අපි මේ බව දන්නවා. දැන් යුරෝපා සංගමය සමඟ සම්බන්ධ වී සිටින සහ වැඩිපුර වියදම් කරන ඉහළ පෙළේ වෙළෙඳපොළ ඉලක්ක කරන නවාතැන්පොළවල්, තිරසර සංචාරක භාවිතයන්ට මෙන්ම තිරසර සංචාරක සහතිකකරණය වෙත මාරුවීමට කල්පනා කරමින් සිටිනවා. ඒ සහතික කිරීමේ සලකුණ (Logo) ලබාගැනීමට පමණක් නෙවෙයි; පරිසරයට සහ ප්‍රජාවට සිදුවන බලපෑම තමන් විසින් අඩුකර ගත යුතු බව ව්‍යාපාර විශ්වාස කරන නිසයි.
පසුගිය සැප්තැම්බර් 27 වන විට සහතිකය ලබා නොගත් ව්‍යාපාරවල සංචාරක කටයුතුවලට සිදුවන බලපෑම කුමක්ද?
ව්‍යාපාරයට කිසිවක් සිදුවන්නේ නැහැ, නමුත් ඔබේ ප්‍රවර්ධන කටයුතුවලට බලපෑම් ඇති වෙනවා. යුරෝපා සංගමය තුළ ඔබේ ව්‍යාපාරය පරිසර හිතකාමී, ස්වාභාවික පරිසරයට හිතකාමී, හරිත ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කරන්නේ නම්, ඒ සඳහා බාධා එල්ල වෙනවා. අනෙක් කරුණ නම්, තමන් තිරසාර හෝ හරිත ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කරන යුරෝපා සංගමයේ ආයතනයක් සමඟ ඔබට ව්‍යාපාරික පවුරක් තිබේ නම්, ඔබ තිරසාර හා හරිත ව්‍යාපාරයක් ලෙස සහතික වී නොමැති නම්, ඔවුන්ගේ පාර්ශ්වයෙන් (අපේ පාර්ශ්වයෙන් නොව) ව්‍යාපාරික සබඳතාවලට සීමාකිරීම් සහ කොන්දේසි පැනවෙනු ඇත.
මෙම අවසන් දිනය පිළිබඳව කර්මාන්තයේ නිරත පිරිස් සහ බලධාරීන් දැනුවත්ව සිටිනවාද?
මම හිතන්නේ ගෝලීය වශයෙන් මේ පිළිබඳ සාකච්ඡාව වසර 2-3කට පෙර සිටම ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දැනුවත්භාවය ගැන මට විශ්වාස නැතත්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර ආයතන මේ ගැන දන්නා බව මට හොඳටම විශ්වාසයි. ඔවුන් ඒ සඳහා දැනටමත් නිවැරදි කිරීමේ පියවර ගෙන තිබෙන්නට පුළුවන්. EmpCo මඟින් පසුගිය වසරේ සිටම ව්‍යාපාරවලට ඊට අනුගත වීම සඳහා සහන කාලයක් ලබා දී තිබුණා. එම සහන කාලය මඟින් ව්‍යාපාරවලට සූදානම් වීමට සහ දැනුවත් වීමට අවස්ථාව ලැබුණා.
නමුත් එම දැනුවත්වීමේ සහ සහන කාලය දැන් අවසන් වී තිබෙනවා. දැන් අපි සිටින්නේ සෘජුවම ක්‍රියාමාර්ග ගත යුතු අවස්ථාවේයි.
සාකච්ඡා කළේ -
සුසිත ආර්. ප්‍රනාන්දු

